දේශපාලන විඥානය නොමැති ඡන්දදායකයන් තුළින් සාධාරණ දේශපාලන සමාජ දැක්මක් අපේක්‍ෂා කළ නොහැකියි
( ලාල් ජයසුන්දර ) 2018-02-06 12:35:02
Comments - 1       Views - 737

දේශපාලන වෙනසක් පිළිබඳ කතිකාවක් ගොඩනැගුණු මැතිවරණ සමයක් තුළ නිදහස් උත්සවයත්, පළාත් පාලන මැතිවරණයක් යෙදී ඇත. මේ වන විට ජනතාව තුළ ලබාගත් නිදහස වෙනුවෙන් පවතින සංවාදය එකකි. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් මහජන නියෝජිතයන් පත්කර ගැනීමේ අර්බුදය තවත් කතාබහකි. මේ ඒ සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ කථිකාචාර්ය සමින්ද ඥානරත්න මහතා සමග 'අද' කළ සංවාදයකි.


1

Q දේශපාලන වෙනස සහ අවශ්‍යතා උදෙසා සඳහා ගත වූ කාලය තුළ උගතුන්ගේ කාර්යභාරය කෙබඳුවීද? මෙහිලා ගත වූ නිදහස් සමරුව ඇසුරෙන් ප්‍රවේශයක් ගත්තොත්?

ගෙවීගිය කාලය තුළ අධ්‍යාපනය වශයෙන් ගත්තොත් ඉහළම සාමර්ථවලින් සමත් අය ශිෂ්‍යත්ව ලබා එයින් ගන්නා වරප්‍රසාද මත ඒ රටවල පුරවැසියන් බවට පත්වෙනවා. අපේ නිදහස් අධ්‍යාපනය ඔවුන් ප්‍රයෝජනයට ගන්නේ ඔවුන්ගේ එම අවශ්‍යතාව ඉටුකර ගැනීමට විනා තමන්ට නිදහස් අධ්‍යාපනය ලබාදුන් රටේ ජනතාවගේ මූලික අවශ්‍යතා වෙනුවෙන් නොවෙයි.

ඔවුන් ලංකාවට පැමිණි පසුද ඒ රටවල මානසිකත්වයෙන් සිතීමට පුරුදු වෙනවා. ඔවුන් සිතන්නේ එක්වරම ලංකාවද තමන්ගේ අවශ්‍යතා අනුව තමන් උගත් දේ ලංකාවට ලබාදිය හැකියි යනුවෙන්. එසේ වන විට ලංකාවද එම මට්ටමට ගැනීමට ඔවුන් ගන්නා උත්සාහය පිළිබඳ ප්‍රශ්න ගණනාවක් තිබෙන බව පැහැදිලියි. 

දැනට සිටින උගත් පිරිස  අතරින් සමාජයට එම කාර්යභාරය ඉටු නොවන්නේ නම්, එතැන ප්‍රශ්නයක්. නමුත් එම පිරිස කොතැන සිටින්නේ දැයි තේරුම්ගත නොහැකියි. තවත් අතකින් ශ්‍රී ලංකාවේ ජනතාව කුමන ආකාරයෙන්   සිතනවාද යන ප්‍රශ්නයත් තියෙනවා. මේ සමාජ ක්‍රමය මුල සිට වෙනස් කිරීමට නම් ශ්‍රී ලංකාවේ ක්‍රමය කුමක්ද යන්න යටතේ සිතිය යුතුයි.

දූෂණය වංචාව සහ පෞද්ගලිකත්වය පමණක් දකින ආත්මාර්තකාමී  ක්‍රමයකට අනුබල දෙන හොර තක්කඩි තෝරාගන්නා තැනට සාම්ප්‍රදායික දේශපාලන මානසිකත්වයක් සමාජය තුළ නිර්මාණය වී තිබීම මෙයට මූලික පදනම වී තිබෙනවා.

Q එසේ නම් පවතින දේශපාලන ක්‍රමය තුළ කැපුවත් කොළ, නිල්, රතු මානසිකත්වය තුළ රටේ දේශපාලන ගමන කෙබඳු විය හැකිද?

සර්වජන ඡන්ද බලය තුළ තමන්ට කැමැති දර්ශනයක් දැරිය හැකියි. පවුල තුළ තාත්තාගේ පක්‍ෂය දරුවාගේත්, පවුලේත්, පරම්පරාවලත්  පක්‍ෂය බවට පත්ව තිබෙනවා. මේ ස්වභාවය ආරෝපිත සහ භාවිත වශයෙන් දැක්වීමට මම කැමැතියි. උපතින්ම ලබන දේ ආරෝපිත යනුවෙන් දැක්විය හැකියි. ඒ ජාතිය, ආගම, කුලය වැනි දේ. භාවිත වශයෙන් අප ලබන අත්දැකීම් දැනුම, ආකල්ප ආදියයි.

Q කිනම් තර්ක පැවතියත් දේශපාලනය හමුවේ එහි විනිවිදබව හෝ ජනතාවගේ විශ්වාසය බිඳී ඇතැයි චෝදනාවක් තියෙනවා. ඒ ඇයි?

අද වන විට ජාතික දේශපාලනය පරම්පරාවෙන් පරම්පරාවට යොදා ගන්නා, බෙදා ගන්නා ස්වභාවයකට පත්ව තිබෙනවා. තවම අප සිතන්නේ පරම්පරාවේ දේශපාලනය අනුවයි. අපිත් අපේ පරම්පරාවෙන් ලද පක්‍ෂයට ඡන්දය දෙනවා. ඡන්දය ඉල්ලන අයත් තමන්ගේ පරම්පරාව අනුව පෝස්ටරයේ සිට සීයා, පුතා, දුව, මුණුපුරා දක්වා ප්‍රදර්ශනය වෙනවා.

එහෙම නැත්නම් ජනතාව ප්‍රභූ පැලැන්තියේ අතකොළු බවට පත්වෙලා. ඒ කියන්නෙ තමන්ට නිදහස් ඡන්ද බලය ඇතත් තවමත් ඔවුන් තමන්ගේ ඡන්දය තීරණය කරන්නේ රට ජාතිය වෙනුවෙන් නෙවෙයි. ඒ වෙනුවට තමන් අතකොළුවක්ව ඇති ප්‍රභූ පන්තිය හෝ වෙනත් දේශපාලකයෙකුගේ අවශ්‍යතාව අනුවයි. 

Q එහෙම වෙන්නේ ඇයි?

ලංකාවේ ගොඩනැගුණු සමානුපාතික ඡන්ද ක්‍රමය තුළ මේ දේ ව්‍යාප්ත වුණා. සරල බහුතර ක්‍රමය යටතේ මෙබඳු ප්‍රවණතාවකට ඇති ඉඩකඩ ඉතාම අඩුයි. ගමේ සාමාන්‍ය පුද්ගලයාට සමානුපාතික මැතිවරණ ක්‍රමය තුළ මුදල් වියදම් කළ නොහැකියි. එතැනදී ජනතාව දැනුවත්ව සිටීම හෝ අතමිට මුදල් සහ බලයත් ජනප්‍රියතාවත් ඇති අය ඉදිරියට ගියා. ඒක සාමාන්‍ය දෙයක්. සල්ලි නැති අය කොහොමහරි බලයට පත්වුණා කියමුකෝ.

ඒ අය කරන්නේ බලයට පත්වූ විගස එතැන් පටන් තමන්ට වියදම් කිරීමට සිදු වූ මුදල් සොයා ගැනීමට සොරකම් කරනවා. තමන්ට හිතවත්කම් දැක්වූ අයට  සලකන්න වැඩි කාලයක් ගන්නවා. වංචාව, දූෂණය ස්ථාපිත වෙනවා. ඒ විතරක් නෙවෙයි. එතැන් පටන් ළිං කටින් වැටුණු මිනිසා එතැනින්ම ගොඩආ යුතුයි කියනවා වගේ ඊළඟ මැතිවරණය වෙනුවෙන් වියදම් කිරීමට හොරකම් කරමින් ධනය රැස්කර ගන්නවා.

මැතිවරණයකට මුහුණ දෙන අපේක්‍ෂකයෙකුට සල්ලි නැතිව ඡන්දය දිනන්න බැහැ. රට ඒ තැනට පත්වෙලා. මේ වන විට ඡන්දය ඉල්ලන්නේ සල්ලිකාරයන් හෝ ධනවතුන් හෝ බලවතුන්. අන්න ඒ අය සමග ගැටෙන්න නම් ඉදිරිපත් වන කාටත් සල්ලි තිබිය යුතුයි. හැමදෙනාම තරගයට වියදම් කරනවා. එතැන දූෂණය තව තවත් මුල් බැස ගන්නවා. එනිසාම හොඳ මිනිස්සුත් දේශපාලනයට ගියාට පස්සෙ නරක් වුණා. ප්‍රභූ පන්තියත් තවදුරටත් තමන්ගේ අවශ්‍යතාව වෙනුවෙන් සියල්ල පවත්වා ගෙන ගියා.

Q ජනතාව එතැනට යොමුවුණේ කොහොමද?

එතැනදී මම දකින දේ ජනතාවගේ දේශපාලන විඥානය කොතැනද කියන එකයි. ඒ අනුව මේ රටේ දේශපාලනය ගැන තවත් පැත්තක් හිතන්න වෙනවා. එක උදාහරණයක් කියන්නම්. රටේ මැතිවරණ ප්‍රතිඵලයේ අවසාන තීරකයා ලෙස ජනතාව දකින්නේ පාවෙන ඡන්ද බවට මතයක් තියෙනවා. ඒ පාවෙන ඡන්දවලට දේශපාලන විඥානයක් තියෙනවාද කියන ප්‍රශ්නය තියෙන්නේ එතැනයි. විශේෂයෙන්ම අපේ රටේ බහුතරයක් තරුණ පරපුර සහ සමාජ මාධ්‍ය එයට වගකිව යුතුයි.

Q මේ කරුණට අදාළව සමාජ මාධ්‍ය පිළිබඳ ඔබට චෝදනාවක් තිබෙනවාද?

පවතින සමාජ මාධ්‍ය හරහා ලැබෙන දේ සියල්ල නිවැරදි නැහැ. නමුත් ඒ සියල්ල දෙස බලා සිටින තරුණ පරපුර ඒ හැම දෙයක්ම නිවැරදි යැයි තීන්දුවක සිට තීරණ ගන්නවා. එතැන භයානකයි. මම ඒකයි අර විඥානය ගැන කිව්වේ.

Q එහෙමනම් පාවෙන ඡන්ද සාර්ථක මැදිහත්වීමක් නෙවෙයිද?

සැබෑ ඇත්ත, නැත්ත ගැන තීරණය කිරීම පිළිබඳ ඔවුන් කෙරෙහි යම් අර්බුදයක් පවතිනවා. ගත වූ මැතිවරණය තුළ පවා තරුණ ඡන්ද ලක්‍ෂ 10ක් පමණ මෙසේ පාවෙන ගොඩට එක්ව තීරණ ගත්තා කියන එකයි මගේ අදහස. මේ තරුණ පරපුර තුළ තමන්ගේ සැබෑ දේශපාලන කාර්යය කුමක්ද යන ප්‍රශ්නය සම්බන්ධයෙන් කිසිම සංවාදයක් මතුවන්නේ නැහැ. ඒකයි මම කිව්වේ විඥානය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා කියලා.

Q මැතිවරණවලදී විනිවිදබවක් සහිත සැබෑ දේශපාලන දැක්මක් ඇති පක්‍ෂ පරදින්නේ ඇයි?

අපි උදාහරණයකට 'X' කියන පක්‍ෂය ගනිමු. ජනතාව බහුතරයක් එයට කැමැතියි. නමුත් ප්‍රතිඵල නිකුත් කෙරෙන විට ඒ අයට අපේක්‍ෂිත තරම් ඡන්ද ලැබිලා නැහැ. ඡන්දදායකයා හිතනවා මේ අයට බලයට එන්න බැහැ. ජනතාව ඒ අය කියන දේට කැමැති වුණාට, ඒ සංකල්පවලට ගරු කළාට කවදාවත් මැතිවරණයකදී මනාප ගන්න බැහැ. එනිසා මගේ ඡන්දය ඒ අයට දීලා නාස්ති කරගන්න බැහැ කියන මතයේ ජනතාව ඉන්නවා. ඒ අය කෙතරම් ප්‍රතිපත්තිගරුක වුණත් අන්තිමට ඡන්ද ප්‍රතිඵලය වෙනස් වෙන්නේ ඒ නිසයි.

Q කාලීන සංවාද හරහා මෙය වෙනස් කළ නොහැකිද?

ජනතා සංවාද සහ දේශපාලන සම්මන්ත්‍රණ නිතර පවත්වනවා නම් හොඳයි. ඒත් ප්‍රශ්නය එතැන නෙවෙයි. සල්ලි තියෙන පක්‍ෂ පවත්වන එවැනි සංවාද සඳහා සහභාගි වන අයට කෑමබීම සහ අතට මුදල්ද ලැබෙන නිසා අපේක්‍ෂා කළ පමණටත් වඩා ඒවාට එනවා. ඒත් මුදල් නැති පක්‍ෂවලට ඒ දේ කරන්න බැහැ. ඔවුන් ළඟ තිබෙන්නෙ මතය පමණයි.

මම දැක්කා පසුගිය දවසක එක්තරා පක්‍ෂයක සම්මන්ත්‍රණයක්. එයට සහභාගි වී සිටියේ ලංකාවෙන්ම හැටක් පමණ පිරිසක්. ඒ පිරිස දිස්ත්‍රික්ක විසි ගණනකට බෙදෙන විට එක් දිස්ත්‍රික්කයකින් දෙතුන් දෙනෙක් වෙන්නත් පුළුවන්. ඉතින් එවැනි අය එක් මැතිවරණ බලප්‍රදේශයකින් පමණක් නම් යම් වෙනසක් ගැන අපේක්‍ෂා කරන්න පුළුවන්. නමුත් මේ සමස්ත ලංකාවෙන් නම්?

Untitled-1 copy

Q සැබැවින්ම ජනතාව තමන්ගේ ඡන්දයේ නිසි වටිනාකම නොදන්නේද? නොදන්නේ නම්, දැනුවත් කිරීම සඳහා මැදිහත් විය යුත්තේ කවුද?

ජනතාව තම ඡන්දයේ වටිනාකම නොදන්නවා නෙවෙයි. හොඳට දන්නවා. නමුත් රැල්ලට අනුව මිස දේශපාලන විඥානය අනුව නොවෙයි. එනිසා ඡන්දදායකයා තුළ දේශපාලන විඥානය ගොඩ නැංවිය යුතුයි. මේ තත්ත්වය තුළ ජනතාවගේ යහපත් ආකල්ප, මානසික පසුබිම සහ විඥානය ගොඩනැංවීම වෙනුවෙන් විශාල මැදිහත්වීමක් කළ යුතු වෙනවා. එහිලා රාජ්‍ය සේවයත්, උගතුන් බුද්ධිමතුන් අවංක දේශපාලකයන්, විශ්වවිද්‍යාල ඇඳුරන් වැනි අය මූලික විය යුතුයි. එසේ නොවී මේ අවාසනාවන්ත තත්ත්වය 
ගොඩ ගැනීම අමාරුයි. ඒ අය මේ අවශ්‍යතාව තේරුම්ගෙන පූර්වාදර්ශ සැපයිය යුතුයි. ජනතාවටත් මේ දේ සියුම් හැදෑරීමේ වගකීම තියෙනවා.

Q බලය සහ අයිතිවාසිකම් පිළිබඳ දේශපාලන අර්බුදයක් නිර්මාණය වී තිබුණද, එහිලා ජනතාව අවබෝධයෙන් කටයුතු නොකරන්නේ ඇයි?

ලංකාවේ බහුතර ජනතාව දේශීයත්වය ගරු කරනවා. ඒ බලය බිඳිය නොහැකියි. ඒ විතරක් නොවෙයි. ලංකාවේ වතුකරයේ ඡන්ද ගැන හිතන්න. ඔවුන්ට ස්ථිර දේශපාලන පක්‍ෂයක් නැහැ. නමුත් එතැන තියෙන්නේ තමන්ගේ දේශපාලන බලය වෙනුවෙන් ඒ ඒ මැතිවරණ ඉලක්ක කර ගනිමින් ඡන්දය පාවිච්චි කිරීමයි. අයිතිවාසිකම් ගැන නොහිතනවා නෙවෙයි. ඒත් බලය ලද පසු නියෝජිතයන්ට ජනතා අයිතිවාසිකම් අමතක වන බවයි පෙනෙන්නේ. ජනතාවත් ලැබෙන දේ තමන්ගේ අයිතිය හැටියට පිළිගන්න සූදානම්.

Q ජනතාව තම බලය වෙනුවෙන් ගොනුවීම වරදක්ද?

මම ඒ ක්‍රමය යම් හරි කියන තැනත් දකිනවා. මොකද දේශපාලන විඥානය නැති වුණත් තමන්ගේ බලය වෙනුවෙන් ගොනුවීම එතැන භාවිත වෙනවා. එතැනදී ඔවුන් තමන්ගේ අහිමි වී ගිය අවස්ථාවන් දිනා ගැනීම වෙනුවෙන් ඒ බලය යොදා ගන්නවා නම් සාර්ථකයි. එහෙත් එතැන තියෙන අවාසනාව එයින් යම් කූට දේශපාලකයන් තමන්ගේ අවශ්‍යතා ඉටුකර ගන්නවා නම්, ආයෙත් අර විඥානයක් නැති තැනට ඔවුන් යටවෙලා අවසානයි.

එතැනදී දේශපාලකයා විසින් ජනතාව තමන්ගේ බලය වෙනුවෙන් පාවිච්චි කරනවා. ජනතාව තමන්ගේ අයිතිය වෙනුවෙන් දේශපාලකයා භාවිත කර ගන්නේ නැහැ.ජනතාව වෙනසකට සූදානම් කරවීම වැදගත්. ඒ වෙනස හෙවත් පරිවර්තනය විඥානික විය යුතුයි. එතැනදී ඒ හඬ වෙනුවෙන් ගොඩනගන කාර්යභාරය ඉතා පැහැදිලි විය යුතුයි.

Q ඔබ විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකු හැටියට යෞවනයේ දේශපාලන නැඹුරුව කෙබඳු ආකාරයෙන් දකිනවාද?

අද යෞවනය මුහුණුපොතේ අන්තර්ජාලය තුළ ඉන්නේ. ඕනෑම වෙලාවක බැලුවොත් 75%ක් නිතරම අන්තර්ජාලයේ රැඳිලා. 
කෙටි ක්‍රමවලින් නිරවද්‍යතාව තහවුරු නොවූ විශ්වාසනීයත්වය සනාථ කළ නොහැකි මාර්ගවලින් ලබාගත් දැනුම ඔවුන්ට තියෙන්නෙ. එය යහපත් මානසිකත්වයක්, ඵලදායී දේශපාලන පසුබිමක් වගේම මැතිවරණ තුළ වුවත්, වඩා නිවැරදි තීරණයකට පත්ව ඡන්දය පාවිච්චි කිරීමට ඇති අවස්ථාව අහිමි කරලා. ඉතින් කොහොමද යෞවනය දේශපාලන නායකත්වයට යොමු කරවන්නේ? තරුණ පරපුර නිතරම අන්තර්ජලායේ ඔන්ලයින් මානසිකත්වයක ඉන්නෙ.

Qඅපේ පාසල් සමයේ අපි දේශපාලන රැස්වීම් සම්මන්ත්‍රණ සඳහා පක්‍ෂ, පාට භේදයකින් තොරව සහභාගි වී ඒවා නිරීක්‍ෂණය කළා. අද ළමයින් තුළ එවැනි දෙයක් දකින්න නැහැ. ඒ ඇයි?

මෙහෙමයි. අද තරගකාරී අධ්‍යාපනය තුළ ළමයාගෙන් මේ හැම දෙයක්ම ඈත්වෙලා කියනවා. එහෙම නම් ඔබ අහපු විදියට අපි පාසල් ගිය දවස්වල අපි දේශපාලන රැස්වීම් බලන්න ගෙදරින් යැවුවේ නැහැ. ඒත් අපි කැමැත්තෙන් ගියා. ඒ අය කියන දේ තාර්කිකව විමසුමට ලක්කළා. එතැනදී අපට අපේ හෘදසාක්‍ෂියත් සමග විශ්වාසවන්ත ලෙස අපට ඇහෙන දේ අනුව අපි විමර්ශනය කළා. අපටත් මතයක් සඳහා අවස්ථාව ලැබුණා.

අද එහෙම සන්නිවේදනයක් සඳහා අවස්ථාව නැහැ. අන්තර්ජාලයට රිංගලා එතැන තිබුණා නම් හරි වුණත් හරි, වැරදි දෙයක් වුණත් හරි ඉතින් කොහොමද තරුණ පරපුර තුළ දේශපාලන විඥානය ගොඩ නැගෙන්නෙ. අද ඒකෙ තවත් පැත්තක් තියෙනවා. ගෙදරින් ඔය කියන අනුබලය දැන් ලැබෙනවාද? දෙතුන් දෙනෙකුට යෑමට වුවමනාව තිබුණත් යම් දේශපාලන රැස්වීමකට ගියා කිව්වා නම් ගෙදරින් කියන්නෙ ස්කූල් කට් කළා හෝ ටියුෂන් කට් කළා හෝ අධ්‍යාපන වගකීම අමතක කර මොන කෙහෙම්මල් දේශපාලනයක්ද කියලා.

Q එහෙම නම් ඔබ යෝජනා කරන්නේ?

එහෙම නම් පවුල තුළ හෝ මේ සංවාදය නැහැ. නමුත් කවුරුත් මැතිවරණයට පස්සේ අපි හොරුන්ට ඡන්දය නොදුන්නත්  හොරු පත්වෙලා හෝ රට යන අතගැන සැහීමකට පත්වෙන්න බෑ හෝ ආණ්ඩු වෙනස්කම් ගැන කතා කරනවා. කෝ විඥානයට ඉඩක්?
මම කියන්නෙ තරුණයා බුද්ධිමත්ව දේශපාලන සංවාද සඳහා මෙයට වඩා වැඩි උනන්දුවකින් දායක විය යුතුයි.

ජනතාව වශයෙන් බුද්ධිමත්ව තමන් වෙනුවෙන් ගන්නා තීරණය කතිරය තුළ පවතින බව සිතිය යුතුයි. ඡන්දය තුළ කැපුවත් නිල්, කොළ, රතු හෝ ජනප්‍රිය සaාධකය නොව මගේ වගකීම කුමක්දැයි යනුවෙන් තීරණය කරන තුරු හැමදාමත්  මේ ක්‍රමය මේ විදිහට ගලාගෙන යයි. පළාත් පාලන ආයතනවල ව්‍යුහය වෙනස් කළාට වැඩක් නැහැ, ජනතාවගේ ආකල්ප සහ පත්කර ගන්නා අය කටයුතු කළ යුතු ක්‍රමය වෙනස් කරන්නේ නැතිව. මැතිවරණය හරහා එතැනට බලපෑම් කළ යුතුයි.

එතැනදී තරුණ පරපුර මෙයට වඩා දේශපාලන ක්‍රියාකාරිකයන් බවට සහ ඡන්දදායකයාගේ විඥානය අවදි කර වීමට කටයුතු කළ යුතුයි. මෙවර පළාත් පාලන මැතිවරණය තුළ පවතින අභියෝග සහ තරගය එයට හොඳ අවස්ථාවක් වෙයි.

දේශපාලන විඥානය නොමැති ඡන්දදායකයන් තුළින් සාධාරණ දේශපාලන සමාජ දැක්මක් අපේක්‍ෂා කළ නොහැකියි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (1)
Posted by Nihal G. on (2018-02-11 17:22:09)

Thank you and absolutely , you are right. You have mentioned the correct picture of the voters mentality and We have the present results.Time has come to open the eyes of the whole population for the sake of the country' s future.There is a solution , We have to seek for it. Its better late than never. God bless Sri Lanka.

Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :