බල්ලාගේ වසර පිළිගමු
( . . ) 2018-02-08 12:00:47
Comments - 0       Views - 683

මේ චීනයේ සාම්ප්‍රදායික අලුත් අවුරුදු සමයයි. චන්ද්‍ර මාස ක්‍රමයට අනුව චීනය නව වසර සමරන හෙයින් මෙවර චීනයේ අලුත් අවුරුදු උදාව යෙදී ඇත්තේ පෙබරවාරි 16 වැනිදාටය. සාමාන්‍යයෙන් සෑම වසරකම ජනවාරි 21 වැනිදා සහ පෙබරවාරි 20 වැනිදා දක්වා කාලයේදී චීනයේ අලුත් අවුරුදු උදාව යෙදී තිබේ. ‍මෙවරද චීනය ඉහළින් අලුත් අවුරුද්ද පිළිගැනීමට සූදානම් වෙයි. බොහෝ විට මෙය චීනයේ පිරිස් නෑගම් යන කාලය ලෙස සැලකේ. චීනය අතිවිශාල රටක් වන හෙයින් බොහෝ දරුවන් තම දෙමවුපියන්ගෙන් සැතපුම් දහස් ගණනක් ඈතින් ජීවත් වීම සාමාන්‍ය සිද්ධියකි. නිරන්තරයෙන් සේවයේ යෙදී සිටීම නිසා ඔවුන්ට දෙමවුපියන් බැලීමට අවස්ථාව ලැබෙන්නේද ඉඳහිටය. මේ නිසා අලුත් අවුරුදු උදාවත් සමග බොහෝ දෙනා විදේශ සංචාර අමතක කර ගමට යෑමේ ප්‍රවණතාවක් චීනයේද දැකගත හැකිය. 
පෙරදිග බොහෝ රටවල මෙන්ම අලුත් අවුරුද්ද පිළිගැනීමට නිවාස පිරිසුදු කිරීම, පිළිසකර කිරීම වැනි වැඩකටයුතු සිදුකිරීම චීනයේද සිදුවෙයි. අලුත් අවුරුද්ද එළැඹෙන දිනට පෙරදා රාත්‍රියේ පවුලේ සියලු දෙනා එක්ව ආහාර ගැනීමද කලක පටන් පැවැත එන සිරිතකි. එසේම සෑම වසරක්ම සාම්ප්‍රදායිකව සත්ත්වයෙකුට වෙන්කර තිබීමද දැකගත හැකිය. මීයා, ගවයා, කොටියා, හාවා, මකරා, සර්පයා, අශ්වයා, එළුවා, වඳුරා, කුකුළා, බල්ලා සහ ඌරා ලෙස මේ සතුන් වෙන්කර තිබේ. සෑම වසර 12කට වරක්ම එක් සතෙකුට අයත් වර්ෂයක් පැමිණෙයි. මේ ගෙවී යන්නේ කුකුළාගේ වර්ෂය වන අතර, එළැඹෙන්නේ බල්ලාගේ වර්ෂයයි. චීන ජ්‍යෝතිෂ්‍යයට අනුව මෙම වර්ෂවල උපන් පුද්ගලයන්ගේ ලක්‍ෂණ පැවසීමද සම්ප්‍රදායකි. 

ගවයා, අශ්වයා, එළුවා, කුකුළා, ඌරා සහ බල්ලා යන ගෘහාශ්‍රිත ඇති කරන සතුන් එක කොටසකි. මීයා, කොටියා, හාවා, මකරා, සර්පයා සහ වඳුරා නම් චීන වැසියන් ප්‍රිය කරන සතුන් තවත් කොටසක් වෙයි. මෙම සතුන් %යින්^ සහ %යැන්ග්^ ලෙස කොටස් දෙකකට බෙදා තිබේ. එම බෙදීම සිදු කරන්නේ ඔවුන්ගේ පාදවලට අනුව කොටස් තුනකිනි. 

මෙවර එළැඹෙන බල්ලාගේ වසර චීන වැසියන් සලකන්නේ වාසනාවන්ත වර්ෂයක් ලෙසිනි. ගෘහාශ්‍රිතව ජීවත් වන සත්ත්වයෙකු සහ මිනිසාට ඉතා ලැදි සත්ත්වයෙකු නිසා බල්ලාගේ වසර වාසනාවන්ත වසරක් ලෙස චීන වැසියෝ විශ්වාස කරති. ඔවුන් එසේ විශ්වාස කළද, වඩාත් වැදගත්ම කටයුත්ත වන්නේ ඔවුන් කිසිවිටකත් තමන්ගේ වාසනාව ජ්‍යෝතිෂයට බාරදී පැත්තකට වී නොසිටීමය. චීනයේ මැදිවියේ පසුවන බොහෝ දෙනා මේ අවුරුද්දේද තමන්ගේ දරුවන් රැගෙන ගම්බිම් බලා යන්නේ තම දෙමවුපියන් අසීරුවෙන් ඉහළට ගත් ආර්ථිකයේ ඵල නෙළා ගැනීමට නගරයට ගිය නිසාය. නගරයට ගිය වර්තමානයේ මැදිවියේ පසුවන පිරිස රට දියුණු කිරීමට අවශ්‍ය තරම් සහයෝගය ලබාදී හමාරය. මේ නිසා ඔවුහු දැන් ඉතාම ප්‍රීතියෙන් ගම් බිම් බලා යති, අවුරුදු සමරති. ඒ සඳහා හැකියාවක් චීන වැසියන් ලබා ඇත්තේ කැපවීම නිසාවෙනි. ලෝකය යාකරන ගොඩබිම් සහ මහාමාර්ග නිර්මාණය කිරීමට තරම් ශක්තියක් චීනයට ලැබී තිබෙන්නේ සියලු ජනතාව එකම ඉලක්කයක් කරා ගමන් කළ නිසාවෙනි. 

අප කල්පනා කළ යුත්තේ මෙයයි. සෑම වසරකම අලුත් අවුරුද්දේ අලුත් පැතුම් දරාගෙන අලුත් ගමනක් යෑමට තීරණය කළද, අප සියලු දෙනා ගමන් කරන්නේ පැරණි පාරේමය. ඒ පාර සෞභාග්‍ය කරා යන පාරක් නම් කමක් නැත. චීනයේ සියලු දෙනා අලුත් අවුරුද්දෙන් පසුව ගමන් කරන්නේ සෞභාග්‍යයේ මාර්ගයේය. එය පැරණි මාර්ගයේ වූවාට කමක් නැත. අලුත් උත්තේජනයකින් ඔවුහු නිවැරදි මාර්ගයේ යති. අපි අලුත් උත්තේජනයකින් වැරදි පාරේ යන්නෙමු. අපේ මිත්‍රයෙකු වන චීන දෙස බලා අප ඉගෙන ගත යුත්තේ මෙයයි. එවිට බල්ලාගේ වසර අපටද වාසනාව ගෙන එනු ඇත. 

බල්ලාගේ වසර පිළිගමු සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :