X
නිරෝගී අනාගතයක් උදෙසා HIV ගැන දැනගන්න
( නිඳුක් මධුෂීක ) 2017-12-04 09:00:18
Comments - 0       Views - 299

එව්.අයි.වී. රෝගය සමග ජීවත් වන මානවයෝ අප රට තුළද සිටිති. ඔවුන් කොන්කර, වෙනස්කර සැලකීම වෙනුවට සිදුකළ යුත්තේ ඔවුන්ද සමකොට සැලකීමය. ඔවුන්ට ජීවිතයේ කොතැනකදී හෝ වරදින්නට ඇත. මොවුන්ද මානවයන්ය. මෙවර ලෝක ඒඩ්ස් දින තේමාව වූයේ 'සෞඛ්‍ය සඳහා සැමට තිබෙන අයිතිය' යන්නය. මේ එම රෝගයේ වර්තමාන පැතිකඩ පිළිබඳව තැබෙන සටහනකි.


ලංකාවේ පළමු එච්.අයි.වී. රෝගියා වාර්තා වන්නේ 1987 වසරේදීය. එම වසරේ සිට එච්.අයි.වී. වෛරසය වෙනුවෙන් වැඩසටහන් රැසක් ලංකාව තුළ ක්‍රියාත්මක විය. ප්‍රධාන වශයෙන්ම 
එච්.අයි.වී. ආසාදනය වන්නේ අනාරක්‍ෂිත ලිංගික හැසිරීම් තුළිනි. මවගෙන් දරුවාටත්, මත්ද්‍රව්‍ය විද ගැනීම තුළින්ද මෙම රෝගය ආසාදනය වීමට හැකියාව ඇත. මේ දක්වා විවිධ වූ වැඩසටහන් ලංකාව තුළ ක්‍රියාත්මක විය.
බස්නාහිර පළාත තුළින් වැඩිම 

එච්.අයි.වී. රෝගීන් ප්‍රමාණයක් වාර්තා වීම

බස්නාහිර පළාත තුළින් වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වන අතර, 1987 ශ්‍රී ලංකාවේ පළමු එච්.අයි.වී. රෝගියා වාර්තා වූ දින සිට ඉතිහාසයේ සෑම වරකම වැඩිපුර කොළඹ දිස්ත්‍රික්කය තුළින් රෝගීන් වාර්තා වෙයි. බස්නාහිර පළාත තුළත් කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්ක තුන නියෝජනය වෙයි. එයින්  වර්ගකිලෝමීටර් 37ක් වන කොළඹ නරගයෙන් වැඩිම රෝගීන් ප්‍රමාණයක් මේ වනවිට වාර්තා වී ඇත. එයට හේතුකාරණා කිහිපයක් බලපා තිබෙන බව පෙනීයන කරුණකි. එනම්, මෙම වර්ගකිලෝමීටර් 37 ඇතුළත ලක්‍ෂ හතක් ජීවත් වීමය. සාමාන්‍යයෙන් වර්ගකිලෝමීටරයකට ජීවත් වන ජනගහනය දහඅටදහසක් පමණය. නමුත් උතුරු කොළඹ වර්ගකිලෝමීටරයකට විසිහතරදහසක් පමණ ජීවත් වෙති. මෙය ප්‍රංශයේ පැරිස් නුවර ජන ඝනත්වයට සමානය. සිංගප්පුරුව වැනි රටක වර්ගකිලෝමීටරයට අටදහසක ප්‍රමාණයක්  ජීවත් වෙති. උතුරු කොළඹ නගරයේ සියලු ආගමිකයන් සේම විවිධ වයස් කාණ්ඩයන් මෙම රෝගය සමග ජීවත් වන්නන් ලෙස හඳුනාගත හැකිය. උතුරු කොළඹ මෝදර මට්ටක්කුලිය, ගෑන්පාස්, මහවත්ත, මැදකොළඹ සහ බොරැල්ල යන ප්‍රදේශවල එච්.අයි.වී. රෝගීන් වාර්තා වී තිබේ.1200px-Red_Ribbon.svg

පසුගිය වසරේ ජුනි මස සිට මේ වසරේ ජුනි මාසය දක්වා පමණක්  නව රෝගීන් 23 දෙනෙකු වාර්තා වී තිබෙන අතර,  රෝගීන් වාර්තා වීමේ ක්‍රමික වර්ධනයක් තිබීම ගැටලුකාරී තත්ත්වයකි. මේ ගැටලුකාරී තත්ත්වය නිසාම රෝගීන් වාර්තා වූ ප්‍රදේශ ඉලක්ක කරගෙන සෑම මසකම විශේෂිත සායන පවත්වනු ලැබේ. මෙලෙස කෙතරම් සායන පැවැත්වුවද, මෙම රෝගය පිළිබඳ පරීක්‍ෂා කර ගැනීමට යොමුවිය යුත්තේ තමන්මය. එයට බලහත්කාරයෙන් යොමුකිරීම සිදුකර නොහැකිය. වෛද්‍ය ආචාරධර්ම අනුව සිදුකරනු ලබන  පරීක්‍ෂණය ගැන පෙරදීම සඳහන් කළ යුතුය. එම නිසා එච්.අයි.වී. පරීක්‍ෂණය පවත්වන බව සඳහන් කළ විට බොහෝ දෙනෙකු මෙම සායන මගහරින තත්ත්වයක් දැකගත හැකිය. මෙය පවතින ගැටලුකාරී තත්ත්වයකි. සමාජයේ තිබෙන භීතිය නිසා රෝගීන් සැඟව සිටීමට උත්සාහ කරන තත්ත්වයක් ඇතිව තිබේ.

මවගෙන් දරුවාට පැතිර යෑම වැළැක්වීම 

මේ වනවිට කොළඹ නගරය තුළ වසරකට දරුවෝ දසදහසක් පමණ බිහිවෙති. ඉන් මාතෘ සායන සඳහා නවදහසක් පමණ යොමුවෙති. මෙම සායනවලට යොමුවන මවුවරුන් රුධිර පරීක්‍ෂාවන් සඳහා යොමුකිරීම සිදුවෙයි. එහිදී යම් ලෙසක මවට එච්.අයි.වී. ආසාදනය වී ඇත්නම් එය දරුවාට ආසාධනය වීම වැළැක්වීමට ක්‍රියාමාර්ග රැසක් ගනු ලැබේ. 2013 වන‍තුරු අප එච්.අයි.වී. හා 'උපදංශය' යන රෝග මවගෙන් දරුවාට යෑම වැළැක්වීම පිළිබඳ කතා කළේය. 2013 පසුව මෙම රෝගය තුරන් කිරීම ගැන කතා කළේය. 2018 වර්ෂය එම ඉලක්ක සාක්‍ෂාත් කරගැනීමට ඉතා වැදගත් වර්ෂයකි. එක්දහස් නවසිය පනස්දෙකේදී සමාජ රෝග මර්දනය කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ විය. එහි තිබූ ප්‍රධාන අරමුණු හතරින් එකක් වන්නේ මවගෙන් දරුවාට උපදංශ රෝගය යෑම වැළැක්වීමය. එක්දහස් නවසිය පනස්හතර වන විට උපදංශ රෝගය මවගෙන් දරුවාට යෑම වැළැක්වීම ගැන වැඩසටහන් ක්‍රියාත්මක විය. 1982 දී  එච්.අයි.වී. නමැති රෝගය අප දැන ගන්නේය. මේ රෝගය මවගෙන් දරුවාට යෑම ගැන දැනුවත් විය. එය වැළැක්වීමට පරීක්‍ෂණ රැසක් මෙම කාලයේදීද සිදුවිය. මෙම පරීක්‍ෂණ මිල අධික පරීක්‍ෂණය. 2000 වසර පමණ වනවිට තායිලන්තයේ බැංකොක් නගරයේ සිදුකළ පරීක්‍ෂණයකින් කිසියම් ඖෂධ වර්ගයක් භාවිත කිරීමෙන් මවගෙන් දරුවාට මෙම රෝගය යෑම තුනෙන් දෙකක් අඩුකළ හැකි යැයි සොයා ගත්තේය. මේ අනුව 2002 
වසරේ දී ශ්‍රී ලංකාව මවගෙන් උපදංශය වැළැක්වීමේ වැඩසටහන ආරම්භ කළේය. එය සාර්ථකව සිදුකළ ආසියාවේ රටවල් දෙකක් ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළේය. ඒ රටවල් දෙක වන්නේ ලංකාව හා තායිලන්තයයි. 2011 වසරේ එක්සත් ජාතීන්ගේ ප්‍රධාන සැසි වාරයකදී පැමිණි යෝජනාවකට අනුව %එච්.අයි.වී. මවගෙන් දරුවාට යෑම තුරන් කළ යුතුයි^ යන යෝජනාව ඇති විය. 2013 වසරේදී උපදංශ වැඩසටහනද, මෙම වැඩසටහන් එක්කර මවගෙන් දරුවාට එච්.අයි.වී. හා සිපිලිස් රෝග තුරන් කිරීමේ වැඩසටහන ආරම්භ විය. වැළැක්වීමේ වැඩසටහන වෙනුවට තුරන් කිරීමේ වැඩසටහන ආරම්භ විය. මෙම වැඩසටහන රජයේ මූල්‍යමය ආධාර මත ක්‍රියාත්මක වෙයි. යුනිසෙෆ් හා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මගපෙන්වීම නිරන්තර ලැබෙන්නකි. 2016 වසර අවසන් වනවිට මවගෙන් දරුවාට එච්.අයි.වී. ආසාදිත වූවන් 80 දෙනෙකු වාර්තා විය. මෙම වසරේ තවත් දරුවන් දෙදෙනෙකු වාර්තා විය. ඇස්තමේන්තුවට අනුව අවුරුද්දකට 85 - 100ක් පමණ දරුවන් ඇතිවේ යැයි සඳහන් වෙයි. සිපිලීස්වලට වී.ඩී.ආර්.එල්. පරීක්‍ෂණයත්, එච්.අයි.වී. සඳහා එච්.අයි.වී. පරීක්‍ෂණයත් සිදුකළ හැකිය. සායනවලදී මවගෙන් රුධිරය ගෙන ප්‍රදේශයේ තිබෙන ලිංගාශ්‍රිත රෝග සායනයේ රසායනාගාරයේදී මෙම පරීක්‍ෂණය සිදුකර ගත හැකිය. 2012 වන‍විට ගර්භිණී මවුවරුන්ගෙන් සියයට 5.6ක් පමණක් 
එච්.අයි.වී. පරීක්‍ෂණ සිදුකර ගෙන තිබූ අතර, 2016 වන විට එය සියයට 94.4ක් දක්වා වැඩිකර ගැනීමට හැකියාව ලැබී ඇත. මේ වසරේ මවුවරුන් 26 දෙනෙකුට මවගෙන් දරුවාට එච්.අයි.වී. ඇති වීම වැළැක්වීමට සේවාවන් සපයා තිබේ. මවගෙන් දරුවාට එච්.අයි.වී. තුරන් කළේ යැයි අප සඳහන් කිරීමට නම් උපත් ලක්‍ෂයක් සිදුවන විට එච්.අයි.වී. ආසාදන 50කට අඩු සංඛ්‍යාවක් විය යුතුය. අප රටේ 2016 දී වාර්තා වූයේ  එක් දරුවෙකුට පමණි.

ලෝකයේ හා  ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය

2016 වනවිට එච්.අයි.වී. ආසාදනයෙන් පෙළෙන රෝගීන් මිලියන 36.7ක් හඳුනාගෙන ඇත. නව ආසාදිතයන් මිලියන 1.8ක් හා එච්.අයි.වී. වෛරසය නිසා වාර්තා වූ මරණ මිලියනයකි. කලාප අනුව ගත්කල මිලියන 36.7ක් එච්.අයි.වී. රෝගය සමග ජීවත් වෙති. ගිනිකොන දිග ආසියාතික කලාපය (ලංකාව සිටින කලාපය) මිලියන 3.5කි. මෙම කලාපයට අයත් රටවල් දහය අතරින් රටවල් පහක සියයට 99ක් එච්.අයි.වී. ආසාදිතයෝ ජීවත් වෙති. ඉන්දියාව, තායිලන්තය, ඉන්දුනීසියාව, නේපාලය, මියන්මාරය යන රටවල් පහ තුළ එච්.අයි.වී. රෝගීන් වැඩි පිරිසක් වාර්තා වෙයි. බංග්ලාදේශය, මාලදිවයින, ශ්‍රී ලංකාව, භූතානය සහ කොරියාව තුළ මිලියන 35න්, 01෴ක පමණ ප්‍රමාණයක් සිටියි. අප අඩු එච්.අයි.වී. ප්‍රවණතාව සහිත රටකි. 2025 වන විට එච්.අයි.වී. ආසාදනය වීම නිසා ඇතිවන්නා වූ මරණ ඉතා අවම කිරීමට සැලසුම් සම්පාදිතය. 2016 වර්ෂයේදී ඇස්තමේන්තු කළ ලංකාවේ එච්.අයි.වී. ආසාදිතයන් ප්‍රමාණය 3900කි. ඇස්තමේන්තු කිරීම් අනුව නව ආසාධිතයන් 550 (2016 වසර තුළ) කි. එමෙන්ම ඒඩ්ස් නිසා ඇති වූ මරණ සංඛ්‍යාව 110කි. ලංකාවේ එච්.අයි.වී. ප්‍රවණතාව 03 කි. පසුගිය මස අවසන් වන විට රට තුළ සිටින එච්.අයි.වී. ආසාදිතයන් සංඛ්‍යාව ‍2783ක් ලෙස හඳුනාගෙන තිබේ. ඉන් 690ක් ඒඩ්ස් තත්ත්වයට පත්ව ඇත. ඒඩ්ස් නිසා ඇතිවූ මරණ 444කි.

පසුගිය වසරේදී ‍එච්.අයි.වී. ආසාදිතයන් 249 දෙනෙකු වාර්තා විය. ඒ පිරිමින් 188 දෙනෙකු සහ කාන්තාවන් 61 දෙනෙකුය. 2009 වසරේ සිට වැඩි වශයෙන් පිරිමි පාර්ශ්වය තුළ රෝගය වැඩි වීමක් දක්නට ලැබේ. පිරිමි තිදෙනෙකුට එක් කාන්තාවක් වාර්තා වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙයි. මේ වසරේ ඔක්තෝබර් වනතුරු එච්.අයි.වී. ආසාදිතයන් 226කි. ඒ පිරිමින් 181 දෙනෙකු සහ කාන්තාවන් 45 දෙනෙකි. එච්.අයි.වී. ආසාදනය වන වයස් කාණ්ඩ වෙත අවධානය යොමුකරන විට පෙනීයන කරුණක් වන්නේ රටේ ආර්ථිකයට ඵලදායීම වන කණ්ඩායම මෙයට ගොදුරු වන බවයි. වයස අවුරුදු 25 සිට වයස අවුරුදු 49 වැනි කණ්ඩායම 80%ක් පමණය. මවගෙන් දරුවාට රෝගය ආසාදනය වූ අය වයස අවුරුදු 15ට අඩු කණ්ඩායම්ය. මවගෙන් දරුවාට ආසාදනය වීම් 82ක් මේ වන විට වාර්තා වී ඇත. පසුගිය වසරේ වාර්තා වූ  එච්.අයි.වී. රෝගීන් 249 දෙනාගේ සඳහන් කිරීම්වලට අනුව පිරිමින්, පිරිමින් අතර පවත්වනු ලබන ලිංගික සබඳතා මගින් සියයට 37ක්ද, කාන්තාවන් හා පිරිමින් අතර ඇතිවන ලිංගික සබඳතා මගින් සියයට 51ක්ද, මවගෙන් දරුවාට ඇතිවන 01෴ක්ද වශයෙන්ද දැක්වේ. නිවරදිව ප්‍රකාශ නොකළ පිරිස 11෴කි. එච්.අයි.වී. ආසදිතයන්ගේ පැතිරීම ගත්විට කොළඹ 32.04 (ජනගහනය ලක්‍ෂයකට) කි. ගම්පහ 17.02කි. ලංකාව තුළ සිටින ලිංගික ශ්‍රමිකාවන් ගත්විට 2013 වර්ෂයේ සිදුකරන ලද සමීක්‍ෂණවලට අනුව 14,132 කි. මෙයින් වැඩි ප්‍රමාණයක් සැරිසරනුයේ කොළඹය. එම්.එස්.එම්. 7551කි. ඉන් වැඩි ප්‍රමාණයක් කොළඹ සිටිති. මත්ද්‍රව්‍ය විදගන්නන් අඩු සංඛ්‍යාවක් සිටිති. සංචාරක මගපෙන්වන්නන්ද ඉතා අඩු ප්‍රමාණයකි. තරුණ ප්‍රජාව තුළ පසුගිය වසර තුළ 26 දෙනෙකුට (වයස 15-25) එච්.අයි.වී. ආසාදනය වී තිබිණි. ඔවුන්ගෙන් වැඩි දෙනෙකු සමකාමීන්ය. 2015 වසරේදී දෙලක්‍ෂ හැටතුන්දහසක් පමණ රැකියා අවස්ථා සඳහා විදේශගත වී ඇත. මින් වැඩි දෙනෙකු මැදපෙරදිග රටවලට යොමුවී තිබේ. ඔවුන් නැවත ලංකාවට පැමිණි පසු ඔවුන්ගේ කිහිප දෙනෙකුට එච්.අයි.වී. ආසාදනය වී ඇති බව වාර්තා වී තිබේ. 2016 දී 85 දෙනෙකු හඳුනාගෙන ඇත. ලංකාව තුළ සිටින කාන්තා ලිංගික ශ්‍රමිකයන් බොහෝ ප්‍රමාණයක් ආරක්‍ෂිත උපක්‍රම භාවිත කරන බව පෙනීයන කරුණකි. 2016 වසර තුළ මිලියනයකට අධික පිරිසකගේ එච්.අයි.වී. පරීක්‍ෂාව සිදුකරන ලදී. 

එච්.අයි.වී. යනු මාරාන්තික රෝගයක් නොවෙයි

ලිංගික අධ්‍යාපනය ගැන කතා කිරීම පාසල තුළින්ම ආරම්භ විය යුතුය. සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයට දුරකථන ඇමතුමක් ලබාදී ඕනෑම සෞඛ්‍ය කරුණක් පිළිබඳ විමසීමේ හැකියාව පවතී. මේ රෝගය ගැන කතා කරන විට ප්‍රධාන කරුණු කිහිපයක් ගැන අවධානය යොමුකළ යුතුය. මෙහි ප්‍රධාන කණ්ඩායම් කිහිපයක් සිටියි. ඒ අතර ලිංගික ශ්‍රමිකයන්, සමකාමීන්, මත්ද්‍රව්‍ය එන්නත් කරගන්නන්, සංචාරක මගපෙන්වන්නන් වැනි පිරිස්ය. ඒ අවදානම් සහිත කණ්ඩායම් වෙනුවෙන් මේ වනවිට වැඩසටහන් ක්‍රියාත්මක වෙයි. වර්තමානය වනවිට එච්.අයි.වී. රෝගය යනු මාරාන්තික රෝගයක් නොවෙයි. එයට නිසි ලෙස ප්‍රතිකාර ගැනීම තුළින් සාමාන්‍ය ජීවිතයක් ගතකිරීමේ හැකියාව පවතී. ඉතා මිල අධික ප්‍රතිකාර නොමිලේ ලබාදීම මේ වන විට සිදුවෙයි. එච්.අයි.වී. පිළිබඳ අවදානමක් තිබේ නම්, ඔබට එය තහවුරු කරගත හැක්කේ පරීක්‍ෂණයකින් පමණි. එම නිසා එච්.අයි.වී. පර්යේෂණවලට යොමුවීමට අවශ්‍ය සියලු දේ මේ වන විට මෙම මාසයේද සූදානම්ය. මෙහි ඇති විශේෂත්වය වන්නේ රහස්‍යභාවය සුරැකීමය. ඔබේ නම හෝ ඔවුහු සඳහන් නොකර ගනිති. තමන්ට තනිවම යොමුවී මෙම පරීක්‍ෂණය සිදුකර ගත හැකිය.

දෙසැම්බර් 01 වැනිදාට යෙදී තිබූ ලෝක ඒඩ්ස් දිනය නිමිති කරගෙන පසුගියදා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේදී පැවැති මාධ්‍ය හමුවේදී ජාතික එච්.අයි.වී. මර්ධන වැඩසටහන් අධ්‍යක්‍ෂ වෛද්‍ය සිසිර ලියනගේ, කොළඹ මහ නගර සභාවේ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධානී විජයමණි, ජාතික ලිංගාශ්‍රිත හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ වසංගත විද්‍යා ඒකකයේ ප්‍රධානී ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ශ්‍රියාකාන්ති බෙනරගම, ලිංගාශ්‍රිත රෝග පිළිබඳ  විශේෂඥ වෛද්‍ය ජීවිරසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් දැක්වූ දේශන ඇසුරින් මෙම ලිපිය සකස් කරන ලදී.

 

නිරෝගී අනාගතයක් උදෙසා HIV ගැන දැනගන්න සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :
 
අත් හරින්න එපා!

වයස කියන්නේ ඉලක්කමක් විතරයි. සාර්ථකත්වය වෙනුවෙන් ඔබේ බලාපොරොත්තු ජීවත් කරවන්න.

Posted by Union Assurance PLC on Tuesday, November 14, 2017