X
පාසල් දරුවන්ගේ හා ග්‍රාම නිලධාරීන්ගේ ටැබ්
( . . ) 2017-12-06 09:40:15
Comments - 0       Views - 1609

තාක්‍ෂණය යනු සරලම බව තුළින් ඵලදායීතාව අත්කර ගැනීමය. මෙම ප්‍රකාශය සිදුකරන්නේ ලෝකප්‍රකට විද්‍යාඥයෙකු, චිත්‍ර ශිල්පියෙකු හා චින්තකයෙකු වන ලියනාර්ඩෝ ඩාවින්චිය. තාක්‍ෂණය පිළිබඳ ලියන්නට හිතුණු ආසන්නතම කාරණය වූයේ පාසල් දරුවන්ට ටැබ් (Tab) ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර තිබීමය. නමුත් ඇත්තෙන්ම ටැබ් ලබාදීම හොඳද? එහි ක්‍රම‘වේදය කුමක්ද? ටැබ් එකෙන් ඉගෙන ගන්නේ කොහොමද? ඒ සඳහා අවශ්‍ය මාර්ගෝපදේශනයක් තිබේද? යන්න සලකා බැලිය යුතු කරුණුය.

2016 දී රවි කරුණානායක එනම්, එවකට සිටි මුදල් අමාත්‍යවරයා පාසල් දරුවන්ට රුපියල් කෝටි 500ක මුදල් වෙන්කරනු ලබන්නේ ඔවුන් වෙනුවෙන් ටැබ් යන්ත්‍ර මිලදී ගැනීම සඳහාය. ඒ 2017 මූල්‍ය වර්ෂය සඳහාය. ටැබ් යන්ත්‍ර ලංකාව වැනි රටකට අලුත් වුවද, ලෝකයාට එය අලුත් නැත. විශේෂයෙන්ම %ටැබ්^ යනු ලෝකයේ යල්පැනගිය තාක්‍ෂණයක් වන අතර, ටැබ් භාවිතය ආරම්භ වූයේ මීට වසර ගණනකට පෙරාතුවය. 2017 දී ලංකාවේ දරුවන්ට ටැබ් යන්ත්‍ර ලබාදීමට යෝජනා වී තිබුණද, තවම ඒවා ක්‍රමිකව ලබාදීමට ක්‍රම‘වේදයක් නැත. මැයි මාසයේදී ටෙන්ඩරයෙන් ලංසු විවෘත කිරීම හේතුවක් නොමැතිව කල්යවන්නේ ප්‍රසම්පාදන කමිටුවය. ලංසු තැබුවාට පසුව පිරිවිතරයන් වෙනස් කිරීම කළ නොහැකිය.

නමුත් අතරමැද දී මොවුන් පිරිවිතවයෙන් (Specification) වෙනස් කරනු ලබයි. මුලින් ප්‍රසම්පාදන ක්‍රියාවලියට සම්බන්ධව සිටින්නන් ටැබ් යන්ත්‍රය සඳහා CE (Certificate From Europe) ඉල්ලා සිටියි. මෙය ලංකාවේ පිළිගත් සහතිකයකි. විශේෂයෙන්ම ජංගම දුරකථන සඳහා පරිපූර්ණය කළ යුතු සුදුසුකම වන්නේ මේ (CE) සහතිකයයි. නමුත් අතරමැද ප්‍රසම්පාදන කමිටුව CE සහතිකය ප්‍රමාණවත් නොවන බවටත්, FC සහතිකය අවශ්‍ය බවටත් පිරිවිතර සංශෝධනය කරනු ලබයි. FC (Federal Certificate) යනු ඇමෙරිකානු සහතිකයකි. ලංසු තබන සමාගම් අතරින් වැඩිම ලංසුව තබන්නේ මෙට්‍රොපොලිටන් සමාගමය.

එහි ලංසුව කෝටි 678කි. ඉන් අනතුරුව ප්‍රසම්පාදන කමිටුව නැවත පිරිවිතර සංශෝධනය කරන්නේ Federal Identification සහතිකය අවශ්‍ය බවටය. මෙම සහතිකය ලබාගැනීම දුෂ්කර කාර්යයකි. ඇමෙරිකා එක්සත් ජනපදයේ සමාගම් ලියාපදිංචි විය යුතු අතර, මාස 06ක් පමණ ගතවන ක්‍රම‘වේදයකින් පසුව එම සහතික ලබාගැනීමට පුළුවන. එම සහතිකය තිබුණේ වැඩිම ලංසු ඉදිරිපත් කර තිබූ මෙට්‍රොපොලිටන් සමාගමටය.

තාක්‍ෂණය පැරණි වන කාලයක, ඉක්මනින් දරුවන්ට එම තාක්‍ෂණික උපකරණ ලබාදිය යුතු කාලයක, අත්තනෝමතික හා කාර්යක්‍ෂමතාව අඩු ප්‍රසම්පාදන ක්‍රමය නිසා දරුවන්ට සිදුවන්නේ දැඩි අනර්ථයක් බව පැහැදිලිය.

තවද අයවැයෙන් ටැබ් ලබාදීම සඳහා වෙන් කරන්නේ රුපියල් කෝටි 500කි. නමුත් ටෙන්ඩරය ප්‍රදානය කිරීමට යනුයේ කෝටි 678ක් ලංසු තැබූ සමාගමටය. වැඩිපුර කෝටි 178ක් ගෙවනුයේ ඇයිදැයි යන්න ප්‍රශ්නයකි.

මේ වනවිට විදුහල්පතිවරුන්ට යවා ඇති චක්‍ර‘ලේඛයක දැක්වෙන්නේ අලුත් පෙළපොත් ලබාදෙන්නේ 20%ක් බවත්, ඉතිරි 80%ට පැරණි පෙළපොත් පාවිච්චි කරන ලෙසත්ය. ටැබ් සඳහා වැඩිපුර කෝටි 178ක් ගෙවීමට වඩා දරුවන්ට අලුත් පෙළපොතක් ලබාදෙන්නට කටයුතු කරන්නේ නම් අගනේය.

අපි පුංචි කාලයේ එනම්, 80 දශකය අගභාගය හා 1990 මුල් කාලවකවානුවේ දරුවන්ගේ පෝෂණයට වෙනුවෙන් කිරිපැකට්, බිස්කට්, බනිස් දුන්නා මතකය. ඒ ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ කාලයේය. ප්‍රේමදාසගේ වැරදි තියෙන්නට පුළුවන. නමුත් පුංචි තැනකින් ජනාධිපති ධුරයට පැමිණි ඔහුට පුංචි මිනිසුන්ගේ නාඩි හඳුනා ගැනීමට හැකිවිය. ඇත්තෙන්ම අපි කුඩා කාලයේ කිරිපැකට් රැගත් ලොරිය පැමිණෙන තෙක් මගබලා සිටියෙමු. ඒ කාලයේදී අඩුම තරමින් හෝ දරුවන්ට පෝෂණය දෙන්නට ආණ්ඩුවට සුළුවෙන් හෝ හැකිවිය.

වරක් රණසිංහ ප්‍රේමදාස කැකිරාව ප්‍රදේශයේ පාසලකට ගියේය. එහි දරුවන්ගේ පැමිණීම ඉතා පහළ මට්ටමක පැවැතිණි. ලංකාව පුරා දුෂ්කර පාසල්වල පැමිණීම පහළ මට්ටමක පවතින බව එකල ජනාධිපතිවරයාට දැනගන්නට ලැබිණි. මේ පිළිබඳ සොයා බැලීමේදී නිල ඇඳුම්වල ප්‍රශ්නයක් බව දැනගන්නට ලැබිණි. සමහරුන්ට ඇත්තේ එකම නිලඇඳුමකි. කලින් දවසේ අඳින නිලඇඳුම සේදුවාට පසු අනෙක් දිනයේ පාසල් අඳින්නට නිලඇඳුමක් නොතිබිණි. ප්‍රේමදාස ජනාධිපතිවරයා කළේ, දරුවන්ට නිලඇඳුම් කට්ටලයක් ලබාදීමට කටයුතු කිරීමටය. මෙහිදී ටැබ් සඳහා අමතර කෝටි 178ක් ගෙවනවාට වඩා දුෂ්කර පාසල්වල එම දරුවන්ට අමතර නිලඇඳුමක් ලබාදෙන්නට හැකි නම් එය මිල කළ නොහැකිය.

'ටැබ්' දරුවන්ට ලබා දුන්නද, ඔවුන් ඒවායෙන් ඉගෙන ගන්නේ මොනවාද? විශේෂයෙන්ම විෂය නිර්දේශය තවමත් අන්තර්ජාලයට එක්කර නැත. මේ වනවිටත් රසායන විද්‍යාව, ජනසන්නිවේදන ඇතුළු තවත් විෂයන් රාශියක විෂය නිර්දේශවල ගැටලු පවතී. ඒ වගේම විෂය නිර්දේශයන් අන්තර්ජාලයට එක්කිරීම සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්ය, මහාචාර්යවරුන්ගෙන් සැඳුම්ලත් කමිටුවක් ඇත. නමුත් ඒ සඳහා ඔවුන්ගේ අනුමැතිය පවා ලැබී නැත. ටැබ් ලබාදුන් දරුවන් ඉගෙන ගන්නේ මොනවාද? මේ සඳහා කළ යුත්තේ විෂය නිර්දේශය වගේම දරුවන්ට ටැබ් භාවිත කර ඉගෙන ගැනීම සඳහා මුලින්ම මාර්ගෝපදේශනයක් ලබාදීමය.

තවද මෙම රජයෙන් Wifi කලාප ඇතිකරන බව පැවසුවද, මෙතෙක් එම Wifi කලාප ඇතිකිරීම හරියාකාරව සිදුව නැත. ටැබ් ලබාදෙන්න කලින් කළ යුත්තේ, දුම්රියපොළවලට, ප්‍රසිද්ධ ස්ථානවලට Wifi ලබා දෙනවාට වඩා පාසල් පද්ධති තුළ Wifi කලාප හෝ අන්තර්ජාල පහසුකම් ස්ථාපනය කිරීමය. නැතිනම් පාසල් දරුවන්ට ටැබ් ලබාදීම මාළුවා ලබාදී බිලීපිත්ත ලබා නොදුන්නා වැනි තත්ත්වයක්ය. එසේ අන්තර්ජාල පහසුකම් නොමැති වීමෙන් දරුවන්ට ඩේටාකාඩ් (Data Card) මිලදී ගැනීමට සිදුවේ. නගරයේ ධනවතුන්ට මෙය ප්‍රශ්නයක් නොවූවද, දුෂ්කර ග්‍රාමීය පාසල් දරුවන්ගේ දෙමවුපියන්ට මෙය අමතර බරකි. එයින් වක්‍රාකාරයෙන් වන්නේ දුරකථන සමාගම් පොහොසත් වීම පමණි.

ග්‍රාම නිලධාරීන්ටද ටැබ් ලබාදීමට කටයුතු කරගෙන යන අතර, ඔවුන්ට ලබාදෙන ටැබ් යන්ත්‍ර ඇතුළට වතුර නොයන (Water Proof) හා බිම වැටුනොත් වැඩිපුර හානි නොවන ටැබ් යන්ත්‍රය. කෙසේ වුවද හොඳම ප්‍රමිතියෙන් යුතු ටැබ් ලබාදිය යුත්තේ පාසල් දරුවන්ටය.

ශ්‍රී ලංකාව තුළ ප්‍රසම්පාදන ක්‍රමය අතිශය අකාර්යක්‍ෂම මෙන්ම දූෂිතය. පිරිවැය අඩුකර ගනිමින් නව තාක්‍ෂණය යල්පැන යන්නට ඉඩනොදී ක්‍රමවත් හා හරවත් ලෙස දරුවන්ට ලබාදීමට හැකි නම්, එය රටේ අනාගතයට සාධනීය කාරණයක් වනු ඇත. තවද දූෂිත, ආකාර්යක්‍ෂම හා ඵලදායී නොවන ප්‍රසම්පාදන ක්‍රම බැහැර කිරීමද අත්‍යවශ්‍ය සාධකයකි.

නිපුන් ඒකනායක

Suhuru situwili

පාසල් දරුවන්ගේ හා ග්‍රාම නිලධාරීන්ගේ ටැබ් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :
 
අත් හරින්න එපා!

වයස කියන්නේ ඉලක්කමක් විතරයි. සාර්ථකත්වය වෙනුවෙන් ඔබේ බලාපොරොත්තු ජීවත් කරවන්න.

Posted by Union Assurance PLC on Tuesday, November 14, 2017