X
උඳුවප් මහට නත්තල් සුබ පැතුම්පත් සූදානම් කරන ආදරණීය දූ දරු පිරිසක්
( නඳුන් ශ්‍යාමාල් ) 2017-12-07 09:25:16
Comments - 0       Views - 276

ඔවුන්ගේ මුවගේ නිරන්තරයෙන්ම රැඳී තිබෙන ඒ අව්‍යාජ වූත් අවංක වූත් සිනහව අපෙන් බලාපොරොත්තු වන එකම දේ වන්නේ ආදරයයි. ඒ සිනහවත් සමග ඔවුන්ගේ අතින් නිමවන සුබ පැතුම් පත්වල තිබෙන්නේත් අවංකවූ සුභ ප්‍රාර්ථනයක්. ඒ සුබ පැතුමට ඔබේ වටිනාකම ලබාදී ඔවුන්ට තනිවම ජීවිතය හදාගන්න ශක්තියක් වන්නේ නම් එය ඔබට ලොකු පිනක් වනවා සහතිකයි. 


IMG_0041

විශේෂ අවශ්‍යතා සහිත අපේම සහෝදර සහෝදරියන් පිරිසක් සුබ පැතුම් පත් සහ ලිපි කවර තමන්ගේ දෑතින් සකස් කර, තමන්ගේම ශක්තියෙන් නැගී සිටින්න දරන අවස්ථාවක් අපිට දකින්නට ලැබුණේ ෆේස්බුක් සමාජ ජාලය හරහායි. %Mother^ පුණ්‍යායතනය මගින් සිදුවන මේ කටයුත්ත පිළිබඳව කතාබහ කරන්න අපි එහි නිර්මාතෘ දිනේෂ් මංජුල ප්‍රනාන්දු මහත්මයාව සම්බන්ධ කරගත්තා.unnamed - Copy

'මේ සමාජයේ සිටින ඕනෑම කෙනෙක් කැමතියි රැකියාවක් කරලා සමාජයේ තමන්ට කියලා යම් තත්ත්වයක් හදාගෙන ජීවත්වෙන්න. මේ අවශ්‍යතාව විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාවටත් තිබෙනවා. ඔවුන්ටත් නොයෙක් ආකාරයේ ජීවිත බලාපොරොත්තු තියෙනවා. එතැනදි කිසිම අවස්ථාවක ඔවුන් සමාජයෙන් අනුකම්පාව බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔවුන්ට අවශ්‍ය වෙන්නේ ආදරය, මගපෙන්වීම සහ පිළිගැනීම පමණයි. %දයාව තුළ සේවාව^ කියන දේ තේමා කරගත්ත අපේ %මදර්^ පුණ්‍යායතනය ඔවුන්ගේ ඒ අවශ්‍යතාව තේරුම් අරගෙන ඒ සඳහා නිසි මගපෙන්වීමක් කරන්න තීරණය කළා. අපේ රට ගත්තොත් තවමත් බුද්ධිමය දුර්වලතා සහිත පිරිස්වලට රැකියාවක නිරත වෙන්න වටපිටාවක් හෝ ඒ සඳහා අවස්ථාවක් ලැබිලා නැහැ. ඒ සම්බන්ධයෙන් සමාජයේ තිබෙන අවධානයත් ඉතාම අඩුයි. 

ඒ නිසයි අපි මේ දරුවන්ට රැකියාවක් විදිහට ලියුම් කවර සහ සුබ පැතුම් පත් නිර්මාණය කරන්න විශේෂ පුහුණුවක් එක්ක අවස්ථාව ලබාදෙන්න තීරණය කළේ. ඔවුන්ට ඒ කටයුත්ත ඉතාමත් ලේසි වුණත් ඊට පුහුණු කිරීම එතරම් ලේසි නැහැ. පුහුණුව ලබාදෙන්න මාස 06ක විතර කාලයක් අපි වැය කළා. බස්නාහිර පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුවත් එක්ක එකතු වෙලා 2016 වසරේදී ව්‍යාපෘතියක් විදිහටයි මේ කටයුත්ත අපි ආරම්භ කළේ. විධිමත් සම්මුඛ පරීක්ෂණයක් පවත්වලා මේ කටයුත්තේ නියැළෙන්න පුළුවන් අවුරුදු 16 ට වැඩි දරුවන්ව තමයි අපි මේ සඳහා තෝරා ගත්තේ. මේ දරුවෝ හදන ලියුම් කවර අපි රුපියල් 2.50 බැගින් අලෙවි කරනවා. එතැනින් රුපියල් 1.50ක් අපි ඔවුන්ට දීලා ඉතිරි රුපියල නිෂ්පාදන අමුද්‍රව්‍ය මිලදී ගන්න යොදවනවා. දැනට සමාජ සේවා දෙපාර්තමේන්තුව සහ පෞද්ගලික ආයතන කිහිපයක් ලිපි කවර මිලදීගෙන මේ දරුවන්ට ශක්තියක් වෙමින් ඉන්නවා. මාසික වැටුපක් ලබාදෙන්න තරම් අපිට තවමත් හැකියාවක් නැතත්, හදන ලිපි කවර අලෙවි වන ප්‍රමාණය අනුව මුදලක් අපි ඔවුන්ට ලබා දෙනවා. 

මෑතකදී අපි ආරම්භ කරපු තවත් කටයුත්තක් තමයි සුබ පැතුම් පත් නිර්මාණය කිරීම. දැනට අපි නිර්මාණය කරන්නේ නත්තල් සුබ පැතුම් පත් පමණයි. ඉදිරියේදී ඉල්ලුම අනුව අවශ්‍ය අවස්ථාවන්ට සුබ පැතුම් පත් නිර්මාණය කරන්න අපි කටයුතු කරනවා. අපි මුලින්ම කළේ මේ දරුවන්ට දැනට වෙළෙඳ පොළේ තිබෙන සුබ පැතුම් පත් ගෙනැල්ලා පෙන්වලා ඒ අනුව තමන් කැමති විදිහට චිත්‍රයක් අඳින්න දුන්න එක. ඒ චිත්‍රවලින් හොඳ චිත්‍ර කීපයක් තෝරලා ඒවා සුබ පැතුම් පත්වලට යොදලයි නිර්මාණය කරලා තියෙන්නේ. සෑම දරුවෙක්ම මේ කටයුතු කරන්නේ ඉතාමත් ආසාවෙන්. තමන්ගේ නිර්මාණය අවසන් වුණාට පස්සේ ඒක දිහා බලලා ඔවුන් ගොඩක් සතුටු වෙනවා. ඒකට ඇගයීමක් ලැබෙනකොට ඔවුන්ට තිබෙන්නේ ඊටත් වඩා ලොකු සතුටක්.

_MG_1821

2011 වසරේදී බේරුවල ප්‍රදේශයේ දේශනයකට සහභාගී වුණු අවස්ථාවක විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ට ඒ ප්‍රදේශයේ සංවර්ධන මධ්‍යස්ථානයක් නොමැති බව දැනගත්තා. ඒ හේතුව නිසයි 'මදර්' පුණ්‍යායතනය අපි ආරම්භ කළේ. මුලින්ම අපිට ඒකට නිසි ස්ථානයක් තිබුණේ නැහැ. නමුත් අලුත්ගම කල්‍යාණාරාම පුරාණ විහාරයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ මේ කටයුත්ත කරගෙන යන්න අපිට විහාරස්ථානය ලබාදුන්නා. %පැතුම් උයන^ කියන නමින් ආරම්භ කරපු මේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ සහ වැඩිහිටියන්ගේ අධ්‍යාපනික සහ කුසලතා සංවර්ධනය කිරීමේ මධ්‍යස්ථානයේ දැනට දරුවෝ 25ක් පමණ සිටිනවා. අපේ දෙවන මධ්‍යස්ථානය %නිදුක් පියස^ නමින් කිරින්ද, පුහුල්වැල්ල අභිනවාරාම පුරාණ විහාරස්ථානයේ පවත්වාගෙන යනවා. මේ මධ්‍යස්ථාන දෙකේ දරුවන් 50කට ආසන්න ප්‍රමාණයක් සහ ගුරු මණ්ඩලය පස්දෙනෙක් සිටිනවා.

IMG_0296

මේ සංවර්ධන මධ්‍යස්ථානවල අධ්‍යාපනය ලබන දරුවන් අවු. 5 ත් 35 ත් අතර වයස් සීමාවන්ට අයත් වෙනවා.  විශේෂ අවශ්‍යතා සහිත මේ දරුවෝ අතර මන්ද මානසික දරුවන්, ඩවුන් සින්ඩ්‍රෝම් තත්ත්වයේ දරුවන්, චලන අපහසුතා සහිත දරුවන්, ඔටිසම් තත්ත්වයේ දරුවන්, ශාරීරික ආබාධ සහිත දරුවන් සිටිනවා. ඊට අමතරව ශ්‍රවණාබාධිත හා දෘශ්‍යාබාධිත පිරිස් ඊට අදාළ පාසල් සඳහා යොමු කරනවා. අපේ ප්‍රධානතම අරමුණ වෙලා තියෙන්නේ මේ දරුවන් හා පවුල්, දෙමවුපියන්, සහෝදර සහෝදරියන් අතර ඇති දුරස්ථභාවය අවම කිරීම සහ ඔවුන්ට වඩාත් හොඳ පුහුණුවක් ලබාදීම තුළ සුරක්ෂිත වටපිටාවක් සලසා දීමයි. ඒ යටතේ ආහාරපාන ගැනීම, ඇඳුම් ඇඳීම, ආහාර පිළියෙල කර ගැනීම ආදී දෛනික ක්‍රියාකාරකම් පුහුණුව, ලිවීම - කියවීම පුහුණුව, කථන පුහුණුව, භෞත චිකිත්සාව, නර්තනය, සංගීතය, චිත්‍ර, වෘත්තීය පුහුණුව සහ නේවාසික පුහුණුව ආදිය අපි මේ දරුවන්ට ලබාදෙනවා. සමාජ සේවා අමාත්‍යාංශයේ ආබාධිත පුද්ගලයන් සඳහා වූ මහලේකම් කාර්යාලය, බස්නාහිර පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව අපිට මේ සඳහා සහයෝගය ලබාදෙමින් සිටිනවා. මීට අමතරව තවත් සුභසාධන කටයුතු රාශියක් අපේ %මදර්^ පුණ්‍යායතනය මගින් සිදුකරනවා. එනම් නිවාසවල සිටින උග්‍ර ආබාධිත තත්ත්වයන්ට පත් වූ දරුවන් සඳහා අවශ්‍ය දේ ලබාදීම, යාචක පුද්ගලයන් හා රෝගී පුද්ගලයන් පිරිසුදු කිරීමේ ව්‍යාපෘති, පෝෂණ ඌනතා ඇති දරුවන් සඳහා පෝෂණ වැඩසටහන් දියත් කිරීම, දුෂ්කර පළාත්වල සිටින දරුවන් සඳහා අධ්‍යාපනික උපකරණ, ඇඳුම් පැලඳුම් ලබාදීම සහ දුෂ්කර හා දුගී ගැබිනි මවුවරුන්ට ප්‍රසූතිය සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ලබාදීම කියන සුභසාධන කටයුතු කිහිපයක් මීට අයත් වෙනවා*
ඔබ හෝ ඔබේ ආයතනයත් මොවුන්ට අත්වැලක් වන්නට කැමැති නම්0112 64 8886 අංකයට හෝ 071 805 3000 කියන අංකවලට කතා කරලා වැඩි විස්තර දැනගන්න හැකියාව තිබෙනවා වගේම මෙවර ඔබේ නත්තල් සුභ පැතුම හිතවතුන්ට එක්කරන්න අපේ මේ සහෝදර සහෝදරියන්ගේ දෑතින් නිර්මාණය වුණු සුභ පැතුම් පතක් භාවිත කළොත් ඔවුන් ගොඩක් සතුටට පත්වන බවත් සිහිකර සිටිනවා.

img114 img115 img121 img1131

 

උඳුවප් මහට නත්තල් සුබ පැතුම්පත් සූදානම් කරන ආදරණීය දූ දරු පිරිසක් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :
 
අත් හරින්න එපා!

වයස කියන්නේ ඉලක්කමක් විතරයි. සාර්ථකත්වය වෙනුවෙන් ඔබේ බලාපොරොත්තු ජීවත් කරවන්න.

Posted by Union Assurance PLC on Tuesday, November 14, 2017