යෝජිත ප්‍ර‍වෘත්ති මාධ්‍ය තත්ත්ව පිළිබඳ ස්වාධීන මණ්ඩලය ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස සැබෑවටම ආරක්‍ෂා කරන්නක්ද?
( . . ) 2018-01-10 09:28:29
Comments - 0       Views - 367

ගුණාත්මක මාධ්‍ය සම්ප්‍ර‍දායන් පවත්වාගෙන යන සෑම රටක්ම පාහේ තම රටවල ප්‍රවෘත්ති මාධ්‍ය පාලනය පිණිස විවිධ ක්‍රමවේද යොදා ගනී. ඒ අතරින් වඩාත් ජනප්‍රිය ක්‍රමවේදයක් වන්නේ මාධ්‍ය ආයතනවල ස්වාධීනත්වය ආරක්‍ෂා කරන අතර තමන් විසින්ම සකස් කර ගත් නීති රාමුවකට අනුව පාලනය වීමට එම ආයතනවලට නිදහස ලබා දීමය. මෑතක සිට මෙරට %‘ප්‍රවෘත්ති මාධ්‍ය තත්ත්ව පිළිබඳ ස්වාධීන මණ්ඩල පනත් කෙටුම්පත’ නම් ලියවිල්ලක් සංසරණය වෙමින් පවතී. එම කෙටුම්පතේ දක්වන ආකාරයට එහි අරමුණ වන්නේ ප්‍රවෘත්ති මාධ්‍ය අධීක්‍ෂණය කෙරෙන ස්වාධීන මණ්ඩලයක් ස්ථාපනය කිරීමත්, ඒ හරහා මාධ්‍ය ආයතනවල ස්වාධීනත්වය ආරක්‍ෂා කර ඒවා ප්‍ර‍මිතිගත කිරීමත්ය. කෙටුම්පතෙහි දැක්වෙන ස්වාධීන මණ්ඩලය ස්ථාපිත කිරීමෙන් සැබෑ ලෙසම  ශ්‍රී ලංකාවේ ප්‍රවෘත්ති මාධ්‍ය ප්‍ර‍මිතිගත කිරීමක් සිදුවේද? නැත්නම්, ඒ වෙනුවට ආණ්ඩුවේ පාලනයට සියලු ප්‍රවෘත්ති මාධ්‍ය සූක්‍ෂම ලෙස යටත් කෙරෙන පරිසරයක් නිර්මාණය වේද? යන්න බුද්ධිමය ඇසකින් විමසා බැලීම මෙම ලිපියේ අරමුණයි.


කෙටුම්පතෙහි තුන්වැනි වගන්තිය අනුව, පනත මගින් සියලුම ආකාරයේ ප්‍රවෘත්ති මාධ්‍ය ආවරණය වේ. ඊට මුද්‍රිත මාධ්‍ය, විකාශන මාධ්‍ය මෙන්ම අන්තර්ජාල මාධ්‍යද අයත් වන අතර, අන්තර්ජාල මාධ්‍ය ආවරණය වනුයේ අදාළ මාධ්‍යය ආයතනය ශ්‍රී ලංකාවේ සිට ක්‍රියාත්මක වේ නම් හෝ මණ්ඩලය නිකුත් කරන ව්‍යවහාර සංග්‍රහ (රීතින් සහ උපදෙස් මාලාවන් අඩංගු ලියවිලි) පිළිපැදීමට එකඟ වේ නම් පමණි. එම ව්‍යවහාර සංග්‍රහයන් නොපිළිපදින ලංකාව මුල්කර ගත් අන්තර්ජාල ප්‍රවෘත්ති මාධ්‍ය තහනම් වන බවක් මෙහි දක්වන්නේ නැත.
ස්වාධීන මණ්ඩලය දේශපාලන සංස්කෘතියට යටත් වේද?

කෙටුම්පතේ 29 වැනි වගන්තිය අනුව මෙම මණ්ඩලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මත ජනාධිපතිවරයා විසින් පත් කරන සාමාජිකයන් දහතුන් දෙන‍කුගෙන් සමන්විත වේ. 35 වගන්තිය තවදුරටත් දක්වා සිටින්නේ තම කාර්යයන් සහ වගකීම් ඉටු කිරීමේදී මණ්ඩලය මෙන්ම එහි සාමාජිකයන්ද බාහිර පාර්ශ්වයන්ගේ මැදිහත්වීම්වලින් මුළුමනින්ම ස්වාධීන වන බවයි. කෙසේ වුවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් 10 දෙනාගෙන් 07 දෙනෙකුම පාර්ලිමේන්තු නියෝජිතයන් වන හෙයින් ඔවුන්ගේ නිර්දේශ මත පත් කරන මණ්ඩලයක සාමාජිකයන් මුළුමනින් දේශපාලනික අරමුණු අත්හැර කටයුතු කරනු ඇතැයි සිතීම ප්‍රායෝගික නොවේ. එබැවින් දේශපාලනික පත් කිරීම‍ හරහා මෙකී මණ්ඩලයද යම් අවස්ථාවක දේශපාලන දහරාවක් දෙසට හරවා ගැනීමේ අවදානමක් පවතී.

අධිකරණ බලය‍ සහිත ආයතනයක්

කෙටුම්පතේ 35(2) වගන්තිය අනුව මණ්ඩලය තම කාර්යයන් ඉටුකිරීමේදී පළමු තැන දිය යුත්තේ භාෂණයේ සහ ප්‍ර‍කාශනයේ නිදහස ආරක්‍ෂා කිරීමත්, මහජන යහපත ඉටුකිරීමත් වෙනුවෙනි. ප්‍ර‍නාන්දු එදිරිව ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථා නඩුවේදී අධිකරණය කියා සිටියේ භාෂණයේ සහ ප්‍ර‍කාශනයේ නිදහස සත්‍යය වශයෙන්ම පැවැතීමට නම්, අසාධාරණ සීමා නොමැතිව තොරතුරු දැන ගැනීමේ අයිතිය ආරක්‍ෂා විය යුතු බවත්, ඊට තොරතුරු වාර්තා කිරීමට ඇති අයිතියද ඇතුළත් වන බවත්ය. 
වික්ටර් අයිවන් එදිරිව සරත් නන්ද සිල්වා නඩුවේදී ප්‍ර‍කාශ වූයේ සාමාන්‍ය පුරවැසියෙකුට හිමිවන මට්ටමට එහා ගිය ප්‍රකාශන නිදහසක් මාධ්‍යවේදීන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබාදී නොමැති බවයි. ඒ අනුව භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස ආරක්‍ෂා කරන අතර මහජන යහපත ඉටු කිරීමේදී මණ්ඩලයට කෙතරම් දුරට ප්‍රවේ‍සම්කාරී වීමට සිදුවන්නේද යන්න පැහැදිලි වේ.

මීට අමතරව ප්‍රවෘත්ති මාධ්‍ය සම්බන්ධව උපදෙස් දීම සහ මහජන උපදෙස් ලබා ගැනීම;
අන්තර්ජාතික ප්‍රමිතීන් සහ සාර්ථක උදාහරණ සහිත රටවල් ඇසුරින් ව්‍යවහාර සංග්‍රහ පැනවීම සහ කාලීනව ඒවාට වෙනස්කම් සිදුකිරීම;
එකී සංග්‍රහයන් අනුව ප්‍රවෘත්ති මාධ්‍ය ආයතන කටයුතු කරන්නේද යන්න සොයා බැලීම;
මණ්ඩලයේ කාර්යයන් ලෙස දක්වා තිබේ.
ආකාර හතරක කරුණු විමර්ශනය කිරීමේ බලතලද මණ්ඩලය සතුය. එනම්,
ව්‍යවහාර සංග්‍රහයන් කඩකිරීම පිළිබඳ පැමිණිලි,
පළකරන ලද වැරදි තොරතුරක් නිවැරදි කිරීමට අපොහොසත් වීම හෝ ප්‍රතික්‍ෂේප කිරීම පිළිබඳ පැමිණිලි,
මාධ්‍යවේදියෙකු හෝ මාධ්‍ය ආයතනයක සේවකයෙකුට ව්‍යවහාර සංග්‍රහයන් කඩකිරීමට අකමැති වීම හේතු කරගෙන පීඩා කිරීම පිළිබඳ පැමිණිලි ආදියයි.

මීට අමතරව ප්‍රවෘත්ති මාධ්‍ය සම්බන්ධව තමන්ට අවශ්‍ය යැයි හැ‍ඟෙන ඕනෑම කරුණක් විමර්ශනය කිරීමට මණ්ඩලයට හැකියාව පවතී. විමර්ශනය කරන්නේ හෝ නොකරන්නේ කුමක්ද යන්න සාමාජිකයන්ගේ තනි තීරණය මත රඳා පවතින නිසා මෙය පෙන්වා දිය හැක්කේ අත්තනෝමතිකව කටයුතු කිරීමට මාවත නිර්මාණය කරන්නක් වශයෙනි.
තවද, ඉහත විමර්ශන සඳහා ඕනෑම අයෙකු කැඳවීමටත්, එසේ කැඳවන කෙනෙකුගෙන් දිවුරුම් ප්‍ර‍කාශ මත තොරතුරු ලබා ගැනීමටත්, ඕනෑම තොරතුරක් ප්‍රවෘත්ති මාධ්‍ය ආයතනයකින් ඉල්ලා සිටීමටත් යෝජිත මණ්ඩලයට බලය පවතී. තවද, ව්‍යව‍හාර සංග්‍රහයන් ක්‍රියාත්මක කිරීමේදී මාධ්‍ය ආයතන ප්‍ර‍ධානීන් සහ සේවකයන් අතර ඉස්මතු වන ගැටලු විසඳීම මෙන්ම අවශ්‍ය අවස්ථාවලදී කරුණු සොයා බැලීමට කමිටු පත්කිරීමේ බලයද මණ්ඩලය සතුය.
ඉහත අවස්ථාවලදී මණ්ඩලය ඉදිරියට පැමිණීමට අපොහොසත් වීම, මණ්ඩලයේ කටයුතුවලට අනවශ්‍ය බලපෑම් කිරීම, හිතාමතාම වැරදි තොරතුරක් ලබාදීම, ඉල්ලා සිටි තොරතුරක් විනාශ කිරීම හෝ සැඟවීම යන කරුණු සඳහා වරදකරු වුවහොත් මාස තුනක සිරදඬුවමක් හෝ රුපියල් ලක්‍ෂයට වැඩි නොවන දඩයකට ඕනෑම අයෙකු යටත් කිරීමට ප්‍ර‍තිපාදන සපයා තිබේ. මෙසේ දඬුවම් මගින් පුරවැසියන්  සහ මාධ්‍ය ආයතන තවත් මණ්ඩලයක් වෙත බැඳ තැබීම ඊට අසීමිත බලයක්ද, අධිකරණමය තත්ත්වයක්ද ආරෝපණය කරන්නකි.

යුක්තියේ මාවත හරස් කරන බාධකයක්

කෙටුම්පතේ 39(1) වගන්තිය අනුව යම් මාධ්‍යය ආයතනයකට එරෙහිව අධිකරණයේ අපහාස නඩුවක් ගොනු කිරීමට නම් පළමුවෙන්ම යෝජිත මණ්ඩලය වෙත පැමිණිලි කිරීම‍ අනිවාර්යය වේ. එමෙන්ම 40 වගන්තිය දක්වන්නේ එවැනි පැමිණිල්ලක් විභාග කර මණ්ඩලය විසින් තීන්දුවක් දී ඇති අවස්ථාවක ඊට එරෙහිව ඉහළ අධිකරණයට අභියාචනා කරන්නේ නම් ඉල්ලා සිටින මුළු වන්දි මුදලෙන් සියයට දහයක් අධිකරණයේ තැන්පත් කිරීමට අභියාචනය කරන්නාට සිදුවන බවයි. මෙය %‘කිසිදු නඩුවක් බලහත්කාරයෙන් නොවිසඳිය යුතුය’ යන නීතියේ මූලික අදහසට විරුද්ධ වන අතර, අධිකරණයේ ආරක්‍ෂාව ලැබීමට පුරවැසියන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම සපයා ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමකි.

රටට වග කියන මාධ්‍ය සම්ප්‍ර‍දායක් බිහි කිරීමට නම්

ප්‍රවෘත්ති මාධ්‍ය තත්ත්ව පිළිබඳ ස්වාධීන මණ්ඩලය පිහිටුවීමේ අපේක්‍ෂාව වන්නේ ප්‍රවෘත්ති මාධ්‍ය ස්වාධීන කර ඒවා ප්‍ර‍මිතිගත කිරීමය. කෙටුම්පත මගින් යෝජිත ආයතනය පිහිටුවීම එම අරමුණ ඉටුකර ගැනීමට සුදුසු මාවත නොවන බව අපට හොඳින්ම පැහැදිලි වන්නකි. මාධ්‍ය ආයතනවලට තමන් විසින්ම සකසා ගත් නීති රාමුවක් තුළ ක්‍රියාත්මක වීමට ඉඩ ලබාදීමත්, එම නීතිරීතිවල ගුණාත්මකභාවය නැංවීම පිණිස පමණක් රාජ්‍ය මැදිහත් වීමත් ශ්‍රී ලංකාවේ යහපත් මාධ්‍ය සම්ප්‍ර‍දායක් නිර්මාණය කිරීමට හොඳම ක්‍රමවේදය බව ඒ අනුව කිව හැකිය.

යෝජිත ප්‍ර‍වෘත්ති මාධ්‍ය තත්ත්ව පිළිබඳ ස්වාධීන මණ්ඩලය ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස සැබෑවටම ආරක්‍ෂා කරන්නක්ද? සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :