නව වසරට Huawei වෙතින් 'ස්මාට්' ෆෝනයක්
( පැතුම් පුංචිහේවා ) 2018-01-04 10:02:20
Comments - 0       Views - 801

Huawei P smart 1

ස්මාට්ෆෝනයක් මිලදී ගැනීමට පෙරාතුව ඔබ විසින් සලකා බලන මූලික කරුණු මොනවාද? බොහෝ දෙනෙකු මූලිකවම සිතා බලන්නේ තමන්ට අවශ්‍ය දුරකථන සන්නාමය නැතිනම් වෙළෙඳ නාමය කුමක්ද යන්න වන අතර, දෙවෙනුව තමන්ට දැරිය හැකි මිල ගණන් පරාසය තුළ එම වෙළෙඳ නාමය යටතේ මිලදී ගත හැකි දුරකථන මොනවාද යන්න සලකා බැලෙනු ඇත. මෙම රීතියෙන් වෙනස් වන්නන්ද සිටිනා නමුත් ඒ ස්වල්ප දෙනෙකු වන අතර, ඔවුන්ද යම් තැනකදී තමන්ට අවශ්‍ය ස්මාට්ෆෝනයේ වෙළෙඳ නාමය පිළිබඳව සැලකිලිමත් වනු ඇත.

මෙයට වසර හයකට පෙරාතුව Ericsson සමාගම තමන් යටතට ගනිමින් ඉදිරියට පැමිණි Huawei සමාගම මේ වනවිට ලෝකයේ විශාලතම ටෙලි සන්නිවේදන උපාංග නිෂ්පාදන සමාගම වේ. ඔවුන් විසින් වෙළෙඳ පොළට ස්මාට්ෆෝනයන් ඉදිරිපත් කිරීම ඇරඹූ විට බොහෝ දෙනෙකු විසින් එම ස්මාට්ෆෝන් උපාංගයන් සැලකූයේ ප්‍රමුඛ පෙළේ ස්මාට්ෆෝන් සන්නාමයන් යටතේ පැමිණෙන නිෂ්පාදනයක් මිලදී ගැනීමට නොහැකි නම්, අවධානය යොමු කළ හැකි ලාභදායී ද්විතීයික විකල්පයක් ලෙසිනි. කෙසේ නමුත් එතැන් සිට නාමය දිගු ගමනක් පැමිණ සිටිනා අතර, මේ වනවිට ඔවුන් ලෝකයේ ප්‍රමුඛතම ස්මාට්ෆෝන් සන්නාමයන් හා කරටකර සිටිය හැකි ආකාරයේ ඉහළ ගුණාත්මක තත්ත්වයක ස්මාට්ෆෝන් නිෂ්පාදනය කරනා අතරම, ඔවුන්ගේ ස්මාට්ෆෝන් උපාංගයන් ඕනෑම අයෙකුට පහසුවෙන් මිලදී ගත හැකි ඉතාමත්ම අඩු මිලක හොඳ උපාංගයන්ගේ සිට, ඉතාම ඉහළ මිලකට අලෙවි වන ඉහළ ශක්‍යතා උපාංගයන් දක්වා පරාසයකට අයත් වේ. මෙම වසරේදී බොහෝ දෙනෙකු හඳුනා ගැනීමට නියමිත Huawei P Smart ස්මාට්ෆෝනයද ඉන් එකකි.
පසුගිය වසර අවසානයේදී Huawei Enjoy 7S යන නමින් නිකුත්වීමට නියමිත ඉහළ ශක්‍යතා ස්මාට්ෆෝනයක් සම්බන්ධයෙන් විස්තර අන්තර්ජාලය තුළ සංසරණය වූ අතර, මෙම ස්මාට්ෆෝනය අවසානයේදී Huawei සමාගමේ නව අවුරුදු ත්‍යාගය ලෙසින් Huawei P Smart යන නමින් වෙළෙඳ පොළට හඳුන්වා දෙන්නට යෙදිණි.

Huawei P smart 2

මෙම Huawei P Smart ස්මාට්ෆෝනය අඟල් 5.65ක තිර ප්‍රමාණයකින් යුක්ත වන අතර, එය සාමාන්‍යයෙන් ස්මාට්ෆෝනයන් සම්බන්ධයෙන් හුරුපුරුදු තිර ප්‍රමාණයක් නොවන බව කිව යුතුවේ. මෙම IPS LCD FHD+ තිරය 1080 x 2160 විභේදනයකින් යුතුව ඉහළ ගුණාත්මක තත්ත්වයක රූපයන් දර්ශනය කිරීමට සමත් බවද කිව යුතුවේ.

මෙය Huawei සමාගමේ නවතම HiSilicon Kirin 659 SoC චිප තාක්ෂණය භාවිත කරමින්, Octa-core Cortex-A53 (4x2.36 GHz Cortex-A53 & 4x1.7 GHz) ප්‍රොසෙසරයක් මගින් ධාවනය වනු ඇත. දැනට දැනගැනීමට ඇති ආකාරයට මෙම ස්මාට්ෆෝනය මතක ධාරිතාව මත පදනම් වූ සංස්කරණයන් දෙකකින් වෙළෙඳ පොළට නිකුත් වනු ඇත. ඉන් එක් සංස්කරණයක ‍3GB රැම් මතකයක් සහ 32GB මතක ධාරිතාවක් ඇති අතර, අනෙක් සංස්කරණයට 4GB ‍රැම් මතකයක් සහ 64GB මතක ධාරිතාවක් ඇතුළත් වනු ඇත. එසේම මෙම සංස්කරණ දෙකේම MicroSD මතක චිපයක් භාවිත කරමින් බාහිර මතකය 256GB දක්වා ඉහළ නැංවීමටද පහසුකම් සපයා ඇති අතර, කෙසේ නමුත් ඒ සඳහා මෙහි දෙවෙනි සිම් කාඩ්පත් ද්වාරය භාවිත කිරීමට සිදුවනු ඇත.
මෙය ධාවනය වන්නේ නවතම Android 8.0 Oreo මෙහෙයුම් පද්ධතිය මතින් වන අතර, ඒ නිසා පරිශීලකයන් හට Android Oreo මෙහෙයුම් පද්ධතිය සමගින් හඳුන්වා දෙනු ලබන Smart notifications, Picture-in-picture වැනි බොහෝ නවීන පහසුකම්ද අත්විඳීමට අවකාශ ලැබෙනු ඇත.

මෙම Huawei P Smart ස්මාට්ෆෝනයේ කැමරා පද්ධතිය සම්බන්ධයෙන්ද ස්මාට්ෆෝනයන්ට සාපේක්ෂව බොහෝ බලාපොරොත්තු තබාගත හැකි බවට මේ සම්බන්ධයෙන් අන්තර්ජාලය තුළ අදහස් දක්වන්නන් කියා සිටී. මෙහි පසුපස ප්‍රධාන කැමරා පද්ධතියට 13MP සහ 2MP විභේදනයන්ගෙන් යුතු කැමරා ද්විත්වයක් ඇතුළත් වේ. එයට ෆ්ලෑෂරයක්ද ඇතුළත් වන අතර, Geo-tagging, touch focus, face detection, HDR, panorama වැනි විශේෂාංගයන්ගෙන් කැමරා පද්ධතිය සම්පූර්ණ වේ. එමෙන්ම එයට 1080p@30fps ගුණාත්මකභාවයකින් යුතුව වීඩියෝ පටිගත කිරීමටද හැකියාව තිබේ. ඉදිරිපස ද්විතීයික කැමරාව 8MP විභේදනයකින් යුක්ත වේ.
මේ වනවිට බොහෝ ස්මාට්ෆෝනයන් සමගින් පැමිණෙන ආකාරයට ඉවත් කළ නොහැකි ලෙසින් සැකසූ 3000 mAh ලිතියම් පොලිමර් බැටරියක් Huawei P Smart ස්මාට්ෆෝනයට අන්තර්ගත කර ඇත. මෙය සාමාන්‍යයෙන් පැය 11ක කථා කිරීමේ කාලයක් ලබාදිය හැකි බලයක් ලෙසින් සැලකුවත්, ශ්‍රී ලංකාව වැනි රටකදී එම බැටරි ආයුකාලය වෙනස් විය හැක. මෙහි Wi-Fi සහ ‍Bluetooth රැහැන් රහිත සබඳතා පහසුකම්ද සපයා ඇති අතර, ස්මාට්ෆෝනයේ ඉදිරිපස ස්ථාපිත ඇඟිලි සලකුණු හඳුනාගැනීමේ සංවේදකයන් සහ accelerometer, proximity, compass යන සෙන්සරයන්දඅන්තර්ගත කර තිබේ. මෙහි මිලද ඉහළ ශක්‍යතා ස්මාට්ෆෝනයක මිලකට සමාන වනු ඇතැයි අනුමාන කෙරෙනා අතර, බොහෝ විට ශ්‍රී ලංකාවේදී මෙහි මිල රුපියල් පනස් දහසකට ආසන්න හෝ ඊට වැඩි වනු ඇතැයි අපේක්ෂා කළ හැක. 

Huawei P smart 3

මෙය සාපේක්ෂව සාධාරණ මිලක් ලෙසින් සැලකිය හැකි වුවත්, මෙම Huawei P Smart ස්මාට්ෆෝනයේ පහසුකම් ඌනතාවන් සම්බන්ධයෙන්ද මේ වනවිටද සැක ශංකාවන් මතුවෙමින් පවතින බව සඳහන් කළ යුතුවේ. 
එයින් ප්‍රධානතම අඩුවක් ලෙසින් අසන්නට ලැබෙන්නේ මෙයට Corning Gorilla Glass තිර ආරක්ෂණය නොමැති වීමයි. මෙය සැබවින්ම ප්‍රධාන අඩුපාඩුවක් ලෙසින් සැලකීමට සිදුවන්නේ, මධ්‍යම ශක්‍යතා ස්මාට්ෆෝනයන් සමගින් පවා වර්තමානයේදී Gorilla Glass තිර ආරක්ෂණය පැමිණීම නිසාවෙනි. එසේම සාමාන්‍යයෙන් ස්මාට්ෆෝනයක් තබා ඇති දිශානතිය හඳුනාගැනීමට භාවිත වන Gyroscope සෙන්සරයද මෙහි නොමැති බව කියැවේ. 
මීට අමතරව ‍රැහැන් රහිත සම්බන්ධතා පහසුකමක් වන NFC ද මෙහි ඇති බවක් නොදැක්වේ. කෙසේ වුවත් තවමත් Huawei සමාගම මගින් නිල වශයෙන් මෙම ස්මාට්ෆෝනයේ පිරිවිතර තම වෙබ් අඩවියේ දක්වා නොමැති නිසා, මේ සම්බන්ධයෙන් වැඩිමනත් යමක් කීමට නොහැකි වේ.

නව වසරට Huawei වෙතින් 'ස්මාට්' ෆෝනයක් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :