මැකිල‍්ල
( . . ) 2018-01-12 16:20:41
Comments - 0       Views - 386

මැකිලා යනවා කියන්නේ නැතිවෙලා යනවා කියන එකය. වැල්ලේ තබන පිය සටහන්ද රළ පහරට මැකිලා යනවාය. අපේ ජීවිතද වැල්ලේ තැබූ පිය සටහන් මෙන් මැකිලා යනවාය. එහෙම මැකිලා යෑමෙන් සනාථ වන්නේ ජීවිතවල ඇති අනිත්‍ය භාවයය. සමහර දේවල් මැකිලා යන්නේ දියපිට ඇඳි ඉරක් වගේය. දියේ ඇඳි ඉර ඒ මොහොතේම මැකී යනවාය. එහෙත් ගල පිට කෙටූ ඉරක් නම් එහෙම මැකී යන්නේ නැතිය. ඉස්සර සෙල්ලිපිවල කෙටූ අකුරු නොමැකී සදාකාලිකව පවතිනවාය. අපේ පුරාවස්තු මකා දමන්නේ ජාතික උරුමයන්
නැති කරන්නටය. 

කළගුණ නොදත් අසත්පුරුෂයාට කළ උපකාර දිය පිට ඇඳි ඉරක් මෙන් ඉක්මනින් මැකිලා යන බව කියනවාය. එහෙත් සත්පුරුෂයාට කළ උපකාර ගලේ කෙටූ අකුරු මෙන් කිසිදා මැකී නොයනවාය. ඒවා කොච්චර උත්සාහ කළත් මකන්නට බැරිය. රටට ලෝකයට කොච්චර හොඳ කළත් වැඩක් නැත්තේ ඒවා වහ වහා මැකී යන නිසා යැයි කියනවාය. එහෙම හොඳ දේවල් මැකිලා ගිහින් නරක දේවල් ඉතිරි වන්නේ කලියුග කාලයටය. කළ හොඳ පස්සෙන් එළවන්නට හේතුව ඒවා  ඉක්මනින්
මැකිලා යෑමය.

තරහ ගියාම කියන්නේ මම තෝව මකලා දානවා කියලාය. එහෙම මකලා දානවා කියන්නේ නැතිකරලා දානවා, විනාශ කරනවා කියන එකය. &තෝ විතරක් නොවේ තොගේ සනුහරේම මකලා දානවා* කියන්නේ රතු කට්ට පනින්නට කේන්ති ගිය විටය. සනුහරේ මකලා දැමූ විට පරම්පරාව විනාශ වෙන නිසා ආයි කාටවත් නැගිටින්නට බැරිය.

සමහර ප්‍රශ්න කාලයත් සමග මැකිලා යනවා කියනවාය. එහෙම කියන්නේ කල්ගත වනවිට ඒවා මැකිලා යන නිසාය. විසඳන්න අමාරු ගැටලුවක් කාලයට භාරදුන් විට කල්ගත වෙලා මැකිලා යන බව සමහරුන් අත්දැකලා තියෙනවාය. සමහර ලොකු ලොක්කෝ ගැටලුවක් පැමිණි විට එය නොවිසඳා මැකිලා යන්නට ඉඩ හැරලා තියෙනවාය.
රටට වැඩදායක කෙනෙක් මියගියත් ඒ අයගේ නම මැකිලා නොගොස් සදාකාලිකවම ජීවත් වෙනවාය. පුද්ගලයා  නැතිවෙලා ගියත් ඔහු කළ හොඳ කවදාවත් මැකිලා යන්නේ නැත්තේය. රූපය දිරයි, නාමය නොදිරයි කියලා කියන්නේ එහෙම නාමය මැකිලා නොයන නිසාය.
ඉස්සර නම්  සිසුවා කොපි පොතේ පැන්සලෙන් ලියලා වැරදුනාම මකන කෑල්ලෙන් මකලා නිවැරදි කරනවාය. එහෙම මකලා දමන්නට පහසු වෙන්න සමහර පැන්සල්වල කෙළවර මකන කෑල්ලක් සවිකර තියෙනවාය. ගල් ලෑල්ලේ ලියූ අකුරුද, කළුලෑල්ලේ ලියූ අකුරුද මකා දැමිය හැකිය. ගල්ලෑල්ලේ ලියූ අකුරු අතින් මකා දැමිය හැකි අතර, කළුලැල‍්ලේ ලියූ අකුරු මැකීමට කොට්ටයක් භවිත කරනවාය. අද කාලයේ ළමයි කෙළින්ම කඩදාසියේ බෝල්ට්පොයින්ට් පෑනෙන් ලියන නිසා වැරදුනාම ඒවා මකා දැමිල්ල වෙනුවට කටුගා දමන්නට වෙනවාය. මක මකා ලියන්නට පුළුවන් කළුලෑලි අද පාසල්වල නැති අතර, අද තියෙන්නේ තීන්තෙන් ලියන බෝඩ්ය. 

අද දරුවන් නම් එදා මකන්නට පාවිච්චි කළ මකන කෑලි හෝ කොට්ටා දැකලාවත් නැත්තේය. ලෙහෙසියෙන් යමක් මැකීමට ඊට උඩින් තාර ගෑමට පුළුවන. ඡන්ද කාලයේ පාරේ ගහක් ගලක් ගානේ අලවා තියෙන ඡන්ද පෝස්ටර්වල ඇති හිනා මූණුවල තාර උලා තියෙනවා දැකීමට හැක. එහෙම මූණු මකලා දමන්නේ ඒ මුහුණු දුටු විට තමා කළ මෝඩකම් ගැන පසුතැවෙන්න වෙන හින්දාය. තාර ගෑවත්, නොගෑවත් සමහර මුහුණු ඡන්දෙන් පස්සේ සදහටම මැකිලා යනවාය. 
රටට ලෝකයට කොච්චර හොඳ කළත්  ඒවා ඉක්මනින් මැකිලා යනවාය. උදව් අරගෙන පසුව ඒ අය මකලා දමන්නේ අවස්ථාවාදීන්ය. එහෙම උදව් කළ එකා මකලා නොදැමීමට  ආපහු කරදර වෙනවා කියලා හිතන අය ඉන්නවාය. %අල්ලේ රේඛා මකලා වරෙන් මගෙන් දිනන්න* යැයි කියන්නේ අල්ලේ රේඛා මකන්න බැරි නිසාය. ඒත් සමහර අය කියන්නේ අල්ලේ රේඛා මැකි මැකී අලුතෙන් එන බවය. හොඳ කළ ලැබූවිට අල්ලේ ඇති නරක රේඛා මැකෙනවා යැයි කියනවාය.
මට නම් කවදාවත් ඔයා හිතෙන් මකා දාන්න බැරි යැයි කියන ආදරවන්තයන් ඉන්නවාය. එහෙම මකන්න බැරි යැයි කියන්නේ ලෙහෙසියෙන් ඉවත් කරන්න බැරි නිසාය. ඒත් කල් යනවිට අපේ මතකයද මැකිලා යනවාය. කෙනෙක් වයසට යන විට බාල කාලයේ සිදු වූ දේවල් ඔහුගේ සිතෙන් මැකී යනවාය. සක්‍රයා හදේ ඇන්ද හාවාගේ රූපය පසළොස්වක පෝයෙන් පසුව ටිකින් ටික මැකී ගොස් සම්පූර්ණයෙන් මැකෙන්නේ අමාවක දාටය.

සමහරු යමෙකුගෙන් තමන්ට සිදු වූ වැරදි හිතෙන් මකා නොදමා සදාකාලිකව රඳවාගෙන සිටින්නේ අවස්ථාවක් ලැබුණු විටදී පළිගැනීමටය. සිතේ ක්‍රෝධය, වෛරය උපදවාගෙන සිටිනවා යැයි කියන්නේ මෙලෙස කළ දේ සිතෙන් මකා නොදමා වෙලාව එන තුරු බලා සිටින එකටය. ඇතැම්විට ආත්ම ගණනාවක් තිස්සේ මෙසේ සිත්වලින් මැකී නොගොස් දිගටම යනවාය.

හිතට තරහක් ආ විට මූණේ මුලින් තිබූ ලස්සන ගතිය මැකී යනවාය. එහෙම මැකිලා ගොස් ඒ වෙනුවට රෞද්‍ර පෙනුමක් ආරෝපණය වෙනවාය. වයසට යනවිටද මූණේ තිබූ තරුණ පෙනුම ක්‍රමයෙන් මැකිලා යනවාය. ඒත් අපේ කතුන් නම් වැඩිදෙනා මුහුණේ තිබූ තරුණ පෙනුම මැකිලා යනවාට කැමති නැත්තේය. ඒ නිසා ඒ අය තරුණ පෙණුම මැකී නොගොස් තබා ගැනීමට විවිධ උපක්‍රම යොදනවාය. මේ නොබෝදා මුහුණේ මැකිලා ගිය තරුණ පෙනුම යළි ලබා ගැනීමට රූපලාවණ්‍ය මධ්‍යස්ථානයකට ගිය කතකට සිදුවූයේ පෙනුම වෙනුවට මුළු ජීවිතයම මකා ගන්නටය. 

අපරාධවලට පාවිච්චි කළ වාහන හඳුනාගන්න බැරිවෙන්න ඒවායේ මුලින් තිබූ පාට මකාදමා අලුත් පාටක් ආලේප  කරනවාය. ඒත් එහෙම පාට මැකුවත් වාහනය කොටුකර ගැනීමට අපේ පොලීසිය දක්ෂය. 
ඉස්සර දත්වල කහට මැකුවේ බෝම්බු කොටුවලින් දත්  මැදීමෙන්ය. එහෙත් අද නම් කහට මකන්නට හොඳ හොඳ බෙහෙත් ජාති තියෙනවාය. සමහර ඒවා පාවිච්චි කළාම කහට මැකෙන්නේ නැතිව දත් සෙට් එකම මකාගන්නට සිද්ධ වෙනවාය. රෙදිවල කහට පැල්ලම් වැටුණොත් ඒවා මැකිල්ලට හැකි බෙහෙත් ජාති අද වෙළෙඳ පොළේ එමටය. එහෙම ඇඳුම්වල වැටුණු කහට පැල්ලම් මකා දමන්නට පුළුවන් වුවද සිතේ බැඳුණු කහට මොනවා දාලාවත් මකන්නට බැරිය.
බොරු පොරොන්දු දීලා බලය අරගෙන දිනුවාට පසුව කිසිවක් නොකරන දේශපාලුවන් මකා දමන්නට ඡන්දදාසලා දින ගණන් බලමින් සිටින නමුත්, ඔවුන් මකා දමන්නට ඊළඟ ඡන්දය එන තුරු ඉන්නට වෙනවාය. ඒ වෙනකොට විපතට වැටෙන  ඡන්දදාසලා ඊළඟ ඡන්දයට පෙර මැකිලා යන්නට හොඳ හැටි ඉඩ තිබෙනවාය.

 

මැකිල‍්ල සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :