ශාසනයේ සුගතිය උදෙසා ධම්ම විනයෙහි දෙසූ දඬුවම් ක්‍රම
( සඳමාලි වික්‍රමආරච්චි ) 2017-11-06 09:42:04
Comments - 0       Views - 193

how-to-volunteer-with-buddhist-monks-3-1461922112

භික්ෂුවකගෙන් සිදුවන වැරදි හෙවත් ආපත්ති සඳහා ඒ වරෙදහි ප්‍රමාණය අනුව දඬුවම් පැමිණ වීමට විනයෙහි නියමිතව තිබේ. තථාගත ධම්ම විනයට අනුව සංඝයාට දඬුවම් නියම කිරීමේ බලය පැවරී ඇත්තේ පුද්ගලයාට නොව සංඝයාටය.
දඬුවම් පැමිණ වීමට නම් චෝදනා, චෝදක, චෝදනාභිප්‍රාය, චූදිතක, සංඝ හා අනුවිජ්ජක යන අංග සය සම්පූර්ණව කෙරෙන විනිශ්චයක් නිමා විය යුතුය. චෝදනාවක් තිබිය යුතුය. එය ඉදිරිපත් කරන්නෙක් (පැමිණිලිකරුවෙක්) සිටිය යුතුය. චෝදනාව ඉදිරිපත් කිරීමේ අරමුණ වරදකරු ඇවතින් නගා සිටුවීමේ හා ආයති සංවරයෙහි පිහිටුවීමේ අභිප්‍රාය විය යුතුය. චෝදනා කරනු ලබන්නෙක් හෙවත් විත්තිකරුවෙක් සිටිය යුතුය. සංඝයා හෝ සංඝයා විසින් නම් කරනු ලබන නමක්, දෙනමක්, තුන් නමක් හෝ වැඩි පිරිසක් විය යුතුය. ඒ සමග අනුවිජ්ජක නමින් දැක්වෙන විනිශ්චය කරුවෙක්ද සිටිය යුතුය. මෙලෙසින් කරුණු එක්තැන්ව ලැබෙන අධිකරණ විනිශ්චය ඇතැම් විට සමථයක් විය හැකිය. නැතහොත් දඬුවමකි. දඬුවම් නියම කරනු ලබන්නේ සංවරය සඳහා හෙයින් වරදින් මිදී ආයති සංවරයෙහි පිහිටි කෙණෙහි එකී දඬුවම සංඝයා විසින් ඉවත් කෙරේ.

බෞද්ධ විනයෙහි උපසපන් භික්ෂුවගේත්, ගිහියාගේත්, සසුනේත්, යහපත සඳහා දඬුවම් සතක් (7) නියමිතව තිබේ.

තජ්ජනීය කම්ම

භික්ෂූන් අතර, නිතර අඩදබර - කලකෝලාහල ඇති කරන සංඝයාටත් බුදුරදුන්ටත් නිතර පැමිණිලි ලැබෙන පුද්ගලයන් දෙදෙනෙකු වන පණ්ඩුක, ලෝහිතක යන දෙනම මෙහි ආදිකර්මිකයෝ වූහ. ඔවුන්ට තර්ජනය කිරීම් වශයෙන් සංඝයා විසින් මේ දණ්ඩ කර්මය පනවන ලදී. එවන් වැරදි සඳහා තර්ජනීය කර්මය කරනු ලැබූ භික්ෂුව අදාළ වරද හෝ ඒහා සම්බන්ධ කිසිදු වරදකට මැදිහත් නොවී ශික්ෂා ගරුකව ජීවත්වන බව සංඝයාට පෙනී ගියහොත් නැවත එක්වී ඒ දඬුවම ඉවත් කරනු ලැබේ. එතෙක් වරදකරුට උපසම්පදා කිරීම, නිසදීම, සාමණේර උපස්ථානය ආදී සංඝ සමාජය හා සම්බන්ධ කිසිදු කාර්යයකට සහභාගි වීම තහනම් වේ.

නියස්සකම්ම

අයෝග්‍ය පරිදි ගිහියන් ඇසුරු කරමින් සිටි බාල අව්‍යක්ත, ආපත්ති බහුල සෙය්‍යසක නම් භික්ෂුවට මේ දඬුවම නියම කරන ලද බව චුල්ලවග්ග කම්මක්ඛන්ධයේ සඳහන් වේ. මෙහි විශේෂ ලක්ෂණය වනුයේ වරදකරුට සුදුසු කල්‍යාණමිත්‍ර භික්ෂුවකගේ ඇසුර ලබාගෙන ජීවත්වීමට බලකිරීමයි. උපසම්පදාව ලබා ගැනීමෙන් පසු යටත් පිරිසෙයින් පස් වසරක් වත් නිස සමාදන් ව උපාධ්‍යයයක් හෝ ආචාර්යයන් යටතේ ජීවත්වීම සාමාන්‍ය භික්ෂු ප්‍රතිපදාවයි. නියස්කම්ම නම් දඬුවම ලබන තැනැත්තා පුනරුත්ථාපනයට භාජනය වන්නෙකි. වැරදි සියල්ල දුරු කරගන්නා තෙක් ඔහුට උපසපන් භික්ෂුවක විසින් ලැබිය යුතු අයිතිවාසිකම් අහිමි වේ. කල්‍යාණමිත්‍ර තෙර කෙනෙකුගේ ආශ්‍රය ලබා ගනිමින් නොබෝ කලකින් ම ධර්මවිනයධර බහුශ්‍රැත, ශික්ෂාකාමී පුද්ගලයෙකු බවට පත්වීම නිසා සෙය්‍යසක භික්ෂුවකට පනවන ලද දඬුවම් සංඝයා විසින් ඉවත් කරන ලදී.

පබ්බාජනීය කම්ම 

කුල දූෂණ කෙරෙමින්, පාප සමාචාර ඇතිව, අසංවරව අනාචාර සම්පන්නව ජීවත්වන භික්ෂූනට කෙරෙන දණ්ඩකර්මයකි. සංඝයා විසින් සම්මත කරනු ලබන නියෝජිතයන් මගින් අනාචාරශීලී භික්ෂූන් වෙසෙන අරමට ගොස් ඔවුන් එයින් බැහැර කිරීම පබ්බාජනීය කර්මයයි. ඡබ්බග්ගිය භික්ෂූන් අතුරින් දෙදෙනෙකු වන කිටාගිරි අරම්වැසි අස්සජි - පුනබ්බසුක යන භික්ෂූන් දෙනමකට මුලින් ම මේ දඬුවම පනවන ලදී. සංඝ සම්මතය පරිදි මේ සඳහා කියාගිරියට ගොස් දඬුවම ගැන දන්වන ලද්දේ සැරියුත්, මුගලන් දෙනම විසිනි. එයින් සංවරයට පත් නොවී භික්ෂූන්ට ආක්‍රෝශ පරිභව කෙරෙමින් සිටි හෙයින් ඔවුන්ට පැන වූ දඬුවම ඉවත් නොකරන ලෙස බුදුරදුන් විසින් නියම කරන ලදී.
පබ්බාජනීය කර්මය කරනු ලැබ භික්ෂුව සංවරව ආචාරශීලීව ශික්ෂාගරුක භාවයට පත්ව භික්ෂූන් වෙත පැමිණ වරද කමා කර ගනී නම් ඒ දඬුවම ඉවත් කිරීමට සංඝයාට ඉඩ තිබේ.

පටිසාරණීය කම්ම

ගිහි - පැවිදි සම්බන්ධය බිඳුණු විටෙක නැවත සමගි සම්පන්නභාවයට එළඹීමට යොමු කරනු ලබන දඬුවමකි. යම් භික්ෂුවක් ගිහියෙකුට ආක්‍රෝශ පරිභාව නින්දා අපහාස කෙරේ නම්, ඒ භික්ෂුව ගිහියා වෙත ගොස් කමා කරවා ගැනීම සඳහා සංඝයා විසින් මෙය පනවනු ලැබේ. ගිහියාට අලාභ පිණිස, අනර්ථ පිණිස ඔවුනොවුන් භේදකරවීම පිණිස ක්‍රියා කිරීම ද මෙයට ම අදාළ වරද වශයෙන් ගැනේ. මව්ඡිකාසණ්ඩ නම් ස්ථානයෙහි විසූ සුධම්ම නම් භික්ෂුව සිය දායකයා වූ චිත්ත ගෘහපතියාට නින්දා කළ බැවින් මෙම දඬුවම පැමිණවීය. මෙහිදී අදාළ ගිහියා වෙත ගොස් සමාව ලබා ගත යුතුය. සුධම්ම භික්ෂුව සංඝයා විසින් දඬුවම් නියම කරනු ලැබීමෙන් පසු මච්ඡිකා ඝණ්ඩයට ගිය නමුදු චිත්ත ගෘහපති හමුවට යාමට මැළිව ආපසු සැවතටම ගියේය.
ඒ බව දත් බුදුරාජාණන් වහන්සේ එවන් අවස්ථාවෙක අනුදූතයෙකු ලබාදීම සුදුසුය^යි අනුදැන වදාළහ. එසේ ගොස් කමා කරවා ගැනීමෙන් පසු සංඝයා විසින් දඬුවම් ඉවත් කරන ලදී.

ඇවැත් නොදැක්මෙහි උක්ඛේපනීය කම්ම

තමන් අතින් සිදුවන ඇවත ඇවතක් වශයෙන් නොපිළිගන්නා භික්ෂුව සමග සබ්‍රහ්මචාරී සංඝයාගේ සම්බන්ධතා නැවැත්වීම හෙවත් සම්භෝග තහනම මේ දණ්ඩ කර්මයෙන් අදහස් කෙරේ. ඡන්න භික්ෂුව තමා බුදුරජාණන් වහන්සේට අභිනිෂ්ක්‍රම‘ණයේ දී පවා ආධාර කළ පැරැන්නෙකු බව කියමින් වැඩිහිටි අවවාද නොපිළිගෙන දරදඬු ජීවිතයක් ගතකරන බව දැන මේ දඬුවම නියම කරන ලදී. ආශ්‍රය නොකළයුතු බවට සම්මත කරනු ලැබීමෙන් පසු ඒ බව විහාරයක් පාසාගොස් භික්ෂූන්ට දැනුම් දිය යුතුය. දඬුවම් ලැබූ භික්ෂූව අසංවරශීලීව ගතිවලින් මිදී ඒ බව සංඝයාට දැන්වීමෙන් පසු එකී දඬුවම ඉවත් කරනු ලැබේ.

 ඇවතට පිළියම් නොකිරීමෙහි උක්ඛේපනීය කම්ම

තමන් අතින් වරදක් සිදුවුවහොත් එය පිළිගෙන පිළියම් කොට ආයතිසංවරයෙහි පිහිටීම ශික්ෂාකාමී භික්ෂුවගේ ලක්ෂණයකි. ඡන්න භික්ෂුව තමන් කළ වරද පෙන්වා දීමේදී එයට පිළියම් යෙදීමට කැමති නොවීම නිසා මේ දණ්ඩ කර්මය පනවන ලදී.
 ඡන්න භික්ෂුවට පනවන ලද මේ දඬුවම් දෙකෙහි දීම ඒවාට යටත් නොවී මුරණ්ඩුව ක්‍රියා කිරීම නිසා බුදුරාජාණන් වහන්සේ ජීවත්ව සිටින තුරුම ඒ දඬුවම් ඉවත් කිරීමට ඉඩක් නොලැබිණ. පරිනිර්වාණ සමයෙහි දී ආනන්ද හිමියන් බුදුරදුන්ගෙන් ඡන්න තෙරුන් පිළිබඳව ගතයුතු ක්‍රියාමාර්ගය පිළිබඳ ව විමසන ලද්දේ එහෙයිනි. ඒ අවස්ථාවේ දී බුදුරජාණන් වහන්සේ බ්‍රහ්ම දණ්ඩනය පනවන ලෙස නියම කර වදාළ සේක.

බුද්ධ පරිනිර්වාණයෙන් පසු සංඝයා එක්ව ඡන්න තෙරුන්ට බ්‍රහ්ම දණ්ඩනය පනවනලදී. කිසිවෙක් කවර අවස්ථාවකදී හෝ ඡන්න තෙරුන් සමග කතා නොකළ යුතුය. යන්න බ්‍රහ්ම දණ්ඩනයේ ලක්ෂණයයි. සම්භෝග තහනමෙන් පසු මුළු සමාජයෙන්ම බැහැර කොට වචනයකුදු කතා නොකිරීමෙන් අවවාද අනුශාසනා නොකිරීමත් නිසා බලවත් සංවේගයට පත්ව ඡන්න භික්ෂුව සිහිසුන්ව වැටුණු බව පඤ්චසතිකක්ඛන්ධයේ සඳහන් වෙයි. මෙයින් පසු තමා පිළිබඳව ලජ්ජාවට හා කළකිරීමට පත්ව උත්සාහ වැඩීමෙන් නොබෝ කලකින්ම රහත් බවට පැමිණියේය. ඒ බණ අනඳ හිමියන්ට දැන්වීමෙන් පසුව රහත් බවට පත් වීමත් සමග සියලු දඬුවම් ඉවත්ව ගිය බව දේශනා කළහ.

පවිටු මිසදුටුව අත් නොහැරීමෙහි උක්ඛේපනීය කම්ම

බුදුන්, දහම්, සඟුන් පිළිබඳවත්, ශික්ෂාපද පිළිබඳවත්, විමුක්ති මාර්ගය හා නිවන පිළිබඳවත්, වැරදි දැකීම් අදහස් ඇතිකර ගැනීම මිථ්‍යා දෘෂ්ටිය යි. තථාගතයන් වහන්සේ විසින් දේශිත වූ සග-මොක් සුවයට අන්තරායකර ධර්ම කොට්ඨාසයන් එසේ අන්තරායකර නොවේ යයි. මිසදිටුවක් ගත් අරිට්ඨ භික්ෂුවට පනවන ලද දඬුවමකි. මෙය ද ඉහත සඳහන් ඡන්න භික්ෂුවට පනවන ලද දඬුවම මෙන් සෙසු භික්ෂු සමාජය සමග සම්බෝගය  තහනම් කිරීමකි.
දණ්ඩකම්ම සියල්ල ගිහි පැවිදි දෙපක්ෂය අතර අඩදබර කළ කෝලාහල ඇතිකරගන්නා භික්ෂූන් පුනරුත්ථාපනය සඳහා පනවන ඒවාය. සංඝයා එක්ව ඤත්ති චතුත්ථ කර්මයෙන් දඬුවම් නියම කළ යුතුය. ප්‍රතිබල සම්පන්න (කාර්ය සාධනයෙහි සමන්) මහතෙර කෙනෙකුගේ හෝ පිරිසක් මගින් අදාළ චූදිතයා වෙත දන්වා සිටිය යුතුය. දඬුවම නියම කරනුයේ ඔහු වරද පිළිගැනීමෙන් පසුවය. ආර්ය සංවරයෙහි පිහිටා සංඝයා සමා කරවා ගැනීමෙන් පසුව නැවත කර්ම වාක්‍යයකින් දඬුවම ඉවත් කිරීම විනය නියමය වේ.

ශාසනයේ සුගතිය උදෙසා ධම්ම විනයෙහි දෙසූ දඬුවම් ක්‍රම සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :