ගුණාත්මකභාවය කෙරේ වැඩි අවධානයක් යොමුකළ අයවැයක්
( ෂෙහානි දිල්රුක්ෂිකා ) 2017-11-13 09:00:58
Comments - 0       Views - 385

ලංකා ආර්ථිකයේ තිබෙන එක විශාල ගැටලුවක් තමයි කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට ණය ලබා ගැනීමට තිබෙන අපහසුතාව. ලංකාවේ විශාල බැංකු ප්‍රමාණයක් තිබෙනවා. මේ ආයතන සියල්ල ලාභ ලබන ආයතන. ඔවුන්ගේ මූලික පරමාර්ථය ලාභ ලැබීම නිසා ඔවුන් විශාල ආයතන වලට ණය ලබා දීම නිරන්තරයෙන් සිදුකරනවා. නමුත් කුඩා ව්‍යපාරිකයන් එවැනි පහසු තත්ත්වයක් දැකගන්න ලැබෙන්නේ නැහැ. ඒම හේතුවෙන් මේ සඳහා භාණ්ඩාගාරය මැදිහත්ව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යසායකයන් දිරිමත් කිරීමට කටයුතු කිරීම ඉතා හොඳ ලක්ෂණයක්.


'නීල හරිත අයවැය - එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා^ යන තේමාව යටතේ 2018 වර්ෂයේ අයවැය මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමග මේ පිළිබඳ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් මෙන්ම සමාන්‍ය ජනතාවද නොයෙක් අදහස් හා මතයන් ප්‍රකාශ කරන්නට විය. එමෙන්ම අයවැයට පෙරද යෝජනා කිරීමට අපේක්ෂිත බොහෝ දේ පිළිබඳ කතා කරන්නට විය. රාජ්‍ය ආදායමෙන් රුපියල් බිලියන 2034ක්ම ආණ්ඩුව ලබා ගැනීමට අපේක්ෂා කරනුයේ බදු හරහාය. මේ නිසා විවිධ ක්ෂේත්‍රයන් තුළ බදු පැනවීමද ඒ හරහා නෙයෙක් කථිකා මතුවීමද මේ දිනවල සුලබව සිදුවන්නකි. මෙවර අයවැයේ සැබෑ ලෙසම යෝජනා කරන්නේ කුමක් ගැනද, සහ මෙහි ඇති ගුණාත්මකභාවය පිළිබඳ සාකච්ඡා කිරීමට අප කොළඹ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය චන්දන අලුත්ගේ මහතා අද හා සම්බන්ධ කර ගත්තෙමු. 

රටේ ආර්ථික වර්ධනය 5%ක මට්ටමක තබා ගැනීමට මේ වසරේ අයවැයෙන් කටයුතු කර තිබීම සුවිශේෂී කරුණක් ලෙස ප්‍රථමයෙන් ප්‍රකාශ කළ යුතුයි. පසුගිය අවුරුදු දෙක තුළදී ආර්ථික වර්ධනය පහත බැසීමක් අපට දැකගන්න හැකිවුණා. ඒ අනුව බැලුවාම මෙය අපට ළඟා විය හැකි පහසු අගයක් ලෙස මා හිතනවා. විශේෂයෙන්ම 10% හෝ 15% වැනි අගයකට නොයා මෙවැනි ළඟා විය හැකි අගයක් ගැනීම මම හිතනවා කාලෝචිත දෙයක් ලෙස. මේ අයවැය ආර්ථිකයේ අනෙක් අංශවලටද මෙය ඉතාම හොඳ දෙයක්. 
මෙය පෞද්ගලික අංශයට ඉතා හොඳ තොරතුරක්. ඒ වගේම එහි මධ්‍යම පරාසය 06% තියා ගැනීමට හදනවා යන්න තුළින් නොයෙක් අංශයන්ට මේ පිළිබඳ විශ්වාසයක් ඇති වෙනවා. ඒ අනුව ඔවුන්ට ඔවුන්ගේ කටයුතු ඒ ආකාරයෙන් සකස් කර ගැනීමට හැකි වෙනවා. 
උදාහරණයක් ලෙස මම මගේ වත්කම්වලින් යම්කිසි වත්කම් ප්‍රමාණයක් මූල්‍ය වත්කම් සඳහා ආයෝජනය කළහොත්, මෙම ක්‍රමය නිසා මගේ වත්කම් ආයෝජනයෙන් 10%ක් වගේ පොලියක් එනවිට වර්ෂ අවසානයේ මගේ වත්කම් මූර්ත වශයෙන් 04෴ක් වැඩියි. එම නිසා ආදායමේ වැඩිවීමක් එවිට දැකගන්න පුළුවන් වෙනවා. නමුත් මේ දේ ඒ අයුරින් සිදුවීමට අයවැයෙන් කියූ දේ ඒ ආකාරයෙන්ම සිදුකරන්නට රජයට සිදුවෙනවා.  සාමාන්‍ය ආර්ථිකයේ ව්‍යාපාරිකයන්ට අයවැය අනුව තමන්ගේ ව්‍යාපාරික කටයුතු සකස් කරගත හැකියි. මේ අයවැය තුළින් සිදුවන හොඳ තත්ත්වයක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්. Aluthge-C-Doctor-263x263

රජය විසින් මෙවර අයවැයෙන් ගෙන එන තවත් හොඳ යෝජනාවක් ලෙස විදුලි වාහන මිල අඩු කිරීමට දැකගන්න පුළුවනි. ඒ අනුව විද්‍යුත් වාහන සඳහා රුපියල් ලක්ෂ 10ක බදු සහනයක් ලබාදීමට යෝජනා කර තිබෙනවා. රජය යනු ආර්ථිකයේ සිටින ප්‍රධාන පාරිභෝගිකයෙක් ලෙස අපට හඳුනාගන්න පුළුවන්. රාජ්‍ය වියදම අඩු කිරීමට මෙම යෝජනාව තුළින් ඉදිරියේදී ප්‍රබල බලපෑමක් සිදුකළ හැකියි.
අනෙක් ඉතා වැදගත් යෝජනාවක් ලෙස සියලු බැංකු ගනුදෙනුවලදී රුපියල් 1000කට ශත 20ක ණය ආපසු ගෙවීමේ විශේෂ බද්දක් ගැනීම පිළිබඳව සදහන් කර තිබීම. මෙය ව්‍යාපාරික කටයුතු තුළට කිනම් අයුරින් බලපායිද යන්න නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකියි. නමුත් ශත 20ක් යනු ඉතාම සුළු ප්‍රමාණයක්. මම සිතන අයුරින් රජය වෙනත් වෙනත් මාර්ග ඔස්සේ මිනිසුන්ට කරදරකාරී නොවන අන්දමින් ණය ගෙවා ගැනීමට යොදාගත් එක් ක්‍රමයක් ලෙස මෙම බදු ක්‍රමය හඳුන්වන්න පුළුවන්. කුමන පුද්ගලයන් ණය ගත්තද ඒවා සියල්ල වැඩි අපහසුවකින් තොරව ගෙවා දැමීමට කවර ආණ්ඩුකරණයක් තුළ වුවද සිදුවේ. එයට හොඳ විසඳුමක් ලෙසයි මා මෙය දකින්නේ. නොයෙක් ක්ෂේත්‍රයන්වල සිටින අය මේ පිළිබඳ නොයෙක් මත දරන්න පුළුවන්. නමුත් මෙය සුළු ප්‍රමාණයක් නිසා එතරම් දරුණු ලෙස එකී ක්ෂේත්‍රයන්ට බලපෑමක් කරාවි කියා මා සිතන්නේ නැහැ. 

ලංකා ආර්ථිකයේ තිබෙන එක විශාල ගැටලුවක් තමයි, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට ණය ලබා ගැනීමට තිබෙන අපහසුතාව. ලංකාවේ විශාල බැංකු ප්‍රමාණයක් තිබෙනවා. මේ ආයතන සියල්ල ලාභ ලබන ආයතන. ඔවුන්ගේ මූලික පරමාර්ථය ලාභ ලැබීම නිසා ඔවුන් විශාල ආයතනවලට ණය ලබා දීම නිරන්තරයෙන් සිදුකරනවා. නමුත් කුඩා ව්‍යපාරිකයන්ට එවැනි පහසු තත්ත්වයක් දැකගන්න ලැබෙන්නේ නැහැ. එබැවින් භාණ්ඩාගාරය මැදිහත්ව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යසායකයන් දිරිමත් කිරීමට කටයුතු කිරීම ඉතා හොඳ ලක්ෂණයක්. ඒ යටතේ මෙවර අයවැයෙන් කාන්තා සහ වෙනත් හැකියාවන්ගෙන් යුත් ව්‍යවසායකත්වය නගාසිටුවීම සඳහා ණය සහනාධාර ක්‍රමයක් යෝජනා කර තිබීම ඉතා හොඳ ලක්ෂණයක්. 
ලංකාවේ බොහෝ පිරිස් ස්වයංරැකියා හෝ තමන්ගේම ව්‍යාපාරවල යෙදෙන අය විය හැකියි. මේ නිසා මෙය ඔවුන් දිරිමත් කරන යෝජනා මාලාවක් කියා පැවසිය හැකියි.

අයවැයෙන් තාක්ෂණය සම්බන්ධ බෙහෝ කාරණාවන් පිළිබඳ යොජනා ඉදිරිපත් කර තිබෙනවා. එය ලංකාවේ ව්‍යපාරයන්, සංචාරක, රාජ්‍ය, අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය හා සෞඛ්‍ය ආදී ක්ෂේත්‍රයන් තුළින් දැකගන්න පුළුවන්. නමුත් මෙය මීට ප්‍රථම සිදුවීමට තිබූ දෙයක්. රජයක් ලෙස දැන්වත් මේ පිළිබඳ අවධානයට ලක් කිරීම හොඳ දෙයක් ලෙසයි මා දකින්නේ. මෙය එක් පිරිසකට පමණක් නොව රටක් වශයෙන් පොදුවේ මෙම තාක්ෂණික දැනුම භාවිත කරමින් ඉදිරියට යෑමේදී අනාගතයේදී ඉතා හොඳ තත්ත්වයක් ඇතිකර ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ අනුව යම් යම් දේ නිෂ්පාදනයට, පර්යේෂණයන්ට මෙන්ම පළාත් රාජ්‍ය සේවය පවා මෙම තාක්ෂණය භාවිත කළහොත් ඉදිරියේදී මීට වඩා කාර්යක්ෂම සේවාවක් අපට අපේක්ෂා කළ හැකියි. මෙය සෑම ක්ෂේත්‍රයක් තුළම ක්‍රියාවේ යෙදවිය යුතු දෙයක්. 
තාක්ෂණය භාවිතයේ අනෙක් වැදගත්කම වන්නේ එහි තිබෙන විනිවිදභාවයයි. ඒ නිසා බොහෝ පුද්ගලයන්ට යම් යම් වැදගත් දේ රහසිගතව සිදුකළ නොහැකියි. මන්ද ඒ සියල්ල වාර්තා වී තිබෙන නිසා. ඒ නිසා මෙවැනි දේ යටතේ අප ඉතා ඉක්මනින්ම වෙනස් විය යුතුය. එයින් පාලන ක්‍රියාවලියේ විනිවිදභාවයක් අපේක්ෂා කළ හැකියි. එය මෙවර අයවැයට අන්තර්ගත කර ඇති ඉතාම හොඳ යොජනාවක්. රජය මූලික වී මෙම තාක්ෂණික දැනුම රටට ගෙන්වා ගත් විට ඒවා සැවොම භාවිත කරන තත්ත්වයකට පත් වෙනවා. 
උසස් අධ්‍යාපනය කෙරේ රජය යහපත් ක්‍රියාවන් ගැනීම අයවැයට ප්‍රථමව අපිට දැකගන්න පුළුවන් වුණා. පවතින රජය විසින් පිළිගත් උසස් අධ්‍යාපන ආයතනයක අධ්‍යාපනය හදාරන විද්‍යාර්ථයින්ට විශේෂ ණය ලබාදීමක් සිදුවෙනවා. මේවා ඉතා වැදගත් ප්‍රතිපත්ති වශයෙන් මා දකිනවා. මේ නිසා ඔවුන්ට වෙනත් අයෙකුගෙන් යැපෙන්නේ නැතිව, උපයාගත් පසුව එම ණය ගෙවා දැමීමට මේ යටතේ හැකියාව ලැබෙනවා. එය ගෙවීමට සිදුවන්නේ ණය ලබා වසර 4ක් හෝ 5ක් ඉක්ම වූ විටදීයි. එය ලැබෙන තවත් සුවිශේෂී වරප්‍රසාදයක්. 
ඒ වගේම වයඹ, සබරගමුව සහ මොරටුව විශ්වවිද්‍යාලයන් සඳහා ඉදිකිරීමට යෝජනා කරන වෛද්‍ය පීඨ, තාක්ෂණික පීඨ 07ක් ආරම්භ කිරීමට යෝජනා කර තිබෙනවා. ඒවා වියයුතු දේවල්. මධ්‍යස්ථ පිළිවෙතින් ඒ සඳහා අවශ්‍ය අයව සම්බන්ධ කර ගනිමින් මේ කටයුතු සිදු කළ යුතු වෙනවා. අපට අවශ්‍ය දේවල් අපි වෙනත් රටවලින් ලබාගත යුතු වගේම අපේ තිබෙන සම්පත් අනෙක් රටවල් සමගද හුවමාරු කරගත යුතුයි. මම දකින්නේ මේ යෝජනාවන් රජයක් විසින් ගතයුතු හොඳ ප්‍රතිපත්තීන් ලෙසයි. මෙම දේවල් හොඳින් අධ්‍යයනය කර විශ්ලේෂීව බලා ප්‍රගති සමාලෝචනයක් තුළින් ලබාගන්නේ නම් අපට ගුණදායී හොඳ දේ කළ හැකියි. 

අයවැයෙන් යෝජිත කාබන් බද්ද දිනක පදනම යටතේ ක්‍රියාත්මක වේ. එම බද්ද දිනකට යතුරුපැදි සඳහා ශත 17ක්, මෝටර් රථ සඳහා රුපියල් 1.78ක් සහ බස් රථ සඳහා රුපියල් 2.74ක් වෙනවා. ඉක්මනින් මේ කාබන් රථවාහනවලින් අයින් විය යුතුයි කියා මේ කාබන් බද්ද මගින් පොඩි ඉඟියක් ලබාදෙනවා. දැනටමත් කාබන් බද්දක් ක්‍රියාත්මක වෙනවා. ඒ ලියාපදිංචි කරන අවස්ථාවේ සිදුකරන පරීක්ෂණයෙන් පසුවද එසේ සිදුකරනවා. මෙම කාබන් බදු අප රටට පමණක් නොව ලෝකයේ බොහෝ රටවල ක්‍රියාත්මක ‍ෙවනවා. කාබන් මුදාහැරීමෙන් සිදුවන පරිසර හානිය ගැනත් අප සිතිය යුතුයි. ඒ නිසා මෙය අනාගතයට සිදුකරන ලද ආයෝජනයක් හැටියටයි මම නම් දකින්නේ. එමගින් අවශ්‍ය නම් කාබන් නොමැති වාහනයකට මාරු වීමේ හැකියාව තිබෙනවා. 
නමුත් මේ අයුරින් කාබන් බදු, ඩීසල් ත්‍රිරෝද රථ සඳහා රුපියල් 50,000ක බද්ද, සුඛෝපභෝගී වාහනවලින් රුපියල් ලක්ෂ 25ක පමණ බද්දක් අයකිරීමත් සමග රජය පොදු ප්‍රවාහනය දියුණු කිරීම ඊට සාපේක්ෂව කටයුතු කිරීම අනිවාර්ය වේ. මිනිසුන්ට වාහන සම්බන්ධයෙන් නොයෙක් බදු මගින් පාලනයක් කරනවා නම් එයට විකල්පයක්ද අනිවාර්යෙන් පැවතිය යුතුයි. වෙනත් රටවල වගේ හොඳ ප්‍රවාහන පද්ධතියක් තිබුණ නම් මිනිසුන් කිසිමවිටක පෞද්ගලික රථ කෙරේ යොමු වීමේ වැඩි ප්‍රවණතාවක් දක්වන්නේ නැහැ. නමුත් ලංකාවේ පවතින ක්‍රමයේ සමාජයීය, සංස්කෘතික, පාරිසරික වැනි නොයෙක් ගැටලු මේ හරහා පැනනැගී තිබෙනවා. විශේෂයෙන්ම වාහන ගෙන්වීම, වාහන අමතර කොටස් ගෙන්වීම, පෙට්‍රල් ගෙන්වීම ආදීය සිදුකරනවා. පසුගිය දින කිහිපයේ තෙල් නැවක් එනකම් රටකට බලා සිටින්නට සිදුවුණා. මේවා මේ ක්ෂේත්‍රයේ බරපතළ ගැටලු. මෙයින් මීදීම විදුලි රථ භාවිතය ඉතා හොඳ විකල්පයක්. මේ අයවැයේ එක් ගැටලුවක් වන්නේද මේ සඳහා විකල්පයන්ට විශේෂ ඉඩක් නොලැබීම. මෙවැනි බදු මගින් වාහන පාලනයක් සිදුවන්නේ නම් එයට සාපේක්ෂව බස් රථ, දුම්රිය සේවා වැඩිදියුණු කළ යුතුයි. නැතහොත් මෙම බදු මගින් අපේක්ෂා කරන ප්‍රතිඵලය ලබා ගැනීමට නොහැකි ‍ෙවනවා. එයින් මිනිසුන් තුළ අසහනය වැඩි වීමක් නම් සිදුවිය හැකියි. 
අයවැයේ තවත් එක් යෝජනාවක් නම් සැර මත්පැන් බදු වැඩි වී බියර් බදු අඩු වීම. වයින්, බියර් වැනි දේවල බද්ද අඩු කිරීම ඉතාම හොඳ දෙයක් ලෙසයි මා දකින්නේ. මොකද මේවායේ අන්තර්ගත මධ්‍යසාර ප්‍රමාණයද අඩු අගයක් ගන්නා බැවින් එය ඉතා හොඳ දෙයක්. රජයක් විදිහට මේ සම්බන්ධයෙන් කළ හැකි වන්නේ මිනිසුන් වැඩි මද්‍යසාර ප්‍රමාණයක් අන්තර්ගතවන සැර මත්පැන් පානය අඩු කිරීමයි. එම නිසා බියර් වැනි දේ වල මිල පහත වැටීම කිසිසේත් නුසුදුසු වන්නේ නැහැ. වෙනත් රටවල බියර්වල වුවත් අඩංගු මද්‍යසාර ප්‍රමාණය එහි සටහන්ව තිබෙනවා. වයින් වලත් ඒ ආකාරයටම සඳහන් වෙනවා. ඒ නිසා මිනිසුන්ගේ කැමැත්ත අනුව තෝරා ගැනීමක් සිදුකරන්න පුළුවනි. මෙවර අයවැයේ මද්‍යසාර ප්‍රමාණය අනුව බද්ද සූත්‍රගත කිරීම ඉතාම හොඳ දෙයක්. ඒ අනුව මිනිසුන්ට හොඳ තෝරා ගැනීමකට යා හැකියි. මෙය දිගුකාලීන වශයෙන් ඉතා හොඳ දෙයක්. මගේ මතය අනුව නම් බියර් සහ වයින් සඳහා තිබෙන බදු පුළුවන් තරම් අඩු කරන්න ඕන.

 මම වසර 4ක් නෙදර්ලන්තයේ අධ්‍යනය කටයුතු කරන කාලයේ එම රටේ  වතුර වලට වඩා වයින් ලාභයි. වයින් බී සතුටෙන් කතාබස්කොට මිතුරන් ආශ්‍රය කරමින් තමන්ගේ වැඩකොටසද හොඳින් කරගෙන ඒ මිනිසුන් නීරෝගීව සිටිනවා. සැබැවින්ම එයින් අපට ඉගනගන්න පුළුවන් දේවල් රැසක් තිබෙනවා. ලංකාවේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක් වෙන්නේ. අපේ රටේ මිනිසුන්ගේ ශරීරයට දරාගත නොහැකි පමණින් ඔවුන් මත්පැන් පානය කරනවා.  
මෙවර අයවැයෙන් තේ, පොල්, රබර්, කුරුඳු සහ ගම්මිරිස් යන වැවිලි භෝගයන් සඳහා විශේෂ අවධානයක් යොමුකොට තිබෙනවා. මෑතකදී පොල් මිල වැඩි වෙන්න හේතුව පොල් ඉඩම් බහුතරයක් ගෙවල් බවට පරිවර්තනය කිරීම. එයට කිසිවකුට වැරැද්දක් කිව නොහැකියි. මොකද, පොල් ක්ෂේත්‍රයට වඩා ගෙවල් සකස් කිරීමට පොල් ඉඩම් භාවිතය වාසි සහගතයි. පොල් මිල වැඩි වීමත් සමග නැවතත් පොල් කර්මාන්තයට අවධානය වැඩි වේවි. මේ දේවල් සිදුවීමට නම් පෙළඹවීමක් තිබිය යුතුයි. කියමනක් තිබෙනවා මිනිසුන් යමකට පෙළඹීමට නම් ඒ කෙරේ උත්තේජනයක් තිබිය යුතු බව. එම නිසා කර්මාන්තයක් කිරීමේදී අනිවාර්යෙන්ම ලාභයක් හෝ වාසියක් තිබිය යුතුයි. ඒ නිසා ඒ කෙරේ පෙළඹවීමට මිනිසුන්ට යම් යම් දේ ලබාදිය යුතුය. 
දෙමුහුන් පොල් පැළ ලබාදීම, පර්යේෂණ ව්‍යාපෘති දියත් කිරීම, පුහුණු විද්‍යාල ශක්තිමත් කිරීම ආදිය පිළිබඳව රජය මෙම අයවැය මගින් ලබාදෙන උත්තේජනය ඔවුන්ට ඉතා හොඳ දෙයක්. 
නීල හරිත ආර්ථිකය යටතේ සමුද්‍ර හා පරිසර සාධකයන්ට වැඩි වටිනාකමක් හා අගයක් ලබා දී තිබෙනවා. ගෝලීයකරණය තුළ මෙම සංකල්ප අලුතින් ඇතිවිය හැකි ප්‍රවණතාවක්. නොයෙක් තත්ත්වයන් නිසා ලෝකය සෙමින් සෙමින් විනාශ වෙමින් පවතිනවා. විශේෂයෙන්ම චීනය, ඉන්දියාව වැනි රටවල ජීවත් වීම පවා දැඩි අවදානම් තත්ත්වයකට පැමිණ තිබේ. එයට මූලික හේතුව පාරිසරික අපවිත්‍රකරණයයි. ලංකාව යනු කුඩා රටක්. ඒ නිසා මෙයට ටිකෙන් ටික හෝ අනුගත වීම ඉතා යෝග්‍ය දෙයක් ලෙසයි මම දකින්නේ. ඒ පිළිබඳ මූලික අඩිතාලම අයවැයෙන් සකස් කරගෙන ඇති බවයි මගේ අදහස. 

අපි කිසිදු පදනමක් නොමැතිව වැලි ගොඩදැමීම්, මැණික් පතල් ආදී පාරිසරික වශයෙන් හානි සිදුවිය හැකි බෝහෝ දේ සිදුකරනවා. නමුත් අපි ඒවා යම්කිසි ක්‍රමවත් විදිහකට කළ යුතුයි. ලෝක ප්‍රවණතාවන් සමග යෑමේදී අපට මෙය අත්‍යවශ්‍යයෙන්ම කළ යුත්තක්. 
සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව සාකච්ඡා කළ විට අප මෙතෙක් අවධානය යොමු කර නොමැති නමුත් අනිවාර්යෙන්ම අවධානය යොමු කළ යුතු ක්ෂේත්‍ර පිළිබඳ අවධානය යොමුකොට තිබෙනවා. වකුගඩු ඒකක ස්ථාපිත කිරීම, නළ දරු උපත් සංකීර්ණ ඉදිකිරීම ආදී දේ අතර, ප්‍රමුඛ වේ. සමාජයක් ලෙස ඉදිරියට යෑමේදී මෙවර අයවැයේ ඉතාම හොඳ යෝජනා රැසක්ම මම දකිනවා. 
රාජ්‍ය, අධ්‍යාපන ක්ෂේත්‍රයේ වියදම් වැඩිකර තිබෙනවා. පරිසරකාමී, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ව්‍යවසායකයන් දිරිමත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව ආර්ථිකයේ අප අපේක්ෂා කරන බොහෝ අංශ කෙරේ අවධානයක් මෙවර අයවැයෙන් වෙන්කර තිබීම කැපී පෙනෙන්නක්. එය එක්තරා ආකාරයට සමබර අයවැයක්. එම නිසා පාර්ලිමේන්තුව තුළ මෙම අයවැය යෝජනා සම්මත කර, හැකි ඉක්මනින් ඒ වැඩකටයුතු කළ යුතුය යන්න මගේ මතයයි. සමස්තයක් ලෙසින් ගත්විට මෙවර අයවැය ගුණාත්මකභාවය කෙරේ වැඩි අවධානයක් යොමු කළ අයවැයක් වශයෙන් හඳුනාගන්න පුළුවන්. 

ගුණාත්මකභාවය කෙරේ වැඩි අවධානයක් යොමුකළ අයවැයක් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :