අරමුණක් ඇතිව හෝ නැතිව ආරම්භ වන අපේ රටේ වැඩවර්ජන
( ෂෙහානි දිල්රුක්ෂිකා ) 2017-11-13 09:00:03
Comments - 1       Views - 258

කිසියම් රටක වාසය කරන මුල් පුරවැසියාගේ, එනම් ජනාධිපතිවරයාගේ සිට වැඩකරන කම්කරුවා දක්වා සියලුම ජනතාව එක්ව සංවර්ධනය කරා යන ගමනේදී විධිමත් ක්‍රමවේදයක් සහ කාර්යක්ෂමතාවකින් වැඩකටයුතු කළ යුතුය. එසේ නොවුණහොත් රට තුළ පවතින්නේ නිරායාසයෙන්ම ගැටලු සහගත තත්ත්වයකි. අද වනවිට ලංකාව තුළද මෙවැනි තත්ත්වයක් නිර්මාණය වී ඇති අතර, කෙමෙන් කෙමෙන් එය උග්‍ර තත්ත්වයකට පත්වෙමින් පවතී. 
මේ දිනවල බොහෝදෙනාගේ සවනට නිතර ඇසෙනුයේ වැඩවර්ජන ගැනය. කුමක් හෝ අරමුණක් ඇතිව හෝ නැතිව කුමන හෝ වෘත්තීය සංගමයක් විසින් මෙලෙස ආරම්භ කරන වැඩවර්ජන හේතුවෙන් පීඩාවට පත්වන්නේ සාමාන්‍ය ජනතාවය. දැන් දැන් සිදුවන මෙම වැඩවර්ජන මහාපරිමාණ වශයෙන් ක්‍රියාත්මක වන්නා වූ ස්වරූපයක්ද දැකගත හැකිය. 


DSC_5212

ඈත අතීතයේ කම්කරුවන් තමන්ගේ සේවා මුරය පැය 08කට සීමා කිරීම සඳහා චිකාගෝ නුවරට රැස්වී සිය ජීවිත පරිත්‍යාග කළේ මුළුමහත් කම්කරු සමාජයේම අයිතීන් වෙනුවෙන් පෙනී සිටිමිනි. එය ආරම්භයේ සිටම වෘත්තීය සංගම් ක්‍රියාකාරීත්වයේ ප්‍රබලත්වය පෙන්නුම් කරන කදිම නිදසුනකි.

ලංකාවේ වැඩවර්ජන පුරාණය බ්‍රිතාන්‍ය යටත් විජිත සමය දක්වා ඈතට ගමන් කරන්නකි. ඒ අනුව ලංකාවේ මුල්ම සංවිධානාත්මක වැඩවර්ජනය සිදුකරන්නේ 1883 දී මුද්‍රණ ක්ෂේත්‍රයේ කම්කරුවන් පිරිසක් විසිනි. කර්මාන්ත ශාලා සේවකයන්ට නිසි පරිදි මුදල් නොගෙවීම මෙයට මූලික හේතුව විය.
මෙයින් මූලාරම්භය ගත් වැඩකරන ජනතාව එතැන් සිට සංවිධානාත්මකව මෙහෙය වී තම වෘත්තීය ක්ෂේත්‍රයේ අයිතිවාසිකම්, ඉලක්කයන් මුදුන්පමුණුවා ගැනීම සඳහා වර්ජන ක්‍රියාවලියේ යෙදිණ. මේ අනුව 1890න් පසුව මෙම ක්‍රියාවලිය නවමු මුහුණුවරකින් ඉදිරියට පැමිණි අතර, එය විශේෂයෙන් ආගමික සහ ජාතික ව්‍යාපාර සමග එක්ව කටයුතු කළේය.  මේ සමයේ බ්‍රිතාන්‍ය යටත් විජිතකරණයේ පීඩාවට පත්වූ කම්කරුවන් නැගී සිටීම සුලබව දැකිය හැකි වූ අතර, 1906 දී නගර සභා ආඥා පනතට අනුව කරත්තකරුවන් සහ රෙදි අපුල්ලන් වැඩවර්ජනයක නිරත විය. 

පසුව මෙම වර්ජන ක්‍රියාවලිය විධිමත් ක්‍රමයක් සහ නිවැරදි මගපෙන්වීමක් යටතේ ඉදිරියට ගමන් කෙරිණ. නොයෙක් පුද්ගලයන්ගේ නායකත්වයන් යටතේ එම වර්ජන සියල්ල ඉන් පසු කාලයේදී මෙහෙයවනු ලැබීය. ඒ අනුව ආගමික පුනර්ජීවනයක් ඇතිකිරීම සහ යටත් විජිත පාලනයෙන් මිදීමේ අරමුණු ඇතිව ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා 1921 වර්ෂයේ දුම්රිය සේවක වර්ජනය මෙහෙයවීය. මේ අයුරින් වැඩකරන ජනතාව සංවිධානාත්මකව පෙළගැසී ඉදිරියටම ගිය අතර, 1922 වර්ෂයේදී ඒ.ඊ. ගුණසිංහ මහතාගේ නායකත්වයෙන් ලංකා කම්කරු සංගමය පිහිටු වීම ඉතිහාසයේ විදිමත් වර්ජන ප්‍රවර්ධනයේ ප්‍රධාන වාහකය විය. 

ඒ අනුව කුඩා කුඩා සංවිධාන පිහිටුවා ක්‍රියාත්මක කළ වර්ජන වෙනුවට මෙම සංගමය පිහිටු වීමත් සමග වැටුප් වැඩි නොකිරීම, ජීවන මිල ඉහළ යෑම ප්‍රමුඛකොට සමස්ත ලංකාවම ආවරණය වන පරිදි වැඩවර්ජනයක් ක්‍රියාත්මක කළේ ඉතිහාසයේ ප්‍රථම වතාවටය. 
මේ වනවිට කම්කරු සංගමය වටා 4000ක් පමණ වැඩකරන ජනතාව රැස්වීම කැපී පෙනෙන්නකි. ඒ අනුව 1928 වර්ෂයෙන් පසුව වැඩවර්ජන රාශියක් ලංකාව තුළ නොයෙක් අරමුණු මත ක්‍රියාත්මක විය.

මොටර් රථ කම්කරුවන්ගේ වැඩවර්ජනය
ටයිම්ස් සමාගමේ වැඩවර්ජනය
ට්‍රෑම් රථ හිමියන්ගේ වර්ජනය
කොළඹ මහ රෝහලේ වැඩවර්ජනය

ඒ අතරින් ප්‍රමුඛ වේ. මේ සඳහා සහාභාගි වන පිරිස් බලය ක්‍රමයෙන් වැඩි වීමත් සමග දේශපාලන ක්ෂේත්‍රයේ නොයෙක් ක්‍රියාදාමයන් සඳහා භාවිත කරන උපක්‍රමයක් ලෙසත් වැඩවර්ජන භාවිතයට ගැනීම ආරම්භ විය. 
ශ්‍රී ලංකාවේ දැවැන්තම වැඩවර්ජනය සිදුවන්නේ 1946 වර්ෂයේදීය. මෙය කාලයට සාපේක්ෂව සමාජ, ආර්ථික, දේශපාලනික කාරණා මත වෙනස් වෙමින් ඉදිරියට ගමන් ගත් අතර, එය මුල් කාලයේ මෙන් හුදු ඉල්ලීමකට පමණක් සීමා නොවී දේශපාලනික කාරණා මත පදනම් වෙමින් මෙහෙය වීය. ඒ අනුව කම්කරු ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකා දේශයේ ප්‍රබල හඬක් නැගූ පුද්ගලයන් වන පිලිප් ගුණවර්ධන, කොල්වින් ආර්. ද සිල්වා යනාදී ප්‍රබල නායකයන්ගේ මාර්ගෝපදේශකත්වයෙන් 1946 වර්ෂයේ රාජ්‍ය සේවකයන්ගේ වර්ජනය සිදුවිය. මෙය විධිමත් අයුරින් 1948 වර්ෂයේදී ක්‍රියාත්මක වූයේ, රාජ්‍ය සේවකයන්ට වෘත්තීය සමිති පිහිටු වීමට අවස්ථාව ලැබීමත් සමගිනි.
මෙම වෘත්තීය සමිතිවල භූමිකාව එහි නායකත්වය අනුව යම් යම් වෙනස් ප්‍රතිපත්ති ඔස්සේ ගොඩනැගුණද, ඔවුන් සියල්ලන්ගේම පොදු අභිප්‍රාය වූයේ ස්වකීය වෘත්තීය අයිතීන් දිනා ගැනීමයි. 
නූතනයේ මෙය වඩාත් පුළුල් වපසරියක් හිමිකර ගනිමින් විටෙක සාමූහිකවද, තවත් විටක කණ්ඩායම් වශයෙන්ද ඒකරාශී වී ආණ්ඩුකරණය සහ රටේ රාජ්‍යතන්ත්‍රය තුළ සිදුවෙමින් පවතින අක්‍රමිතා වෙනුවෙන් නැගී සිටියි. 
ඇතැම් අවස්ථාවන් හිදී ඒවා දැවැන්ත අරගලයන් බවට දියත් කරමින් ඉන් සිදුවන පීඩාව හා හානිය පිළිබඳ ආණ්ඩුවට සහ ජනතාවට ඒත්තු ගන්වයි. නමුත් ඇතැම් ඒවා කිසිදු විධිමත්  හෝ නීත්‍යානුකූල පදනමක් නොමැතිව ක්‍රියාත්මක වේ. ඇතැම් පිරිස් දක්වන්නාක් මෙන් එවැනි වූ වැඩවර්ජන රැල්ලට, විලාසිතාවකට ක්‍රියාත්මක වන්නකි. 

මේ සෑම දෙයක්ම මැනවින් විශ්ලේෂණය කිරීමේදී පෙනී යන්නේ මෙහි හොඳ මෙන්ම නරක යන ද්විත්ව ලක්ෂණම පෙන්නුම් කරන බවයි. පවතින ආණ්ඩුව හෝ පැවති ආණ්ඩු ක්‍රියාත්මක කළ හෝ ක්‍රියාත්මක කිරීමට නියමිත යෝජනා, ව්‍යාපෘති පිළිබඳ සමාන්‍ය මහජනතාවට ප්‍රමාණවත් දැනුමක් නොමැත. නමුත් එහි සේවයේ නියුතු වෘත්තිකයන්ට මේ පිළිබඳ මනා අවබෝධයක් තිබේ. ඒ අනුව ඒ ක්ෂේත්‍රයේ සිදුවීමට නියමිත හෝ සිදුවෙමින් පවතින නොයෙක් අර්බුදකාරී දේවල් සම්බන්ධයෙන්ද ඔවුන් සතු දැනුම බහුලය. මේ නිසා ඊට අදාළ ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති විසින් ගැටලුව පිළිබඳ වගකිව යුතු පුද්ගලයන් හා සාකච්ඡා කර එයද සාර්ථක නොමැති නම් වර්ජන ක්‍රියාවලීන්වල නිරත වීම සුලභව දැකිය හැකි දෙයකි.
මේ පිළිබඳ අනතුරු හැඟවීමකින් පසුව ඔවුන් මෙම ක්‍රියාවේ නිරත වන්නේ මෙම ගැටලු සඳහා කිසිදු ක්‍රියාවක් රජය විසින් අනුගමනය නොකරන විටදීය.

නමුත් එහි අනෙක් පැත්ත වන්නේ මෙම වර්ජන හමුවේ පීඩාවට පත්වන්නේ ආණ්ඩු පාලකයන් නොව රටේ මහජනතාව වීමයි. එදිනෙදා තම කටයුතු අඩාල වීම, ගතවන අමතර කාළය ආදි කාරණා හේතුවෙන් මහජනයා මෙයින් මහත් පීඩා විඳී. එය ප්‍රධාන ගැටලුවකි. 
බොහෝ අවස්ථාවන්හි පාලන ක්‍රමයේ අක්‍රමතාවන් නිසා හෝ අයිතිවාසිකම් කඩවීම් නිසා, මෙම වැඩවර්ජන ඇති වූවත් අද වනවිට එය පාලන ක්‍රමයේ හා පරිපාලනයේ අක්‍රමිතා වැඩි නිසා හෝ දේශපාලන ක්‍රියාකාරීත්වයේ නොයෙක් කූඨ උපක්‍රමයන් නිසා වර්ජන රැල්ලක් වී හමාරය. අධ්‍යාපනික, සෞඛ්‍ය, විදුලිබල, වරාය, බැංකු, දුම්රිය, බස් රථ, මහාමාර්ග ආදී නොයෙක් ක්ෂේත්‍රයන්ගේ නොයෙක් අරමුණු අතැතිව සිදුවන වර්ජනයන් අපේ රටේ සුලබය. 
මේ දිනවල බොහෝ අයගේ කතාබහට ලක්වන්නේ සයිටම් අර්බුදයයි. සයිටම් වෛද්‍ය උපාධිය පිරිනමන සයිටම් ආයතනය අහෝසි කරන මෙන් ඉල්ලා විශ්වවිද්‍යාල වෛද්‍ය සිසුන් පන්ති වර්ජනය කළ අතර, වෛද්‍යවරුන්ද නොයෙක් අවස්ථාවල වැඩවර්ජනවල නිරත විය. එයින් පීඩාවට පත්වන්නේ වෛද්‍ය සේවය අපේක්ෂාවෙන් සිටින සාමාන්‍ය ජනතාවයි. මේ සඳහා රජය නොයෙකුත් යෝජනා ගෙන ආවද ඉන් ස්ථීර විසඳුමක් තවමත් උදා වූයේ නැත. ලාභය, නිදහස් අධ්‍යාපනය, පෞද්ගලීකරණය තුළ පීඩාවට පත්වන්නේ සමස්ත ජනතාවයි. ආණ්ඩුවට ස්ථීර විසඳුමක් හෝ ක්‍රියාපටිපාටියක් නොමැතිකමින් තවමත් ගැටලුව විසඳීය නොහැකි වී තිබේ. වෛද්‍ය අධ්‍යාපනය උදෙසා නිශ්චිත නිර්ණායක ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කළ හැක. නමුත් මේ සියල්ලටම විසඳුම් සෙවීමේදී අවසානයේ සිදුවන්නේ මේ කිසිදු අර්බුදයකට විසඳුම් සොයාගත නොහැකි වීමයි. එම නිසා සයිටම් ප්‍රශ්නය මුලින් විසඳා අවසන් කළ යුතුය. පසුව පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විධිමත්භාවයකින් ආරම්භ කිරීමට  අවශ්‍ය පියවර ගත යුතුය. නමුත් සිදුවූයේ බොහෝදෙනාගේ වටිනා කාලය අපතේ යවමින් ප්‍රශ්නය තවත් ඔඩුදිවීම පමණි.

මේ ආණ්ඩුව බලයට පත්වීමත් සමග වැඩවර්ජනවලින් නම් කිසිදු අඩුවක් නොමැත. ඛනිජ තෙල් වර්ජනයද ජනතාවට කිසිසේත් අමතක කළ නොහැකි සිද්ධියකි. අවසානයේ සෘජු තීරණ ඔස්සේ ජනාධිපතිවරයා මෙය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කරමින් හමුදාව යොදවා ජනතාව අතර තෙල් ප්‍රවාහනය කෙරිණි. එයින් ජනතාව පත්වූ පීඩාව නවතාලීමට හැකි විය. එය අවස්ථාවට උචිත ක්‍රියාත්මක කිරීමක් වුවද නැවතත් සේවකයන්ගෙන් මෙවන් වර්ජනයක් නොවීමට පාලනාධිකාරිය වගබලා ගත යුතුය. හම්බන්තොට වරාය සහ ඛනිජ තෙල් සංකීර්ණය චීන සමාගමකට බදු දීමට එරෙහිව මෙම වර්ජනය ක්‍රියාත්මක විය. එම නිසා ඉදිරියට ගන්නා තීරණ පිළිබඳ වෘත්තීය සමිති සහ වැඩකරන ජනතාව දැනුවත් කළ යුතුය. මන්ද, යම් හේතුවක් නිසා එහි ගැටලු මතු වූ විට එයින් පීඩා විඳීමට සිදුවන්නේ ආණ්ඩුකරන්නන්ට වඩා සේවකයන්ට සහ මහජනයාට බැවිනි.

එමෙන්ම මීට මාස කිහිපයකට ප්‍රථම ආබාධිත රණවිරුවන් වැඩවර්ජනයක් පැවැත් වූ අතර, එයටද වත්මන් ආණ්ඩුව සාර්ථක ප්‍රතිචාරයක් දැක්වීය. 
එමෙන්ම පැවැත්වීමට තිබූ දුම්රිය සේවක වර්ජනයද නවතා දැමුවේ රජයෙන් යහපත් ප්‍රතිචාරයක් දැක්වීම නිසාය. මේ නිසා එයින් සිදුවන්නට ගිය අපහසුතාව මගහැරී ගියේය. තාවකාලික විසඳුම්වලින් දිර්ඝකාලීන සහනයක් අපේක්ෂා කළ නොහැකි නිසා ඔවුන් නැවතත් නැගී සිටින්නට පෙර මෙම ගැටලුවලට පිළියම් සකස් කළ යුතුයි.

ලංකාවේ ඇතැම් වැඩකරන ජනතාවට තම අයිතිවාසිකම් දිනා ගැනීමට තබා ඒ වෙනුවෙන් නැගීසිටීමටවත් වෙලාවක් නොමැත. ඒ තරමටම කාර්යබහුලය. ඇඟලුම් කර්මාන්තය ආශ්‍රිතව බොහෝ විට මෙය දැකිය හැක. පිරිසක් ස්වකීය අයිතීන් ඉල්ලා වර්ජන කරද්දී තවත් පිරිසකට වර්ජනයක් කිරීමටවත් අයිතියක් නොමැත. ඇතැම් වෘත්තිකයන් මෙම වර්ජන විලාසිතාවක් ලෙසටද සිදුකරයි. නමුත් මේ සැවොම වෙසෙන්නේ එකම භූමියක වීම සුවිශේෂීම කාරණයයි.
කෙසේ නමුත් වර්ජන කර හෝ ඔවුන් අපේක්ෂා කරන්නේ හුදෙක් පෞද්ගලික යහපතක් නොව පොදු යහපතකි. එමෙන්ම පවතින ගැටලුවකට විසඳුමකි. එසේත් නොමැති නම් ගෙන ඒමට නියමිත යෝජනාවක් හෝ ප්‍රතිපත්තියක් පිළිබඳවය.  නොයෙක් සංගම් මගින් වැඩවර්ජන ක්‍රියාත්මක කරන්නේ නම් ඒ පිළිබඳ නොයෙක් නන් දෙඩුම් පවසා හිතුමතේ ක්‍රියා කිරීමට ආණ්ඩුවට නොහැකිය. එමෙන්ම එය මගහැර යාමටත් ඔවුනට නොහැකිය. කළයුතු එකම ක්‍රියාමාර්ගය වන්නේ ගැටලුව පැන නැගී ඇති මූලාශ්‍රය සොයා එයට හැකිතාක් ඉක්මනින් සාධාරණ විසඳුමක් ගැනීමය. එය ගත යුත්තේ වසරකින් දෙකකින් නොව එයට සුදුසුම යෝග්‍යම දිනයේදීය. නැතිනම් මෙම ප්‍රශ්න තවදුරටත් ඔඩුදුවා විසඳාලිය නොහැකි දැවැන්ත ප්‍රශ්න වනු නොවනුමානයි. සයිටම් ප්‍රශ්නයටද විසඳුම් ඉදිරිපත් කිරීමට ගත් කාලය ආණ්ඩුවක් ලෙසින් ඉතාමත් ප්‍රමාදය. ඒ සඳහා මෙතරම් කලක් ගතවීම තුළින් එම තත්ත්වය තවත් උග්‍ර අතට පරිවර්තනය විය. මේ නිසා ගැටලුවට කුමන කාලයේ හෝ පිළියම් සෙව්වද එම කාලය ඇතුළත ජනයාට සිදුවන පීඩා නැවත සකස් කළ නොහැකිය. එය මානසික හෝ ශාරීරික වශයෙන් සිදුවේ. එම නිසා වර්ජන ක්‍රියාවලියට යම් තීරණයක් ගන්නේ නම් රජයක් විසින් අදාළ ක්ෂේත්‍රය පමණක් නොව අදාළ පුද්ගලයන් ගැනද මීට වඩා සාවධාන අයුරින් සිතිය යුතුය.

වර්ජකයන්ද හුදෙක් ලාභ පරමාර්ථ අනුව නොයා පොදු ජනතාව සහ ස්වකීය රටේ යහපත වෙනුවෙන් ක්‍රියාකළ යුතුය. අතීතයේ සිට ඔවුන් හඬ නැගූ හෙයින් දිනාගත් අයිතීන් බොහෝය. එයින් රටටම සෙතක් සැලසිණ. තවත් දිනා ගැනීමට අප හට බොහෝ දේ ඇති මුත් එය කිසිසේත් පෞද්ගලික අරමුණු මත පදනම් නොවී රටේ සහ මහජනතාවගේ යහපත උදෙසා කළ යුතුය. එයට සාපේක්ෂව ආණ්ඩුවද මේ පිළිබඳ මනා විමර්ශනයකින් යුතුව අවශ්‍ය කටයුතු කිරීමට තරම් නම්‍යශීලී විය යුතුය. එවිට කාර්යක්ෂම හා විධිමත් පාලනයක් සහිත රටක් දක්වා ශ්‍රී ලංකාවද පරිවර්තනය කිරීමට හැකි වේවි. 

අරමුණක් ඇතිව හෝ නැතිව ආරම්භ වන අපේ රටේ වැඩවර්ජන සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (1)
Posted by ravi on (2017-11-17 00:39:21)

mewage .. mala wikara nethi ratawal walata kiyanne diyunu ratawal kiyala ... diyunu ratawalwala minissu udeta rassawata gihin rate sanwardanaya udesa wada karanawa eth ape rate udeta ..... rekiyawakarana ayathanayaka namadala hawaswenakam ....... Pelapaliyanawa ... eeta passe .... hawasata gedara gihin anduwata baninawa ..

Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :