ප්‍රංශය සහ චීනය ගජ මිතුරන් වීම
( . . ) 2018-01-11 09:29:57
Comments - 0       Views - 687

චීනය සම්බන්ධයෙන් පසුගිය සතියේ වඩාත් කතාබහට ලක්වූ මාතෘකාව වූයේ ප්‍රංශ ජනාධිපතිවරයාගේ චීන සංචාරයයි. දින 03ක සංචාරයක් වූ මෙම සංචාරයේදී චීනය සහ ප්‍රංශය අතර සබඳතා උපරිමයකට ගෙන ඒමට ප්‍රංශ ජනාධිපතිවරයා කටයුතු කළ බව වාර්තා වේ. අශ්ව පන්තියේ පරම්පරාවෙන් පැවැත එන දුඹුරු පැහැති උසස් වර්ගයේ අශ්වයෙකුද චීන ජනාධිපතිවරයාට තෑගි කිරීම සඳහා ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මාකෝන් ගෙනැවිත් තිබිණි. 2014 දී ප්‍රංශයේ සංචාරය කළ චීන ජනාධිපති ෂි ජින්පින්ග් පැරීසියේදී ජනාධිපතිවරයාට අයත් වන අශ්වයන් සම්බන්ධයෙන් දැක්වූ උනන්දුව නිසා මෙබඳු තෑග්ගක් දීමට ප්‍රංශ ජනාධිපතිවරයා කටයුතු කළ බව වාර්තා වේ. එසේම තමන් දන්නා චීන වචන කිහිපයක්ද කතා කරමින් චීනය සමග ඇති තමන්ගේ සම්බන්ධතාව ඒත්තු ගැන්වීමටද ප්‍රංශ ජනාධිපතිවරයා කටයුතු කළේය. 

එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ ඇමෙරිකාව, ප්‍රංශය සහ මහා බ්‍රිතාන්‍ය එක් පාර්ශ්වයක්ද, රුසියාව සහ චීනය තවත් පාර්ශ්වයක්ද නියෝජනය කරන බව පැහැදිලිය. එහෙත් චීනය විසින් ප්‍රංශය දිනා ගැනීමට ආසන්න අවස්ථාවකට පැමිණ තිබීම ඇමෙරිකා එක්සත් ජනපදය නොසන්සුන් කිරීමට හේතුවක් වනු නොඅනුමානය. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජාතිකවාදී ප්‍රතිපත්තියට එරෙහිව යමින් කටයුතු කිරීමට චීන ජනාධිපති ෂී ජින්පින්ග් මෙන්ම ප්‍රංශ ජනාධිපති මාකෝන්ද කැමැත්තෙන් සිටියි. නිදහස් වෙළෙඳාම ශක්තිමත් කිරීම මූලිකවම මේ නායකයන් දෙදෙනාගේ කැමැත්තය. එය ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නොකැමැත්තය. එහෙත් ට්‍රම්ප් වඩාත් කැමැති ආරක්‍ෂණවාදී කාර්යයට මේ නායකයන් දෙනොගේම කැමැත්තක් නැත. එහෙයින් මේ දෙදෙනාගේ එකතුව චීනය බලය ලෝකය පුරා වැඩි කිරීමට හේතුවක් විය හැකි බව විචාරකයන්ගේ මතයයි. එසේම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සුවිශේෂ තීරණයකදී චීනය සහ රුසියාව සමග ප්‍රංශය එක්වීමේ අවස්ථාවක්ද මේ අනුව උදාවෙමින් තිබේ. 

දේශගුණික විපර්යාසය මේ වනවිට ලෝකයටම ප්‍රශ්නයක් වී තිබේ. ඒ සඳහා ලෝකයම එක්ව කටයුතු කළ යුතුව තිබුණත් දේශගුණ විපර්යාසයන් සම්බන්ධයෙන් සම්මුතිවලට එළැඹීම ඇමෙරිකාව ප්‍රතික්‍ෂේප කරයි. හරිතාගාර වායු නිදහස් වීම අඩු කිරීම සම්බන්ධයෙන්ද ඇමෙරිකාව සිටින්නේ වෙනත් ආකල්පයකය. මේ නිසා ඇමෙරිකාවේ දරදඬු ක්‍රියාපිළිවෙත පාලනය කිරීම සඳහා අනිවාර්යයෙන්ම ලෝකයේ අලුත් කඳවුරක් නිර්මාණය විය යුතුව තිබේ. මේ සඳහා ඇමෙරිකානු කඳවුරට හිතවත් රාජ්‍යයක් චීනය සහ රුසියාව සමග එක්වීම වඩාත් වැදගත් අවස්ථාවක් වෙයි. මෙම සංචාරයේදී ප්‍රංශය සහ චීනය කෙතරම් ළං වූයේද යත් ප්‍රංශ ජනාධිපතිවරයා චීන භාෂාවෙන් &ලෝකය යළිත් ශ්‍රේෂ්ඨත්වයට පත් කරමු* යැයි කීවේය. මෙය ට්‍රම්ප්ගේ &ඇමෙරිකාව යළිත් ශ්‍රේෂ්ඨත්වයට පත්කරමු* යන කියමන දෙවැනි තැනට පත්කිරීම සඳහා යොදාගත් කියමනක් ලෙස ලෝක දේශපාලන විචාරකයෝ පවසති. ප්‍රංශ ජනාධිපතිවරයා සමග පැවැති හමුවේදී චීන ජනාධිපතිවරයා ලෝකයේ විවිධත්වය සුරැකීමත්, විවෘත ලෝක ආර්ථිකයක් කරා ගමන් කිරීමේ වැදගත්කමත් පෙන්වා දී තිබේ. එසේම ප්‍රංශ ජනාධිපතිවරයා චීනයට වඩාත් ළංවීම ජර්මනියට සහ බ්‍රිතාන්‍යයට පාඩමක් බවද විචාරකයන්ගේ අදහස වී තිබේ. ඔවුන් පවසනුයේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ක්‍රමයට ගොස් ඉහත රටවල් දෙක අමාරුවේ වැටී ඇති මොහොතක ප්‍රංශ ජනාධිපතිවරයා ලෝකයේ අලුත් ප්‍රවණතාවන් සමග ඉදිරියට යෑමට තීරණය කර ඇති බවයි. එසේම ගෝලීය ප්‍රශ්න හමුවේ චීනය තම සහකරුවෙකු ලෙස සිතා කටයුතු කිරීමට ප්‍රංශය ඉදිරියට කටයුතු කරනු ඇතැයි පැහැදිලි ඉඟි මේ සමග පළවන බවද විචාරකයෝ පවසති. 

කෙසේ වුවද තවත් පිරිසකගේ මතය වී ඇත්තේ මාකෝන් චීනය දෙසට ඇදී යෑම වේගවත් වීම එතරම් හොඳ තත්ත්වයක් නොවන බවයි. චීනය සහ අනෙකුත් රටවල් අතර ඇති ඇතැම් ප්‍රශ්න සම්බන්ධයෙන් ප්‍රංශය නෑසූකන්ව සිටින්නේ යැයි එම විචාරකයන්ගේ අදහසයි. එහෙත් මාකෝන්ට ඇත්තේ වෙනත් අදහසකි. අනෙකුත් බටහිර නායකයන් චීනයේ %One Belt One Road^ සංකල්පය දෙස සැක මුසු බැල්මකින් බලද්දී මාකෝන් එය ප්‍රශ්නයක් කර නොගෙන චීනයට තම %One Belt One Road^ ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලබාදෙයි. ප්‍රංශය මෙහිදී ප්‍රධාන චරිතයක් රඟපෑමට සූදානම් බවද මාකොන් පවසා තිබේ. මේ අතර චීනය සමග ඩොලර් බිලියන ගණනක වෙළෙඳ ගිවිසුම් අත්සන් කිරීමට මේ සංචාරයේදී ප්‍රංශය කටයුතු කළේය. එයින් ප්‍රධාන එකක් වනුයේ ප්‍රංශයේ බොයිං සමාගමේ ගුවන් යානා 184ක් මිලදී ගැනීමට චීනය කැමැත්ත පළකිරීමය. ප්‍රංශ ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් ධනාත්මකව අදහස් දක්වා තිබිණි. අමෙරිකාවේ %එයාර් බස්^ සමාගම සමග සටන් කරන %බොයිං^ සමාගමට මෙය ඉතාම හොඳ පිම්මක් වී තිබේ. 
ප්‍රංශ විද්වතුන්ගේ අදහස වී ඇත්තේ චීනය සමග ගනුදෙනු කිරීමේ තමන්ගේ කොටස කෙසේ රැක ගන්නේද  යන්න ගැනය. එහෙත් ප්‍රංශ ජනාධිපතිවරයා පවසනුයේ චීනයට තම රටට පැමිණීමට ඉඩ දීම පළමුව කළ යුතු බවය. ප්‍රංශ ජනාධිපතිවරයා චීනයට අශ්වයෙකු තෑගි දී මකරෙකු ප්‍රංශයට කැන්දා ගන්නා බව ඇතෙමෙක් කියති. එහෙත් ප්‍රංශ ජනාධිපතිවරයා පවසනුයේ මකරා සමග සහයෝගයෙන් කටයුතු කර අශ්වයාගේ ශක්තිය වැඩි කිරීමක් ගැනය. මේ නිසා ඇමෙරිකානු කඳවුර නොසන්සුන් කරන මෙම චීන - ප්‍රංශ සහයෝගය මේ සතියේ දී ආරම්භ වූ බව ලියා තැබිය හැකිය. එය අලුත් ලෝක න්‍යාය පත්‍රයකට මගපාදන්නක් බව මේ වනවිට පෙනෙන්නට තිබේ. 

එන්.කේ.එස් හෙට්ටිආරච්චි

ප්‍රංශය සහ චීනය ගජ මිතුරන් වීම සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :