පොලිතින් පාලනයෙන් පසු වගකීම සහ වගවීම?
( . . ) 2017-11-14 09:40:48
Comments - 0       Views - 287

රටක් වශයෙන් වැදගත් තීරණ ගැනීමට සැලසුම් කළ සෑම අවස්ථාවකදීම ලාංකේය සමාජය තුළ දක්නට ලැබෙන පොදු ලක්‍ෂණයක් බවට පත්ව ඇත්තේ විද්වත් ඇගයීමකට ලක්කිරීමෙන් තොරව එම තීරණවලට විරෝධය දැක්වීමය. එවැනි විරෝධතා හේතුවෙන් අක්‍රීය කරන ලද ජාතිකමය වැදගත් තීරණ මගින් නැවත නිවැරදි කරගත නොහැකි අයුරින් රටට සිදු වූ හානි මැනිය නොහැකි තරම්ය.


ඒ අයුරින්ම ලන්ච් ෂීට්, සිලි බෑග්, වරක් පමණක් භාවිතයෙන් ඉවතලන ආහාර ඇසුරුම් පෙට්ටි සහ ඒවා ආශ්‍රිත නිෂ්පාදන සම්බන්ධයෙන් රජය මගින් පනවන ලද පාලනයටද සුපුරුදු මහජන හඬ නැගෙමින් පවතී. මෙම පාලනය හමුවේ නැගෙන මහජන මතවාදයන් ආකාර දෙකකින් සමාජගත වෙමින් පවතිනු දැකිය හැකිය. 
ඒ අනුව තීරණයේ සාධනීය බව තේරුම්ගෙන රටක් ලෙස දීර්ඝ කාලීනව ඇතිවන යහපත සලකා එම තීරණය පිළිගැනීමට සහ ඒ අනුව ඉහත පාලනයට ලක්වූ නිෂ්පාදන සමග බැඳී පැවැති තම ජීවන රටාව වෙනස් කර ගැනීමට උත්සාහ කරන නිහඬ ජනතාව එක් පාර්ශ්වයක් නියෝජනය කරයි. 

අනෙක් පාර්ශ්වය විරෝධතාවන් විවිධ මට්ටම්වලින් සහ ක්‍රමවලින් රැගෙන ඒම දක්වා සංවිධානාත්මකව මෙම පාලන තීරණයට එරෙහි ප්‍රබල ප්‍රතිවිරෝධයන් සමාජගත කරමින් සිටිනු දැකිය හැකිය.
පරිසරයට සහ එහි ජීවත් වන මිනිසුන් ඇතුළු අනෙකුත් සත්ත්වයන්ට හානි කරන මට්ටම දක්වා වර්ධනය වූ පොලිතින් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදනවල අවිධිමත් භාවිතය හා බැහැර කිරීම සම්බන්ධයෙන් පාලනයන් ඇතිකළ යුතු බවට ප්‍රථම සාකච්ඡා ඇති වූයේ මීට දශකයකට පෙර එනම්, 2007 වසරේදීය. එම වසරේදී %ලන්ච් ෂීට්^ සඳහා තහනමක් ක්‍රියාත්මක නොවූ අතර, පැවැති ඉතා තුනී %ලන්ච් ෂීට්^ වෙනුවට ඝනකම මයික්‍රෝ මීටර් 20 හෝ ඊට වඩා වැඩි වන ලෙස නිෂ්පාදනය කළ යුතු බවට තීරණය කෙරිණි. එම තීරණය ගැනීමට හේතු වූ ප්‍රධාන කරුණු දෙකක් පැවැතිණි. 

ඝනකමින් වැඩි 'ලන්ච් ෂීට්' භාවිත කරන අයට හොඳින් පිරිසුදු කිරීමෙන් පසු කිහිප වාරයක් භාවිත කිරීමට අවස්ථාව ලබාදීම සහ භාවිතයෙන් බැහැර කළ පසු ඝනකම 'ලන්ච් ෂීට්' අනෙකුත් කසළ ඇතුළු අපද්‍රව්‍යවලින් වෙන්කර ගැනීමට ඇති පහසුව මෙහිදී ප්‍රධාන වශයෙන් සැලකීමට ලක්කෙරිණි. 
එවකට භාවිතයේ පැවැති තුනී ලන්ච් ෂීට්, අනෙකුත් පරිසරයේ ස්වාභාවිකව දිරායන අපද්‍රව්‍ය හෝ කසළ සමග මිශ්‍ර වීමෙන් පසු වෙන්කර ගැනීමට ප්‍රා‘යෝගිකව නොහැකි වූ අතර, දිරායන අපද්‍රව්‍යවල දිරීමේ ක්‍රියාවලියද අවහිර කෙරිණි. 
නමුත් පොලිතින් පාලන ක්‍රමවේදයන් ඒවායේ බලාපොරොත්තු වූ අරමුණු දක්වා විධිමත් ලෙස සැලසුම් නොකිරීමේ අවසානය වූයේ, වඩාත් වැඩි පාරිසරික ගැටලු නිර්මාණය කිරීමය. ඒ අනුව ඝනකමින් වැඩි %ලන්ච් ෂීට්^ නිපදවුවද, ඒවා භාවිතයෙන් බැහැර කිරීම, වෙන්කර ගැනීමේ ක්‍රමවේදයන් ක්‍රියාත්මක නොවිණි. මෙම 'ලන්ච් ෂීට්' දිරායන කසළ සමග මිශ්‍ර වීමෙන් වඩාත් විශාල කුණු කඳු ඉක්මනින් ගොඩ නැගීමට අවස්ථාව උදා කෙරිණි. මීතොටමුල්ල වැනි ස්ථානවල විශාල ජීවන හානිවලට අපද දායක වූයේ මෙලෙස නිර්මාණය කරන ලද කුණු කඳු මගිනි. මෑත කාලයේදී පාලනය කරගැනීමට අපහසු තරම් වර්ධනය වූ ඩෙංගු උවදුර, කෙටි කාලයක් තුළ කොළඹ ආශ්‍රිත ප්‍රදේශවලට බරපතළ හානි සිදුකළ ගංවතුර මේ හා බැඳුණු තවත් උදාහරණයන්ය. 
වැඩි ඝනකමින් යුතු %ලන්ච් ෂීට්^ නිපදවීම සඳහා වැඩි අමුද්‍රව්‍ය ප්‍රමාණයක් සෑම විටම වැයවන බැවින් මේ මගින් ඇති වන ආර්ථිකමය හානියද ඉතා ඉහළය.
ඒ 'ලන්ච් ෂීට්' නිපදවීමට ගන්නා අමුඅද්‍රව්‍ය අප විදේශ රටවලින් ආනයනය කරන බැවිනි. 

13.Sri Vajiragana Mavatha. Colombo 09

2007 වසරේදී ඇති කරන ලද පාලන නියෝගවලට අනුගත වෙමින් ගත් තවත් සාධනීය පියවරක් වූයේ නොමිලේ සහ අවශ්‍යතාවන් ඉක්මවා දිවයිනේ සෑම ප්‍ර‘දේශයකම අද පවත්නා සුපිරි වෙළෙඳ සැල් මගින් ලබාදෙන %සිලි මලු^ පාලනයට ලක්වීමය. වර්තමානයේද මෙම වෙළෙඳ ස්ථාන පරිසරයට බරක් වන නොදිරන ද්‍රව්‍ය ජනනය කිරීමේ ප්‍රධාන මධ්‍යස්ථානයක්ව පවතී. කෙසේ වුවත් මෙම වෙළෙඳ මධ්‍යස්ථානවල කළමනාකාරීත්ව, 2007 ක්‍රියාත්මක වූ පාලන ක්‍රමවේදයන්ට මනා සහයෝගයක් ලබාදෙමින්, අවශ්‍යම භාණ්ඩ සඳහා පමණක් නොමිලේ 'සිලි මලු' ලබාදුන් අතර, අතිරේකව පාරිභෝගිකයන් 
'සිලි මලු' ඉල්ලා සිටියොත් ඒ සඳහා මුදල් අයකර ගැනීම තුළින් එවැනි ඉල්ලීම් අධෛර්යමත් කිරීමට කටයුතු කරන ලදී. 
වෙනත් රටවලදී අප දකින ප්‍රධාන ලක්‍ෂණයක් නම් පාරිභෝගිකයන් සතුව පවතින ශක්තිය සහ අයිතියයි. පාරිභෝගිකයාට නොගැළපෙන අහිතකර භාණ්ඩ වෙළෙඳ පොළට ඉදිරිපත් වුවහොත් එම නිෂ්පාදනය නතර කරවීමට සමත් ප්‍රබල පාරිභෝගික සමාජයක් එම රටවල පවතී. 

නමුත් ලාංකික පාරිභෝගිකයා තවමත් හඳුනා නොගත් තම ශක්තිය තුළ බොහෝ ආකාරයන්ගෙන් වෙළෙඳ ලෝකයේ ගොදුරු බවට පත්වෙමින් පවතී. සැබැවින්ම ප්‍රතික්‍ෂේප කළ යුතු භාණ්ඩ වෙළෙඳ පොළ තුළ අප විසින් මිලදී ගනු ලබයි. 
මේ සඳහා හොඳම නිදසුනක් වනුයේ විශේෂයෙන්ම නිසි වෙළෙඳ පොළ අනන්‍යතාවන් නොමැතිව වෙළෙඳ දැන්වීම් මගින් සහ ආකර්ෂණීය ඇසුරුම් මගින් ලාංකේය තරුණියන් ආකර්ෂණය කරගන්නා විවිධාකාරයේ රූපලාවණ්‍ය ආලේපනයන්ය. නිසි ප්‍රමිතියෙන් යුතුව නොපැමිණෙන මෙවැනි නිෂ්පාදන සම්බන්ධව ක්‍රමවත් නියාමනයක් නිසි අයුරින් නොවන පසුබිමක ඉතා උග්‍ර විෂ සහිත රසායනික සංඝටකයන් මෙම රූපලාවණ්‍ය ආලේපන තුළ තිබීමේ හැකියාව ඉතා ඉහළ මට්ටමක පවතී.
ලාංකේය පාරිභෝගිකයාගේ නොදැනුවත්භාවය තුළ සිදුවන පාරිභෝගික අයිතිය භාවිතයේ අනෙක් පැතිකඩ වනුයේ වැරදි අයුරින් එම අයිතිය සපුරා ගැනීමකි. 2007 වසරේ සුපිරි වෙළෙඳ සැල් මගින් ක්‍රියාත්මක කරන ලද %සිලි බෑග්^ ලබාදීමේ පාලනයට එරෙහිව පාරිභෝගිකයන් අධිකරණයේ සහාය ලබා නැවතත් පෙර පරිදි අවිධිමත් භාවිතයට යොමුවීම මෙයට හොඳම නිදසුනකි. 

මීතොටමුල්ල විශාල ජීවිත හානියක් සිදුකර ඇත. ඩෙංගු බොහෝ මිනිස් ජීවිත අහිමි කර ඇත. නිතර පැමිණෙන ගංවතුර බරපතළ භෞතික හානි සිදුකර අවසන්ය. මේ සියල්ලෙන් පසු නැවතත් වසර දහයකට පසු අප පොලිතින් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන පාලනයට යොමුව තිබේ. පෙර පරිදිම මිනිසුන් දේශපාලන සහයෝගයෙන් යුතුව සංවිධානාත්මක විරෝධතාවන් මෙම පාලනයට එරෙහිව නැගෙනු දැකිය හැකිය. 
අනෙක් අතට ප්‍රා‘යෝගික මානසිකත්වයක් රහිත සුළු පිරිසක් සම්පූර්ණයෙන්ම පොලිතින්, ප්ලාස්ටික්, ඝන ආශ්‍රිත නිෂ්පාදනවලින් තොර ලෝකයක් ගැන සිහින දකිනුද දැකගත හැකිය. 
මෙම සියලු අන්තයන්ගෙන් බැහැරව වඩා නිවැරදි තත්ත්වයන් අවබෝධ කරගැනීම මෙම ලිපියේ අරමුණයි. ඒ අනුව පහත සඳහන් කරුණු ප්‍රායෝගික විමසුමට ලක්කළ යුතුව ඇත. 
මෙම නොදිරන පොලිතින් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන හඳුන්වා දෙන අවස්ථාවේදී ඒවා මගින් අපගේ ජීවිතවලට ලබාදුන් පහසුව සහ සහයෝගය පසු කාලීනව අත්විඳීමට සිදුවූ හානිවලට වඩා වැඩිවීම.
කාලීනව මුහුණ දෙන තත්ත්වයන් සලකා නිසි පාලන ක්‍රමවේදයකට යායුතු බව තේරුම් ගැනිම.

නීතියක් ලෙස යම් පාලන ක්‍රමවේදයක් හඳුන්වා දීමෙන් පසු ජනතාව (පාරිභෝගිකයා) සහ නිෂ්පාදකයා නීතිගරුක පුරවැසියන් වශයෙන් එයට දක්වන අවනතභාවය. 
නීතිය හඳුන්වා දුන් වගකිව යුතු රාජ්‍ය පාර්ශ්වයන් එම නීතිය බලාත්මක වීමට අවැසි සියලු පසුබිම ජනතාවට ලබාදීම සහ ජනතාව නොකැඩී ඒ තුළ රඳවා තබාගැනීම ඉහත කරුණුවලට අදාළ සියලු ක්‍ෂේත්‍රයන්හි බරපතළ හිස්තැන් පවතින බව පෙනී යයි. 
එක් එක් ප්‍රධාන කරුණක් සලකා බැලුවහොත් තහනම් කරන ලද නිෂ්පාදන මගින් ඉටුකරන ලද පාරිභෝගික අවශ්‍යතා සඳහා විකල්ප නිෂ්පාදන ඉදිරිපත් විය යුතුව ඇත. 
විකල්ප නිෂ්පාදන ඉදිරිපත් වුවද, ඒවා පරිසර හිතකාමී ලෙස නිෂ්පාදකයන් විසින් නම් කරනු ලැබුවද, නිසි ලෙස ඒවා තහවුරු කර ගැනීමට අවශ්‍ය විද්‍යාත්මක යාන්ත්‍රණය තවමත් රට තුළ ගොඩනැගී නොමැත. 
මේ සඳහා අවශ්‍ය පර්යේෂණ, සංවර්ධන කටයුතු සහ පරීක්‍ෂණාගාර පහසුකම් ඉතා සුළු පරිශ්‍රමයකින් ස්ථානගත කිරීමේ හැකියාව රට තුළ පවතී. නමුත් ඒ සඳහා නිසි ක්‍රමවේදයක් නොමැති වීමෙන් විධිමත් නිෂ්පාදකයන් සිර වී ඇත. 
මෙම නිෂ්පාදන පාලනයේ අරමුණු උවමනාවෙන්ම හඳුනා නොගත් ඇතැම් නිෂ්පාදකයන්, පාලන පනත මගින් ආවරණය නොවූ වඩාත් වැඩි කාලයක් පරිසරයේ නොදිරා පවතින අමුද්‍රව්‍ය භාවිත කර %බෑග්^ නිෂ්පාදනය කිරීමට පෙළඹී ඇති බවද පෙනී යයි. 
ඒ අතර විශ්වවිද්‍යාලවල අදාළ ක්‍ෂේත්‍රයන්හි පර්යේෂණකයන්ට හා අනෙකුත් විද්‍යාඥයන්ට මෙම පසුබිම හොඳ අවකාශයක් විවෘත කොට ඇති බවද සඳහන් කළ යුතුය. විද්වතුන්ගෙන් රටට ලැබෙන ඵලදායී තත්ත්වය ප්‍රශ්න කිරීමට සංවිධානාත්මක යම් පිරිස් උත්සාහ කරන බව දක්නට ලැබෙන කරුණකි. පරිසර හිතකාමී විකල්ප නිෂ්පාදන, එවැනි නිෂ්පාදනවල පරිසර හිතකාමී බව තහවුරු කරගැනීමේ ක්‍රමවේදයක් සැකසීම තුළින් විද්වත් ප්‍රා‘යෝගික යොමුවකට සුදුසු පරිසරයක් මෙම පොලිතින් තහනම් පනත මගින් ඇතිකර තිබේ. 
ඒ සඳහා අදාළ ක්‍ෂේත්‍රයන්හි පර්යේෂණ සහ සංවර්ධන ක්‍රමවේදයන් සඳහා විද්වතුන්ගේ යෝජනා නිසි ඇගයීමකට ලක්කිරීමෙන් පසු අවශ්‍ය භෞතික සම්පත් ඔවුන් වෙත ලබාදිය යුතුව ඇත. එසේ කිරීමෙන් පමණක් විද්වතුන්ට ජාතික අවශ්‍යතාවන්ට දැනුමින් ප්‍රා‘යෝගික උරදීමේ වගකීම මග නොහැරිය හැකි ලෙස පැවැරේ. විද්වතුන්ගේ ජාතික වගකීම පිළිබඳ ප්‍රශ්න කිරීමේ හැකියාව අදාළ පාර්ශ්වයන්ට එවැනි ක්‍රමවේදයකින් පසුව පමණක් හිමිවනු ඇත. මෙලෙස විද්වත් දායකත්වය සහ එය ප්‍රමාණාත්මක දැයි ප්‍රශ්න කිරීම නිසැක ලෙස ජාතික කාර්යයන්ට සාධනීය ලෙස උරදීමට ඉවහල් වනු ඇත. 

ආචාර්ය සරත් මලවිපතිරණ
විශ්ලේෂණ රසායන විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ව්‍යවහාර විද්‍යා පීඨය - ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය 
පරිසර අමාත්‍යාංශයේ පොලිතින් පාලනය පිළිබඳ ජාතික කමිටුවේ හිටපු සාමාජික 

 

පොලිතින් පාලනයෙන් පසු වගකීම සහ වගවීම? සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :