ඔ‍ෙබි ස්මාට්ෆෝනයෙන් ඇන්ඩ්‍රොයිඩ් ලැප්ටොප් උපාංගයක් බලගන්වන්න Project Linda
( පැතුම් පුංචිහේවා ) 2018-01-25 11:32:48
Comments - 0       Views - 1328

razer-project-linda-1

ස්මාට්ෆෝන් උපාංගයන්හි ශීඝ්‍ර පරිණාමයේදී නිෂ්පාදකයන් සැලකිලිමත් වන එක් කාරණයක් වන්නේ ස්මාට්ෆෝනයේ පරිගණක බලය වඩාත් වැඩි කිරීමයි. මේ වනවිට ඇති සාමාන්‍ය ස්මාට්ෆෝනයක් පවා පැරණි ලැප්ටොප් උපාංගයකට වඩා බලසම්පන්න වේ. මේ අතරවාරයේදී Razer වැනි නව ස්මාට්ෆෝන් උපාංග නිෂ්පාදකයන් මෙම සීමාව තවදුරටත් එපිටට ගෙනයෑමට උත්සාහ කරයි. මෙහිදී එක් මොහොතකදී පැන නගිනා ගැටලුවක් වන්නේ, ප්‍රබල ස්මාට්ෆෝනයක් භාවිත කරන අතරවාරයේදී ලැප්ටොප් උපාංගයක් අවශ්‍යද යන්නයි. මෙයට පිළිතුර තරමක් සංකීර්ණ වේ. ලැප්ටොප් උපාංගයකින් සිදුකරනා ආකාරයේ වැඩකටයුතු ස්මාට්ෆෝනයකින් සිදුකරගැනීම උගහට වේ. එසේ වුවත් පරිගණක බලය අතින් ගත් විට ස්මාට්ෆෝනයකට ලැප්ටොප් උපාංගයක වැඩකටයුතු සිදුකළ හැකි දෘඪාංග හා මෘදුකාංග හැකියාවන් තිබේ නම්, එය අපතේ හැරීමද අර්ථ විරහිත වේ. මේ සඳහා ඇති කදිම විකල්පයක් වන්නේ ස්මාට්ෆෝනයේ පරිගණක බලය භාවිත කළ හැකි ලැප්ටොප් හෝ ඩෙක්ස්ටොප් උපාංග නිර්මාණය කිරීමයි. සැබවින්ම මෙවැනි ප්‍රයත්නයන් ආගන්තුකද නොවේ. 
මෑතකදී කරළියට පැමිණි Razer ස්මාට්ෆෝනය කෙතරම් ප්‍රබල දෘඪාංග සැකසුම්වලින් සමන්විතද යන්න අමුතුවෙන් කිව යුතු නොවේ. දැන් නිෂ්පාදකයන්ගේ උත්සාහය වන්නේ Razer ස්මාට්ෆෝනයේ මෙම පරිගණක බලය ඔස්සේ ජවගැන්විය හැකි ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය පදනම් කොටගත් ලැප්ටොප් උපාංගයක් නිර්මාණය කිරීමයි. මෙය Project Linda යනුවෙන් හැඳින්වේ.

මෙහිදී පරිගණක බලයකින් තොර ඩමි ලැප්ටොප් ටර්මිනලයක් හඳුන්වා දී ඇති අතර, එය Razer ස්මාට්ෆෝනයේ පරිගණක බලය මගින් ජවගැන්වේ. මෙහි සම්පූර්ණ ලැප්ටොප් උපාංගයක ආකාරයේ යතුරු පුවරුවක් සහිත සැකැස්මක් සහ විශාල තිරයක් තිබෙනා බැවින්, ඔබට සාමාන්‍ය ලැප්ටොප් උපාංගයක් හා කටයුතු කරනවාට වඩා වෙනසක් නොදැනෙනු ඇත. එසේම මෙය custom desktop ආකාරයට ලැප්ටොප් උපාංගය බලගැන්වීම සඳහා ක්‍රියාත්මක වීමේදී එහි අතුරු මුහුණත වෙනස් වන අතර, ඔබට සාමාන්‍ය ආකාරයේ ටාස්ක් බාර් එකක් සහ ඩෙක්ස්ටොප් එකක් සහිත හුරුපුරුදු අතුරු මුහුණතක් සමගින් කටයුතු කිරීමට අවකාශය ලැබෙනු ඇත.

මෙම ලැප්ටොප් ටර්මිනලයේ ට්‍රැක් පෑඩ් එක තිබිය යුතු තැන ඇත්තේ ඔබේ Razer ස්මාට්ෆෝනය තැන්පත් කළ යුතු ඩොකින්ග් ඒරියා එකයි. මෙසේ ස්මාට්ෆෝනය එහි තැන්පත් කර ලැප්ටොප් උපාංගය බලගැන්වූ පසුව ස්මාට්ෆෝනය දෙවන තිරයක් ලෙසින් මෙන්ම ස්පර්ශක තිර ට්‍රැක් පෑඩ් එකක් ලෙසින්ද ක්‍රියාත්මක වීම මෙහි ඇති සුවිශේෂීත්වයයි. මේ හරහා ඔබට ට්‍රැක් පෑඩ් එකක් ලෙසින් මෙන්ම ස්පර්ශක තිරයක් ලෙසින්ද භාවිත කරමින් ලැප්ටොප් උපාංගය මෙහෙයවීමට හැකියාව ඇත.
ස්මාට්ෆෝනය හා සම්බන්ධ වන ලැප්ටොප් ටර්මිනලයේ තිරය අඟල් 13.3ක් වන quad-HD (2560 x 1440 pixels) touchscreen එකක් වන අතර, Razer ස්මාට්ෆෝනයේ ඇති බලය සමගින් ඔබට පරිගණක ක්‍රීඩා සඳහා පවා මනා සහයෝගයක් සපයනු ඇත. මේ හා සම්පූර්ණ ප්‍රමාණයේ යතුරු පුවරුවක් තිබෙන අතර, එහි ඔබට අවශ්‍ය ලෙසින් යතුරු සැකසුම් කිරීමේ හැකියාවද ඇත. මෙය සම්පූර්ණ ගේමින්ග් ලැප්ටොප් උපාංගයක් ලෙසින් හැඟී යන්නට හේතුව වන්නේ Razer Chroma backlighting තාක්ෂණයද මේ සමගින් පැමිණීම නිසාවෙනි. ප්‍රධාන වශයෙන්ම Razer යනු ගේමින්ග් පරිගණක සැලසුම් කරන්නන් බව මෙහිදී අමතක කළ යුතු නොවේ.

razer-project-linda-3

ඔබට මෙය හැසිරවීම සඳහා ප්‍රධාන ස්පර්ශක තිරය මෙන්ම ඩොකින්ග් ඒරියා එකේ ඇති Razer ස්මාට්ෆෝනයේ ස්පර්ශක තිරයද භාවිත කළ හැකි නමුත්, අවශ්‍ය නම් මවුස් උපාංගයක්ද ඊට සම්බන්ධ කරගත හැකිය.
මෙහි ඉදිරිපස ස්පීකර් දෙකක පද්ධතියක් මගින් පරිගණක ක්‍රීඩා සඳහා පවා ගැළපෙන ආකාරයේ ශ්‍රව්‍ය ප්‍රතිදානයක් ලබාදෙනු ඇත. එසේම මෙම ලැප්ටොප් ටර්මිනලයේ ඇති බැටරිය පවර් බෑන්ක් එකක් ලෙසින්ද ක්‍රියාත්මක වෙමින්, ඔබේ Razer ස්මාට්ෆෝනය මේ හා සම්බන්ධ කළ මොහොතේ සිට ස්වයංක්‍රීයව එය ආරෝපණය කිරීම අරඹනු ඇත. අවශ්‍ය නම් ලැප්ටොප් ටර්මිනලයේ ඇති USB-A සහ USB-C පෝට් ද්විත්වය හරහාද බාහිර උපාංගයන් ඊට සම්බන්ධ කොට ආරෝපණය කරගත හැක.
මෙම ලැප්ටොප් ටර්මිනලයේ 720p ගුණාත්මකභාවයෙන් දසුන් ග්‍රහණය කරගත හැකි වෙබ් කැම් එකක් ස්ථාපනය කර තිබෙනා අතර, ගිගාබයිට් 200ක අමතර අභ්‍යන්තර මතක ධාරිතාවක්ද තිබේ. එසේම මෙහි ස්ථාපනය කළ මයික්‍රෆෝනයක්ද තිබෙනා අතර, හෙඩ්ෆෝන් යුගලක් සම්බන්ධ කිරීම සඳහා 3.5mm ජැක් එකක්ද තිබේ. 

මෙම ලැප්ටොප් ටර්මිනලයේ නිමාවද අති නවීන ලැප්ටොප් උපාංගයක මෙන් සැහැල්ලු සිහින් ආකාරයක් ගනී. මෙය අඟල් 0.6ක රාමුවක් මත සැහැල්ලු CNC Aluminium වලින් නිමාවූ බඳකින් සමන්විත වේ.
Razer සමාගම මගින් මෙය මූලික ආදර්ශ උපාංගයක් ලෙසින් එළිදැක්වූ අතර, බොහෝ දෙනෙකුට පැන නගිනා ගැටලුව වන්නේ මෙය වෙළෙඳ පොළට එනු ඇත්තේ කෙදිනකද යන්න පිළිබඳවයි. ඒ සම්බන්ධයෙන් හෝ මෙය සැබවින්ම නුදුරු අනාගතයේදී වාණිජ වශයෙන් නිෂ්පාදනය කරන්නේද යන්න සම්බන්ධයෙන් හෝ Razer සමාගම නිල වශයෙන් ප්‍රකාශ කොට නැතත්, ඔවුන්ගේ Razer ස්මාට්ෆෝනය ලබාගත් ප්‍රසිද්ධියද සමගින් මෙම Project Linda ලැප්ටොප් ටර්මිනලයද ඉක්මනින්ම වෙළෙඳ පොළට හඳුන්වා දීමට ඔවුන් කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු තබාගැනීමට හැකිය.

 

ඔ‍ෙබි ස්මාට්ෆෝනයෙන් ඇන්ඩ්‍රොයිඩ් ලැප්ටොප් උපාංගයක් බලගන්වන්න Project Linda සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :