කෘෂි රසායන යෙදීමේදී අනුමත නිර්දේශයන් භාවිත නොකිරීමෙන් අපනයන වෙළෙඳ පොළද අවදානමට ලක්විය හැකියි
( ලාල් ජයසුන්දර ) 2018-02-09 09:19:07
Comments - 0       Views - 706

  ශ්‍රී ලංකාවේ තේ වගාව සහ වෙනත් කෘෂි භෝගයන් සඳහා ඉදිරි කාලය තුළ ජාත්‍යන්තර වෙළෙඳ පොළ තුළ ඇති අවස්ථාව අහිමි වීමේ අවදානමක් රුසියාවේ තේ සහ කුරුමිණියාගේ කතාව සමග නැවත දලුලන පුවතක් බවට පත්ව ඇත. පළිබෝධනාශක පෙරදැරි කරගත් නව සංවාදය පිළිබඳ පළිබෝධනාශක රෙජිස්ටාර් ආචාර්ය සුමිත්  ජයකොඩි මහතාගෙන් %අද^ කළ විමසුමට ඒ මහතාගෙන් ලද පිළිතුරු මෙසේ දක්වමු.


Q තහනම් පළිබෝධනාශක විසින් වෙළෙඳ පොළ ගිලගෙන ඇතැයි වාර්තා පවසනවා. දැනට රේගුව විසින් අත්අඩංගුවට ගත් ග්ලයිෆොසේට් වෙනුවෙන් රේගුව ගෙන ඇති පියවර  ඔබ නිරීක්ෂණය කරනවාද
 

 ඔව්. අවශ්‍ය විට ඒ සම්බන්ධයෙන් තොරතුරු ලබා ගන්නවා. ඒ අනුව ගතවූ කාලයේ ඔවුන් විසින් නඩු පවරා ඇති කරුණු සම්බන්ධයෙන්ද අත්අඩංගුවට ගැනීම පිළිබඳ මා ගතවූ සතියකත් වාර්තාවක් ගෙන්වා ගත්තා.

ඒ අනුව උදාහරණ කීපයක් දැක්වුවොත්

   එක්තරා සමාගමක් විසින් ග්ලයිපොසේට් ලීටර් 4ක් බැගින් වන  ලීටර් 4 බඳුන් සහිත පෙට්ටි 952ක් ගෙන්වා තිබියදී රේගුව මගින්  අත්අඩංගුවට ගෙන තිබුණා. ඒ අනුව ඒවායේ අඩංගුව තිබූ ග්ලයිපොසේට් ප්‍රමාණය ලීටර් 15232 යි.
   එහි දක්වා තිබුණේ යූරියා ලික්විඩ් පර්ටිලයිසර් යනුවෙන්. එහෙත් ඒවායේ 30෴ක් ග්ලයිෆොසේට් අන්තර්ගත වුණා. ඒ සඳහා ඒවා ගෙන්වූ ආයතනයෙන් රුපියල් මිලියන 2.5ක (ලක්ෂ විසිපහක) දඩයක් අයකර චීනයට ආපසු යවා ඇතැයි රේගුව මා වෙත දන්වා තිබෙනවා.
  ඒ වගේම අර්තාපල් කන්ටේනරයක් තුළ එවා තිබියදී අත්අඩංගුවට ගත් ග්ලයිෆොසේට් පිළිබඳ ඔබට මතක ඇති. පෙට්ටි 912ක් තුළ අඩංගුකර ඉන්දියාවෙන් ගෙන්වා ඇති කිලෝග්‍රෑම් 656ක් වූ එම තොගය වෙනුවෙන් රුපියල් මිලියන 1.4ක (ලක්ෂ 14ක) දඩයක් නියම කර එම තොගය ආපසු ඉන්දියාවට යවා තිබෙනවා. මේ ආකාරයෙන් ඒවා ගෙන්වන ලද නියෝජිතයන්ට රේගුව විසින් නඩු පවරා ආපසු ඒ රටවලට අදාළ භාණ්ඩ යවා තිබෙනවා.

ඒවා එහෙම යැවුවත් හොරෙන් මෙරටට ගෙන්වන හෝ මෙරට තුළදී නිෂ්පාදනය කර වෙනත් නම්වලින් අලෙවි වන අවස්ථා තවමත් ඇසෙන්නේ ඇයි 

 හැමවිටම අපි මෙවැනි අවස්ථා පිළිබඳ විමසිල්ලෙන් ඉන්නවා. මෙයට පෙර මෙබඳුම ආකාරයෙන් ග්ලයිෆොසේට් යම් ප්‍රමාණයක් ඕගනික් සිලිකන් නමින් මෙරටට ගෙන්වා ඇති බව වාර්තා වුණා. ඒවා රේගුව විසින් අත්අඩංගුවට ගත්තා.
   සමහර විට පොහොර නමින් හෝ යූරියා වර්ග නමින් හෝ කාබනික පොහොර විශේෂ ලෙස මේවා වෙළෙඳ පොළට ගෙන ඒමට කූට ව්‍යාපාරිකයන් කටයුතු කරනවා. පවතින තහනම තුළ එවැනි දේ සිදුවීම ස්වාභාවිකයි.
   කොහොම වුණත් ඔබ ඇසූ පරිදි එසේ චීනයෙන් ගෙන්වා ඇති ලීටර් 32,000ක් වන ඕගනික් සිලිකන් නමින් ගෙන්වා ඇති ග්ලයිෆොසේට් ප්‍රමාණය රේගුව මගින් රාජසන්තක කර තිබෙනවා.

Q එවැනි රාජසන්තක කළ දේ මෙරටදී වෙන්දේසි කිරීමේ ක්‍රමයක් තිබෙනවාද

 වෙන්දේසි කළා කියමුකෝ. නමුත් එයින් පසු ඒවා මිලදී ගන්නා අය ඒවාට කරන්නේ කුමක්ද යන ප්‍රශ්නය මතුවෙනවා. 01

එහෙම වුණොත් එවැනි දේ සම්බන්ධයෙන් ඔබ රෙජිස්ටාර් කාර්යාලයේ තීරණය කුමක්ද

  අපි වෙන්දේසි කිරීම ගැන නෙවෙයි කතා කරන්නේ. අපි කියන්නේ එහෙම දේ ආපසු ඒ රටට යවන්න කියලා.  මොකද මේවා මෙහි දහනය කිරීමට තරම් පහසුකම් නැහැනේ.

තැන තැන හමුවන තහනම් ගල්යිෆොසේට් සම්බන්ධයෙන් යමක් පැවසුවහොත්

  ගතවූ කාලයේ හාල් පැකට් වශයෙන් දක්වා ග්ලයිෆොසේට් කිලෝග්‍රෑම් 28000ක් මෙරටට ගෙන්වා තිබී දඹුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට විශේෂ කාර්ය බළකාය සමග පාරිභෝගික අධිකාරිය තම නීතිය යටතේ කටයුතු කළා. ඒවායේ ඇසුරුම්වල තිබූ පැකට්වල 2015 සහ 2016 කල් ඉකුත්වූ  දින වෙනුවට 2018 ජනවාරි දක්වා සංශෝධිත ව්‍යාජ දින ලෙස වෙනස් කර තිබුණා. ගෙන්වීම පමණක් නෙවෙයි, මෙරට තුළ කෘත්‍රිමව නිෂ්පාදනය කළ අවස්ථාද තිබෙනවා.
  අපේ නිලධාරීන්, පළාත් කෘෂිකර්ම නිලධාරීන්, පාරිභෝගික සේවා අධිකාරිය, STF සහ පොලීසිය වැනි ආයතන මේ සම්බන්ධයෙන් අවධානයෙන් සිටිනවා.
  මෙතැනදි වගාකරුවන් වශයෙන්ද යම් වගකීමක් තියෙනවා මෙවැනි ව්‍යාජ සහ තහනම් කළ දේ භාවිතයට යොදා ගන්නවාද කියන දේ සම්බන්ධව. මෙවැනි දේ භාවිතයෙන් හානිකර තත්ත්වයන් අත්විඳීමටත්, පාඩු ලැබීමටත් සිදුවෙනවා.

  මේ වන විට යුරෝපා සංගමය ප්‍රධාන ඇතැම් රාජ්‍යයන් තමන්ගේ සම්මත මැනුම් දත්තයන් අනුව අපේ ඇතැම් වගා නිෂ්පාදකයන් මිලදී ගැනීම සම්බන්ධයෙන් යම් අවදානම් තත්ත්වයක් මතුව ඇතැයි රාවයක් පවතිනවා. එය ඇත්තද
 

එතැන සිදුවන ක්‍රියාදාමය මම පැහැදිලි කරන්නම්. එක් එක් රාජ්‍යයන් තමන්ගේ රට තුළ භාවිත වන කෘෂි රසායනයන්හි අඩංගු යම් රසායනිකයන් පිළිබඳ අවම ප්‍රමිතීන් තීරණය කර තිබෙනවා. විශේෂයෙන්ම ඒවා දියුණු රටවල දැකිය හැකි තත්ත්වයක්.
   එය අපේ රටේත් සිදුවෙනවා. ශ්‍රී ලංකාව අදට පිළිගන්නේ කොඩෙක් කියන සම්මුතිය යටතේ දක්වා ඇති නිර්ණායකයන්. ඒවා ලෝක සෞඛ්‍ය සංවිධානයත්, ලෝක කෘෂිකර්ම සංවිධානයත් විසින් සම්මත නිර්ණායකයන් ලෙස පිළිගැනීමට ලක්වෙනවා. ලංකාව, ඉන්දියාව, සිංගප්පුරුව වැනි රටවල් පවා දැනට මෙම නිර්ණායකයන් භාවිත කරනවා. 

එහෙම නම් ජපානය, යුරෝපා සංගමය, ඇමරිකාව, ඔස්ට්‍රේලියාව වැනි ලෝකයේ සුවිශේෂී රාජ්‍යයන් විසින් ලංකාවේ වැවිලි ක්ෂේත්‍රය කෙරෙහි යම් අනතුරු ඇඟවීමක් සිදුකරන්නේ ඇයි

  මා ඉහත කියූ පරිදි ඒ රටවල ආහාර ද්‍රව්‍යයන්හි අඩංගු රසායනිකයන් මැනීම සඳහා භාවිත කරන්නේ කොඩෙක්  නිර්ණායකය නෙවෙයි. ඔවුන් ඒ රටවල පවතින කලාපීය දේශගුණික, කාලගුණික සහ තවත් සුවිශේෂී අවශ්‍යතාව සලකා තමන්ට ගැළපෙන නිර්ණායකයන් සම්මත කරගෙන තිබෙනවා. ඒ අනුව අපේ මැනුම් ක්‍රම සහ ඒ අයගේ මැනුම් ක්‍රම අතර යම් වෙනසක් පවතිනවා.

තවදුරටත් පැහැදිලි කළොත්

 යුරෝපා සංගමය වෙත ශ්‍රී ලංකාවෙන් විවිධ කෘෂි ආහාර ද්‍රව්‍ය, වැවිලි භෝග යවනවා. ඒ අතර අප විසින් විදේශ රටවලට යවන භෝග 17ක අඩංගු රසායනික ද්‍රව්‍යයන් පිළිබඳ අපේ රසායනාගාරයේ පරීක්ෂණයක් කලා. එයින් 16ක් යුරෝපා සංගමයේ නිර්ණායකයන්ට ගැළපෙන්නේ නැහැ. එතැන අපට අපේ එළවළු, පළා අපනයනය පිළිබඳ අවදානමක් තියෙනවා.
ලංකාවේ අර්තාපල්වලට මේ අර්බුදය මතුවී තිබෙනවා. අර්තාපල්වල ප්‍රොපිනෙබ් කියන රසායනිකය යුරෝපා සංගමයේ මැනුම් අනුව අන්තර්ගත විය යුත්තේ කිලෝග්‍රෑම් එකකට මිලිග්‍රෑම් 0.2ක් පමණයි. අපේ ලංකාවේ මැනුම් අනුවද ඒ සීමාව දක්වා තිබෙනවා. නමුත් අපගේ පර්යේෂණයේදී අර්තාපල්වල එම ප්‍රමාණය 0.5ක් බව අනාවරණය වුණා.  ඒ වගේම අපි පතෝල ගැන හිතමු. ඒ අනුව යුරෝපා සංගමයේ මැනුම් යටතේ ප්‍රොපෙනොපොස් කියන රසායනිකය තිබිය යුත්තේ 0.05ක ප්‍රමාණයක්. අපි කළ පරීක්ෂණයේදී අනාවරණය වුණේ අපේ  වගාවන්හි පතෝල භෝගය තුළ එය 0.02 ක් තිබෙන බවයි. යුරෝපා සංගමයේ දත්ත අනුව එය උපරිම 0.01ට සීමා වෙනවා. මෙතැනදි ඉතා සුළු ප්‍රමාණයක් වැඩි බව පෙනුනත් යුරෝපා සංගමය එතෙනදිත් ඒ අයගේ එම උපරිමය පිළිබඳ අවධානය යොමු කරනවා.

එහෙම වෙන්නේ ඇයි

ඒ ඒ රටවල් තමන්ගේ රට තුළ කෘෂි රසායනිකයන් භාවිතය අවම කිරීමේ දැඩි උත්සාහයක යෙදී සිටිනවා. ඒ අනුව ඒ අය දැඩි නීති හරහා එම තත්ත්වයන් පාලනය කිරීමට හැමවිටම උත්සාහ කරනවා.

 අපේ රටේ නිෂ්පාදනයන් තුළ මෙවැනි අවශිෂ්ටයන් (Pesticide residue limits) යම් වැඩි වීමක් දකින්නට ඇත්තේ ඇයි

 එතෙනදි අස්වනු නෙළා ගැනීමට පෙර යම් රසායනිකයන් භාවිත කරනවා නම් ඒවා යෙදිය යුතු කාලය අවධානයට යොමු නොකිරීම එක් හේතුවක්. ඒ පිළිබඳ අපේ රටේ 1980 අංක 33 දරන පළිබෝධනාශක පාලනය කිරීමේ පනත සහ ඒ සමග කියවෙන 2017 ජූනි 14 දින අංක 2023/34 පනත යටතේ අදාළ නියෝග දක්වා තිබෙනවා. එක් එක් රසායනිකයන් ඒ ඒ භෝග වර්ගවලට යෙදිය යුතු උපරිම දින ගණන දින හත, දහය, විසි එක වශයෙන් දක්වා තිබෙනවා. ගොවීන් ඉක්මනින් අස්වැන්න නෙළා වෙළෙඳ පොළට යැවීමට ඇති වුවමනාව නිසා මේ දින ගණන නොසලකා කෙටි කාලයකින් අස්වැන්න නෙළා ගන්නවා.

භාවිත වන පළිබෝධනාශක හෝ වෙනත් රසායනිකයන් තුළ පවතින වෙනත් ප්‍රතික්‍රියාවන් නිසා මෙවැනි තත්ත්වයන් ඇතිවිය නොහැකිද

 සුළු වශයෙන් විය හැකි වුවත් විශේෂයෙන් මම මුලින් සඳහන් කළ කරුණු වැදගත් වෙනවා. ඒ ගැන වගාකරුවන් අවධානය යොමු කළ යුතුයි. පොදුවේ රසායනිකයන් කියන කොයි දේත් අදාළ නිර්දේශයන්ට පටහැණිව භාවිත කළොත් විෂයි. අපනයනය සඳහා එළවළු වගා කරන්නන් මේ තත්ත්වය තේරුම් ගත යුතුයි.

ලංකාවේ තේ නිෂ්පාදනය මිලදී ගැනීමේදී ජපානයෙන් ඉදිරි කාලයේ යම් තර්ජනයක් මතුවිය හැකි යැයි පසුගිය දිනවල කතාවක් ඇසුණා. ඒ ඇයි

මේක මේ ග්ලයිෆොසේට් වල්නාශකය තහනම් කිරීම සහ ඒ වෙනුවට දැනට භාවිත කරන වෙනත් පළිබෝධනාශකයන් හේතුවෙන් ඇතිවිය හැකි අවදානමක් හැටියටයි මට හිතෙන්නේ. එහෙම අවදානමක් අපට දන්වලා නැහැ. ඒ වුණත් මේ ප්‍රශ්නය තුළ මම දකින දේ කියන්නම්. මෙයට පෙර ග්ලයිෆොසේට් වල්නාශක ලෙස භාවිත කළා. එය දැන් සම්පූර්ණයෙන්ම තහනම් කරලා. ඒ වෙනුවට දැන් වැවිලිකරුවන් MCPC කියන වල්පැළෑටි නාශකය භාවිත කරනවා. මෙය මීට පෙර සිට භාවිතයේ තිබුණු දෙයක්. එහෙත් එතරම් පාවිච්චියට ගත්තේ නැහැ. ග්ලයිෆෙසේට් කෙරෙහි වැවිලිකරුවන් යොමු වුණා. අ‍ෙනක ජපානය, ඇමරිකාව, යුරෝපය වගේ රටවල ග්ලයිෆෙසේට් තහනම් කරලා නැහැ. ඒ අය ඒවා එහි භාවිත කරනවා. ඉහළ අගයකින් පිළිගන්නවා. එහෙම වෙනකොට ඒ අයට අප දැනට භාවිත කරන MCPC කියන දේ පිළිබඳ හෝ වෙනත් විකල්ප යොදා ගැනීම කෙරෙහි යම් සැක සංකා හෝ සුදුසු නුසුදුභාවය, ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්න තිබෙනවා. මෙන්න මේ හේතුව නිසා එවැනි අර්බුදයක් ඇතිවිය හැකි යැයි ඇතැමුන් මත පළ කරනවා.

එහෙම නම් මෙතෙක් කල් ග්ලයිපොසේට් භාවිත කළ මෙරට වැවිලි ක්ෂේත්‍රයේ වගකිවයුත්තන් විසින් මෙම අර්බුදය වටහාගෙන හෝ එයට විකල්ප වශයෙන් ගන්නා තීරණ මොනවාද

එහෙම දෙයක් තවම හිතන්න බැහැ. මොකද ග්ලයිපොසේට් තහනම් කළාට විකල්පයක් හඳුන්වා දුන්නෙ නැහැනේ. එහෙම වෙනකොට මෙතෙක් ග්ලයිෆෙසේට් භාවිත කළ වෙනත් භෝග වගාවන්ටත් යම් ප්‍රශ්න මතුවෙලා තියෙනවා.

ඒ ප්‍රශ්න මොනවාදැයි පැහැදිලි කළොත්

මම කියපු MCPC වුණත් විධිමත් නිර්දේශයන්ට අනුකූල නොවන ආකාරයෙන් තේ වගාවට භාවිත කළොත් දිගුකාලීන වශයෙන් අහිතකර ප්‍රතිඵල ඇතිවිය හැකියි. එය හැම භෝග වගාවකටම බලපාන සාධකයක්. එහෙම තැන්වලදී ඒ සම්බන්ධයෙන් ඒ ආයතන සොයා බලා කටයුතු කළ යුතුයි.  අ‍ෙනක වැලිගම පළාතේ පොල් ගස් මැරීමේ රෝගය ගතවූ කාලයේ වාර්තා වුණා. එයට හේතුව වෛරසයකුත් නෙවෙයි. නැත්තෙත් නැහැ. අතරමැදි තත්ත්වයක්. එය වෙනත් තැන්වලට පැතිරයාම වැළැක්වීමට නම් එම ගස් පුළුස්සා දැමිය යුතුයි. නිරෝධායන නීතිය යටතේ එවැනි තැන්වල පොල් වෙනත් ප්‍රදේශවලට ප්‍රවාහනය කිරීමත් තහනම්.  එනිසා පොල් වගා කිරීමේ මණ්ඩලය මෙම ඉඩම් සහ ගස් හඳුනාගෙන වගාකරුවන්ගේ අකමැත්ත තුළ හෝ නිරෝධායන නීති අනුව එම පොල් ගස්වලට ග්ලයිපොසේට් එන්නත් කර එම ගස් මරා දැමීමට  කටයුතු කළා. නමුත් දැන් ග්ලයිපොසේට් භාවිතය තහනම් නිසා එය කළ නොහැකියි. මේක පොල් වගාවේ පැවැත්ම වෙනුවෙන් පවතින අවදානම් තත්ත්වයක් .   නමුත් ඒ අයට වෙනත් විකල්පයක් නැහැ. ඒ අය ඒ ගැන අපෙන් ඇහුවා. අපි වෙනත් විකල්ප හඳුන්වා දුන්නා. ඒත් ඒවා ග්ලයිපොසේට් තරම් ක්‍රියාකාරීත්වයෙන් අඩු නිසා සාර්ථක ප්‍රතිඵල ලබාගන්න බැරි බව වාර්තා වුණා.

එහෙම නම් පළිබෝධනාශක සහ ශ්‍රී ලංකාවේ වැවිලි භෝග අතර පවතින අර්බුදයක් හේතුවෙන් ජාත්‍යන්තර වෙළෙඳ පොළ හමුවේ අප පත්ව ඇති අවදානම වෙනුවෙන් ඔබේ මතය කුමක්ද

 ඒක මෙහෙමයි කියලා මට යෝජනා කරන්න බැහැ. නමුත් මෙතැනදි මේ හැම සංසිද්ධියක් දිහාම විද්‍යාත්මක පදනමකින් සහ ජාත්‍යන්තර මට්ටමේ දත්ත සාක්ෂි සාම්පල ඇසුරෙන් විද්වත් සංවාදයක් ඇතිවිය යුතුයි. තේ, රබර්, පොල්, වී, කොකෝ අපනයන භෝග ආදී වශයෙන් රටේ ආර්ථිකය සමග බැ‍ෙඳන ප්‍රධාන භෝගයන් පවත්වාගෙන යාමට පවතින බාධක ඉවත් නොකර රටේ ආර්ථික සංවර්ධනයක් ඇති කරන්නේ කොහොමද කියන දේ වැවිලිකරුවන් අපෙන් අහනවා. ඒත් අපි රජයේ ආයතනයක් ලෙස රටේ පවතින අණපනත්වලට යටත්ව කටයුතු කරනවා විනා එයින් ඔබ්බට යමක් අපට කියන්නට බැහැ. ඒකයි මම කීවේ මේ හැම සංවාදයක් තුළම විද්‍යාත්මක සාක්ෂි සාධක පදනම් කරගත් පැහැදිලි ප්‍රතිපත්තියක් අවශ්‍යයි කියන එක. එය නිලධාරීන් හෝ ආයතන ඉලක්ක කර නොව අදාළ අවශ්‍යතාව සහ සිදුවීම් අනුව තීරණය කළයුතු දෙයක්. 

කෘෂි රසායන යෙදීමේදී අනුමත නිර්දේශයන් භාවිත නොකිරීමෙන් අපනයන වෙළෙඳ පොළද අවදානමට ලක්විය හැකියි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :