ජාතික ඔලිම්පික් කමිටුව එකඟ වූ ක්‍රීඩා රෙගුලාසි නීතිපතිට ගියාම වෙනස් වෙලා
( පැතුම් ශ්‍රී විජේරත්න ) 2018-01-11 12:47:27
Comments - 0       Views - 203

ජාතික ඔලිම්පික් කමිටුව යනු ක්‍රීඩා සංගමයක් නොවන බවත්, එනිසා අලුතින් සම්මත කළ ක්‍රීඩා රෙගුලාසි ඔලිම්පික් කමිටුවට බල නොපාන අතර, එහෙත් ජාතික ඔලිම්පික් කමිටුව එකඟ වූ ක්‍රීඩා රෙගුලාසි නීතිපතිගේ අනුමැතියට යොමු කළ විට එය වෙනස් වී ඇති බවත්,  ජාතික ඔලිම්පික් කමිටු ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා පැවසීය.

ඒ මහතා මේ බව අනාවරණය කළේ පෙරේදා (09දා) කොළඹ ටෙනිස් සංගම් මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

මෙම මාධ්‍ය හමුව සංවිධානය කර තිබුණේ වත්මන් ඔලිම්පික් කමිටු සභාපති හේමසිරි ප්‍රනාන්දු සහ එහි ලේකම් මැක්ස්වෙල් ද සිල්වා පාර්ශ්වයෙන් ජාතික ටෙනිස් සංගමයේ හිටපු සභාපතිවරයෙක් වන සුරේෂ් සුබ්‍රමනියම් මහතා මෙවර ඔලිම්පික් කමිටු නිලවරණයේ සභාපති ධුරයට තරග කරන බවට දැනුම්දීම සඳහාය.   

ජාතික ඔලිම්පික් කමිටු නිලවරණය කල් දැමීමේ උවමනාවක් තම පාර්ශ්වයට නොමැති බවත්, නිලවරණය හෙට පැවැත්වීමට හැකි නම් තමන් මැදිහත්ව එය පවත්වන අතර, ක්‍රීඩා සංගම් බහුතරයක් තමාට සහය දක්වන බවත් මෙහිදී මැක්ස්වෙල් ද සිල්වා මහතා පැවසීය.

කෙසේ වෙතත් ඔලිම්පික් කමිටු නිලවරණය දින දින ප්‍රමාද වන විගණන වාර්තා මේ වනවිට අනුමැතිය සඳහා යොමුකර ඇති අතර, එය ලැබීමට තවත් දින 10ක්වත් ගතවනු ඇති බවද මෙම මාධ්‍ය හමුවේදී අනාවරණය විය.

_KSR2996 copy

ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ජාතික ඔලිම්පික් කමිටුවට මුදල් ලැබී නැතිදැයි මෙහිදී මාධ්‍යවේදියෙක් විමසීමක් කළ අතර, ගුවන් ටිකට්පත් වැනි කටයුතු සඳහා පමණක් අමාත්‍යාංශයෙන් මුදල් ලැබී ඇති බව තහවුරු විය.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක් වූ වත්මන් ලේකම්වරයා,

"අපිට අපේ එදිනෙදා වැඩකරන්න අමාත්‍යාංශයෙන් එක මුදලක් ලැබිලා නැහැ. අපි කරලා තියෙන්නේ එකම එක දෙයයි. සමහර අවස්ථාවල අපේ සභාපතිතුමා මට කියලා තියෙනවා මැක්ස්වෙල් සතයක්වත් අමාත්‍යාංශයෙන් ගන්න එපා කියලා. කණ්ඩායම් යනකොට ඒ අයගේ ගුවන් ගමන් ගාස්තුව වගේ දේවලට අරන් තිබෙනවා. ඒ ඇරෙන්න අපිට අමාත්‍යාංශයේ මුදල් සතයක්වත් ඕන නැහැ. අපි අපේ සල්ලිවලින් දුවන්නේ. අපිට අමාත්‍යාංශයේ සතයක්වත් ඕනෙත් නැහැ.

අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව සමග අපි හැමදාම කතා කරලා තියෙන දෙයක් තමයි රජයෙන් දෙන මුදල් විගණකාධිපතිවරයාට බලන්න පුළුවන්, අනිත් ඒවා විගණනය කරන්නේ අපි. ඒකට තමයි අපි එකඟ වුණෙත්. ඒක වෙනස් කළාට මට කරන්න දෙයක් නැහැ. සමහර නීති නීතිපති ළඟට ගියාම වෙනස් වෙලා තියෙනවා. ඇමතිතුමා දන්නෙත් නැහැ. එනිසා අපි මේ සම්බන්ධයෙන් අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවත් සමග සාකච්ඡා කරනවා. වසර 05ක් විගණන වාර්තා ලබා නොදීම සම්බන්ධයෙන් ජාතික ඔලිම්පික් කමිටුවේ ඉන්න සියලුදෙනා වගකිව යුතුයි" යැයි ප්‍රකාශ කළේය.

මේ වනවිට ජාතික ඔලිම්පික් කමිටු නිලවරණයේ ඡන්ද සංඛ්‍යාව 31ක් දක්වා වැඩි වී ඇති බවත්, එය ඉදිරියේදී තවත් වැඩිවිය හැකි බවත් මෙහිදී අනාවරණය විය.

මෙම මාධ්‍ය හමුවේදී වසර 22ක් ඔලිම්පික් කමිටු සභාපති ධුරය දැරූ හේමසිරි ප්‍රනාන්දු මහතාට විශේෂ සමරු සිහිවටනයක්ද පිරිනැමිණි.

 

ජාතික ඔලිම්පික් කමිටුව එකඟ වූ ක්‍රීඩා රෙගුලාසි නීතිපතිට ගියාම වෙනස් වෙලා සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :