අපේ සෞඛ්‍ය ගැන අලුතින් සිතමු
( නාලිකා රාජපක්ෂ ) 2018-01-02 13:10:40
Comments - 0       Views - 186

අද නව වසරේ ඇතැම් පාසල් නැවත විවෘත වන දිනයයි. ඔබේ දරුවා පසුගිය වසරේ හොඳින් නිරෝගීව තම කටයුතු සිදුකරමින් පසුවූවා නම් මෙම වසරේද එම තත්ත්වය වැඩි දියුණු කොට පවත්වාගන්නට කටයුතු කිරීම සම්බන්ධයෙන් මෙම ලිපිය ඔබට වඩාත් වැදගත් මග පෙන්වීමක් කරනු ඇත. නමුත් පසුගිය වසරේ දරුවා වැඩි පුර අසනීප වූවා නම් දරුවාගේ වැඩ කටයුතු අඩාල වූවා නම් මේ වසරේ එවැනි තත්ත්වයකට ඉඩ නොතබා දරුවා වෙනුවෙන් කැපවීමට ඔබට මේ කරුණු වඩා වැදගත් මෙහෙයක් ඉටුකරනු ඇත. අප මේ ඔබේ අවධානය යොමු කරනුයේ දරුවාට දියර හෝ පෙති ලෙස කෘතිමව විටමින් වර්ග ලබා දිය යුතු බව කියන්නටවත්  ෆුඩ් සප්ලිමන්ට් යනුවෙන් හඳුන්වන අතිරේක ආහාරමය නිෂ්පාදන වලට මුදල් වියදම් කළ යුතු බවට අවධාන යොමු කරවීම කෙරෙහි නොවේ. මේ වෑයම පානීය ජලය දරුවෙකුට කොතරම් බලපානවාද යන්න පිළිබඳ ජාතික වශයෙන් යම් අවධානයක් යොමුකරවීමේ මාධ්‍ය මෙහෙවරට අත හිත දෙමින් වසරේ ප්‍රථම සෞඛ්‍ය පිටුව වෙත යොමුවන්නටය


girl-drinks-pure-water-banner

වැඩිහිටියන් බොහෝ දෙනෙකු දරුවාගේ සහ තමන්ගේ පැවැත්ම සම්බන්ධයෙන් කතාකරන විට වැඩි අවදානයක් දක්වන්නේ ආහාර සම්බන්ධයෙනි. කන්නේ මොනවාද සහ කෑමට දිය යුත්තේ මොනවාද යන්න මිස පානය සඳහා වඩා යෝග්‍ය වනුයේ මොනවාද යන්න එතරම් අවධානයකට ලක් නොවෙයි. නමුත් සිරිතට මෙන් නිවසෙන් සකස් කළ වතුර බෝතලයක් දරුවාගේ පාසල් බෑගයත් සමග ලබාදෙන නමුත් ඇතැම් විට ඔබේ දරුවා ඒ වතුර බෝතලය පානය නොකර නැවත නිවසට රැඟෙන එනවා ඇත. මෙවැනි අවස්ථාවක ජලය පානය නොකරේ ඇයි දැයි නාසන ඔබ කෑම පේටියේ කෑම ටික ඉතිරි වූ විට නම් නොකෑවේ ඇයි දැයි අසන්නට පමා නොවනු ඇත. 

ඇතැම් පාසල් ගුරුවරුන් දරුවන් පංති කාමරවලින් පිටට නොයවා රඳවා ගැනීමේ වෑයමක් ලෙස දරුවාට වැසිකිලි යෑමේ අවසරය ලබා දෙන්නේ විවේක කාලයට පමණි. නමුත් අවශ්‍ය තරම් ජලය පානය කරන්නට දරුවාට උවමනාව තිබුණත් පංති කාමරයෙන් පිටට  යෑමේ අවසරය ලබා ගැනීමට ඇති අසීරුතාව නිසා දරුවා ජලය පානය කිරීමෙන් වැළකී ඉන්නා අවස්ථා දරුවන් විසින්ම හෙළි කර තිබීම මෙය ගැටලුවක් බවට ඉස්මතුවී පෙනෙන්ට හේතුවකි. විවේක කාලයද ඉතා සීමිත බැවින් මුලු පාසලටම ලැබෙන එම විවේකයේදී බහිශ්‍රාවීය කටයුතු වෙනුවෙන් යොදවන්නට දරුවන්ට කාලයක් නොලැබීම හේතුවෙන් දරුවන් ජලය පානය නොකර ඉන්නට හුරුව ඇතැයි යන්න ඇතැම් දරුවන් ජලය පානයෙන් ඈත්වී ඉන්නේ ඇයි දැයි ඇසූ විට දැන් දැන් බහුලව ලැබෙන පිළිතුර වී තිබේ. නමුත් දෙගුරුන් මෙන්ම දරුවන්ද ජලය පානය දෛණික ජීවිතයට හා සිරුරේ ක්‍රියාකාරිත්වයට බලපාන්නේ කෙසේදැයි යන අවබෝධය දැඩිව ලබාගත යුතු කාලයකි මේ. මන්ද දැන් දැන් වකුගඩු රෝගී දරුවන් ගැන අසන්නට දකින්නට ලැබෙන අවස්ථා බහුලවීම දිවයිනේ සියලුම පළාත්වලින් වාර්ථාවන බැවිණි.
මිනිස් සිරුරේ දේහ බරින් සියයට හැටකටත් වඩා පවතින්නේ ජලය බව ඔබ දන්නවාද? කෙසේ නමුත් මිනිසෙකුට ජලය නොමැතිව ජීවත් විය හැකි කාලය වනුයේ දින තුන සිට පහ දක්වා අතර කාලයකි.  ආහාර නොමැතිව ඊට වඩා යම් කාල පරාසයක් ජීවත් විය හැකි වුවත් ජලය නොමැතිව  ජීවත්වීමට බැරි බව ඇත්ත කතාවයි.

ජලය එසේ අත්‍යවශ්‍ය වනුයේ ඇයි.

රුධිරයේ ප්‍රධාන සංඝටකයක් ලෙස පෝෂණ ද්‍රව්‍ය හා  සිරුරට ඔක්සිජන් බෙදා හැරීමේ කාර්යයට  ජලය අවශ්‍යය. එමෙන්ම අප ගන්නා කුමන ආහාරයක් හෝ දිරවීමටද ජලය අවශ්‍යය. අප ශරීරයේ උෂ්ණත්වය නිසිලෙස පවත්වා ගැනීමට, ශරීරය අනතුරුවලින් ආරක්ෂාකර ගැනීමට මුඛය, ඇස් නාසය ආදියේ පටලවල තෙතමනය පවත්වා ගැනීමට  , මුත්‍රා සහ දහඩිය ලෙස අපද්‍රව්‍ය ශරීරයෙන් බහිශ්‍රාවය කිරීමට  මෙන්ම මොළයේ ක්‍රියාකාරිත්වය නිසිලෙස පවත්වා ගැනීමට, මළබද්ධය වළක්වා ගැනීමට, අනිවාර්යයෙන් ජලය පානය තුළින් ශරීරයට එක්කර ගැනීම අවශ්‍යය.

පාසලේදී වැසිකිලි යෑමට දරුවන්ගෙන් එන ඉල්ලීම්වලට අවසර නොදීමක් සිදුවනවා යැයි දරුවන් පවසන්නේ සත්‍යයක් නම් ,හා එම නිසා දරුවන් ජලය පානයෙන් වැළකී සිටින්නේ නම් පාසලකින් දරුවාගේ නීරෝගීබවට යම් බාධාවක් එල්ලකරවන බවත් එයින් දරුවාට ඇති විය හැකි ශාරීරික පීඩාවන් සම්බන්ධවත් විෂය කරුණුවලට අමතරව පාසාල්වල ගුරුවරුන් දැනුම්වත්ව සිටීම වැදගත් බවද සිහිපත් කළ යුතුව ඇත. දෛණිකව ඔබ සහ  ඔබේ දරුවා කොතරම් ප්‍රමාණයක් ජලය පානය කළ යුතුද  යන්න ඔබ දන්නවාද?  ඔබ පානය කුළ යුතු ජල ප්‍රමාණය ගණනය  ඔබේ වයස  අනුව සිදු කළ හැකිය.  

අවුරුදු එක සිට පහ දක්වා  ළමා අවධියේ පසුවන දරුවෙකු දිනකට මිලි ලීටර 750 ත් 1000 ත් අතර  ප්‍රමාණයක් ජලය නැතිනම් දියර  පරිභෝජනය කළ යුතුය.  අවුරුදු හය සිට දහය දක්වා දරුවන් විසින් දිනකට පානය කළ යුතු ජලය ප්‍රමාණය මෙයින් වෙනස්ය. ඔවුන් ලීටර් එකේ සිට 1.5 දක්වා  ජල හෝ දියර ප්‍රමාණයක් ශරීරයට එක් කරගත යුතුය. නමුත් දරුවා අවුරුදු එකොළහේ සිට දහ අට දක්වා නවයොවුන් වියේ පසුවන්නෙකු ලෙස පානය කළ යුතු ජල ප්‍රමාණය දෛණිකව ලීටර 1.5 සිට 2 දක්වාය. මෙය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ළමා වර්ධක සටහන සහ සී ඩී සී ළමා වර්ධක සටහන්පත්වලට අනුව මධ්‍යස්ත බරින් යුතු  පිරිමි ළමයෙකුගේ දිනෙක ජල අවශ්‍යතාවය සැළකිල්ලට ගෙන සකස් කරනු ලැබූවකි.  නමුත් වැඩිහිටියන් කොපමණ දියර ප්‍රමාණයක් දෛණිකව ලබා ගත යුතුද යන්න මේවායින් වෙනස්ය.  වැඩිහිටියන් සඳහා සිරුරේ බර කිලෝ ග්‍රෑම්වලින් මැන එය 30 න් බදූ විට එන ප්‍රමාණය ලෙස පහසුවෙන් ගණනය කළ හැකිය. කෙසේ නමුත් මේ දක්වා ඇත්තේ  දිනකට අවශ්‍ය ජල ප්‍රමාණයේ දළ අගයකි.  නමුත් ඇතැම් විශේෂ අවස්ථාවලදී මේ ප්‍රමාණයන් වෙනස් විය හැකි බව සිහිතබා ගන්න. සමහර අවස්ථාවලදී අවශ්‍යතාවයට වඩා ජලය පානය කරන්නට සිදුවෙයි.  ඒ ව්‍යායාම හෝ ක්‍රීඩාවල යෙදෙන අවස්ථාවක, උණුසුම වැඩි දිනවලදී, හිරු රශ්මියට දිගුවෙලාවක් නිරාවරණය වී සිටින විට, ඔබ විදුලි පංකාවක හෝ වායුසමීකරණයක් යටතේ සිටින විට, දැඩි සුළඟට දිගුවෙලාවක් නිරාවරණය සිටින විට,  උණ පාචනය වැනි රෝගවලින් පෙළෙන විට දෛණික අවශ්‍යතාවයට වඩා වැඩියෙන් ජලය පානය කළ යුතු වෙයි.

දරුවා ක්‍රීඩාකරන විට නියමිත ප්‍රමාණයට වඩා ජලය පානය කිරීමෙන් ඇතිවන වාසිය කුමක්දැයි දැන් අප සොයා බලමු.  සැබවින්ම එසේ දෛණික අවශ්‍යතාවය ඉක්මවා ඒ අවස්ථාවලදී ජලය පානය කිරීමෙන්  ඉතාමත් හොඳින් ක්‍රීඩාකිරීමේ හැකියාව ඇතිවෙයි.
දැන් අප ශාරීරික ක්‍රියාකාරකම්වල නියැලෙන විට පානය කළ යුතු ජල ප්‍රමාණයන් ගැන අවබෝධයක් ලබා සිටිමු. ශාරීරික ක්‍රියාකාරකමකට පැයකට පෙර මිලි ලීටර 500 ක පමණ ජල ප්‍රමාණයක් පානය කර සිටින්න. ක්‍රියාකාරකම අතර තුර දී  සෑම ක්‍රියාශිලී මිනිත්තු 15 කට වරක්  මිලි ලීටර් 250 ක්  පානය කරන්නට වග බලා ගන්න. ක්‍රියාකාරකමකට පසු මි ලි ලීටර 250 ක්  පානය කරන්න. මේවා නිර්දේශිත නියම ප්‍රමාණයන් වෙයි.

අප දැන් පානය කරන්නට අවශ්‍ය මොනවාද යන්නත් සොයා බලමු.  අප මේ දියර ප්‍රමාණයන් වශයෙන් කතාබහට ලක්කරනුයේ පැණි බීම හෝ ශක්ති ජනක පානයන් යැයි කියාගන්නා වෙළඳ පොලේ පවතින පාන වර්ග පිළිබඳව නොවේ.  එම පානයන් සියල්ලම කෘතිම පානවර්ග වන අතර  ඒවායේ අඩංගු විවිධ රසායණ ද්‍රව්‍ය දරුවාට ව්ව්ධ ආකාරයේ හානි ඇතිකරවයි.  බොහෝ විට කෘතිම බීම වර්ගවල සීනි බහුලය, උදරයේ අපහසුව ඇතිකරවයි. රසායණික බහුලයි, කැලරි අධිකයි,කෘතිමයි, ස්ථූලබව ඇතිකරයි. 
 නමුත්, ජලය සජලනය ඇතිකරයි, නැවුම් බව ඇතිකරයි, සිරුර සෞඛ්‍යමත් කරයි, කුරුලෑ වළකයි, කැලරි රහිතයි, ස්වභාවිකයි,  තෘප්තිය ඇතිකරයි, සිරුරට ගුණදායකයි. මේ හැරෙන්නට ඔබට වෙනත් ආහාර මගින්ද ජලය ලබාගත හැකිය.  ඒ පලතුරු , පලා, කිරි ආහාර සහ තේ, තැඹිලි, කැඳ සුප්, වැනි පානයන්වලද ජලය විශාල ප්‍රතිශතයක් අන්තර්ගතව පවතියි.  එමෙන්ම ඖෂධීය පාන ලෙස අප කවුරුත් දන්නා රණවරා, පොල්පලා, බෙලි මල් වැනි ඖෂධීය පානයන්  පරිභෝජනයට එක්කර ගැනීමෙන් සිරුරට ජලය ලබාගත හැකිය.
 ඔබ ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන්නේ නම් මුත්‍රා දැවිල්ල ආදී තත්ත්වයන් ඉතාමත් අඩු වන අතර මුත්‍රා අවර්ණ බවකින් යුක්තය.
 පිපාසය ඇතිවන්නට පළමු ඔබ ජලය පානය කළ යුතු බව මතක තබාගන්න.  නිතර නිතර ජලය යම් ප්‍රමාණයක් පානය කිරීමේ පුරුද්ද ඇතිකර ගන්න. එමෙන්ම දවස පුරාම ජලය පානය කිරීමට අවශ්‍යය.  දරුවා පාසල් යන විට ඔබ කිසියම් ගමනකට පිටත්වන විට වතුර බෝතලයක් රැගෙන යන්නට වග බලාගන්න. විශේෂයෙන් උදෑසන අවදි වූ විගසම වතුර වීදුරුවක් බොන්නට පුරුද්දක් ඇතිකර ගන්න, රාත්‍රි නින්දට පෙර හා ස්නානයට නැතිනම් පිහිනීමට ප්‍රථම ජලය පානය කරන්නට හුරුවෙන්න. එවිට ඔය ඔබේ හොඳ සෞඛ්‍ය පුරුදු අතර වඩා හිතකර පුරුද්දක් ලෙස එය පවතිනු ඇත. 

ඔබ දිනකට අවශ්‍ය තරමේ ජලය ප්‍රමාණයක් පාවිච්චි නොකරන්නේ නම්,  
අධ්‍යාපන කටයුතු සඳහා මානසික ඒකාග්‍රතාව පවත්වා ගැනීමට අපහසුවීම
ප්‍රශස්ත මට්ටමින් ක්‍රීඩා සහ විෂය භාර ක්‍රියාකාරකම් කිරීමට නොහැකි වීම
 ශරීරය විජලනයට ලක් වී පිපාසය ඇතිවීම
මුඛය සහ ඇස් වියළීම නිසා ඒවායේ විෂ බීජ වර්ධනය වීම
 නිදිමත ගතිය හා ශාරීරික දුර්වලබව  ඇතිවීම
 ඉක්මණින් කේන්ති යෑම
සම වියළි යාම සහ රැළිවැටීම

 යන ලක්ෂණ පහළ වෙයි.  දැන් ඔබේ පාසල් කාලය තුළ නිවසෙන් රැඟෙන යන ජල බෝතලය පාසල් කාල වේලාව තුළ දී හැකි අයුරින් පානය කිරීම ඔබගේ පාසල් කටයුතුවලට සහ ක්‍රීඩාවට කොතරම් සේවයක් සලසන්නේද යන්න සිතා බලන්නට කාලය මදක් වැය කරන්න.එමෙන්ම ඔබ වැඩිහිටි අයෙකු නම් ජලය නිසි අයුරින් පානය කිරීම තුළ ඔබට අත්විඳින්නට ලැබුණු ක්‍රියාශීලීබව සම්බන්ධයෙන් අන් අයද දැනුම්වත් කරන්න.

අපේ සෞඛ්‍ය ගැන අලුතින් සිතමු සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :