විලවුන් උපකරණ හා ඖෂධ නියාමනය දැන් නැවතත් බලාත්මකයි
( නාලිකා රාජපක්ෂ ) 2018-01-11 09:28:02
Comments - 0       Views - 689

අපේ රටේ අලෙවි වෙන විලවුන් සහ ආලේපන සම්බන්ධයෙන් වගකිවයුතු සහතිකයක් නැතිනම් අලෙවිය සඳහා අවසරයක් පවතිනවාද නැද්ද යන්න දැනගැනීමට  පාරිභෝගිකයාට ක්‍රමයක් තිබෙනවාද? යන්න පිළිබඳ ඔබටත් යම් උනන්දුවක් පවතිනවා ඇති. නමුත් කලකට ඉහත ඖෂධ සහ විලවුන් උපකරණ පිළිබඳ පාලනාධිකාරිය විසින් රටතොට විසිර පවතින මෙවන් අනවසර විලවුන්, ආලේපන හා උපකරණ මෙන්ම ඖෂධ සොයා වැටලීම් සිදුකළද, මීට දෙවසරකට ප්‍රථම එය ඖෂධ හා විලවුන් උපකරණ අධිකාරියේ පාලනයෙන් ඉවත් කිරීම නිසා වසර දෙකකට පමණ ආසන්න කාලයක් මෙවැනි වැටලීම් සිදුකළ බවක් වාර්තා වන්නේ නැහැ. නමුත් සෞඛ්‍ය අමාත්‍යවරයාගේ මැදිහත් වීම මත නැවතත් එම කාර්යය සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියට කැබිනට් පත්‍රිකාවක් හරහා බලය පවරා ඇති අතර, දැන් නැවතත් මෙරටට පැමිණෙන ආනයනික හා මෙරට නිෂ්පාදිත ආලේප සහ විලවුන් ආදිය එසේ පරීක්ෂාවට ලක්කර අනුමැතිය ලැබීමෙන් තොරව වෙළෙඳ පොළ වෙත නිකුත් කිරීමේ තහනම බලාත්මක වෙන්නට පටන් ගෙන තිබෙනවා. අප මේ සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් - ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය කමල් ජයසිංහ මහතා සමග සංවාදයක යෙදෙන්නට අදහස් කළා. ඔබගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් ඔබට පවතින ගැටලු සමහරක් පිළිබඳ ඔහු 'අද' පුවත්පතට සිදු කළ අදහස් පෙළගැස්මකි මේ.


IMG_2059

Q විලවුන් උපකරණ හා ඖෂධ පාලන අධිකාරියට නියාමන කටයුතු සඳහා බලය පැවරෙමින් ක්‍රියාත්මක වූ 1980 අංක 27 දරණ පනත 5015දී බලරහිත වුණා. එයින් පසු වෙළඳ පොළ තුළ අලෙවි වූ විලවුන් සහ විලවුන් උපකරණවල තත්ත්වය නියාමනය කළේ කුමන ආයතනයක්  විසින්ද

2015දී අලුත් ඖෂධ පනත ක්‍රියාත්මක වෙන්න පටන්ගත්තාට පසු එතෙක් පැවැති 1980 පරණ පනතින් අපේ අධිකාරියට පනවා තිබූ විලවුන් උපකරණ සම්බන්ධ  නියාමනය අපෙන් ඉවත්කර තිබුණා. ඒ අනුව අපි ජාතික ඖෂධ නියාමන අධිකාරිය යනුවෙන් නව ආයතනයක් ලෙස බිහිවුණා. නමුත් පරණ පනත සම්පූර්ණයෙන්ම බලරහිත වූ නිසා අපට ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරන්න ක්‍රමයක් තිබුණේ නැහැ. ඒ කාලයේ, ඒ කියන්නෙ වසර දෙකක පමණ කාලයක් මේ නිසා වෙළෙඳ පොළේ අනුමත නැති විලවුන් හා උපකරණ සංසරණය වීම ඇරඹුණා. නමුත් මේ ගැන වහා ක්‍රියාත්මක වුණු සෞඛ්‍ය අමාත්‍යවරයා කැබිනට් පත්‍රිකාවක් සකසමින් ඊට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගනිමින් 1980 පනතේ  විලවුන් හා විලවුන් උපකරණ සම්බන්ධයෙන් තිබූ බලතල නැවත මෙම අධිකාරියට පැවරුවා. ඒ පසුගිය වසරේ ඔක්තෝබර් මාසෙ 27 වැනිදා. එතැන් සිට දැන් නැවතත් ඒ කටයුතු වඩාත් කාර්යක්ෂ්මව සිදු කෙරෙමින් පවතිනවා. දන්නා තරමින් විලවුන් උපකරණ සම්බන්ධ වසර දෙකක පමණ කාලයක් රජයේ මැදිහත්වීමක් සහිත නියාමනයක් සිදුවුණේ නැහැ. නමුත් සුපුරුදු පරිදි පාරිභෝගික සේවා අධිකාරියෙන් වෙළෙඳ පොළ තත්ත්වය සම්බන්ධ යම් යම් කටයුතු සිදුවෙන්න ඇති. නමුත් රජයේ අවසරයක් ලබා අලෙවි කටයුතු සිදු කළයුතු අන්දමේ බලපෑමක් තිබුණේ නැහැ.
?මේ වනවිටත් අනවසර විලවුන් සහ විලවුන් උපකරණ රට තුළ සංසරණය වීම සහ ගෙන්වීම සිදු කෙරෙනවා. මොන ආකාරයෙන්ද දැන් මේවා නියාමනය සඳහා ඔබ ආයතනය ක්‍රියාත්මක වෙන්නේ
මේ වනවිට අවසර ලබා අලෙවි කළ ආලේපන සහ විලවුන්වල අවසර පත් බොහෝමයක්ද කල් ඉකුත් වී තිබෙනවා. ඒවා නැවත හය මසකින් කාලය දීර්ඝ කිරීම සිදු කරන්නට තීරණය කළේ ඒවා ඉහතදී අවසර ලබාගැනීමේ ක්‍රමවේදය අනුව අවසර ලබා තිබූ ඒවා නිසයි. නමුත් දැන් යම් ආලේපන රේගුවෙන් නිදහස් කරන්නට පළමු අපි ඔවුන්ට අපෙන් අනුමැතිය ලබාගත යුතු බව දන්වා තිබෙනවා. රේගුවෙන් නිදහස් කර අපේ අධීක්ෂණය යටතේ ඔවුන් අවසර ගන්නාතුරු ඔවුන්ගේ පරිශ්‍ර තුළ නිසි අයුරින් ඒවා තබාගන්න අපි අවසර දුන්නත් වෙළෙඳ පොළට නිකුත් කරන්නට නම් අනිවාර්යයෙන් අපේ අවසර  පත අවශ්‍යමයි.

ඒ සඳහා පවතින ක්‍රමවේදය ගැන සඳහන් කළොත් 

මේ ගෙන්වා ඇති දේ මොන තරම් උසස් මට්ටමක පවතිනවා යැයි කීවත් ඒවා වරලත් ආයතනයකට සාම්පල් ලබා දී, සිරුරට අහිතකර කිසිවක් නොමැති බව තහවුරු කර ලබාගත්  වාර්තාවක් සමග ලියාපදිංචිය සඳහා අපට අයදුම් කළ යුතුයි. අයි.ටී.අයි. වැනි රාජ්‍ය සහ බියුරෝ වෙරිටාස් වැනි පෞද්ගලික හොඳම මටිටමේ පිළිගත් පරීක්ෂණාගාරයක වාර්තාවක් තමයි අපි සලකා බලන්නේ. අනිවාර්යයෙන්ම ඇක්රෙඩිටඩ් ලැබ් එකක වාර්තාවක් තිබුණත්, අපේ ඒ සඳහා පනවා ඇති විශේෂඥවරුන්ගෙන් සමන්විත කමිටුවේ පොදු අනුමැතිය ලැබිය යුතුමයි.

මෙවැනි වාර්තා මුදල්වලට ලබාගන්න පුළුවන්කමක් තිබිය හැකියි නේද?  එවිට කොහොමද එය එසේ නොවේ යැයි තහවුරු කරන්නේ

මා දන්නා තරමින් වගකිවයුතු පරීක්ෂණාගාරයක් එවැනි හොර පරීක්ෂණ වාර්තා නිකුත් කරන්නේ නැහැ.  ඒ ගැන තවමත් අපට විශ්වාසය තැබිය හැකියි. කෙසේ නමුත් මේවා සමග එක එල්ලේ සම්බන්ධයක් ඇති නිසා තමයි අපි චර්ම විශේෂඥයන්ගෙන් සැදුම්ලත් කමිටුවක් හරහා අනුමැතිය ලබාදෙන්නේ. මෙය තනි පුද්ගලයෙකුගේ මතය අනුව සිදුවෙන්නක් නෙවෙයි, පිරිසක් එක්ව ගන්නා තීරණයක්. ඒ නිසා මුදල් මත ඒ අනුමැතිය දිනාගැනීම ගැන කිසිවෙක් සැක කරනවා නම් එහි පදනමක් නැහැ. මුළුමනින්ම එය විය නොහැකි දෙයක්.

ග්ලූටතයොන් යන නමින් හඳුන්වන පිළිකා සඳහා යොදන කීමෝ තෙරපිවලට ඇතිවෙන අතුරු ආබාධ වෙනුවෙන් පමණක් කෙටිකාලීනව නිර්දේශ කරන රසායනික සංයෝගය , එන්නත් වශයෙන් හෝ කැප්සියුල වශයෙන්, ආලේපන වශයෙන් විකිණීම ලංකාවේ අවසරය ලබා සිදු කරන දෙයක්ද? මෙය ඖෂධයක් විදිහට අනුමතද

කොහෙත්ම නැහැ. මෙය ගෙන්වීමට හෝ විකිණීමට කිසිවෙකුට අවසර ලබා දී නැහැ.
ශ්‍රී ලංකාව තුළ මේ ඖෂධය යොදාගැනීමට බලය පවරලත් නැහැ.

නමුත් අන්තර්ජාලය තුළ විශේෂයෙන් දැන්වීම් පළ කරමින් මේ දැනුත් ග්ලුටතියොන් විකුණන ආයතන සහ පුද්ගලයන් සිටිනවා. අනුමත නැති ඖෂධයක් හෝ කිසියම් සංයෝගයක් එසේ ප්‍රසිද්ධියේ විකුණන්නට දැන්වීම් පළ කරද්දි ඖෂධ නියාමන අධිකාරිය නිහඬ ඇයි? මේ වෙනුවෙන් මෙතෙක් කිසිම ක්‍රියාමාර්ගයක් ගෙන නැහැ. ඒ සම්බන්ධයෙන් ඔබ මොකද කියන්නේ.

ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී ගත හැකි ඉතාම දැඩි පියවර සම්බන්ධයෙන් අපි මේ වනවිටත් සැලසුම් ක්‍රියාත්මක කරමින් ඉන්නේ. අපි නිහඬ නැහැ. අපට මේ සඳහා අවශ්‍ය බලතල ලැබුණේ මාස දෙකකට උඩදියි. ඒ නිසා අන්තර්ජාලය හරහා රටට අලෙවි කරන මෙවැනි දේවල් සම්බන්ධයෙන් අධ්‍යයනය කරමින් වහා යෙදිය හැකි පියවර සම්බන්ධව අපි කඩිනම් තීරණ ගැනීමට කටයුතු යොදා තිබෙනවා.  අපි මේ සඳහා නව වෙබ් අඩවියක් සකසමින් සිටිනවා. ඒ  අනුව අනුමත ඖෂධවල සිට අනුමත නැති ඒවා මොනවාද යන්න පාරිභෝගිකයාටම බලාගත හැකියි. ඒ වගේමයි විලවුන් හා විලවුන් උපකරණ සම්බන්ධයෙනුත් කටයුතු කරන්නේ. ඒ නිසා මේ ගැන අපි නිහඬයි යන්න සිතීම පදනම් විරහිතයි.

දේශීය වශයෙන් නිපදවෙන එවන් ආලේපන සහ ඔසු සම්බන්ධයෙන් අධිකාරියේ මැදිහත් වීම කොහොමද

ලාංකික නිෂ්පාදකයෙක් අපට ඒ සම්බන්ධ දැනුම්වත් කිරීමක් කළොත් අපි වහාම ඉදිරිපත් වෙලා අවශ්‍ය උපදෙස් ආදියත් ලබා දීලා ඒ නිෂ්පාදනාගාරයට ගිහින් අදාළ කටයුතු සොයා බලා නියම ප්‍රමිතියකට අනුව සිදුවනවාද යන්න තහවුරු කර සියල්ලම හොඳම තත්ත්වයේ පවතිනවා නම් කඩිනමින් අවසරය ලබාදෙනවා. ඒ දේශීය කර්මාන්තයක් නගාසිටුවන්නට අතදීමකුත් විදිහට. නමුත් එය නිසි ප්‍රමිතියකට නැතිනම් අපි ඒවා ප්‍රමිතියකට පත් කරගන්නට අවශ්‍ය මගපෙන්වීම ලබා දී එයට ආධාරයක් වෙනවා මිස ඒවා කඩාකප්පල් කරවන්නේ නැහැ. කෙසේ නමුත් මේ නිෂ්පාදන අප යොදන්නේ මිනිස් සිරුරුවලට නිසා ඉතාම ප්‍රවේශම් වීමට තමයි මේ නීති සියල්ල අකුරට ක්‍රියාත්මක කරන්නේ.

බොහෝ විට ආලේපන සම්බන්ධයෙන් අනතුරු ඇඟවෙන්නේ සම පැහැපත් කිරීමට නිපදවා ඇති ආලේපනයන් සම්බන්ධවයි. ඒවායේ ස්ටීරොයිඩ ගණයේ සංයෝග සහ රසදිය මට්ටම, විරංජක (බ්ලීචිං) ගැන සුවිශාල අනතුරු ඇඟවීමක් තිබෙනවා.  විශේෂයෙන් මර්කරි යනුවෙන් හඳුන්වන ලබන රසදිය සම්බන්ධව. නමුත් ස්ටීරොයිඩ සම්බන්ධව වැඩි කතාබහක් නැහැ. අනුමත රසදිය මට්ටම සම්බන්ධ අගයක් දැක්විය හැකිද

ඔව්, මර්කරි ලෙවල් එක තිබෙන්නට හැකි උපරිම සීමාව දසලක්ෂයකට කොටස් එකයි. ප්‍රශ්නය තිබෙන්නේ මෙහි සීමාව ඉක්මවා පැවතීමයි. බොහෝ දෙනෙක් මේ ස්ටීරොයිඩ ගණයේ සංයෝග ඇතුළත් ආලේපන භාවිත කරලා දවසෙන් දෙකෙන් සුදු වෙනවා. නමුත් මෙවැනි ගණයේ සංයෝග සමට ඉතාම අහිතකර බව චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් පවසනවා. මේ නිසා සම විනාශ වී විකෘතිතා පවා ඇති වෙනවා. නමුත් එවිට ප්‍රමාද වැඩියි. යුරෝපීයයන් නොවන අපේ සමේ වර්ණක මෙලනින් මත තීරණය වෙන්නක්. එය මතුපිටින් සම බ්ලීච් කර ලබාගන්නට බැහැ. ඇත්තෙන්ම මෙතනදි ඒවා භාවිත කරන්නන් සිතිය යුතු යමක් තිබෙනවා. සුදු වෙන්න අවශ්‍ය ඇයිද යන්නයි. එය සිරුරේ ක්‍රියාකාරීත්වයට සම්බන්ධ දෙයක් නෙවෙයිනේ. ඒ නිසා සම දුඹුරු පැහැ වීමෙන් පුද්ගලයෙකුට කිසිම කරදරයක් ඇති වෙන්නෙත් නැහැනේ. එහෙම නම් තමන්ට සුදු පාට වෙන්න ඕන ඇයි? විරුද්ධ පාර්ශ්වයේ අය කැමති පාට සුදු කියලා ඒ අය තීරණය කරන්නේ කොහොමද? වහාම සමාජීය වශයෙන් මේ ගැන ආකල්පමය වෙනසක් ඇති විය යුතුයි.

ආලේපන පමණක් නෙවෙයි. ෆුඩ් සප්ලිමන්ට් ලේබලය යටතේත් බොහෝ දෑ වෙළෙඳ පොළට එනවා. සමහර දේවල් විවිධ රෝග සුව වන බවට දැන්වීම් පළකරමින් තමයි පාරිභෝගිකයා රවටන්නේ. මේ සම්බන්ධව ඔබේ ආයතනයට ක්‍රියාත්මක විය හැකි සීමාව මොකක්ද

 එවැනි දෙයක් කරන්න අවසර ඇත්තේ කිසියම් පිළිගත් පර්යේෂණයක් හරහා කුමන හෝ රෝගයකට එය භාවිතයෙන් සහනයක් හෝ සුවයක් ලැබෙනවා යැයි තහවුරු කළ සහතිකයක් අපට ඉදිරිපත් කර අපේ අවසරයක් ලැබූ නිෂ්පාදනයකට නම් පමණයි. ඒ හැරෙන්නට එවැනි දෑ සඳහා කිසිම මාධ්‍යයක දැන්වීමක් පළ කරන්නවත් බෑ. එය නීතිවිරෝධියි.  මේ වනවිට අපි නව නීති සම්පාදනය කරමින් සිටිනවා. අපේ අනුමැතිය සහිත සහතිකයක් නොමැතිව කිසියම් ඖෂධ හෝ විලවුන් හා විලවුන් උපකරණ සම්බන්ධ දැන්වීමක් පළ කිරීමත් මාධ්‍ය ආයතනවලට තහනම්. අපේ අනුමැතිය නැති එවැන්නක් මාධ්‍යයක් විසින් ප්‍රචාරය කළහොත් එම ආයතනයද ඊට වගකිවයුතු අයෙකු බවට පත්වෙනවා. ඉදිරියේදී දැනට අප රටේ පවතින තත්ත්වය පාලනය කිරීමට එවන් දැඩි නීති යොදාගන්නට සිදුවෙනවා. ආහාර සංයෝගයක් යැයි කියමින් හෝ කිසිවෙකු දැන්වීම් ලෙස පළ කරවා ප්‍රචාරයක් දෙනවා නම් එය සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකය මගින් හෝ අප ආයතනය මගින්  අනුමැතිය ලබා සිටිය යුතුමයි.

අප රටේත් මේ වනවිට ඖෂධ නිෂ්පාදනය කරනවා. ඒ වගේම තවම අපේ රටේ මව් භාෂාව ලෙස පවතින්නේ සිංහල. නමුත් එසේ නිෂ්පාදනය කරන ඖෂධවල විස්තර පත්‍රිකා තවම ඇතුළත් වෙන්නේ ඉංග්‍රීසි බසින්. මුළු රටේම ඉංග්‍රීසි බාෂාව දන්නා අය නැති බව දැන දැනත් මෙවැනි තැනක පසුවන්නේ ඖෂධ පරිහරණය කිරීමේ අයිතිය ඉංග්‍රීසි නොදත් අයට අහිමි බව දැනුම් දීමටද? නැතිනම් ඉංග්‍රීසි නොදන්නා අයෙකු ලෙඩ වූවොත් ඖෂධ පරිහරණය කරන්නට බැරි යැයි පවසන්නටද

මේ විස්තර පත්‍රිකාවල අඩංගු විස්තර ඇත්තෙන්ම පරිභෝජනය කරන්නා වෙනුවෙන් නෙවෙයි ඇතුළත් කර ඇත්තේ, වෛද්‍යවරයාට හා ඖෂධවේදියාගේ පරිහරණය පිණිසයි. නමුත් ඔය කියන කාරණය සම්බන්ධයෙන් මේ වනවිට අපේ අවධානය යොමු වී තිබෙනවා. දැනටමත් අපි විස්තර පත්‍රිකාවේ සිංහල සහ දෙමළ යන භාෂා දෙකෙනුත් විස්තර ඇතුළත් විය යුතු යැයි තීරණය කර ක්‍රියා කරන ඖෂධ දහයක් හඳුනාගෙන තිබෙනවා. 
ත්‍රෛභාෂා පනත යටතේ අපි මේ තීරණය ගත්තේ.  විශේෂයෙන් බොහෝ ඖෂධ තෝරාගැනීමේදී සමහරුන් විසින් ඇසුරුම ගැටලුවක් කරගෙන තිබෙනවා.  ආකල්පමය වශයෙන් අපි බොහෝ දුරට වෙනස් විය යුතුයි. එසේ නොමැතිව අපට ඖෂධ, විලවුන් සහ විලවුන් උපකරණ පරිහරණය කරන්නන් වෙනුවෙන් අපි සැලසුම් කර ඇති සාධනීයම පිළිවෙත් වෙත යොමු වෙන්න අමාරු වෙයි.
සමහරු රෝහල්වලට පැමිණ නිදහස් සෞඛ්‍ය සේවය යටතේ නිකුත් කළ ඖෂධ විසිකර දමා ගිහින් ඔසුසල්වලින් ඇසුරුම සහිතව එම ඖෂධයම මිලට ගන්නවා. නමුත් ඒ ඔවුන් මිලදී ලබාගන්නා ඖෂධයේත්, නොමිලයේ ලැබුණු ඖෂධයේත් ඖෂධීය ගුණ එක සමානයි. එතැන ගැටලුව වුණේ ඇසුරුම නැතිනම් පොත්ත. 
පෙත්ත එකම නම් පොත්ත ගැන හිතන්න එපා කියලා අපි කලකට ඉහත සිටම ජනතාව දැනුම්වත් කළාට ඒක තවමත් හරිහැටි ජනගත නොවීම නිසා පැන නැගුනු ගැටලු තවමත් පවතිනවා.
සියල්ලන්ටම පළමුව අපි ඔවුන්ට තමන් භාවිත කළ යුත්තේ කුමක්ද යන්න තෝරාගැනීමේ නිදහස ලබාදෙන්නට, ඔවුන්ගේ පරිහරණයට එක්වන දේ හැම අතින්ම ආරක්ෂිත බව තහවුරු කරන්නට වුවමනායි. ඒ සඳහා තමයි මේ සූදානම.

විලවුන් උපකරණ හා ඖෂධ නියාමනය දැන් නැවතත් බලාත්මකයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :