බුද්ධ පරිනිර්වාණයෙන් තෙමසක් ගතවන්නටත් පෙර බුදු සසුනට ධර්ම සංගායනාවක් අවශ්‍ය වූයේ ඇයි?
( සඳමාලි වික්‍රමආරච්චි ) 2017-11-13 09:00:20
Comments - 0       Views - 124

how-to-volunteer-with-buddhist-monks-3-1461922112

බුද්ධ භාෂිතය එලෙසින්ම නොවූව ද, තරමක වෙනස්කම් සහිතව හෝ නූතනය දක්වාගෙන එන්නට ඉවහල් වූ ප්‍රධානතම සාධකයක් වන්නේ බෞද්ධ ධර්ම සංගායනායි. කාලීනව පැනනැගි විවිධ අවශ්‍යතා පදනම් කරගනිමින් විටින් විට ධර්ම සංගායනා පැවැත්වුණි. කෙසේ වුවද බුද්ධ පරිනිර්වාණයෙන් කොටසක් ඉක්මයද්දී ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වූයේ ඇයිද යන පැනය බෞද්ධ ඉතිහාසය දෙස විචාර පූර්වකව බැලීමේදී පැන නගින ගැටලුවකි.
බුදු දහම කාල, දේශ වංශයෙන් සුඛනම්‍ය කරලීම උදෙසාත්, ධර්ම සාහිත්‍යයක් විධිමත්ව පවත්වාගෙන යාමත් උදෙසාත් මහතෙරවරුන් ගත් ප්‍රශංසනීය උත්සාහයක් ලෙස සංගායනා අර්ථ දැක්විය හැකිය. බුද්ධ භාෂිතය මුඛ පරම්පරාවෙන් පැවත යද්දී එහි තිරසාර බව වෙනුවෙන් යෙදූ ආරක්ෂිත ක්‍ර‘මෝපායක් ලෙස සංගායනා යන්න අරුත් ගැන්විය හැකිය.

කෙසේ වුවද බුද්ධ පරිනිර්වාණයෙන් තෙමසක් ගතවූ නිකිණි මස අව දියවක්දා අජාසත් රජු විසින් රජගහනුවර සප්තර්ණී ගුහාද්වාරයේ ඉදි කළ මණ්ඩපයට රැස්වූ මුලින් තෝරාගත් රහතන් වහන්සේලා 499 සහ එදින උදෑසන රහත් බව ලද ආනන්ද මහරහහතන් වහන්සේ සහ 500ක් මහරහතුන් වහන්සේලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ප්‍රධාන කර ගනිමින් අජාසත් රජුගේ රාජඅනුග්‍රහය හා ආරක්ෂාව මධ්‍ය‘යේ ප්‍රථම ධර්ම සංගීතිය පවත්වනු ලැබූ බව විනය පිටකයේ චුල්ලවග්ගයේ, පංචසතිකක්ඛන්ධයේ සඳහන් වෙයි.
ප්‍රධාන වශයෙන්ම ප්‍රථම ධර්ම සංගීතිතයට ඉවහල් වීයැයි සැලකෙන්නේ ඉතා මහලු වියේදී පැවිදි ජීවිතයට පත් සුභද්‍ර නමැති වයෝවෘද්ධ භික්ෂුවගේ නොමනා ප්‍රකාශය වුවද මෙතරම් කඩිනමින් හා ආරක්ෂාව මධ්‍ය‘යේ ධර්ම සංගීතියක් පැවැත්වීමට බලපෑ බොහෝ කරුණු පවතින්නට ඇතැයි සිතිය හැකිය.

මීට අමතරව අවිවාදාත්මක ලෙස මෙම සංගායනාවට හේතුවී යැයි පිළිගැනෙන කරුණුද කිහිපයකි. අනේකපර්යා‘යෙන් ඉදිරිපත් කළ බුද්ධ භාෂිතයන්ට විවිධ පුද්ගලයන් හා භික්ෂූන් විවිධ අර්ථකතන ලබාදීම දක්නට ලැබිණ. එයට තවත් රුකුල් දීමක් ලෙසින් එවකට පැවැති සන්නිවේදනයේ දුර්වලතාද තරමක් දුරට හෝ බලපාන්නට ඇත. මීට අමතරව කල්ගොස් බුදු සසුනේ සත්කාර තකා සසුන් ගතවූවෝ හේතුවෙන් ජබ්බග්ගිය, සත්තරවග්ගිය ආදී වූ කණ්ඩායම් බිහි වූ අතර සංඝ භේදයක් හා සමාන වූ තත්ත්වයක් පෙරදැරි වූ, දර්ශන, මතවාද බැහැර ලීමට අපොහොසත් වූ මෙම පිරිස් නිසා ඇතිවෙමින් තිබූ බව චුල්ලවග්ග හා මහාවග්ග යන විනය ග්‍රන්ථ දෙකත්, පාරාජිකා පාලිය ඇතුළු සූත්‍රයන්හිත් දැක්වෙයි. බහුශ්‍රැත භික්ෂූන් යටතේ ගුරුකුල බෙදීමේ අවදානමක්ද ඒ වනවිට පැනනැගී තිබූ අතර, ධර්මය හා විනය පිළිබඳ යම් යම් ගැටලුද පැනනගිමින් තිබුණි.

දීඝ නිකායේ සංගීති සූත්‍ර‘යේ දැක්වෙන පරිදි බුදුන් වහන්සේගේ සමකාලීන ශාස්තෘවරයෙකු වූ නිගන්ඨනාථපුත්තගේ කලුරිය කිරීමෙන් පසු ඔහුගේ අනුගාමිකයන් හැසිරුණු ආකාරය දුටු බුදුන්වහන්සේ තම දේශනාවන් සියලු සත්ත්වයාගේ සුගතිය උදෙසාම විය යුතු බවත්, එහෙයින් සංගීති පැවැත්විය යුත්තේ මෙපරිද්දෙන්ය යන්නත් සැරියුත්, හිමියන් සමග දේශනා කර තිබේ. ඒ අනුව තත්ත්වය අනාගතයේදී  මෙසේ වනු ඇතැයි පූර්ව නිගමනයකට පැමිණි බුදුන් වහන්සේ ඒ සඳහා අවශ්‍ය වන පසුබිම ගොඩනගා තබන්නට ඇත. අනෙක් අතට, තම පරිනිර්වාණයෙන් ඉක්බිතිව ශාස්තෘවරයෙකු නැතැයි ශෝක නොකරන ලෙසද, ඒ සඳහා ගැටුම් ඇති කර නොගන්නා ලෙසද වදාළ බුදුරදහු, ධර්ම - විනය ශාස්තෘෘත්වයෙහිලා සලකන ලෙස අනුශාසනා කළ බව මහා පරිනිබ්බාන සූත්‍ර‘යේ දැක්වේ. එයද බුද්ධ පරිනිර්වාණයෙන් ඉක්බිත්තෙහි මහා ධර්ම සංගායනාවක් ඇති කරන්නට ඇති කළ පෙළඹීමට සාක්ෂි සපයයි.

බුදුන් ජීවමාන සමයේ සිටම සත්තිස් බෝධිපාක්ෂික ධර්ම, කර්මය, පටිච්ඡ සමුප්පාදය ආදී වූ පුළුල් තේමා යටතේ දේශනා ගොනු කිරීමට කටයුතු කළ බවටද මහ පරිනිබ්බාන සූත්‍ර‘යෙන් සාක්ෂි ලැබෙද්දී ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වෙන විටත් මැනැවින් වෙන් නොකළද තරමක් දුරට හෝ වෙන්කරගත් බවත් හා කොටස් ලෙස සංගෘහිත කරගත් බවත් පවතින්නට ඇතැයි සිතාගත හැකිය.

කෙසේ වුවද ශාසනය තුළ ඇතිවන්නට ගිය ගැටුම් හා අශාස්තෘක යැයි මතුවිය හැකි හැඟීම යටපත් කිරීම උදෙසා ජ්‍යෙෂ්ඨ භික්ෂූන් වහන්සේලා වෙත ධර්ම සංගායනාවක් යනු ඉතා හදිසි කාර්යයක් ලෙස හැඟී යන්නට ඇතැයි බුද්ධ පරිනිර්වාණයේ සිට ගතවූ තෙමස පිළිබඳ සලකා බැලීමේදී සිතිය හැකිය.

සංගායනාව පැවැත්වීමට විවිධ  ස්ථාන යෝජනා කරද්දී ඒවා ප්‍රතික්ෂේප කරමින් රාජ්‍ය ආරක්ෂාවක් යටතේ මෙම ධර්ම සංගායනාව පැවැත්වීමත් සමග මෙයට එරෙහි වූ පිරිස්ද සිටින්නට ඇතැයි විශ්වාස කළ හැකිය. 
අනෙක් අතට 500ක් රහතුන් විසින් පැවැත්වූ නිසාවෙන්ම සංඝ සමාජය මෙම සංගායනාව ඒකඡන්දයෙන් පිළිගත්තේ යැයිද කිවනොහැක. ඒ වනවිට රජගහ නුවරින් පිටත සිටි පුරාණ නම් මහ තෙරණුවෝ සංගායනාවට ඇරයුම් නොලත් අතර පසුව වැඩම කරන උන්වහන්සේ සංගායනය පසසා, තමන් බුදුන් ශ්‍රී මුඛ‘යෙන් ශ්‍රවණය කළ දහම පමණක් අනුගමනය කරන බව පැවසීම පෙර දැක්වූ කරුණ සනාථ කරවයි.

ථේරවාද පිළිගැනීම අනුව ත්‍රිපිටකය වත්මන් තත්ත්වයට සැකසෙන්නේ මෙම ප්‍රථම ධර්ම සංගායනාවේදී යැයි පිළිගැණුනද, වඩාත් ප්‍රා‘යෝගික හා යුක්ති සහගත පිළිගැනීම වන්නේ ප්‍රථම, දෙවන මෙන්ම තෙවන සංගායනාවන්හිදී ද සංස්කරණය වී සංග්‍රහ වූ බවය. අනෙක් අතට මේ වනවිට එහි අන්තර්ගත කරුණු අනුව සලකා බලද්දී විවිධ වකවානුවලට අයත් වීමත් සමග සංස්කරණයන්ට භාජන වී ඇති බව අවිවාදාත්මක පිළිගැනීමක් බවට පත් වී තිබේ.
විනය සූත්‍ර, අභිධර්ම යන තුන් පිටකයෙන් සංගෘහිත ත්‍රිපිටකයේ ඇතුළත්ව ඇත්තේ බුදුන් ශ්‍රී මුඛයෙන් දේශනා කර වදාළ බුද්ධ භාෂිතයන් පමණක්ම නොවේ. 

ජ්‍යෙෂ්ඨ භික්ෂු භික්ෂුණීන් වහන්සේලා විසින් දේශිත සූත්‍රද එහි අන්තර්ගතව තිබේ. දීඝ නිකායේ සංගීති, දසුත්තර ආදී සූත්‍ර සැරියුත් මහරහතන් වහන්සේ විසින් දේශනනා කරන ලද ඒවා වන අතර, මහා වේදල්ල සූත්‍රය සැරියුත් හිමියන් හා කොට්ඨාස හිමියන් අතර පැවැත්වූ සංවාදයක් වූ අතර චූලවේදල්ල සූත්‍රය ධම්මදින්නා තෙරණිය විශාඛාව සමග පැවැත්වූ සාකච්ඡාවකි.

මීට අමතරව සමන්ත පාසාදිකාවට අනුව මුල සිට පැවති ඇතැම් සූත්‍ර කිහිපයක්ම ප්‍රථම ධර්ම සංගායනාවේදී ප්‍රතික්ෂේප වූ බවද සඳහන් වෙයි.
කෙසේ වුවද ප්‍රථම ධර්ම සංගායනාව වූ කලී වසර ගණනක අනාගතයක් උදෙසා තැබූ පදනමක් බව කිවයුතු අතරම, බුද්ධ ධර්මයේ දිගුකාලීන පැවැත්ම තිරකරලීම උදෙසා ඉන් නොමඳ පිටුබලයක් සැලසී තිබිය යුතු බව කිවයුත්තේ තවත් කාලයක් ගොස් මෙම සංගායනාව පැවැත්වී නම්, බුද්ධ භාෂිතයන් අසා පිළිපැදි රහතුන්සේම, බුදුන් දෙසූ ධර්ම කරුණුද මගහැරී යාමට ඉඩ තිබූ බැවිනි. 

බුද්ධ පරිනිර්වාණයෙන් තෙමසක් ගතවන්නටත් පෙර බුදු සසුනට ධර්ම සංගායනාවක් අවශ්‍ය වූයේ ඇයි? සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :