මද්‍යසාර පිළිබඳ තීරණ ගැනීමේදී වැදගත් වන්නේ භාවිත නොකරන බහුතරයයි
( ෂෙහානි දිල්රුක්ෂිකා ) 2017-11-09 09:30:29
Comments - 1       Views - 511

මද්‍යසාර නිෂ්පාදන යනු පුද්ගලයාගේ සෞඛ්‍යය මෙන්ම පෞරුෂත්වය ක්ෂය කර දමන්නකි. යුරෝපා රටවලට සාපේක්ෂව ලංකාවේ මද්‍යසාර භාවිතය අවම වශයෙන් සිදු වීම යම්තාක් දුරට සෑහීමකට පත්විය හැකි කරුණකි. එනමුත් බහුජාතික සමාගම් මද්‍යසාර භාවිතයට  පෙළඹවීම සහ උත්තේජනයක් ඇති කිරීම සඳහා නොයෙක් උපක්‍රම භාවිත කරයි. ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කය තරුණ ප්‍රජාවයි. එයට සාපේක්ෂව මද්‍යසාර භාවිතයට පෙළඹවීම වළක්වමින් නිවැරදි වූත්, ප්‍රායෝගික වූත් මාර්ගෝපදේශනයක් ඔවුන්ට ලබාදීම අප කාගේත් යුතුකමකි. ඒ සඳහා  අනිවාර්යයෙන්ම රටේ ක්‍රියාත්මක වන මද්‍යසාර පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය ශක්තිමත් කළ යුතුය. නමුත් එම  කාර්යය සරලව සහ පහසුවෙන්  කළ හැක්කක් නොවේ.


b2ap3_large_Fotolia_48925068_Subscription_Monthly_M

ශ්‍රී ලංකාවේ මද්‍යසාර භාවිතය සම්බන්ධයෙන් සිදු කරන ලද අධ්‍යයනයක්, මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය සහ ඒකාබද්ධ වෙමින් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය, රජරට විශ්වවිද්‍යාලය සහ ස්වීඩනයේ මද්‍යසාර පිළිබඳ තොරතුරු කවුන්සිලය (CAN) ආයතනය විසින් සිදු කරනු ලැබිණි. ඒ මත පදනම්ව ශ්‍රී ලංකාවේ මද්‍යසාර හා අනාගත ප්‍රතිපත්ති සකස් විය යුතු ආකාරය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් පෙරේදා (07දා) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්විණි. එහිදී දැනට පවතින මද්‍යසාර භාවිතය හා සුලබත්වය සම්බන්ධයෙන් සිදුකරන ලද අධ්‍යයන, ලෝකයේ මද්‍යසාර භාවිතය පාලනය සම්බන්ධයෙන් ප්‍රතිඵලදායක මැදිහත්වීම් සහ මද්‍යසාර භාවිතය පාලනය සම්බන්ධයෙන් නොගැළපෙන ප්‍රතිපත්තියක් ඇතිවීමේ අවාසි පිළිබඳ අවධානය යොමු කෙරිණි. පසුගිය වසර 25 ක පමණ දත්ත අනුසාරයෙන් සිදු කරන ලද අධ්‍යයනයන් පිළිබඳ මෙහිදී දැනුවත් කළ අතර, ශ්‍රී ලංකාවේ මද්‍යසාර ප්‍රවණතාව ප්‍රමුඛ ලෙස සාකච්ඡා කෙරිණි.

අපේ රටේ මද්‍යසාර භාවිතය සහ බලපෑම අනෙකුත් රටවල් සමග සංසන්දනය කිරීමේදී අවම මට්ටමක පවතී. මේ හේතුවෙන් මද්‍යසාර සමාගම් අනෙකුත් රටවලට සාපේක්ෂව අපේ රට තුළ සාර්ථක ව්‍යාපාරයක් කරමින් ඔවුන්ගේ අභිලාෂයන් මුදුන් පමුණුවාගැනීමට අපොහොසත්ව සිටී. එමනිසා 2018 අයවැය ඉලක්ක කරගනිමින් ඔවුන් විවිධ මාධ්‍ය හරහා මේ දිනවල අසත්‍ය තොරතුරු හා දත්ත ප්‍රචාරය කරමින් ප්‍රතිපත්ති සම්පාදකයන් සහ මහජනයා නොමඟ යවමින් තම ලාභය තර කරගැනීමේ අපේක්ෂාවෙන් සිටියි. නමුත් යථා ස්වභාවය ඔබ සැවොම දැනගත යුතු කරුණකි. 

ලංකාවේ 1995 වර්ෂයෙන් අනතුරුව මද්‍යසාර භාවිතයේ ඉහළ යෑමක් ආරම්භ වී තිබේ. එවකට මුදල් ඇමතිව සිටි ජී.එල්. පීරිස් මහතා සැර වැඩි මද්‍යසාර භාවිතය අඩු කිරීම සඳහා සැර අඩු බියර් බදු මිල පහත දැමීමට කටයුතු කළේය. ඒ අනුව 50෴කින් බියර් බදු අඩු කෙරිණි. නමුත් අපේක්ෂා කළ කිසිවක් සිදු නොවූ අතර, ප්‍රතිඵලය වූයේ අරක්කු, කසිප්පු පානය අඩු නොවී බියර් පානයට නව පිරිස් යොමු වීමයි. 2007 වර්ෂයේ මද්‍යසාරවල අඩු වීමක් යළිත් සිදු වූයේ 2006 වර්ෂයේ ගෙන ආ දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය ක්‍රියාවට නැංවීමත් සමගය. 

Capture

නමුත් එම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වී වසර තුනක් ගිය පසුව නැවතත් ශීඝ්‍ර ලෙස වැඩිවූයේ යුද්ධය අවසන් වීමෙන් පසුය. 
මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා සහාභාගි වූ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මද්‍යසාර හා දුම්කොළ පාලනය සම්බන්ධ විශේෂඥ කමිටුවේ සාමාජික වෛද්‍ය සජීව රණවීර මහතා, මෙම තත්ත්වය වඩාත් වැඩි සමාජ, ආර්ථික බලපෑමක් රටට ඇති කරවන බව පැවසීය. 2015 වර්ෂයේ මද්‍යසාර මගින් රටට සිදු වූ හානිය මූල්‍යමය වශයෙන් ගත්කල රුපියල් බිලියක 141 කි. රටකට වඩාත් ප්‍රතිඵලදායී මද්‍යසාර පාලනයකට 2015 වර්ෂයේ පාර්ලිමේන්තුව තුළ සම්මත වූ මද්‍යසාර ප්‍රතිපත්තිය අනුගමනය කළ යුතු බව පොදුවේ වෛද්‍ය සංගමයේ මතයයි. විශේෂයෙන් එහිදී දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ මිල, බදු, සුලබතාව, ආකර්ෂණය සහ ඉල්ලුම අවම කිරීම වැනි සෑම ඉසව්වක්ම අවරණය වන පරිදි මද්‍යසාර ප්‍රතිපත්තිය කෙටුම්පත් කර ඇති අතර, එය ක්‍රියාත්මක කිරීම මේ කාලය වඩාත් කාලෝචිතය. මේ සඳහා ස්වීඩනයේ මද්‍යසාර හා මත්ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු කවුන්සිලයේ අධ්‍යක්ෂ හෝකන් ලෙයිෆ්මාන් මහතාද සහාභාගි වූ අතර, ඔහු විදේශීය මූලාශ්‍රද යොදාගනිමින් මෙම තත්ත්වය මැනවින් පැහැදිලි කරදීමට සමත් විය. ඔහු සිය අධ්‍යයනයේදී පෙන්වා දුන්නේ පසුගිය වසර 25 තුළ මද්‍යසාර නිෂ්පාදන ප්‍රමාණයන් අනුව ගණනය කර බැලූ විට කර්මාන්ත විසින් මද්‍යසාරවල අන්තර්ගත කරන මද්‍යසාර ප්‍රතිශතයක් ශීඝ්‍රයෙන් වැඩි කොට ඇති බවයි. ඒ නිසා එය භාවිත කරන පිරිසට වැඩි හානියක් පමුණවයි. විශේෂයෙන් ලංකාවේ බියර්වල මද්‍යසාර ප්‍රමාණයද වෙනත් රටවලට සාපේක්ෂව වැඩි අතර, එමගින් සිදුවනුයේ බියර් භාවිත කරන්නන් ඉතා ඉක්මනින් සැර මද්‍යසාර භාවිතයට යොමු වීමයි. මේ සියලු කාරණා සැලකිල්ලට ගනිමින් අපේ රටේ මද්‍යසාර භාවිතය සෑම ආකාරයකින්ම අවම වීම සිදුකළ හැකි ආකාරයේ නිර්දේශ ඉදිරිපත් කළ යුතුය. සුලබතාව අවම කිරීම හා සියලුම ආකාරයේ මද්‍යසාරවල බදු නිසි නියාමනයකින් ඉහළ දැමීම සිදුකළ යුතුය. එසේ නොවී නොයෙක් පදනම් මත යැයි පෙන්වා බලපත්‍ර ලිහිල් කිරීම හා බදු අවම කිරීම මගින් ඉතිහාසයේ සිදු වූ වරද නැවත වරක් මෙම ආණ්ඩුව විසින් කිසිසේත් සිදු නොකළ යුතුය.

ලංකාවේ සමස්ත ජනගහනයෙන් ඉතා කුඩා ප්‍රමාණයක් භාවිත කිරීම හේතුවෙන් මද්‍යසාර සමාගම් විවිධ උපක්‍රම යොදා උත්සාහ කරනුයේ එම 230෴ ක ප්‍රමාණය තවදුරටත් වැඩි කරගැනීමටය. මෙම වාතාවරණය යටතේ අරක්කු, බියර් සමාගම් තම පැවැත්ම උදෙසා උත්සාහ කරන උපක්‍රම නම් උද්ධමනයට සාපේක්ෂව මිලදීගැනීමේ හැකියාව කෙසේ හෝ පවත්වාගෙන යාමයි. ඒ අවම මිල මට්ටමක් සහ සුලබතාව ඇති කරවීම හරහාය. එයට සමස්ත රටම වන්දි ගෙවීමට සිදුවනු නොඅනුමානය. යම් වැරදි තීරණයක් ආණ්ඩුව ගතහොත් එහි වාසි හිමිවන්නේ මද්‍යසාර සමාගම්වලට පමණි. 

ලංකාව තුළ මද්‍යසාර භාවිත නොකරන පිරිස 80% ක් පමණ සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු රට තුළ සිදුකරන ලද බොහෝ සමීක්ෂණ වාර්තාවලින් හෙළි වී තිබේ. එමනිසා අපේ රටේ ප්‍රධාන වශයෙන් මද්‍යසාර සම්බන්ධ කිසියම් තීරණයක් ගැනීමේදී වැඩියෙන් සැලකිලිමත් විය යුත්තේ මද්‍යසාර භාවිත නොකරන පිරිස් පිළිබඳවය.
මේ නිසා නොයෙක් මද්‍යසාර සමාගම් පතුරුවන සාවද්‍ය පදනම් විරහිත කාරණාවලට හසු නොවිය යුතුය. ඔවුන් ප්‍රකාශ කරන ඇතැම් විද්‍යාත්මක නොවන කාරණා කිහිපයකි. එනම්,

රටේ පවත්නා නීත්‍යනුකූල මද්‍යසාර මිල ඉහළ අගයක් ගන්නා හෙයින් නීති විරෝධී මද්‍යසාරවලට වැඩි වශයෙන් නැඹුරු වන බව.
මද්‍යාසාර භාවිත කරන්නන් සැර වැඩි මද්‍යසාරවලට වැඩි වශයෙන් යොමු වී ඇති බැවින් ඔවුන්ට ලෙඩ රෝග සහ අනෙකුත් සමාජ ප්‍රශ්න වැඩි බැවින් එම තත්ත්වය අවම වන බියර් වැනි මද්‍යසාර ප්‍රතිශතය අඩු පානයන් සඳහා මද්‍යසාර භාවිත කරනන්නන් යොමු කළ යුතු බව
නීත්‍යනුකූල මද්‍යසාර ලබාගැනීමේ පහසුව මඳ හෙයින් මද්‍යසාර භාවිත කරන්නන් නීත්‍යනුකූල නොවන මද්‍යසාර සඳහා පෙළඹෙන බව. ඒ නිසා නීත්‍යනුකූල මද්‍යසාර විකිණීමේ ස්ථාන ප්‍රමාණය වැඩි කළ යුතු බව.
මද්‍යසාර කර්මාන්තයට පනවා ඇති බදු සහ සීමා නිසා සංචාරක කර්මාන්තය බිඳ වැටෙන බව ආදිය ඔවුන් ප්‍රකාශ කරන ප්‍රමුඛ කාරණා වේ.
මේ හේතුවෙන් බොහෝ පිරිස් නොමඟ යා හැකිය. නමුත් ඒ පිළිබඳ නිවැරදි දත්ත මත පදනම් වෙමින් මද්‍යසාර භාවිත නොකරන බහුතරය ආරක්ෂා කරදීම සඳහා රජයක් විසින් කළ හැකි ක්‍රියාමාර්ග කිහිපයකි.

1. බදු වැඩි කිරීම් මගින් මද්‍යසාර මිල අගයක පවත්වාගෙන යෑම. එය රටේ උද්ධමනයට හා මිලදී ගැනීමේ හැකියාව වැඩි වීම අනුව වෙනස් වන ආකාරයේ මිල සූත්‍රයක් ඇති කිරීම.
2. මද්‍යසාර සුලබත්වය වැඩිවන ආකාරයේ ප්‍රතිපත්ති තීරණ නොගැනීම හා සුලබතාව අවම කිරීම උදෙසා නීති සම්පාදනය.
3. 2015 වර්ෂයේ පාර්ලිමේන්තුවේ සම්මත වූ මද්‍යසාර ප්‍රතිපත්තිය නීතිගත කොට ක්‍රියාවට නැංවීම. 

මේ මගින් ලංකාව තුළ ස්ථාවර ක්‍රමවේදයක් සකස් කිරීම මගින් මද්‍යසාර භාවිතය පාලනය සහ අවම කළ හැකිය. මෙය නොයෙක් ක්ෂේත්‍ර සඳහා බලපෑ හැකිය. නමුත් රජරට විශ්වවිද්‍යාලය සිදුකළ විදේශ සංචාරකයන් පිළිබඳ පර්යේෂණයේදී මද්‍යසාර සම්බන්ධයෙන් පැන නගින නීති රෙගුලාසි එම කර්මාන්තයට කිසිදු බලපෑමක් නොකරන බව හෙළිව තිබේ.
මේ හේතුවෙන් මද්‍යසාර සඳහා පහසුකම් ඇති කිරීමෙන් අනතුරුව ඉතාමත් ඉක්මනින් මුහුණදීමට සිදුවන තත්ත්වයන් රාශියකි. විශේෂයෙන්ම දෛනිකව අසන්නට දකින්නට ලැබෙන රිය අනතුරු, අනතුරු සහ ප්‍රචණ්ඩ ක්‍රියා ඉහළ යෑමේ එක් හේතුවක් ලෙස මද්‍යසාර භාවිතය හඳුනාගත හැකිය. එමෙන්ම කාන්තාවන්ට සහ දරුවන්ට සිදුවන බොහෝ ගෘහස්ථ පීඩාවලට ප්‍රධාන හේතුව වන්නේ මද්‍යසාරයි. එමෙන්ම ග්‍රාමීය හෝ කුඩා ආර්ථිකයකට හිමිකම් කියන බොහෝ පිරිසක ආර්ථිකය තවත් දුර්වල කරන ප්‍රධාන වාහකයක් ලෙසද මෙය ඉතාම බලපෑම් සහගත වේ. 

ලාංකේය පුරවැසියාගේ සමාජ, ආර්ථික ජිවිතයට ප්‍රබල පහරක් වන මෙම මද්‍යසාර භාවිතය අවම කිරීම තුළ නොයෙක් ක්ෂේත්‍රයන්හි ගුණාත්මක වර්ධනයක් සහ ප්‍රගතියක් අපෙක්ෂා කළ හැකිය. එමගින් පුද්ගල ජීවිත අකාලයේ විනාශ නොවී රටට වැඩදායී සේවයක් ලබාදීමට හැකිවනු ඇත.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මද්‍යසාර හා දුම්කොළ පාලනය සම්බන්ධ විශේෂඥ කමිටුවේ සමාජික වෛද්‍ය සජීව රණවීර මහතා Dr.Sajeewa Ranaweera

අයවැයෙන් මද්‍යසාර භාවිතය වැඩි කිරීම සඳහා දීමට හැකි ප්‍රතිපත්ති කිහිපයක් පිළිබඳ ඉඟියක් දී ඇති බව, පළ වූ පුවත්පත් දැන්වීම්වලින් සහ හැන්සාඩ් වාර්තාවලින් පැහැදිලි වෙනවා. අපි මේ පිළිබඳ නිර්දේශ ජනාධිපතිතුමා, අගමැතිතුමා, සෞඛ්‍ය ඇමතිතුමාට සහ මුදල් අමාත්‍යතුමාට ඉදිරිපත් කළා. ලංකාවේ බහුතරයක් මද්‍යසාර භාවිත කරන්නේ නැහැ. පිරිමින්ගෙන් වයස අවුරුදු 15 සිට 35 දක්වා පිරිස මද්‍යසාර වැඩියෙන් භාවිත කරන පුද්ගලයන්. කාන්තාවන් 01෴ ක් පමණ ඉතා අඩු ප්‍රමාණයක් මද්‍යසාර භාවිත කරනවා. මේ සියල්ල එකතු කළහොත් ලංකාවේ 80෴කට වැඩි ප්‍රමාණයක් මද්‍යසාර භාවිත කරන්නේ නැහැ. අපි සංඛ්‍යාලේඛන විශ්ලේෂණය කිරීමේදී මද්‍යසාර භාවිතය නිසා සිදුවන ආර්ථික හානිය රුපියල් බිලියන 120 ක්. මෙය ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යංශය ආදී ආයතන කිහිපයක් එක්ව වසරක් පමණ කාලයකදී පර්යේෂණවලින් සොයාගත් නිවැරදි දත්ත. මෙම මුදල හිතාගැනීමට නොහැකි විශාල මුදලක්. දක්ෂිණ අධිවේගී මාර්ගයට වියදම් වුණෙත් බිලියන 90 ක පමණ මුදලක් පමණයි. 

මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ පුබුදු සුමනසේකර   Pubudu Sumanasekara

මේ සඳහා මූලික පසුතලය නිර්මාණය කිරීමට ප්‍රධාන හේතුවක් වුණේ ඉදිරියේදී පැමිණීමට නියමිත අයවැය වාර්තාවයි. මේ වසරේ මුල සිට විවිධ මාධ්‍යවල තිබූ දේ විශ්ලේෂණය කිරීමේදී අපට පැහැදිලි වන්නේ ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට යන දේවල් පිළිබඳ මැවුණු චිත්‍රයක්. බියර්, වයින් වැනි දේ සුළු බීමක් සේ නොයෙක් කතාබහ ඇති වීම, කසිප්පු පානය වැඩි වීම ආදී නොයෙක් තොරතුරු, තර්ක වරින් වර විකාශය වෙනවා. මද්‍යසාර පාලනය කිරීම සඳහා රජය නොයෙක් අණපනත් ගෙන ආවා. නමුත් ඇතැම් මන්ත්‍රීවරුන්ගේ අදහස්වලින් පෙනී යන්නේ එවැනි පාලන අණපනත්ද යම් තරමින් ලිහිල් කළ යුතු බවයි. මෙහි මිල යන සාධකයත් ඉතා වැදගත්. සියල්ලටම බලපාන්නේ මෙම මිල යන දර්ශකයයි. එයද අඩු විය යුතු බව මේ දිනවල කතාබහට ලක්වන මතයක්. 

ස්වීඩනයේ මද්‍යසාර හා මත්ද්‍රව්‍ය පිළිබඳ කවුන්සිලයේ අධ්‍යක්ෂ හෝකන් ලෙයිෆ්මාන්   Dr.Hakan Leifman

තිබූ ප්‍රමාණයට වඩා බදු අඩු කළ ලෝකයේ හොඳම උදාහරණය තමයි ෆින්ලන්තය. ඔවුන් නීතිමය සහ විදේශ රටවලින් ආනයනය කරන දේ පාලනය කිරීම සඳහා බදු අඩු කළා. නමුත් සිදු වූයේ භාවිතය අඩු නොවී අලුතෙන් භාවිත කළ පුද්ගල සංඛ්‍යාව දෛනිකව ඉහළ යාමයි. මේ නිසා ඇතිවන රෝගී තත්ත්ව, සමාජ ප්‍රශ්න සහ මරණ ප්‍රමාණයේ වර්ධනයක් සිදුවුණා. නමුත් ඒ ගැටලුව තේරුම් ගනිමින් බදු මුදල තිබූ තැනටම ගෙන ආවත්, මද්‍යසාර භාවිතය නැවත පෙර තිබූ අඩු භාවිතය සඳහා ගෙන ඒමට අපොහොසත් වුණා. 

 

මද්‍යසාර පිළිබඳ තීරණ ගැනීමේදී වැදගත් වන්නේ භාවිත නොකරන බහුතරයයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (1)
Posted by ravi on (2017-11-14 00:47:54)

api okkoma asaiy ape rata Bauddha ratak wenawata .... ehenam ithin me Mathpen gena katakanna .... wada wiwada karanna deyak noweiy ... SURAMERAYA MAJJAPAMADATTANA WERAMANEE SIKKAPADAN SAMADIYAMI ........ kiyala MATHPEN / MATHDRWYA APE RATEN THURAN KARAMU ........ SADU......SADU.......SAADU ...!!!

Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :