මේ ප්‍රදේශයේ මිනිසුන් නැවත පදිංචි කිරීම රජයේ වගකීමක්
( . . ) 2018-01-24 09:57:49
Comments - 0       Views - 775

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පිහිටි වෙල්ගම්වෙහෙර දේශීය හා විදේශීය දෙමළ බෞද්ධයන් විසින් නඩත්තු කරන ලද පුදබිමකි. පොළොන්නරු යුගයේදී 'මානවත්තුපුර' ලෙස හැඳින්වූ මෙම ප්‍රදේශවාසීන්ට පසුගිය යුද සමයේදී අමිහිරි අත්දැකීම්වලට මුහුණ දෙන්නට සිදුවිය. මේ වන විට වෙල්ගම් විහාරයේ විහාරාධිපති ලෙස කටයුතු කරන පූජ්‍ය අම්පිටියේ සීලවංස තිස්ස හිමියෝ අප සමග මෙලෙස අදහස් දැක්වූහ. 


_MBD0435

Q මේ වෙල්ගම් විහාරය ගැන ඔබ වහන්සේ සඳහනක් කළොත්

අනුරාධපුරය ශ්‍රී මහා බෝධිය රෝපණය කළ පසුව දේවානම්පියතිස්ස රජ්ජුරුවන් මෙම ස්ථානයේ බෝධියක් රෝපණය කර මේ පන්සල ආරම්භ කර තිබෙනවා. පසු කාලයක භාතිය, චන්ද්‍රබෝති, විජයබා, ධාතුසේන වැනි රජවරුවන් මෙය වැඩිදියුණු කර තිබෙනවා. ඊටත් පසු කාලයේදී රාජේන්ද්‍ර කියන සොළී රජ්ජුරුන් මේ පන්සලට පුදපූජා පවත්වා තිබෙනවා. පසුව මෙය සොළී ආක්‍රමණවලින් විනාශ වී තිබෙනවා. ඒ විනාශ වූ පසු වසර දහස් ගණනක් මෙය වනයෙන් වැසී තිබෙනවා. එක්දහස් නවසිය හතළිස් ගණන් වන විට අපේ නායක හිමියන් වන අපවත්වී වදාළ මාදුවේ රතනවංස තිස්සාභිධාන ස්වාමීන් වහන්සේ පැමිණ නටබුන් ලෙස තිබූ ඓතිහාසික විහාර භූමිය පන්සලක් බවට පත්කර ගන්න මූලිකත්වය ගෙන කටයුතු කළා. එක්දහස්නවසිය අසූ ගණන් වෙද්දි මේ ගමේ පවුල් දෙදහක් පමණ ජීවත් වුණා. මේ හැමදේම ආයෙත් යුද්ධෙන් පසුව නැතිම වෙලා ගියා. යුද්ධය නිසා මේ ප්‍රදේශයේ ගොඩක් දේවල් විනාශ වුණා.
 

Q ඔබවහන්සේ මේ වෙල්ගම් වෙහෙර පන්සලේ වැඩවසන්න ආවේ කොයි කාලයේ වගේද

මම මේ පන්සලට ඇවිත් දැන් අවුරුදු 50කට වැඩියි. 1959 තමයි මේ පන්සලේදී මම පැවිදි දිවියට ඇතුළත් වුණේ. යුද්ධ කාලයේ මුළුමනින්ම මෙහේ තමයි හිටියේ. මම මේ පන්සලට පැමිණෙන කාලයේදී මමයි, අපේ නායක හිමියන් හා තවත් කුඩා හිමිනම තුන්දෙනෙක් පමණ හිටියා. නායක හිමියන් වියපත් වෙලා අපවත් වුණේ එක්දහස් නවසිය අසූගණන්වලදී. අනෙක් හිමිවරුන් මේ පන්සලෙන් ගියා. ඒ වෙද්දි එතරම් දරුණු යුද්ධයක් තිබුණේ නැහැ. පසුව බංකර් හදන් අද ඉවර වෙයි කියලා හිටියා. නමුත් එහෙම වුණේ නැහැ. ඉවර වෙයි  කියලා හිටියා, ඒත් දින දින බොහෝ දෙනෙක් මරණයට පත්වුණා. ඒත් මම පන්සලේ ඉන්න තීරණය කළේ මේ පන්සල ඓතිහාසික සිද්ධස්ථානයක්. එදා මම ඒ තීරණය අරගෙන ඉන්නෙ නැතුව ගියා නම්, අද මේ ගමත්, පන්සලත් නැහැ. ඒ නිසා හමුදාව විශාල කැපකිරීමක් කළා. එය අප අමතක නොකළ යුතු දෙයක්.
 

Q යුද්ධය පැවැති සමයේදී ගමයි පන්සලයි අතර තිබුණු බැඳීම කෙබඳුද

ගමයි පන්සලයි අතර බැඳීමක් ඇති වෙන්න පැවැති යුද්ධය තුළ ඉඩක් තිබුණේ නැහැ. යුද්ධ කාලයේදී මේ ගමේ කිසිම කෙනෙක් හිටියේ නැහැ. යුද්ධය දරුණු වන විට ගමේ හිටපු මිනිසුන් ඔක්කොම ගියා. බොහෝ මිනිසුන් මරණයට පත්වුණා. 1990 දී එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් ගමට ඇවිත් මිනිසුන් කපාකොටා ඝාතනය කළා. අන්තිමට මේ ගමේ ඉතුරු වුණේ මං විතරයි. මම මේ පන්සල දාලා ගියේ නැහැ. හමුදාවේ අයත් එක්ක මම පන්සලට වෙලා හිටියා. යුද්ධය කාලයේදී හබරණින් එහාට ගමනාගමනයක් නැති වුණා. එහේ මෙහේ යන්නත් බෑ පන්සලේ හිටියා. චොපර් එකෙන් ගෙනත් දෙන දෙයක් අරගෙන පන්සලේ හිටියා. ඒ විදියට නොදැනීම අවුරුදු තිහක කාලයක් ගෙවුණා. සාම ගිවිසුම් පැමිණියා. එහෙම වෙද්දි අපි සතුටු වුණා යුද්ධය නිමවෙලා සාමය ඇතිවෙයි කියලා. එහෙත් එහෙම වුණේ නෑ. සාම ගිවිසුම් තිබුණ කාලයේදීත් ඉන්දියන් හමුදාව යටතෙත් අපට ඉන්න සිදුවුණා. ඉන්දියන් හමුදාවේ අයත් මේ පන්සලේ හිටියා. සාම ගිවිසුම් තිබුණ කාලෙත් ගමනාගමනය කරන්න පුළුවන් වටපිටාවක් තිබුණේ නැහැ. එහෙම යනවා නම් ඉන්දියන් හමුදාවත් එක්ක තමයි යන්න සිදුවුණේ. ඒත් කිහිප වාරයක්ම සාම ගිවිසුම් ඇති වුණත් ඒ දේ හරි ගියේ නැහැ. සාම ගිවිසුම් බිඳවැටුණාට පස්සේ අපට  බංකර්වල ඉන්න සිදුවුණා. ඒ කාලය තුළදී තුන් පාරක් මට වෙඩි වැදුණා. එක් අවස්ථාවක පන්සලට ත්‍රස්තවාදී ප්‍රහාර එල්ල වුණා. මගේ බඩ කැපුවා. ඒ කාලයේ හමුදාවේ දරුවන් සියදහස් ගණනක් මේ භූමියේ මැරිලා තිබෙනවා. ඒ හැමදේම අමතක කරලා දැන් නැවත අලුතින් හැමදේම හදාගෙන යනවා.

Q අවුරුදු තිහක කාලය තුළ ඔබවහන්සේ මේ පන්සල තුළද වැඩසිටියේ

පන්සලෙන් එළියට යන ගමන ලැබෙන්නෙ මෙහෙමයි. චොපර් එකේ තමයි ගමන් යන්න සිදුවුණේ. මාස තුන හතරකට වරක් තමයි එක් අයෙකුට ගමන් වාරයක් ලැබෙන්නේ. නිවාඩු නිමව ආපු අය පන්සලේ නවත්තලා තව අය නිවාඩු යනවා. ඒ වාරයකදී අපටත් යන්න පුළුවන්. පසුව කොළඹට ගිහින් ත්‍රිකුණාමලයේ චයිනාබේට ඇවිත්, එහෙමත් නැත්තම් හබරණින් ත්‍රිකුණාමලය කඳවුරට පැමිණෙනවා. ත්‍රිකුණාමලයේ කඳවුරේ චොපර් එකක් නැවත එන දවසක් බලමින් රැඳී ඉන්නවා. කෑමක් නැහැ. එක් අයෙකුට දින දෙකකට පමණ  වේලපු කෑම පැකට් එක්ක ලැබුණේ. එක් අයෙකුට මාසෙටම බඩු මල්ලක් ලැබුණේ. රටඉඳි, බිස්කට්, චීස්, සැමන්ටින් ඒ මල්ල තුළ තිබුණේ. දින විස්සක් හෝ පහළොවක් ඒ දේවල් පිරිමහගන්න සිදුවුණා. යුද්ධය දරුණු වන විට ඒකත් නැතිවුණා. අවසානයේදී චොපර්වලටත් එන්න බැරි කාලයක් ඇතිවුණා. ඒ කාලයේ සහල් එහෙම උඩ සිට අතහරිනවා. එහෙම දැම්මාම සහල් සීසීකඩ විසිවෙලා යනවා. ඒ සහල් එකතු කරගෙන පිස ආහාර ගත්ත අවස්ථාත් තිබුණා. මේ යුද්ධය ගෙයක්වත් ඉතුරු කරලා තිබුණේ නෑ. මහාමාර්ග පවා නැතිවෙලාම ගියා. වනාන්තරයක් බවට පත්වුණා. පන්සල වටේට බංකර් ඉදිවුණා. ඒ බංකර් ඇතුළේ කානු හදාගෙන ඒ තුළත් අපි හිටියා. අවුරුදු තිහක් ගෙවුණා.

Q 2000 වසරේදී ත්‍රස්තවාදීන් විසින් මේ පන්සලට දරුණු ප්‍රහාර එල්ල කරනවා

ඔව්. ත්‍රස්තවාදීන් පන්සල වට කරලා පහර දුන්නා. බොහෝ අය මරණයට පත්වුණා. මාවත් කපලා දැම්මා. පැය දෙකකට පමණ ඔවුන් මේ භූමිය අත්පත් කරගත්තා. හමුදාව මෙතැනට එන්න වෙලාවක් යනවා. ලෙඩ්ඩුන් රෝහලට අරගෙන යනවා. මැරුණු අය මල්ශාලාවට දීලා, තුවාල ලැබූ අය රෝහලට දානවා. 2000 දී අවුරුද්දකට වැඩිය බෙහෙත් කළා. දැන් නම් තත්ත්වය හොඳයි. නමුත් නැවත එයිද කියලා කියන්න බැහැ. මේ වන විටත් බොහෝ කඳවුරු ඉවත් කර තිබෙනවා. එහෙම ඉවත් කරන්න එපා කියලා මම කියන්නෙ.
 

Q යුද්ධය නිමවී මේ වන විට වසර නවයක් පමණ ගතව තිබෙනවා. සාමාන්‍ය ජන ජීවිතය ඔබවහන්සේ දකින්නේ කොහොමද

 
ගමේ ඉන්නේ සිංහල මිනිසුන්. ඔවුන්ට කරන්න රැකියාවක් නැහැ. මේ ගමේ හිටපු මිනිස්සු දැන් පදිංචියට එන්නේ නැහැ. එයට ප්‍රධාන හේතුව මේ ගමේ හිටපු සමහර අය මේ ගම අතහැරලා වෙනත් ප්‍රදේශවල පදිංචියට ගියා. නැවත ඔවුන් පැමිණෙන්නේ නැහැ. සමහර අය මියගිහින්. මේ අවුරුදු තිහක කාලය තුළ ඒ අයගේ දරුවන් වෙන රැකියාවන් කරමින් වෙනත් පළාත්වල පදිංචි වී සිටිනවා. මේ පැමිණ තිබෙන පවුල් හැත්තෑව ගත්තත් ඔවුන්ට ජීවත් වෙන්න පුළුවන් ක්‍රමවේදයක් නැහැ. සිවිල් ආරක්‍ෂකයන් ඉන්නවා. ඉන් පොඩි ආදායමක් ලැබෙනවා. ඒ ආදායමෙන් යැපෙන පවුල් කිහිපයක් ඉන්නවා. අනෙක් අයට නම් කරන්න රැකියාවක් නැහැ. ඉදිරියේදීත් අපි ප්‍රාර්ථනා කරන්නේ මේ රටේ නැවත යුද්ධයක් ඇති නොවේවා කියලා. යුද්ධයෙන් පසුව මහින්ද මහත්තයා මේ ප්‍රදේශයට අවශ්‍ය යටිතල පහසුකම් හදලා දුන්නා. මහාමාර්ග, විදුලිය, ජල ප්‍රශ්නය, ත්‍රිකුණාමලයේ සිටම නළ පද්ධතිය සකසා දුන්නා. අනෙක් ගොඩනැගිලි දානපතියන්ගේ ආධාරයෙන් ගොඩනැගුවා. මෙහි සිදුවිය යුත්තේ නැවත පදිංචි කිරීම. නැවත පදිංචි කිරීමේදී ලොකු ගැටලුවක් තිබෙනවා. මේ ප්‍රදේශයට ගොවිතැන් කරන්න වතුර නැහැ. ඊළඟ දේ පර්චස් හතළිහක් ලබාදී කොහොමද වගා කරන්නේ කියන කාරණය. එයත් නැවත පදිංචියට ලොකු බාධාවක්. නැවත පදිංචි කිරීමේදී සිතා බලන්න ඕන දේවල් කිහිපයක්ම තිබෙනවා. මීට පෙර මිනිසුන් මේ ප්‍රදේශයේ දර එකතු කරලා අලෙවි කිරීම සිදුකළා. දැන් එයත් සිදුකර නොහැකියි. තවත් පිරිසක් ගඩොල් කැපුවා. දැන් ගඩොල් කැපීමත් තහනම්. මම උදාහරණයක් කියන්නම්, මේ මෑතකදී පුරාවිද්‍යා වැඩකටයුතුවලට අවශ්‍ය සේවකයන් ගෙනාවේ ඈත පළාත් වලින්. මේ ගම්වල මිනිසුන් සිටිද්දි තමයි එවැනි දේවල් සිදුවෙන්නේ. මේ දේශපාලන අධිකාරීන්ගේ හැටි. අපි ඒ දේවල් කතා කළාට පලක් නෑ. මේ ප්‍රදේශයේ මිනිසුන් නැවත පදිංචි කිරීම රජයේ වගකීමක්. මේ ප්‍රදේශ දියුණු වෙන්න නම් නැවත පදිංචි කිරීම් සිදුවෙන්න ඕන.‍
 
නිදුක් මදුෂික / ඡායාරූප - මිහිර බණ්ඩාර
මේ ප්‍රදේශයේ මිනිසුන් නැවත පදිංචි කිරීම රජයේ වගකීමක් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :