මංගලගේ මංගල අයවැය
( . . ) 2017-11-14 09:47:46
Comments - 0       Views - 342

මංගල සමරවීර මහතාගේ අයවැය සම්පූර්ණයෙන්ම ජනතාව නොමග යවන බොරු පොරොන්දු මාලාවකින් සමන්විත වූ අයවැයක් ලෙස හඳුන්වාදිය හැකිය. බදු පිට බදු ගසමින් ජනතාව පිට තවදුරටත් බර පැටවීමට මෙවර අයවැයෙන් කටයුත් කෙරිණි. අයවැය පිළිබඳ විවේචනයක් ඉදිරිපත් කිරීමට මෙවර කුරහන් සුවඳ තීරු ලිපිය වෙන් කිරීමට අදහස් කරන්නෙමි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනතාව මතින් මුදවාගැනීම සඳහා කටයුතු කරද්දී ඔහුගේ රජයේ අයවැය ඉදිරිපත් කරන මුදල් අමාත්‍යවරයා මත්පැන් ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරයි. මෙවර අයවැයෙන් බීර ලීටරයක් සඳහා අය කරන බදු මුදල අඩු කිරීමට කටයුතු කර තිබිණි. ඒ හරහා බීර මිල තවදුරටත් අඩු වී ජනතාව වැඩි වශයෙන් මත්පැනට යොමුවීමක් සිදු වනු ඇතැයි විශ්වාස කළ හැකිය. අයවැයට පෙර පැවැති කැබිනට් හමුවේදී ජනාධිපතිවරයා මේ තීරණය සම්බන්ධයෙන් දැඩිව විරෝධය ප්‍රකාශ කළ බවට වාර්තා වුවද, එයින් එක් අකුරක් හෝ වෙනස් නොකර එය අයවැය යෝජනාවක් ලෙස ක්‍රියාවට නැංවීමට මුදල් අමාත්‍යවරයා කටයුතු කළේය. මේ අතර පැණිබීම සඳහා වන බදු වැඩි කළේය. මෙයින් කියැවෙන්නේ පැණිබීම නොබී ජනතාවට බීර පානය කිරීමට මුදල් අමාත්‍යවරයා උපදෙස් දෙනවාය යන්නද? යුරෝපය ඇතුළු බටහිර රටවල ප්‍රධාන පානයක් බවට බීර පත්ව තිබේ. එය බටහිරකරණයේ එක් අංගයක් ලෙසද හැඳින්විය හැකිය. අයවැය හරහාද රජය බටහිරට අවශ්‍ය දේ සිදු කරමින් සිටී. 

මෙවර අයවැයේදි රජය නව බද්දක් හඳුන්වා දුන්නේය. ඒ බැංකු ගනුදෙනුවලදී සෑම රුපියල් 1000කටම ශත විස්සක බදු මුදලක් අය කිරීමයි. මෙය ගනුදෙනුකරුවාගෙන් අය නොකර සිටීමට කටයුතු කරන බව සඳහන් වුවද එය සිදු කරන ආකාරයක් සඳහන් නොවිණි. මෙවර අයවැයෙන් ආණ්ඩුව වැඩිම බදු ආදායමක් ලබාගැනීමට අපේක්ෂා කරන අංශ අතර මෙම බද්දද පවතී. එයින් ආණ්ඩුව උපයාගැනීමට අපේක්ෂා කරන මුදල රුපියල් මිලියන 2,000 කි.
මෙම බද්ද හඳුන්වා දෙමින් මුදල් අමාත්‍යවරයා සඳහන් කළේ එය පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ණය ගෙවීම වෙනුවෙන් පනවන බවයි. ඒ බද්ද ඔහු %‘මැදමුලන බද්ද’ ලෙස හැඳින්වීම වරදක් නැති බවද කීවේය. මෙය මැදමුලන බද්ද නොවී .‘යහපාලන බද්ද’ බද්ද වෙන අයුරු මම මෙහිදී ඉලක්කම් සහිතව ඔබට පෙන්වා දෙමි. 

පසුගිය මහින්ද රාජපක්ෂ පාලන කාලය, එනම් වසර 09කදී යුද්ධය අවසන් කිරීමටත්, ලංකාවේ එදා මෙදා තුර ක්‍රියාත්මක නොවුණු 
මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම වෙනුවෙනුත් එවකට පැවැති රජය ලබාගත් සමස්ත ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 5.2 ක් විය. නමුත් වත්මන් ආණ්ඩුව 2018 වසර අවසන් වනවිට ලබාගැනීමට අපේක්ෂා කරන ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 4.7 කි. ඒ අනුව මහින්ද රාජපක්ෂ ආණ්ඩුව වසර 09ටම ලබාගත් සමස්ත ණය ප්‍රමාණයෙන් 90% ක් පමණ වත්මන් ආණ්ඩුව වසර හතරක් තුළ ලබාගෙන ඇත.
අනෙක් අතින් 2014 වසරේදී අප ආණ්ඩුව බාරදෙන විට ශ්‍රී ලංකාවේ සමස්ත ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 7.4 ක් විය. නමුත් 2018 වසර අවසන් වනවිට ශ්‍රී ලංකාවේ සමස්ත ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 12 ක් වනු ඇතැයි අපේක්ෂා කරයි. ඒ අනුව ප්‍රතිශතයක් වශයෙන් ගත් විට ණය වර්ධනය 68‍% කි. මේ නිසා ආණ්ඩුව හඳුන්වා දුන් බද්ද සැබැවින්ම මැදමුලන බද්දද? එසේත් නැත්නම් යහාපලන බද්දක් දැයි ඔබටම දැන් තීරණය කළ හැකිය.
අනෙක් අතින් පසුගිය වසර තුනක කාලයේදී බොරතෙල් මිල ශීඝ්‍රයෙන් පහත වැටුණි. මේ හරහා ආණ්ඩුව ලබාගත් ලාභය ඩොලර් බිලියන 05කට අධික වෙයි. ආණ්ඩුව එදාවේල පිරිමහගැනීමට මෙම මුදල් යෙදවීම හරහා ණය ගෙවීමට තිබූ අවස්ථාව අහිමි වී ගියේය.
මෙවර අයවැය ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍යවරයා සඳහන් කළේ ශ්‍රී ලංකාවේ ඒකපුද්ගල ආදායම ඩොලර් 5000 ක් දක්වා වර්ධනය කිරීමට අපේක්ෂා කරන බවයි. එවැනි ආකාරයක ඒකපුද්ගල ආදායම් වර්ධනයක් සඳහා ශ්‍රී ලංකා ආර්ථිකය 25%කින් වර්ධනය විය යුතුය. ඩොලර් 5000 ක ඒකපුද්ගල ආදායමක් ලබාගැනීමට නම් ශ්‍රී ලංකාවේ දළ ජාතික නිෂ්පාදනය ඩොලර් බිලියන 106.5 ක් විය යුතුය. 2017 වසරේදී ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් බිලියන 84.9කි. ඒ අනුව ඩොලර් 5000 ක ඒකපුද්ගල ආදායමක් ලබාගැනීමට නම්  ආර්ථිකය 25%කින් වර්ධනය විය යුතුයි. වත්මන් ආර්ථික වර්ධන වේගය 4.5%ක්.  එවැනි තත්ත්වයකක 25%ක වර්ධනයක් ලබාගන්නේ කෙසේද යන්න ගැටලුවකි. වෙරිටේ රිසර්ච් ආයතනය 2017 වසරේ අයවැය පිළිබඳ කළ සමීක්ෂණයකින් හෙළි වී ඇති කරුණුවලින් වැදගත් කරුණු කිහිපයක් මෙසේ ඉදිරිපත් කරමි. ඔවුන් පවසන්නේ අයවැය යෝජනාවලින් ක්‍රියාවට නංවා ඇත්තේ 3% ක් පමණක් බවයි. යෝජනාවලින් 51% ක් කිසිම ආකාරයකින් ක්‍රියාත්මක වී නොමැත. 32% ක් අපේක්ෂිත මට්ටමින් පහළ තිබේ. යෝජනාවලින් 14% ක් සඳහා අතවත් තබා නොමැත. 2016 අයවැයේ පොරොන්දු වූ යෝජනාද මේ දක්වා ක්‍රියත්මක වී නොමැත.
අධ්‍යාපනයට 6%ක් වෙන් කිරීම, සෞඛ්‍යයට 3% ක් වෙන් කිරීම පසුගිය අයවැයෙහි යහපාලන ආණ්ඩුවේ ප්‍රධාන යෝජනා විය. ඒවා ඉටු නොවීම තබා මෙවර අයවැයෙන් ඒ පිළිබඳ කතාවක් හෝ නොවීය. මාලඹේ මහපොළ විශ්වවිද්‍යාලය, ආනයන අපනයන බැංකුව, කොළඹ ඉදිකරන බව කියූ ආසන 7000 ක සම්මන්ත්‍රණ ශාලාව, කැලණිවැලි දුම්රිය මාර්ග සංවර්ධනය යනාදී පොරොන්දු කිසිවක් ඉටු නොවීය.
සමස්තයක් ලෙස මෙවර අයවැයට අනාගතවාදී අයවැයක් යන්න හඳුන්වාදීම ජනතාව සම්පූර්ණයෙන්ම මුළාවේ දැමීමකි. මුදල් අමාත්‍යවරයා මෙම අයවැය සකස්කර ඇත්තේ සිය නායකයන් මෙන්ම එක්සත් ජාතික පාක්ෂිකයන් හා ආණ්ඩුවට එක්ව සිටින ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් සතුටු කිරීමට ගත් උත්සාහයක් ලෙසිනි. ආර්ථිකයක හදවත කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝය. මෙවර අයවැයෙන් ඔවුන් අමතක කර තිබේ. මේ අතර රජය විසින් බොහෝ දුරට සිදුකරන නැව් කළමනාකරණය පවා සම්පූර්ණයෙන්ම විජාතිකකරණය කිරීමට අයවැය හරහා කටයුතු කර තිබේ. 
මේ අතර පසුගිය දින කිහිපයේදී ඇති වූ පෙට්‍රල් අර්බුදය පිළිබඳ කතා නොකර සිටීමට නොහැකිය. එක් නැවක තෙල් ප්‍රතික්ෂේප වූ පමණින් රටක ජනතාවට තෙල්  ලබාදීමට ආණ්ඩුවට නොහැකි නම් කළ යුතුව ඇත්තේ නායකයන් ඉල්ලා අස්වීමය. යුද්ධයක් තිබියදීත්, තෙල් ටැංකිවලට ත්‍රස්තවාදීන් ප්‍රහාර එල්ල කිරීද්දීත් ශ්‍රී ලංකාවට හිඟයකින් තොරව තෙල් ලබාදීමට පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට හැකියාවක් තිබිණි. මේ අතර බාලතෙල් නැව බාරගන්නා ලෙස තමන්ට දේශපාලන බලපෑම් සිදු වූ බවට අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන්ද පරීක්ෂණයක් පැවැත්වීය යුතුය. මේ අතර හම්බන්තොට පැවැති විරෝධතාවට එක්ව රක්ෂිත බන්ධනාගරගත කර සිටි සියල්ලන්ට ඊයේ වනවිට ඇප ලබාගැනීමට අවස්ථාව  ලැබිණි. ඒ අනුව අපට අධිකරණය කෙරෙහි තවදුරටත් විශ්වාසය තිබේ. ඇතැම් නඩු සම්බන්ධයෙන් අපට අධිචෝදනා ගොනුව තිබේ. මෙහිදී අප තවදුරටත් නීතිපති දෙපාර්තමේන්තුව පිළිබඳ විශ්වාසය තබාගෙන සිටිමු. නමුත් බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් පරීක්ෂණ කරන කොමිසමේදී නීතිපති දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන් තර්ජනය කළ බවට මූලික අයිතිවාසිකම් නඩුවක් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර තිබේ. ඉතින් අපට නීතිපති දෙපාර්තමේන්තුව පිළිබඳ විශ්වාසයක් තිබුණද එහි ඇතැම් නිලධාරීන් කටයුතු කරන ආකාරය පිළිබඳ විශ්වාසය තබා ගැනීමට නොහැක.
ලබන සතියේදී හමුවෙමු!
ඔබට සුබ අනාගතයක්!

මංගලගේ මංගල අයවැය සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :