චිත්ත වික්ෂේපය ගැන ඔබ දැනුම්වත්ද
( නාලිකා රාජපක්ෂ ) 2018-01-09 09:58:19
Comments - 0       Views - 482

වැඩිහිටි  නැතිනම් මහළු විය සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු සිතන්නේ  එතරම් කැමැත්තකින් නොවේ. එයට හේතුව වියපත්වීමත් සමගම ඇතිවේ යැයි සිතන රෝගාබාධ මෙන්ම කායික ශක්තියේ මතුවන නොයෙකුත් දුර්වලතා හේතුවෙනි. මේ වන විට අප රටේ වැඩිහිටි ජනගහණය සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින අතර ඒ සමගම වැඩිහිටියන් වෙනුවෙන් සපයන සෞඛ්‍ය සේවාවන් වැඩි දියුණු කිරීම කෙරෙහිද රජයේ අවධානය යොමුව තිබේ. නමුත් වියපත්වීම යනු රෝගීවීම නොවේ. බොහෝ විට විශ්‍රාම වීවිතය සම්බන්ධයෙන් අප අසන්නට දකින්නට හුරු පුරුදුව ඇත්තේ වැඩක් නොකර නිකම් සිටීමට උදාවන කාලය යන්න වුවත් වැඩිහිටි විය යනු වඩාත් ඵලදායී ලෙස ක්‍රියාකාරීව වැඩ කළ හැකි අවධියක්ය යන්න  ලෝකයේ පිළිගැනීමයි. කෙසේ නමුත් මහළු විය එළැඹීමේදී වඩාත් නිරෝගී විය යුත්තේ මානසිකත්වයයි. ඒ හරහා නීරෝගීමත් ශරීර ශක්තියක් ඇතිකර ගැනීමට යමෙකුට  බාධාවක් නොවේ. එහෙයින් අද අප සෞඛ්‍ය පිටුව තුළින් සාකච්ඡාවට බඳුන් කරනුයේ වියපත්වීම සමග නොදැනීම ඇතිවීමට ඉඩ පවතින මානසික තත්ත්වයේ එක් වෙනස්වීමක් පිළිබඳවය.


160503_dx_sexualharassment_jpg_CROP_cq5dam_web_1280_1280_jpeg

මහළුවිය එළැඹීම , නැතහොත් වියපත්වීම යනු දුර්වලවීම හෝ හැකියාවන්ගෙන් තොරවීම නොවේ. බොහෝදෙනෙකු සිතාසිටින්නේ වියපත්වීම යනු සිරුරින් මනසින් දුර්වල රෝගියෙකු බිහිවීමට මග විවෘතවීමක් ලෙසය. එහෙයින් ඔවුන් කයින් මනසින් ඇතිවන යම් දුර්වලබවක් වයස මත පටවා ප්‍රතිකාර වෙත යොමුවීම මගහැර සිටී එයින් සිදුවන්නේ එය තීව්‍ර රෝගී තත්ත්වයක් ලෙස වැඩි දියුණු වී විශාල සමාජ ප්‍රශ්නයක් ගොඩ නැංවෙන අතර වැඩිහිටියාට ජීවිතයේ සැඳෑ සමය අසතුටින් රෝගී අයෙකු ලෙස සීමා වී ගෙවන්නට සිදුවීමය. ඩිමෙන්ෂියා නැතිනම් චිත්ත වික්ෂේපය  ගැන ඔබ දැන සිටිය යුතුවන්නේ මෙවැනි පසුබිමකය. වයස අවුරුදු 60 ට වැඩි  මෙන්ම ඇතැම් විට ඊට අඩුවයස් වලදීද ඩිමෙන්ෂියා රෝග ලක්ෂණ මතුකරවන්නට ඉඩ ඇති අතර කාන්තාවන් අතර තුන් ගුණයකින් බහුලය. ඩිමෙන්ෂියාවට ප්‍රතිකාර ලබානොගත හොත් මරණීය රෝගයක් දක්වා වැඩි දියුණු විය හැකිවාක් මෙන්ම විෂාදය වැනි වෙනත් මානසික රෝගවලටද ගොදුරුවීමේ ඉඩකඩක් සලසනු ඇත. ඇතැම් විට වැඩිහිටියන් විසින් සිදුකරන සමහර කාර්යයන් අප  ඩිමෙන්ෂියාව යැයි හඳුනානොගන්නා තරමට සුලභ රෝග ලක්ෂණ පෙන්නුම් කරයි.

ආහාර ගෙන සිටින විටත් ආහාර නොගත් බව පැවසීම, උපැස් යුවළ නළලත රඳවාගෙන සිටියදී එය අස්ථානගතව ඇතියි පවසමින් සෙවීම, නිතරම අමතකවීම් සිදුවීම, ලැජ්ජාව බය නොමැති හැසිරීම් පෙන්වීම ,වයස්ගත බවට නොගැලපෙන සේ ආදර සම්බන්ධතා පිළිබඳ තරුණ අයෙකු සේ කතාකිරීම කටයුතු කිරීම, පිරිසක් ඉදිරියේ අඳුම් මාරුකිරීම ,බහිශ්‍රාවීය කටයුතු කරන්නට ඉදිරිපත්වීම හා ලිංගික වශයෙන් යම් යම් වෙනදා නොපැවති හැසිරීම් දැක්වීම තුළින් ඇතමුන් මනමාලකම් පෑම ලෙසින් හඳුන්වන හැසිරීම්වලට නිරන්තරයෙන් යොමුවීම,වැනි ලක්ෂණ චිත්ත වික්ෂේපයේ ලක්ෂණ ලෙස සැළකිය හැකිය. යම් හෙයකින් ඔබේ මව හෝ පියා නැතිනම් විවාහ නොවී  වියපත්ව සිටිමින් පසුවන ඔබේ සොයුරිය,සොයුරා ,වැඩිහිටි ඥාතියා විසින් මෙවැනි හැසිරීමක් පල කරන්නේද? වයසට නොගැලපෙන ඉහත කී හැසිරීම් දක්වන අයෙකු දුටු විට ඔබ ඒ සම්බන්ධයෙන් පළමුව සිතන්නේ කුමක්ද?

අක්කා හැසිරෙන්නෙ හරියට දාසයයි මාසයයි වගේ. කොයිවෙලාවෙත් කතාකරන්නේ ආදරේ කරන හැටියි, කසාද ගැනයි එයාට දැන් මොන මගුල් ද අවුරුදු පණහත් පැනලානේ පොඩි කෙල්ලො වගේ  එයාගේ බොළඳ හැසිරීම් දකිද්දි අප්පිරියයි. අයියා තරුණ කාලෙවත් නැති තරම් මනමාලකම් කරන්න පටන් අරන්නේ දැන් ,අම්මාව ගෙදර තියාගන්නත් බැරි තරම් ජරා විදිහට හැසිරෙන්නේ.? හරියට අපෙන් පළිගන්න වගෙයි. මෙයාව කෙනෙක් ආවට ඉස්සරහට ගන්නවත් පුලුවන්ද ? මොනවා හරි අපිට අවනම්බුවක් වෙන වැඩක්මයි කරන්නේ..
මේ සමහර විට ඩිමෙන්ෂියා රෝගයට ගොදුරු වූ මවක්  සොහොයුරියක් , සොහොයුරෙක් පිළිබඳ ඇතමුන්  සිතන ආකාරය වෙන්නටත් පුලුවන්. නමුත් ඒ අයගේ  හැසිරීමේ අමුත්තක් ඔබ පැහැදිලිවම දකිනවා නම් ඔවුන්  සම්බන්ධයෙන් එවැනි නිගමන වලට එළැඹෙන්නට පළමුව ඔවුන්ව කාරුණිකව මනෝ වෛද්‍යවරයෙකුගේ පරීක්ෂණයකට යොමුකරන්න.

කිසියම් අයෙක් විවාහ නොවී වයස්ගතව සිටින විට ඔවුන් අතින් මෙවන් චිත්ත වික්ෂේප තත්ත්වයක් නිසා මතුවන හැසිරීමේ වැරදි  බොහෝ දෙනෙකු බැර කරන්නේ විවාහවීමට අවස්ථාවක් නොලැබුණු නිසා ඇතිවුණ මනමාලකම් වශයෙන් වීමට ඇති ඉඩ කඩ බොහෝය.  ඒ අයට එම හැසිරීම තමන්ට නොගැලපෙන බව හෝ තමන් දැන් සිටින්නේ එවැනි හැසිරීම් පෑමට උචිත නොවන වයසකය යන්න සිතන්නටද ස්වාධීන මානසික නිරවුල්බවක් නොමැතිවීමෙන් ප්‍රශ්නය තවත් දික් ගැස්සෙයි.මෙවැනි තත්ත්වයක් ඇති අයෙකු දුටු විට එය පිළිබඳ අවබෝධයෙන් වහාම මානසික වෛද්‍යවරයෙකුගේ පරීක්ෂාවකට රෝගියා යොමුකිරීමෙන් මෙම තත්ත්වය උත්සන්නවීමෙන් ඇති විය හැකි ප්‍රශ්න කල්තියාම විසඳාගන්නට හැකියාව ලැබේ.
අප බොහෝ දෙනෙකු සිතන්නේ වයස්ගතවීම අමතකවීමට බලපාන ප්‍රධාන හේතුවක් බවයි. (නමුත් මේ රෝගයට විවාහ වූවාය නොවූවාය යන්න බලපාන්නේ නැත.) ඒ නිසා අම්මට තාත්තට නිතර ඇතිවන අමතකවීම් දැන් ඉතිං වයසයිනේ කියා සාධාරණීකරණය කරන්නට පෙළඹෙන්නට එපා. එය ඔවුන් ප්‍රතිකාර ලබාගත යුතු රෝගයක්.

මේ රෝගය වයස්ගතවන හැම අයෙකුටම ඇතිවෙන්නේ නැහැ. වයස්ගතවීම සෑම රෝගයකටම බලපාන පොදු සාධකයක්ද නොවෙයි. නමුත් ඇතැම් අය වයස්ගතවීම නිසා කායිකව මානසිකව දුර්වලතාවයන් ඇතිකරන්නට සමත් බව සිතා සිටියත් එහි සත්‍යයක් නැති බව ඔබ දැන සිටිය යුතුයි. නමුත් මොළයේ සෛල යම් ආකාරයකින් ප්‍රමාණාත්මකව අඩුවෙන්නට බලපෑ හැකි හේතුවක් හමුවුවොත් මොළයේ ක්‍රියාකාරිත්වය අඩුවෙන්න පුලුවනි. යම් ආකාරයකින් මේ නිසා මොළයට යම් හානිකර තත්ත්වයක් ඇතිවුවහොත් නැවත එය යථා තත්ත්වයට පත්වීම අඩුවෙන්නට පුලුවන්. නමුත් මෙය හඳුනාගෙන ප්‍රතිකාර කිරීමෙන් රෝගය ආපසු හරවා යවන්න පුලුවන්. සාමාන්‍යයෙන් දියවැඩියාව අධිරුධිර පීඩනය සහ කොලෙස්ටරෝල අධිකතාවය වැනි බෝ නොවෙන රෝග හේතුවෙන් මොළය අතුරු ආබාධයන්ට ලක්වීම අද බහුලව දකින්නට තිබෙන තත්ත්වයක්. මෙවැනි තත්ත්වයන් මත ඩිමෙන්ෂියා වැනි තත්ත්වයක් කළින්ම හඳුනාගෙන ප්‍රතිකාර කරන්නට ක්‍රියා නොකළහොත් රෝගය වඩාත් වැඩි දියුණු තත්ත්වයට පත්වෙන්නට හැකියි.

 රෝගයේ ප්‍රධානතම ලක්ෂණ විවිධ ආකාරයෙන් මතුවෙන්නට පුලුවන්. අස්වාභාවික ලෙස හදිසියේ සියලු දේ සැක කරන්නට පටන් ගැනීම . තමන් වයස්ගත බව අමතක කරමින් තරුණ වයසේ පසුවන්නේ යැයි සිතමින්, තමා  සමග  ලිංගික සම්බන්ධකම් පවත්වන  තමන්ගේ ආදරවන්තයා හෝ ආදරවන්තිය  යැයි සිතින් මවාගත් කිසියම් පිරිමියෙකු හෝ ගැහැණියක තවත් කෙනෙක් විසින් උදුරාගන්නට කටයුතු කරනවා යැයි කියමින්  බැණ වැදීම සහ එවැනි කාරණාවලට භාහිර පුද්ගලයින් සමග කළහ කිරීම , තමන්ට කිසියම් නොපෙනෙන අයෙකු ඉතා දරුණු ලෙස චෝදනාකරමින්  බැන වදින්නේ යැයි පැමිණිලි කිරීම, වෙනදා පැවති පෞරුෂය බිඳ වැටෙමින් පවතින බව පෙන්වමින් විවිධ නොගැලපෙන හැසිරීම් මතුකිරීම, ඩිමෙන්ෂියා තත්ත්වයක පෙර නිමිත්තක් වෙන්නට පුලුවන. 

ඇතැම් වැඩිහිටියන් ඔවුන්ට හුරු පුරුදු පරිසර තුළින් ඈත්වන විට නොසන්සුන් ලක්ෂණ පෙන්වන්නට පුලුවන්. ඔහු හෝ ඇය ඩිමෙන්ෂියා තත්ත්වයට යමි සමීපතාවයක් දක්වන්නේ නම් හුදකලාවීම තුළ තත්ත්වය තවත් දරුණු අතට පත්වෙන්නටත් පුලුවන්. බොහෝ විට ඔවුන් තමන්ට නින්ද නොයන බව පවසන්නටත් ඒ සඳහා ඖෂධ ලබාගන්නටත් පෙළඹෙන්නට හැකියි. එමෙන්ම ඔවුන් වෙනදා කළ බොහෝ දෑ කරන්නට නොහැකියාවක් දක්වන්නට පුලුවන්. උයා පිහා ගැනීම  හා යමක් ලියන්නට කියවන්නට වූ හැකියාවද මේ සමග වෙනස් වෙන්නට පුලුවන. ඇතමුන් නින්ද යන්නට යැයි සිතා මත් පැන් බීමට යොමු වෙයි. නමුත් මත් පැන් යනු මනෝ රෝග හෝ කිසිදු අන්දමේ කායික රෝගයකට ඖෂධයක් නොවේ. ඒවා වැඩි දියුණුවීමට බලපානු ලබන හා ක්‍රියාකරනු ලබන සංයුතියක් පමණකි. ඩිමෙන්ෂියා රෝගයේදී  එම රෝගීන් විෂාදයට ගොදුරුවීමද බහුලව දැකිය හැකිය. ඔවුන්ට ස්වාධීන ජීවිත ගතකරන්නට හැකියාවක් නොමැතිව යන අතර  එන්න එන්නම මේ තත්ත්වය වර්ධනය වෙන්නට ඉඩ තිබේ. අමතකවීම තුළින් ආරම්භ වෙන අල්ෂයිමර් ඩිමෙන්ෂියාව මෙන්ම වැස්කියුලර් ඩිමෙන්ෂියාව යන මේ කුමන තත්ත්වයක් වුවත් ඒ සඳහා වෛද්‍යවරයෙකු වෙත යොමුකිරීම අවශ්‍යය. අල්ෂයිමර් ආරම්භ වෙන්නේ මොළයේ බුද්ධිමය හැකියාවන් ඇතිකරන ප්‍රදේශය ආශ්‍රිතව ඉතාම සුලු ප්‍රදේශයක් ආක්‍රමණය කරමිනුයි. එයින් සිදුකරන්නේ මොළයේ සෛල මැරෙමින් මොළය ආක්‍රමණය කිරීමයි. මුලදී සුළුවෙන් පටන් අරගත්තත් පසුව එය ක්‍රමයෙන් පැතිරෙන්නට පටන්ගැනීමත් සමග මොළය ක්ෂයවීමට නැතිනම් හැකිලී  කුඩාවීමට පටන් ගනී.  මේ සමග රෝගියාගේ රෝග ලක්ෂණද තීව්‍ර තත්ත්වයකට පත්වෙයි. එන්න එන්නම වැඩිවෙන  අතර මුදල් හංගා ඒවා හැංගුව තැන් අමතකව යාම , ගෙයින් පිටත ඉබාගාතයේ ඇවිද නැවත එන්නට පාර අමතකවීම,  වදන් පිටකිරීමට නොහැකියාව,  පිරිසක් ඉදිරියේ වෙන අන් කවරදාකවත් නොකළ අන්දමේ හැසිරීම් පෑම, ප්‍රසිද්ධියේ ලැජ්ජා බය නැතිව හැසිරීම , ඇතැම් විට තම පවුලේ අයට මෙන්ම පිටස්තර අයටද  ලිංගිකව අතවර කිරීමට  උත්සහ දැරීම  වැනි ලක්ෂණ පෙන්වන්නටද ඉඩ ඇත. මෙවන් ලක්ෂණ දුටු වහාම ඔහු හෝ ඇය වහාම මනෝ වෛද්‍ය පරීක්ෂණයකට යොමුකිරීම තුළ ස්මරණ හා බුද්ධි පරීක්ෂණයක් සිදුකර හා එයට අදාල අනෙකුත් පරීක්ෂණ මගින් ඩිමෙන්ෂියා රෝග තත්ත්වය තහවුරු කරගන්නා අතර  අදාල ප්‍රතිකාර වෙත යොමු කරමින් තවදුරටත් මොළයේ සෛල විනාශවෙමින් හැකිලීයාම නවතා රෝගියා ප්‍රකෘති මානසික තත්ත්වය වෙත ලඟාකිරීම  කඩිනමින් සිදුකරනු ඇත.  එතෙක් ඔවුන් වෙතින් සිදුවන ක්‍රියාවන් විවේචනය කරමින් හෙලාදකිමින් ඔවුන් වැරදි කරුවන් කිරීම මොහොතකට ප්‍රමාද කරමු. මන්ද සැබවින්ම ඔවුන් වරදිකරුවන් නොවෙන බැවින් ඔවුන් දෙස සානුකම්පිතව බැලීම වැදගත් බැවිණි. ප්‍රතිකාර තුළින් මේ සියලු රෝග ලක්ෂණ පාලනය කළ හැකි වග සිහිතබාගන්න. යම් ආකාරයකින් ඩිමෙන්ෂියාවද යන්න සැකහැර දැනගන්නට හෝ ඩිමෙන්ෂියා රෝගියෙකුගේ ඇවතුම් පැවතුම් මෙන්ම රැකබලාගැනීම සම්බන්ධයෙන්ද  ඔවුන්ගේ ආර්ථිකමය ගැටලු සඳහා ආධාර වශයෙන් සමාජසේවා ආයතන මගින් සිදුකරන සේවාවන් වැනි දෑ සම්බන්ධ තොරතුරුද ඔබට 011 3140844 යන දුරකථන අංකය ඇමතීමෙන් ලබාගත හැකිය. මෙම පුද්ගලයන් රැකබලාගැනීම පවුල තුළ තබාගැනීම තුළින්ම කළ යුතු අතර එම හැසිරීමට මුල්ව ඇත්තේ රෝගි තත්ත්වයක් බැවින් රෝගියා වෙක දක්වන ආදරය කරුණාව දයාව මෙන්ම රැකවරණය ලබාදෙන්නට තරම් සංවේදී වීම වැදගත්ය. ඔවුන්ට ඔබේ ජීවිතය තුළ ඔබ දුන් වටිනාකම රෝගය නිසා නැතිවී යන්නට ඉඩ තබන්නට එපා. නිසි ප්‍රතිකාර තුළින් ආයෙමත් ඔහුට අයට ඔබේ ලෝකයේ ඇති ස්ථානය පිරිනමන්න අත දිය යුතුම මොහොතේ ඔබේ හදවතට ඊට ආරාධනය කරන්න. ඩිමෙන්ෂියාව ජයගන්නට ඔබටද බොහෝ දේ කළ හැකිය.

 

චිත්ත වික්ෂේපය ගැන ඔබ දැනුම්වත්ද සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :