X
ජනමාධ්‍යයට එරෙහි ප්‍රචණ්ඩත්වය
( ලාල් ජයසුන්දර ) 2017-12-05 09:52:39
Comments - 0       Views - 115

ජනමාධ්‍යවේදීන්ට සිදුවන ප්‍රචණ්ඩත්වයට එරෙහි මෙවර ජාත්‍යන්තර දින සමරුව ඊයේ දින (04දා) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර සහ යුනෙස්කෝ නියෝජිතයන්ගේද සහභාගිත්වයෙන් කොළඹදී පැවැත්විණි. මෙවර කොළඹ සමුළුව මාධ්‍ය ආයතන 50 ක සහ දේශීය, විදේශීය නියෝජිතයන් 150කගේ සහභාගිත්වයෙන් යුනිසෙෆ් ආයතනයේ මැදිහත්වීමෙන් සිදු කළ බව රජය පැවසීය.



ප්‍රචණ්ඩත්වය සහ ජනමාධ්‍යවේදීන්ට  සිදුවන හිංසනය පිළිබඳ අටුවාටීකා මෙරට ජනතාවට අමුතුවෙන් විවරණය කළ යුතු නැත. ඒ තරමටම ගත වූ දසවසරකට වැඩි කාලයක් මාධ්‍යකරුවන් හිංසනයට පත් කළ හෝ ඝාතනයට ලක්කළ, නැතහොත් අත්පා බිඳ දැමූ අවස්ථා ජනතාව දනිති. එසේම මාධ්‍ය ආයතන ගිනි තබා ඒවාට ප්‍රහාර එල්ල කළ යුගයක් ලොව කොතැනකවත් නැතැයි ජනතාව පවසති.

තවදුරටත් ජනතාව එයට තවත් ඌන පූර්ණයක්ද එකතු කරමින් පෙන්වාදෙන්නේ ජනමාධ්‍යවේදීන්ට සිදුවන ප්‍රචණ්ඩත්වයට එරෙහිව අපට බලය දෙන්න යැයි අයැද සිටි යහපාලන ආණ්ඩුවද බලයට පත්වූ පසු අදටත් ඒ ප්‍රහාර එපරිද්දෙන්ම සිදුවන බවට චෝදනාවකි.
මාධ්‍යවේදීන්ට එරෙහි ප්‍රහාර යහපාලන රජය තුළද ඇසෙන්නේ නම් මාධ්‍යවේදීන් උදෙසා නව පාලනය එදා කිඹුල් කඳුළු හෙළා රඟපෑමක් කළා විනා සැබැවින්ම ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳ කෙටුම්පතක් අද දක්වා හෝ සකස් නොකළේ ඇයිද යන තර්කයකි.
එසේ නම් ඔවුන් ප්‍රචණ්ඩත්වයට එරෙහිව කතාබහ කිරීමට සූදානම් වන්නේ මොනවාදැයි ජනමාධ්‍යවේදීන්ට මෙන්ම දේශපාලකයන්ටද යම් කුකුසකි. ඒ අපේ කාලයේ කළ අපරාධ වෙනුවෙන් අපට එරෙහිව ගත හැකි තීන්දු මොනවාදැයි රාජපක්ෂ රෙජීමය තමන් කළ මාධ්‍ය මර්දනය සිදු කරමින් විමසන හෙයිනි. අනෙක් අතට වත්මන් ආණ්ඩුවද මාධ්‍ය මර්දනය වෙනුවෙන් මාධ්‍යවේදීන්ට එරෙහිව වේවැල අතට ගැනීම සහ වහෙන් ඔරෝ භාෂාවෙන් තහංචි පැනවීමට තරම් ගෙවුණු දෙවසරක කාලය යොදාගත් නිසා යැයිද ජනතාව පෙන්වාදෙන කරුණු මෙහිදී පාලකයන්ගේ බඩේ බිත්තර ඇති බවට තවත් සාක්ෂියකි.

වාර්තා අනුව මෙවර සමුළුවේදී ප්‍රධාන කරුණු තුනක් න්‍යාය පත්‍රයට ඇතුළත් විය. මාධ්‍යවේදීන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය වෙනුවෙන් පියවර ගැනීම සඳහා අධිකරණය,  මානව හිමිකම් කොමිෂන් සභා සහ සිවිල් ප්‍රජාව සතු කාර්යභාරය යනුවෙන් එම අංශ කෙටිකර දැක්විය හැකිය. 
ශ්‍රී ලංකාවේ ජනතාවට අනුව මෙය අලුත් ප්‍රවේශයක් නොවේ. මන්ද රනිල්  අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී ජනාමාධ්‍ය අමාත්‍යාංශ වැය ශීර්ෂය පිළිබඳ සංවාදයේදී  පැවසුවේ මාධ්‍යවේදීන් 44 ක් මරා දැමූ යුගයක් අප ගෙවා දැමුවා යනුවෙනි.
1981 සිට මේ දක්වා මාධ්‍යවේදීන් 114ක් ඝාතනය වෙලා ඇතැයි අතීතය සිහිපත් කර දෙමින් සන්ධාන මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න එම විවාදයේදී පැවසුවේය. ඔහු තහවුරු කිරීමට ගියේ මහින්ද සමයේ 44 නොව ජේ.ආර්. සමයේ සිට සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳ ජනතාව අවදි කරවීමකි. කවුරු කළත් මේවා හෙළාදැකිය යුතු යැයි ඔහු තවදුරටත් අවධාරණය කළේය.
නමුත් එදා මෙරට ඇසුණු දේ මෙදා කොළඹ සමුළුවේ න්‍යාය පත්‍රයටත් ඇතුළත්ව තිබේ නම් එයින් ඔබ්බට ශ්‍රී ලංකා රජය ගන්නා පියවර කුමක්ද යනුවෙන් ජනතාව විමසති. ගත වූ කාලයේ යම් පරීක්ෂණයන් කළද අදටත් එක්නැලිගොඩ හෝ ලසන්ත ඝාතනය වැනි දේ උපුටා දක්වා බලය අතට ගත් ආණ්ඩුවට දැන් සියල්ල අමතකදැයි මාධ්‍යවේදීහු වරින්වර සිහිපත් කර දෙති.

B37A0708

හිංසනයට පත් මාධ්‍යවේදීන් වෙනුවෙන් වන්දි මුදලක් ගෙවා පමණක් සාධාරණය ඉටු කළ හැකිදැයි යමෙක් විමසති. එසේ නම් ඒ අපරාධය වවාගෙන කෑමක් විනා අගතියට පත් පුද්ගලයාට යුක්තිය ඉටු කිරීම නොවන බව නීති විශාරදයෝ අවධාරණය කරති.
මෙවර සමුළු හරහා මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සහ ආසියානු කලාපීය මාධ්‍යවේදීන්ට එල්ල වන ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් ගත යුතු පියවර පිළිබඳ සංවාදයක් ගොඩනැඟීම ඉලක්කය විය. එය අගය කළ යුතු කරුණකි.
ගත වූ දශකය තුළ සිදු වූ පනහකට ආසන්න ප්‍රචණ්ඩ ක්‍රියා සංඛ්‍යාව මේ වනවිට රනිල් - මෛත්‍රී යහපාලන ආණ්ඩුවේ දෙවසරක් තුළ  සිදු වූ ප්‍රහාරද සමග හැට හැත්තෑව ඉක්මවා ඉහළ ගොස් ඇතැයි ඇතැමෙක් අනුමාන කරති.
ඔවුන් එසේ පවසන්නේ ඇයි?   ආසන්නතම සිදුවීම් පෙළ ගනිමු. හම්බන්තොට වරාය පැවරීමට එරෙහි විරෝධයකදී මම මාධ්‍යවේදියෙකු යැයි පැවසුවද නාවික හමුදාපතිවරයා මාධ්‍යවේදියෙකුට අතින් පයින් සංග්‍රහ කළේය. අවසානයේ ගුටිකෑ අය මත වරද පටවා ආණ්ඩුව නිලධාරියා ඇගයුමටද ලක් කළේදැයි ජනතාව ප්‍රශ්න කළහ.
ඉකුත් මාසයක හම්බන්තොට පොදු දේපොළ චීනයට බදු දීමට එරෙහි සිදුවීමක් වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදියෙකු තමන් ජනමාධ්‍යවේදියෙකු යැයි පවසන විටත්, ඔහු සාම නිලධාරීන්ගේ ග්‍රහණයට පත්ව නිරායුධව සිටියදීත්, ඉහළ පොලිස් නිලධාරියෙක් ඔහුට පහර දුන්නේය.
ඒ අතර ගත වූ සතියේ මහවැසි විපත් නිසා අසරණ වූ සරණාගතයන්ගේ අවශ්‍යතා වාර්තා කිරීමට ග්‍රාම නිලධාරිනිය සමග කොස්ලන්ද මාධ්‍යවේදියෙක් තේ වත්තකට ගියේය. තමා ජනමාධ්‍යයෙන් යැයි පවසා අනන්‍යතාව තහවුරු කළද  එම වතු පාර්ශ්වය ඔහුට පහර දුන්නේ යැයි වාර්තා විය‍.

දකුණේ  මේ සියල්ල මෙසේ සිදුවන විට දෙසැම්බර් 02 වැනිදා යාපනය, චාවකච්චේරියේ මාධ්‍යවේදියෙකුට පුද්ගලයන් දෙදෙනෙකු විසින් පහරදී පලාගිය පුවතක්ද වාර්තා විය.
අතින් පයින් ගිනිඅවියෙන් කෙරෙන ප්‍රහාර පමණක් නොවේ. මාධ්‍යවේදීන් මර්දනය සඳහා යහපාලන රජය වාග් ප්‍රචණ්ඩත්වයද යොදාගන්නේ යැයි ජනමාධ්‍යවේදීහු පවසති. මාධ්‍ය සන්දර්ශනවලදී ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීමට නොහැකි විට මාධ්‍යවේදීන්ට සැරපරුෂ ලෙස ප්‍රහාර එල්ල වන අවස්ථා ඉහළ යමින් පවතින්නේ යැයි ඔවුහු පවසති.

අමාත්‍ය ජෝන් අමරතුංග තම නිවසේ පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකුට  බැණ තර්ජනය කර පන්නා දැමූ පුවත ජනතාව සිහිපත් කරති. බැඳුම්කරය ගැන පොතක් ලියූ සුජීව සේනසිංහ ඇමතිවරයා අවසානයේ තමන්ගේ නිදොස් බව පැවසීමට ගොස්  ප්‍රශ්නවලට පිළිතුරු දිය නොහැකිව බැණ වැදුණු  ආකාරය ජනතාව බලා සිටියෝය. ඒ අතර මාර්ග සංවර්ධන අධිකාරියේ  ඇතම් ක්‍රියාකලාපයන් ගැන විමසා සිටි විට අමාත්‍ය කිරිඇල්ල ජනමාධ්‍යයට බැණ වදිමින් ඉවත්ව ගිය අවස්ථා ගණනාවක් ජනමාධ්‍යවේදීන් අතර අදටත් කතබහට ලක් වෙයි.
මෙවැනි පුවත් යහපාලනය තුළද එසේම සිදුවන්නේ නම් මෙරට තුළදී මෙවැනි සමරු වැඩසටහන් සම්පාදනයට එක්සත් ජාතීන්ගේ අවධානය යොමුවීම වඩා සුදුසු වී යැයිද ඇතැම් මාධ්‍යවේදීහු පෙන්වා‍ දෙති.
මාධ්‍යවේදීන්ට රක්ෂණ ක්‍රමයක් සහ විශ්‍රාම වැටුපක් ලබාදිය යුතු යැයි ඇමති සුජීව සේනසිංහද 2015 දෙසැම්බර් මාසයේ අයවැය විවාදයේදී ප්‍රකාශ කළේය. දැන් 2017 වසර ගෙවී ගියත් එවැනි දේ වෙනුවට අදටත් ලැබෙන්නේ තර්ජනය, මර්දනය සහ ප්‍රචණ්ඩත්වය පමණක්දැයි ඔවුහු අසති.

B37A0727

ඒ අතර  මාධ්‍යවේදීන්ට සිදුවන හිංසා, පීඩා හෝ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් මෙයට මාස කීපයකට පෙර ප්‍රාදේශීය ජනමාධ්‍යවේදීන්ගේ සංවිධානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වූහ. එහිදී ජනාධිපතිවරයා පැවසුවේ මමද මාධ්‍යකරුවෙකු නිසා රැහේ උන් වෙනුවෙන් පෙනී සිටින කතාවකි. එහෙත් මාස ගණනාවක් ගතවීද අදටත් රැහේ උන්ට අත දිගහැර කන පැළෙන්නට ඇතැමුන් සලකන විටද ජනාධිපතිවරයා නිහඬය.
කෙසේ වුවද හැමදාමත් සිදුවන පරිදි තවත් එක් සමුළුවක් ලංකාවේ පැවැත්වීම තවත් එක් අවස්ථාවක් පමණක් නොවිය යුතුය. එහෙත් එයට වැඩි අවස්ථා දෙතුන් සිය වාරයක් ජනමාධ්‍යවේදීන්ට ප්‍රචණ්ඩත්වය නමින් ගෙවීගිය අවුරුදු දහය තුළ හැම ආණ්ඩුවකින්ම සිදුව ඇති බව පැහැදිලිය. එහිලා ඒ ඒ කාලයට මහපුටුවලට පත්වන පාලකයන් සහ නායකයන්ද කළ කී දේ ජනතාවට අමතක නැත.  මෙහිලා ගත හැකි පියවර ජනමාධ්‍ය සංවිධාන ඒ ඒ අවස්ථාවලදී වර්ජන, සන්දේශ, උද්ඝෝෂණ මගින් ආණ්ඩුවට පෙන්වා දී ඇති බවද රහසක් නොවේ.
අවුරුදු දහයක් පහළොවක් තුළ කළ නොහැකි වූ දේ එක් දිනයක කොළඹට රැස්වී පැය තුන හතරක් පවත්වන  සංවාදයකින්  විසඳිය නොහැකි වනු ඇත. එහෙත් යමක් වෙනුවන් නැවත ඉලක්කයක් ඇති කරගැනීමට මෙවැනි සම්මන්ත්‍රණ තුළින් ගොනුවන අදහස්, යෝජනා කිසිසේත් ලඝු කොට හෝ බැහැර කළ නොහැකිය. ප්‍රචණ්ඩත්වය පිළිබඳ අප්‍රමාණ වූ විවිධ සාධක අප වැනි රටක මාධ්‍ය නිදහස වෙනුවෙන් දැන්වත් ඒ ගමන ආරම්භ කළ යුතු බව පමණක් පෙන්වා දිය යුතුය.
කෙසේ වුවද හැම රටවැසියෙකුටම ජනමාධ්‍යකරුවෙකු කෙරෙහි තම වගකීම  ඉටු කරගැනීමට අනුබලයක් වනු පිණිස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ජනමාධ්‍යවේදීන්ට නිකුත් කර ඇති වෘත්තීය හැඳුනුම්පතේ සඳහන් ප්‍රකාශයෙන් මෙම ලිපිය අවසන් කරමි. 
“රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති මෙම හැඳුනුම්පත හිමි ජනමාධ්‍යව්දියාට/ජනමාධ්‍යවේදිනියට සිය වෘත්තීය කටයුතු බාධාවකින් තොරව ඉටු කිරීමට සහයෝගය ලබාදෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.*

ජනමාධ්‍යයට එරෙහි ප්‍රචණ්ඩත්වය සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :
 
අත් හරින්න එපා!

වයස කියන්නේ ඉලක්කමක් විතරයි. සාර්ථකත්වය වෙනුවෙන් ඔබේ බලාපොරොත්තු ජීවත් කරවන්න.

Posted by Union Assurance PLC on Tuesday, November 14, 2017