දැනගෙන කතරගම ගිය කොළඹගේ නිමැවූ 'දේදුනු ආකා‍ෙස' සිනමා වියරණ භාවිතයේ අරුමය පෙන්වයි
( චානක චන්ද්‍රසේකර ) 2017-11-14 10:00:53
Comments - 0       Views - 554

අපගේ ජනවහරට අනුව දැනගෙන කතරගම ගියහොත් අතරමග නවතින්න සිදුවන්නේ නැත. සිනමා වියරණ දැනගෙන සිනමාව පරිශීලනය කළහොත් ප්‍රස්තුතය කුමක් වුවත් හිරිකිතයකින් තොරව බලා සිටිය හැකි සිනමා නිර්මාණයක් කළ හැකි බව ප්‍රියන්ත කොළඹගේ නිර්මාණය කළ 'දේදුනු අකා‍ෙස්' සිනමා ප්‍රේක්ෂකයාගේ සවනට කොඳුරා කියනා ප්‍රබලතම රහස වන්නේය.

හැට වසරක අප නැරඹූ සිනමා නිර්මාණ අති බහුතරයක් සිනමා වියරණ නිවැරදිව අවබෝධ කර නොගත් සිනමා අධ්‍යක්ෂවරුන් විසින් ප්‍රේකෂකයාට තිළිණ කළ චිත්‍රපටයන්ය. ඒවා නිර්මාණ ලෙස හැඳින්වීමද සැබෑ සිනමා නිර්මාණකරුවන්ට කරනා අපහාසයකි. සැබැවින්ම තිරනාටකය රචනා කළ තාරක දමුණුවැල්ල සහ ප්‍රියන්ත කොළඹගේ අතට පත්ව ඇත්තේ කෙටි කතාවක් විය යුතුය. එය දිගු වෘතාන්තයක් වන්නේ තිරනාටක රචනයේදීය. එය ප්‍රේක්ෂකාගාරයේ අවධානය රඳවා තබා ගැනීමට දායක වන්නේ මෙම නිර්මාණයේ ගලා යෑමට දායක වන සංස්කරණ රටාවක් අනුගමනය කිරීමට මෙහි සංස්කාරකවරුන් වන කාවින්ද කොළඹගේ සහ ඉන්දික සුරවීර සමත් වූ හෙයිනි.  
මෑත කාලයේ සිනමා නිර්මාණයන්ට එක්වූ සෑම අධ්‍යක්ෂවරයෙකුම කතාවේ ගලා යෑමට ආලෝකයක් එක් කරනා සුන්දර දර්ශන තල තෝරා ගැනීමේ විශේෂ අවධානයක් යොමු කරනා ආකාරය දක්නට ලැබිණි. එය මෙහිදී ප්‍රියන්ත කොළඹගේ වෙතින්ද අපූරුවට ඉටු වී තිබිණි. සිනමාපටය ආරම්භයේදී සමුද්‍ර තම බිරිඳ මිය යෑමේ කම්පනයෙන් නිවසේ වීදුරු බිඳින දර්ශනයේදී නිතැතින් අප මතකයට ආවේ මෙහි අධ්‍යක්ෂවරයා මෙයට පෙර නිර්මාණය කළ %ආදරණීය කතාවක්^ හි ආරම්භක දර්ශන පෙළයි. මෙම සිනමාපටයේදීද මන්ද චලනයකින් යුක්තව තිරයේ දිගහැරෙන පරිදි එම දර්ශන සංස්කරණය කර තිබිණි.

A090_C006_04098E

එම දර්ශනයේදී ඔහුගේ නිවසේ මෙහෙකරු ලෙස රඟපෑ සුදු පැහැ කෙස්වැටිය සහිත දයා තෙන්නකෝන් දකින විට අප මතකයට පැමිණියේ ගාමිණී ෆොන්සේකාගේ %පරසතු මල්^ සිනමාපටයේ ඩී.ආර්. නානායක්කාර රඟපෑ %අමාරිස්^ගේ චරිතයයි. මෙහිදී සමුද්‍රගේ චරිතය ඇමතීම සඳහා %අප්පෝ^ යන සබරගමු පළාතේ භාවිත වදන එක්කිරීම මගින් සමුද්‍රගේ නිවස ලෙස එම දැවැන්ත නිවසක් යොදා ගැනීම සාධාරණීකරණය කර ඇති බවක් හැඟේ. මෙම සේවකයා සුදු ඇඳුමින් සරසා තිබීම මගින් මොවුන් පාරම්පරික ධනවතුන් බව හැඟවීමට යොදා ගතයුතු දර්ශන රැසක් භාවිත කිරීමෙන් වැළකී සිටීමට අවස්ථාව ලැබී ඇත. 

පවනි සමග විවාහ වීමෙන් පසු දිනෙක වාහනයෙන් පැමිණෙන අවස්ථාවක ඇය සිප ගැනීමට සැරසෙද්දී සිදුවන අනතුරේදී සිනමාපටයේ ආරම්භයේ ඇයගේ රුව නොපෙන්වීම මගින් කුතුහලය කතාව තුළ රඳවා ගැනීමට අධ්‍යක්ෂ කොළඹගේ සමත්ව ඇත. අතීත ආවර්ජනාවලියක් ලෙස ආරම්භ වන මෙහි ඉදිරි දර්ශන තමන්ට රුචි අයුරින් ගලා යෑමට සැලැස්වීමට අධ්‍යක්ෂ සහ කතා රචකට හැකිවී ඇත්තේ එය පොපියන තාරුණ්‍යයේ නර්තන ඇකඩමියක වූ කතාවක් නිසාවෙනි. මේ නිසාම මෙහි සෑම තරුණ චරිතයක්ම ඕපපාතික චරිත නොවනා ආකාරයෙන් පවත්වාගෙන යෑමට හැකිවී තිබේ. එම පොපියන තාරුණ්‍යයේ හැසිරීම මෙම සිනමාපටයට දීර්ඝායුෂ ළඟා කර ඇති බව මැනවින් පැහැදිලි වන්නේ ඉන් අධ්‍යක්ෂ කොළඹගේට පහසුවෙන් උද්වේගකර දර්ශන වෙත ළඟා වීමට උදා කර දුන් අවස්ථාව හේතුවෙනි. ඒ නිසාම සම්මත ත්‍රිකෝණ පෙම් පුවතක් සුන්දර අත්දැකීමක් ලෙස ප්‍රේක්ෂකයා වෙත රැගෙන යෑමට අධ්‍යක්ෂවරයාට හැකියාව ලැබී තිබිණි. එය මනා ශික්ෂණයකින් යුතුව ප්‍රේක්ෂකාගාරය වෙත තිළිණ කිරීමට අධ්‍යක්ෂවරයා සමත්ව ඇත්තේ එම සිනමාපටය එකම රිද්මයකින් එහි අවසානය තෙක්ම රැගෙන යමිනි.

සිනමා නිර්මාණයකින් එම නිර්මාණකරුවාගේ සංස්කෘතිය විසඳිය යුතු බව ජාත්‍යන්තර පිළිගැනීමයි. එහිදී මෙම නර්තන ඇකඩමියේ සිසුවියන් හැඳ පැලඳ එන ඇඳුම් පැලඳුම් අප සංස්කෘතිය නොවේ යැයි කෙනෙකුට තර්ක කළ හැකිය. එහෙත් ඇතැම් පෞද්ගලික නර්තන ආයතනයන්හී මෙවන් අඩනිරුවත් ඇඳුමින් සැරසී එන තරුණ තරුණියන් නැතිවා නොවේ. එහිදී මෙහි නරඹන්නන්ට එක සිතිවිල්ලක් පහළ වනු ඇත. එනම් මෙම සිනමාපටයේ එන නර්තන ආයතනයේ රජයේ විශ්වවිද්‍යාලයක ආචාර්යවරයෙක් රඟපානු ලැබුවද, එය රජයේ සෞන්දර්ය ආයතනයක් විය නොහැකිය යන්නය. මන්ද එසේ වූවා නම් අන්තර් විශ්වවිද්‍යාල බලමණ්ඩලයේ සාමාජිකයන් මෙවන් නවීන විලාසිතාවන්ගෙන් සැරසී පැමිණෙන සිසුවියන්ට වැට බඳිනා බැවිනි. දිගු කලිසම්වලින් සැරසී පැමිණීම වළකාලමින් පළමු වසරේ සිසුවියනට එම ශිෂ්‍ය බලමණ්බලය තහනමක් පැනවූ අයුරු අපට තවම මතකය.

DSC_3502 DSC_5071 DSC_5312

තිරනාටකයේ සිට ඉන් අනතුරුව සැකසුණු රූප රචනය දක්වා අධ්‍යක්ෂවරයා දැක්වූ කැප කිරීම ප්‍රකට වනුයේ ඔහු හුදෙකලා දර්ශන නිර්මාණය කිරීමේදී පළ කළ නිර්මාණශීලීත්වය හේතුවෙනි. විහඟි ගැබ්ගෙන ඇති බව කියවෙන දර්ශනයේදී ඇයගේ පියාගේ කෝපය එක්වර නිවී යථා තත්ත්වයට පත්වීම මඳක් තාත්ත්වික නොවන බවක් පළ කරයි. ඇය මව නොමැති දියණියක් බව හැඟී යෑමෙන් පසුව කෝපය නිවී යන තත්ත්වයක් මෙහිදී සිදුවූවා නම් එය මනෝ විද්‍යාත්මකව පියාගේ සෙනෙහස පුතුන්ට සාපේක්ෂව දියණියන් කෙරෙහි ඇදී යෑමේ වැඩි ප්‍රවණතාවක් ඇති බව සනාථ කිරීමට හැකියාව තිබිණි. විහඟිගේ නිවසේ සහ ගෙවත්තේ දර්ශනයන් හීදී ඔහු රූප රචනය කෙරෙහි විශාල අවධානයක් පළ කළ බවක් පෙනිණි. එසේම දියණියගේ නැටුම් ජවනිකාව අතරතුර එහි පවනිද පැමිණ ප්‍රේක්ෂකාගාරයේ සිටිනු පෙන්වුවද, කතාවට අනුව ඇය ඒ වනවිට මළවුන් අතරට ගොසිනි. එය මළවුන් අතර සිටද පවනි, සමුද්‍ර සහ විහඟි එක්කිරීමට ගත් උත්සාහය පෙන්වීමක් සඳහා භවිත කළා නම් ඉන් චිත්‍රපටයේ කතාවට වූ යහපතක් බවක් අපට නොපෙනේ.

එහෙත් සමුද්‍රගේ දෙමවුපියන් විසින් ඔහුගේ මනාලිය ලෙස පවනි හඳුන්වා දීමේදී ඉන් කතාවට හානියක් ඇති නොවන්නේ එය දෙමවුපියන් විසින් සැලසුම් කළ දෙයක් බව පවනිගේ පියාගේ මුවගට නැගෙන සිනහව මගින් පිළිඹිබු කරනා බැවිනි. එසේම විවාහ වූ සමුද්‍ර සහ පවනි ලොරි රථයක ගැටෙන අනතුර සිදුවන ආකාරය පළමුව චිත්‍රපට‍ෙය් ආරම්භක දර්ශන රාමුවෙන් පෙන්වා පසුව සිනමාපටය අවසානයේ යළි පෙන්වන අවස්ථාවේදී ඔවුන් අනතුර හමුවේ මුහුණින් පළ කරනා හැඟීම්හි සමීප රූප මගින් පෙන්වීම අප මතකයට නගනුයේ, බටහිර සිනමා නිළි සොෆියා ලොරේන්ගේ සැමියා වූ ප්‍රංශ සිනමාකරු කාලෝ පොන්ටි අධ්‍යක්ෂණය කළ %කැසෙන්ඩ්‍රා ක්‍රොසින්^ සිනමාපටයේ කැසෙන්ඩ්‍රා පාලම තරණය කිරීමේදී වූ ජවනිකාවන්ය.

නවක නිළියන් වූ විහඟි ලෙස රඟපෑ චූලක්ෂි රණතුංග සහ පවනි ලෙස රඟපෑ ශෙනලි ප්‍රනාන්දුගෙන් උසස් රඟපෑමක් %දේදුනු ආකාසේ^ නිර්මාණය වෙත ලැබී ඇත. හේමාල් රණසිංහගේ පෞරුෂය හමුවේ අධ්‍යක්ෂ කොළඹගේ වැඩිපුර සටන් ජවනිකා සඳහා යොදා ගැනීමට උත්සාහ කර ඇති බවක් ප්‍රකට කරයි. එය වාණිජ අරමුණු සාර්ථක කර ගැනීමෙන් නිෂ්පාදකවරයා රැක ගැනීමේ පරමාර්ථයෙන් සිදු වූවා විය යුතුය. එහිදී අප තුළ පළ වන්නේ අනුකම්පාවක් පමණි. මන්ද වත්මන් සිනමා අර්බුදය හමුවේ නිෂ්පාදකයන් සොයා ගැනීමේ සටනක නියැළීමටද අධ්‍යක්ෂවරයාට සිදුවන බැවිනි. කැමරා ශිල්පියා, සංස්කරණ ශිල්පියා, සංගීත අධ්‍යක්ෂවරයා ඇතුළු සියලු ශිල්පීන්ගේ සහ නළු නිළියන්ගේ නිර්මාණ හැකියාව සිය නිර්මාණයට දායක කර ගැනීමට මෙහිදී ප්‍රියන්ත කොළඹගේ සමත්ව ඇත. කෙසේ හෝ සිනමා වියරණ දන්නා නිර්මාණකරුවෙකුට කුමනාකාරයේ වස්තු බීජයක් හමුවුවද එය සිනමාත්මක ගුණයෙන් යුත් නිර්මාණයක් බවට පත් කිරීමේ හැකියාව තිබෙන බව මෙම සිනමා නිර්මාණය මගින් පිළිබිඹු කර ඇති බව කිව යුතුය. 

දැනගෙන කතරගම ගිය කොළඹගේ නිමැවූ 'දේදුනු ආකා‍ෙස' සිනමා වියරණ භාවිතයේ අරුමය පෙන්වයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :