X
මෙවර මැතිවරණයේදී පක්‍ෂවල බෙදීමත්, වීරවංශ වැන්නන්ගේ බිඳ වැටීමත් තුළින් දේශපාලනය යම් වෙනසකට ලක්වේවි
( අම්ත් මධුරංග ) 2017-12-07 09:29:49
Comments - 1       Views - 1394

පළාත් පාලන මැතිවරණයට ජනතා විමුක්ති පෙරමුණ සූදානම් වන ආකාරය දැන ගැනීමට එම පක්‍ෂයේ කළුතර දිස්ත්‍රික්  පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා 'අද'ට සම්බන්ධ කර ගතිමු.


Q පළාත් පාලන මැතිවරණ උණුසුම රට පුරා පැතිරී යනවා, ජනතා විමුක්ති පෙරමුණේ සූදානම කොහොමද?

මුලින්ම අපට තිබුණේ මේ පළාත් පාලන මැතිවරණය අලුත් ක්‍රමයට එකවර රට පුරා පවත්වා ගැනීමේ අභියෝගය. එය ආණ්ඩුව විසින් කළ යුතු කාර්යභාරයක් වුණත් ආණ්ඩුවේම එක් පාර්ශ්වයක් පරද්දන්න ඡන්දය කල් දමනු ලැබුවා. ඒ සඳහා අධිකරණය ආවරණය කරගන්න කටයුතු කළා. එහිදී අපි දැඩි මැදිහත්වීමක් කරලා ඒ සඳහා මාධ්‍යත්, මහපාරත් පාවිච්චි කරලා මහජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ලබා දුන්නා. ඒ අනුව වසර දෙකකට පසුව අලුත් ඡන්ද ක්‍රමයක් යටතේ තමන්ගේ කොට්ඨාසයට මන්ත්‍රීවරයෙකු පත්වෙන, මනාප නැති කාන්තා නියෝජනය සහතික වන මැතිවරණයක් පෙබරවාරි වනවට ජනතාවට  ලැබෙනවා. එම මැතිවරණය සඳහා අපේ පක්‍ෂයේ නාමයෝජනා කටයුතු අවසන් කරමින් තිබෙනවා. බොහෝ පළාත් පාලන ආයතන සඳහා අපි ඇප මුදල් තැන්පත් කළා. ඉදිරි දින කිහිපයේදී සියලු පළාත් පාලන ආයතනවලට ඇප මුදල් තැන්පත් කරනවා. අපි හිතනවා මේ මැතිවරණයේදී ජනතාව අලුත් දේශපාලන සංස්කෘතියක් ඇති කිරීමට මුලපුරයි කියලා.nalinda jayathissa

ජනතා විමුක්ති පෙරමුණ සෑම මැතිවරණයකදීම අලුත් දේශපාලන සංස්කෘතියක් ඇති කරනවා කියන ප්‍රකාශය රටට ඉදිරිපත් කරනවා. මෙවර කලින් මැතිවරණවලට වඩා වෙනස් වැඩපිළිවෙළක් හඳුන්වා දෙනවාද?

කලින් පැවැති දූෂිත මැතිවරණ සඳහා බලපෑවේ දේශපාලඥයන් පමණක් නොවෙයි, පැවැති මැතිවරණ ක්‍රමයත් දූෂණ සඳහා උඩගෙඩි දුන්නා. මනාප ක්‍රමය කියන්නෙම එකම පක්‍ෂයේ අයත් ගහමරා ගන්නා, වැඩිපුර සල්ලි වියදම් කළ අය මනාපවලින් උඩට එන ක්‍රමයක්. ඒ යටතේදී අප වැනි පක්‍ෂයකට පමණයි මනාප පොරයට නොවැටී දේශපාලනය කළ හැකිව තිබුණේ. දැන් යම්කිසි පක්‍ෂයකට හෝ පුද්ගලයෙකුට දියුණු සංස්කෘතික පරිසරයක් අනුගමනය කිරීමට වුවමනා පරිදි මැතිවරණ ක්‍රමයක් සකස් කරලා තිබෙනවා. පිටිය ඒ සඳහා සූදානම්. පිටිය හොඳයි. දැන් තිබෙන්නේ සෙල්ලම් කරන ක්‍රීඩකයන් බෝලය නීතිවිරෝධී ලෙස පළුදු කරන්නෙ නැතිව, විකට් කවර් කරගන්නේ නැතිව හරියට බැට්කරන එකත්, ක්‍රීඩා කරන එකත් පමණයි. අපි උත්සාහ කරන්නේ යහපත් දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් මුළු රටම පෙළගැස්වීමටයි.

අපේක්‍ෂකයන් තෝරා ගැනීම කොහොමද? ප්‍රතිපත්තිගරුක සුදුසු පුද්ගලයන් තෝරා ගැනීමට  අවස්ථාව ලැබුණාද?

වෙනදා සමානුපාතික ක්‍රමය යටතේ මැතිවරණ කිරීමේදී ජනතා  විමුක්ති පෙරමුණේ සාමාජිකයන්ගෙන්ම තමයි අපේක්‍ෂකයන් තේරුවේ. නමුත් මෙවර මැතිවරණයේදී අපි විශේෂත්වයක් කළා. මීට මාසයකට පමණ පෙර මැතිවරණය සඳහා අපේ පක්‍ෂයෙන් ඉදිරිපත් වීමට කැමැති මහජනතාවට පුවත්පත් දැන්වීම් හා මාධ්‍ය හරහා විවෘත ආරාධනාවක් කළා. ඒ අනුව යම් පිරිසක් අපෙන් අපේක්‍ෂකත්වය බලාපොරොත්තුවෙන් පැමිණ සිටිනවා. ඒ වගේම ගම් මට්ටමේ පොදු වැඩකටයුතු ස්වේච්ඡාවෙන් කරන, දූෂණ, වංචාවලට හසු නොවුණු අයට ජනතා විමුක්ති පෙරමුණේ අපේක්‍ෂකත්වය සඳහා ආරාධනා කළා. ඒ අනුව ලැබුණු ප්‍රතිචාර හොඳයි. මෙවර අපේ ලැයිස්තු සකස් වන්නේ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන්ගෙන් වගේම ගමට වැඩක් කරන්න වුවමනාවක් තියෙන ස්වේච්ඡා සේවයේ අගය දන්නා දූෂණයෙන් තොර පුද්ගලයන්ගෙන්.

ජනතාව ආමන්ත්‍රණය කිරීමේදී කුමන අංශ කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනවාද?

ජනතාවට ඉතා සමීපතම ආයතනය තමයි ප්‍රාදේශීය සභා, නගර සභා සහ මහනගර සභා. ඒවාට පත්වෙන නියෝජිතයන් ජනතාවට දවස ගාණේ මුණගැසෙන අය. ඒ අය දේශපාලනයට ආපු හැටි, දේශපාලනයේදී හරිහම්බ කරගත් ආකාරය ජනතාවට හොඳට තේරෙනවා. ඒවා ආවරණය කරගන්න බැහැ. ගමේ ඉන්න ජනතාවගේ බදු මුදල්වලින් තමයි සියලු ප්‍රාදේශීය සභා නඩත්තු වෙන්නෙ. තමන් ප්‍රාදේශීය සභාවට බදු මුදල් හරි විදියට ගෙවද්දී පෙරළා තමන්ට එම සේවය එන්නෙ නැතිකොට එහි හේතුව කුමක්ද කියලා ජනතාවට තේරෙනවා. ප්‍රාදේශීය සභාවෙන් මාර්ග නඩත්තු වෙන්නේ නැහැ, මොන්ටිසෝරිය හරියට නඩත්තු වෙන්නෙ නැහැ. නමුත් පසුගිය කාලයේ සිටි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු, සභාපතිවරු තට්ටු ගණන් ගෙවල් ගැහුවා, කොන්ත්‍රාත් කරන්න ඕන කරන බැකෝ ආදී යන්ත්‍ර මිලදී ගත්තා. ඔවුන් ගමේ තිබූ පැරණි වලව්, ගොඩනැගිලි මිලදී ගත්තා. ප්‍රාදේශීය සභාවේ සේවය ඉටු නොවද්දී එහි සභාපතිවරුන් හා ආණ්ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරුන් තරවෙන්නේ කොහොමද කියලා ජනතාව දන්නවා.
ඒ නිසා අපි ජනතාවට ආරාධනා කරන්නේ දැනට තිබෙන දූෂිතභාවය ඉවත් කර දමා ගම ගොඩනැගීමට දූෂිතයෙන් තොර පාලනයක් ගමේ ඇති කරන්න කියලා.

එක්සත් ජාතික පක්‍ෂයට සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට පළාත් පාලන ආයතනවල බලය යද්දී තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවේ බලය ලබා ගෙන ආදර්ශවත් පාලනයක් මීට කලකට පෙර ජනතා විමුක්ති පෙරමුණ ගෙනගියා. මෙවර එවැනි ආයතන කිහිපයක් තෝරාගෙන වැඩි බරක් යොදා  ආදර්ශවත් පාලනයක් ගෙනයෑමට සැලැස්මක් නැද්ද?

තිස්සමහාරාම ප්‍රදේශයේ ජීවත් වන ජනතාව පමණක් නොවෙයි තිස්සමහාරාමය, කතරගම වන්දනාවේ යන ජනතාවට පවා තිස්ස ප්‍රාදේශීය සභාවේ අපේ සේවාව ඇස්දෙකෙන් දැකගන්න ලැබුණා. 2001ට කලින් තිබුණු ප්‍රාදේශීය සභාවේ තත්ත්වය කොහොමද, 2005 දක්වා  තත්ත්වය කොහොමද, එතැන් සිට අද දක්වා පාලනය කොහොමද කියලා සංසන්දනාත්මකව බලන්න පුළුවන්. තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව කටයුතු කළේ ඒ ප්‍රදේශයේ ජනතාවගෙන් බදු මුදලින් පමණයි. වෙනත් විදේශ ආධාර හෝ රාජ්‍ය සහාය ඇතිව නොවේ. අපි ඔප්පු කරලා පෙන්නුවා ජනතාවගේ මුදල් නිසි පරිදි ප්‍රමුඛතාව සහිතව වැය කරන ආකාරය. ඒ නිසා අපේ මෙවර බලාපොරොත්තුවක් තිබෙනවා තිස්ස ආදර්ශය අනුගමනය කරන ප්‍රාදේශීය සභා හා නගර සභා රාශියක් ඇති කරන්න. ඒ අනුව පසුගිය 26 වැනිදා කොළඹ දිස්ත්‍රික්කයේ කඩුවෙල මහ නගර සභාව කේන්ද්‍ර කර ගනිමින් අපේ ප්‍රචාරක කටයුතු ආරම්භ කළා. එවැනි පළාත් පාලන ආයතන ගණනාවක් දිස්ත්‍රික්කවල තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ පාලනයක් ඇති කරන ආකාරය පිළිබඳ සවිස්තරව ජනතාවට අපි කියනවා. තිස්සමහාරාමයට, ජනතාවට ලැබුණු සේවාව තමන්ගේ ගම් ප්‍රදේශයේ ලබාගන්න නම්, ඒ සඳහා ජනතා විමුක්ති පෙරමුණ සමග එක්වන්න ජනතාවට ආරාධනා කරනවා.
ජනතා විමුක්ති පෙරමුණේ අපේක්‍ෂයන් සියලු දෙනාම ජනතාවට වගකියන, චර්යාධර්ම පද්ධතියකින් සැදුම්ලත් අය. මහජන නියෝජිතයා ස්වේච්ඡාවෙන් වැඩකරන පුද්ගලයෙක් බවට පත්කිරීමට අපි උත්සාහ ගන්නවා. එවැනි ආදර්ශයක් දෙනවා නම් ඔහු වටා සිටින අයත් එම ආදර්ශ අනුගමනය කරාවි කියලා අපි හිතනවා. ප්‍රාදේශීය සභා මගින් ජනතාවගේ අධ්‍යාපනය, සෞඛ්‍ය පිළිබඳ අවධානය යොමු කරනවා. ප්‍රාදේශීය සභාවට ළදරු සායන පැවැත්වීමට සිදුවෙනවා. පෙරපාසල් පවත්වාගෙන යනවා. ප්‍රාදේශීය මංමාවත් ප්‍රමුඛතාව සහිතව සංවර්ධනය කරන්න ඕන. ගමේ සංවර්ධන කටයුතුවලදී ගමේ පුරවැසියන් සමග ගමේ නිලධාරීන් සම්බන්ධ කරගන්න ඕන. යම්කිසි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමේදී ගමේ පුරවැසියා අධීක්‍ෂණය කරනවා නම්, වංචා දූෂණ සිදුවන්නේ අවම වශයෙන්. තමන්ගේ ප්‍රදේශයට ගැළපෙන සංවර්ධන ව්‍යාපෘතිය දන්නේ ඒ ප්‍රදේශයේ ජනතාව. ඒ නිසා ජනතාව සමග ඒකාබද්ධව ව්‍යාපෘති අපි ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා.

ජීවන වියදම ඉහළ ගොස් ප්‍රශ්න රාශියක ගිලී සිටින ජනතාවගෙන් මැතිවරණ උනන්දුවක් දකින්න ලැබේයැයි සිතනවාද?

මැතිවරණයට තිබෙන උනන්දුව කෙසේ වෙතත් මේ ආණ්ඩුව සම්බන්ධයෙන් ජනතාව විශාල වශයෙන් කලකිරීමකින් ඉන්නේ. ආණ්ඩුව වශයෙන් සිටින ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂය යන දෙගොල්ලන්ටම බෑ කියන ස්ථාවරයක ජනතාව ඉන්නවා. මෙම පක්‍ෂ දෙක අප්‍රසාදයට ලක්වන විට ඊට විකල්ප වශයෙන් පසුගිය ජනාධිපතිවරණය හා මහ මැතිවරණය පරාජයට පත්වූ රාජපක්‍ෂ  කල්ලියට ඡන්දය ප්‍රකාශ කිරීමට ජනතාව සූදානම් නැහැ. ඔවුන් බලය ලබාගැනීමේ පටු උවමනාව සහිතවම දේශපාලනය කරනවා විනා රට ගැන හිතන්නෙ නැහැ. ජාතිවාදය, අන්තවාදය විශාල වශයෙන් භාවිත කරන බව ජනතාවට පේනවා. ඒ නිසා අපි පසුගිය දිනවල අපේක්‍ෂකයන් තේරීමේදී සහ මැතිවරණ කටයුතු ආරම්භ කිරීමේදී ජනතාවගේ ප්‍රතිචාරය ලැබුණා. ඒ නිසා අපි හිතනවා ඉදිරි මැතිවරණයේදී ඡන්දය පාවිච්චි කිරීමේ ප්‍රතිශතය ඉහළ මට්ටමක තිබේවි කියලා.

එක්සත් ජාතික පක්‍ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙන් වෙන්ව මැතිවරණයට මුහුණ දෙනවා. ඔවුන්ගේ ඡන්ද පදනම සහ පාක්‍ෂිකයන් පිරිස දෙස බැලීමේදී ජනතා විමුක්ති පෙරමුණට මැතිවරණ ව්‍යාපාරය අභියෝගයක් වෙන්නේ නැද්ද?

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයත්, එක්සත් ජාතික පක්‍ෂයත් දශක හතක් මේ රට පාලනය කර තිබෙනවා. ඔවුන් රාජ්‍ය බලය සහිතව දේශපාලනය කර තියෙනවා. ඒ නිසාම ඔවුන්ට වෙන් වූ ඡන්ද පදනමක් තිබෙනවා. මේ තරම් හොඳට දේශපාලනයේ ඇත්ත යථාර්ථය ජනතාවට පේන කාලයක් මෑත ඉතිහාසයේ ඇතිවුණේ නැහැ. ප්‍රධාන පක්‍ෂ දෙකට අතීතයේ විශාල ඡන්ද පදනමක්  තිබුණත්, මේ වනවිට පාවෙන ඡන්ද තමයි වැඩි වශයෙන් තියෙන්නෙ. රටේ වෙනසක්  බලාපොරොත්තු වෙන පාවෙන ඡන්ද දායකයා තමයි පසුගිය ජනාධිපතිවරණයේදීත්, මහ මැතිවරණයේදීත් රටේ බලය තීන්දු කළේ. අපි හිතනවා පාවෙන ඡන්ද ප්‍රමාණය වැඩි වෙන්න, වැඩි වෙන්න එක්සත් ජාතික පක්‍ෂයටත්, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයටත් පැරණි ඡන්ද පදනම මෙවර ගිලිහී යනවා. ශ්‍රී ලංකා නිදහස් පකෂයේ පාලනය තියෙන පළාත් පාලන ආයතනවල බලය මෙවර වෙනස් වෙනවා. මෙවර මැතිවරණයේදී පක්‍ෂවල බෙදීමත්, වීරවංශ කණ්ඩායම වැනි අයගේ බිඳවැටීම් හා බෙදීම් තුළිනුත් දේශපාලනය යම් ආකාරයක වෙනසකට ලක්වේවි යැයි අපි හිතනවා.
2015 ජනාධිපතිවරණයේදී මේ රටේ ජනතාව වැදගත් තීන්දුවක් ගත්තා. අපි අලුත් දේශපාලන සංස්කෘතියක් ආරම්භ කළ යුතුයි කියන ස්ථාවරයේ රටේ බහුතර ජනතාව සිටියා. දැන් අපට තියෙන්නේ ඉදිරියට ගමන් කිරීමටයි. ඒ සඳහා අවශ්‍ය නීති, අණපනත් අපි පාර්ලිමේන්තුවේ සම්මත කළා. ඒ නිසා අපි ජනතාවට ආරාධනා කරනවා තමන්ගේ ගම ගොඩනැගීම සහ දූෂණයෙන් තොර පාලනයක ආරම්භය මෙවර මැතිවරණයේදී අතට ගන්න කියලා.

මෙවර මැතිවරණයේදී පක්‍ෂවල බෙදීමත්, වීරවංශ වැන්නන්ගේ බිඳ වැටීමත් තුළින් දේශපාලනය යම් වෙනසකට ලක්වේවි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (1)
Posted by kumara on (2017-12-07 01:56:46)

ආ .. එහෙමද ආස ?

Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :
 
අත් හරින්න එපා!

වයස කියන්නේ ඉලක්කමක් විතරයි. සාර්ථකත්වය වෙනුවෙන් ඔබේ බලාපොරොත්තු ජීවත් කරවන්න.

Posted by Union Assurance PLC on Tuesday, November 14, 2017