අඟල් 100 ක තිරයකින් යුතු රූපවාහිනී ප්‍රොජෙක්ටරයක්
( පැතුම් පුංචිහේවා ) 2017-11-09 09:20:25
Comments - 0       Views - 2212

අතීතයේ පැවති හැඩි දැඩි දැවැන්ත රූපවාහිනී යන්ත්‍ර වෙනුවට හුරුබුහුටි සිහින් හැඩයෙන් යුතු නවීන රූපවාහිනී පැමිණීමත් සමගින්, වඩාත් විශාල රූපවාහිනී යනු එතරම් අරුමයක් නොවුණි. වර්තමානයේ වෙළෙඳපොළේ දක්නට ඇති රූපවාහිනී යන්ත්‍ර බොහෝ විට ආරම්භ වන්නේම අඟල් 32 නි. එසේම වඩ වඩාත් විශාල තිර ප්‍රමාණයන්ගෙන් යුතු රූපවාහිනී යන්ත්‍ර මිලදී ගැනීමට බොහෝ දෙනෙකු පෙළැඹෙන්නේ, තිරය විශාල වීමත් සමගින් ලැබෙන වින්දනාත්මක අත්දැකීම වැඩිවන නිසාවෙනි. එසේ නම් අඟල් 100 ක තිර ප්‍රමාණයකින් යුක්ත රූපවාහිනී යන්ත්‍රයක් ඇතිනම් එය නිවසේ මිනි තියෙටරයක් නිර්මාණය කළා හා සමාන අත්දැකීමක් වනු ඇති බව අමුතුවෙන් කිව යුතු නොවේ. කෙසේ වුවත් ගැටලුව වන්නේ වර්තමානයේ ඇති සිහින්, සැහැල්ලු රූපවාහිනියක් වුවද අඟල් 100 ක් තරමේ විශාලත්වයක් ඇති විටදී එය හැසිරවීම ලෙහෙසි පහසු කර්තව්‍යයක් නොවීමයි. එසේම එය ඔබේ විසිත්ත කාමරයේ හැර වෙනත් තැනක භාවිතා කිරීමට නොහැකි වන බවද නොකිවමනායි.
ප්‍රමුඛ පෙළේ රූපවාහිනී නිෂ්පාදන සමාගමක් වන Hisense මගින් මෙම ගැටලුව විසඳීම සඳහා නිවසේ රූපවාහිනිය වෙනුවට භාවිතා කළ හැකි රූපවාහිනී/ප්‍රොජෙක්ටර් දෙමුහුම් යන්ත්‍රයක් නිෂ්පාදනය කොට ඇත. මේ ඔවුන්ගේ නවතම හඳුන්වාදීම වන Hisense 4K Ultra HD Smart Laser TV උපාංගයයි.

hisense-4k-ultra-hd-smart-laser-tv-1

රූපවාහිනී යන්ත්‍රයක් ලෙසින් භාවිතා කළ හැකි ප්‍රක්ෂේපණ යන්ත්‍ර හෙවත් ප්‍රොජෙක්ටරයන් යනු නව අදහසක් නොවේ. කෙසේ නමුත් මෙම Hisense 4K Ultra HD Smart Laser TV රූපවාහිනී ප්‍රොජෙක්ටරය සුවිශේෂී වන්නේ එහි ඇති රූපවාහිනියකටත් වඩා ඉහළ ගුණාත්මක තත්වයේ දසුන් සහ වර්ණ රටාවන් මෙන්ම රූපවාහිනියක් වැනිම වූ පහසුකම්ද සමගින් වේ. මෙය “breakthrough new way for TVs to present images” යන උදෘතය සමගින් වෙළෙඳපොළට නිකුත් කරන්නට Hisense සමාගම කටයුතු කොට ඇති අතර, මෙහි 4K Ultra HD විභේදනයෙන් යුතු සුපැහැදිලි, තියුණු දසුන්, ස්වභාවික වර්ණ සංකලනයන් සහ විශිෂ්ට දීප්තියක් ලබාදීම සඳහා මයික්‍රෝ කණ්ණාඩි මිලියන හතරක් ස්ථාපනය කොට තිබේ. මෙම තිරයෙන් ඔබට යමක් නැරඹීම සඳහා ඔබේ වටාපිටාව කෙතරම් තීව්‍ර ආලෝකයකින් නැහැවී ඇතිද යන්න පවා ගැටළුවක් නොවේ. සාමාන්‍යයෙන් ප්‍රොජෙක්ටරයකින් යමක් නරඹන විට කාමරයේ ආලෝකය අවම කළ යුතු වුවත්, Hisense රූපවාහිනී ප්‍රොජෙක්ටරය භාවිතයේදී එවැනි ගැටලුවක් පැන නොනඟිනු ඇත.
එසේම මෙයට වර්තමානයේ වෙළෙඳපොළේ ඇති රූපවාහිනියකටත් වඩා වේගයෙන් දසුන් තිරය මතට ගෙන ඒමට  (Rendering) හැකියාවක් ඇති නිසා වඩාත් සුමට ලෙසින් අන්තර්ගතයන් මෙයින් දර්ශනය වනු ඇත. එසේම මෙහි ඇති upscaling engine එක නිසා සාමාන්‍ය HD අන්තර්ගතයන් වුවත් මේ හරහා දර්ශනය වනු ඇත්තේ වඩාත් විස්තර සහිතව 4K ගුණාත්මක තත්වයෙනි.

hisense-4k-ultra-hd-smart-laser-tv-2

මෙය සමන්විත වන්නේ රූපවාහිනී ප්‍රොජෙක්ටර් යන්ත්‍රයකින් සහ අඟල් 100 ක නවීනතම ප්‍රොජෙක්ටර තිරයකිනි. කෙසේ නමුත් මෙය අති කෙටි දුර ප්‍රක්ෂේපණ යන්ත්‍රයක් නිසා, උපාංගය තැබිය යුතු වන්නේ ප්‍රොජෙක්ටර් තිරයට අඟල් කීපයක් පහතිනි. මෙම Hisense 4K Ultra HD Smart Laser TV රූපවාහිනී ප්‍රොජෙක්ටර් යන්ත්‍රයේ රූපවාහිනී OTA ටියුනරයක්ද ස්ථාපනය කොට ඇත්තේ ඊට ඇන්ටනාවක් සම්බන්ධ කොට, රූපවාහිනී විකාශන විසුරුවා හැරීම් ග්‍රහණය කරගැනීමට හැකියාව ලබාදෙමිනි. එසේම මෙහි HDMI පෝට් දෙකක් ඇත්තේ සැටලයිට් ටීවී පහසුකම් සඳහා මෙන්ම බාහිර උපාංග මගින් අන්තර්ගතයන් ලබාගැනීමට හැකියාව ලබාදෙමිනි. මෙහි වයි-ෆයි ‍රැහැන් රහිත සම්බන්ධතාවයද ඇති අතර, Netflix, Amazon Video, YouTube, Tiki Live වැනි පෙරනිමියෙන් ස්ථාපනය කොට ඇති යෙදුම් ගණනාවක්ද මෙහි තිබේ. එසේම මෙහි 110-watt 2.1-channel ඕඩියෝ සිස්ටම් එකක්ද ඇත්තේ සාමාන්‍ය රසවින්දනය සඳහා ප්‍රමාණවත් ශ්‍රව්‍ය ප්‍රතිදානයක් ලබාදෙමිනි.

hisense-4k-ultra-hd-smart-laser-tv-3 hisense-4k-ultra-hd-smart-laser-tv-4 lp-04 lp-06

අඟල් 100 ක තිරයකින් යුතු රූපවාහිනී ප්‍රොජෙක්ටරයක් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :