ලොව පවතින සියල්ල සමස්ත ජීවිතයම කර නොගන්න
( චාමර සම්පත් ) 2017-11-05 13:21:22
Comments - 0       Views - 215

ඉල් පුර පොහොය යෙදෙන අද (03දා) දිනයේ ධර්ම දේශනය සිදුකරන්නේ දඩගමුව රාජමහා විහාර වාසී පූජ්‍ය පැපිලියවල නාරද හිමියන්ය.ඉල් පුර පසළොස්වක පොහොය දිනය යනු බුදුරදුන්ගේ ප්‍රථම ධර්ම දූත කණ්ඩායම සිය ධර්ම ප්‍රචාරය ආරම්භ කළ දිනයයි. එමෙන්ම ලොව්තුරා බුදුරදුන්ද සිය දහම් බෙරය වැයීම  සඳහා උරුවෙල් දනව්වට වැඩම කරවන ලද දිනයයි. එහෙයින් ඉල් පුර පසළොස්වක පොහොය ධර්ම ශ්‍රවණය, දේශනය හා ඒ අනුව හැසිරීම වඩාත් අර්ථවත් කරවන පොහොය දිනයක් වෙයි.

Untitled-1 copy

බුදුරදුන් සිය ධර්මය දේශනා කරන ලද්දේ සමස්ත මානව සමාජයේම උභයාර්ථ සංසිද්ධිය අරමුණු කොට ගෙනය. එහෙයින් එය පරලොව පමණක් නොව මෙලොවාභිවෘද්ධියද කේන්ද්‍ර කර ගත්තකි. ධර්මයෙහි සාන්දෘෂ්ටික ඵලය පරලොවට වඩා මෙලොව දීම සාක්‍ෂාත් කළ යුතුය. එය ධර්මයේ සන්දිට්ඨික ගුණයයි.

මානව ජීවිතයක ධර්මය අදාළත්වය පිළිබඳ අවධානය යොමු කිරීමේදී ජීවිතය යනු කුමක්ද යන්න පිළිබඳ අවධානය යොමුකළ යුතුය. ජීවිතය යනු කුමක්ද යන ප්‍රශ්නයට දිය හැකි සාර්ථකම පිළිතුර වනුයේ ජීවිතය යනු උත්පත්තියත්, මරණයත් අතර කාලසීමාව යන්නය. පුද්ගලයා එකී කාලසීමාව තුළ අත්දකින, අත්විඳින හා මුහුණ දෙන සියල්ලටම අපි ජීවිතය යැයි කියමු. බුදුසමය මග පෙන්වනුයේ මෙම ජීවිතය සාර්ථක කරගෙන එමගින් සියල්ල සාර්ථක කරගැනීම උදෙසාය.

පුද්ගලයා සිය උපතේ පටන් මරණය තෙක් කටයුතු කරනුයේ සියල්ල ඌනත්වයෙන් සලකමිනි. හේ තමන් සතුව පවතින මිලමුදල්, යානවාහන, ඉඩකඩම් ආදී භෞතික සම්පත් තමන්ට ප්‍රමාණවත් නොවන්නේ යැයි සිතයි. එකී සංකල්පනාව තුළ භෞතික සම්පත් අත්පත් කරගැනීමේ අභිලාසයෙන් වනයෙහි අන්ධ මීවුන් සේ හැල්මේ දුවයි. මෙම දිවීමේ අවසාන ප්‍රතිඵලය මානසික අතෘප්තිකර ස්වභාවය නිරන්තරයෙන්ම පුද්ගල සන්තානයෙහි ක්‍රියාත්මක වීමය. සියලු අසහනයන්, චිත්ත පීඩාවන් පුද්ගල ජීවිතයට උරුම කරනුයේ මෙකී අනවර්ථ ක්‍රියාදාමයයි.

බුදුසමය වරදට වඩා වරද කොතැනද, ඊට හේතුව කුමක්ද යන්න පිළිබඳ අවධානය යොමුකර ඊට පිළියම් කරන දහමකි. එහෙයින් පුද්ගලයාගේ අතෘප්තිකර ස්වභාවයට මූලිකම හේතුව ලෙස බුදුරදුන් දේශනා කරනුයේ ආශක්ත බව (ලෝභ), තරහව (ද්වේෂය) හා නොදැනීම (මෝහ) යන මනෝභාව ත්‍රිත්වයයි. මෙකී ත්‍රිත්වය සියලුම ආකාරයේ ගැටුම්, අතෘප්ති, අසහන හා ඉච්ඡාභංගත්වය සඳහා මුල්වෙයි. ඒ හේතුවෙනි, බුදුරදුන් මෙම ළාමක ධර්ම කළමනාකරණය පිණිස උපදෙස් ලබා දෙනුයේ. එම උපදෙස් පිළිපැදීමෙන් පමණි, ජීවිතයක තෘප්තිමත්භාවය මෙන්ම ජීවිත සාර්ථකත්වයද ළඟා කර ගත හැකි වනුයේ.

ජීවිතයක සතුට නැති කර අතෘප්තියම ඇති කරවන ලෝභ, ද්වේෂාදී අයහපත් මනෝභාවයන් නිවාරණය කරනු පිණිස නූතන අර්ථයේ ප්‍රතිකාරාත්මක ක්‍රමෝපායන් කිහිපයක් බුදුරදුන් සමාජය උදෙසා දේශනා කරනු ලබයි. ඒ අනුව යම් අරමුණක් හේතුවෙන් පුද්ගලයා තුළ ළාමක සිතිවිලි පහළ වන්නේ නම්, සියුම් ඇණයක් භාවිත කරමින් මහ ඇණයක් ඉවත් කරන්නා සේ එම ළාමක සිතිවිලිවලට ප්‍රතිවිරුද්ධ යහපත් සංකල්පනාවන් ඇති කර ගත යුතු වෙයි.

ඒ සඳහා ප්‍රමාණාතික්‍රාන්තව වැඩිය යුතු ධර්මතා හතරක් බුදුදහමෙහි සඳහන් වෙයි. එනම් මෛත්‍රිය, කරුණාව, මුදිතාව හා මැදහත් බවයි. මෙම සංකල්පනාවන් තුළින් අයහපත් මනෝභාවයන් මැඬපැවැත්වීමට අමතරව මෙතෙක් ගත කළ ඒකාකාරී ජීවිතයෙන් අත්මිදී භාව සන්තර්පණයෙහිලා උපකාරී වන සමාජ වටාපිටාවක් ඇසුරු කරගත හැකිය. ඒ අනුව පරිසරයට සංවේදී වීම, කල්‍යාණ මිත්‍රාශ්‍රය, ශ්‍රේෂ්ඨ මිනිසුන්ගේ චරිතාපදාන පරිශීලනය මෙන්ම, අගමික කටයුතුවල නියුක්ත වීමද සිදුකළ හැකි වන අතර, මෙය %අඤ්ඤනිමිත්තපබ්බ^ නම් වෙයි.

එසේම යම් සංසිද්ධියක් හෝ වස්තුවක් හේතුවෙන් ජීවිතයෙහි සැනසිල්ල, තෘප්තිය බිඳවැටේ නම් එකී සංසිද්ධියෙහි හෝ වස්තුවෙහි පවත්නා ආදීනවය හෙවත් දුක්ඛ ස්වභාවය, සාවද්‍ය ස්වභාවය පිළිබඳ මෙනෙහි කර එය සිතින් ඉවත් කිරීම තුළින් මානසික සහනය හා ගැටුම් නිරාකරණය කරගත හැකි බව බෞද්ධ ඉගැන්වීමය. පුද්ගලයා බොහෝ අවස්ථාවන්හි මානසික සහනය විනාශ කරගනුයේ කාම වස්තූන්හි පවත්නා ආදීනවය මෙනෙහි නොකිරීම හේතුවෙනි. කාම වස්තූන් සිය ජීවිතය බවට පරිවර්තනය කරගැනීමේ හේතුවෙනි.

සියල්ල කැඩෙන, බි‍ඳෙන ලෝකයක එකී ස්වභාවයෙන් යුක්ත වස්තූන් ජීවිතය බවට පත් කර ගැනීමෙන් සිදුවනුයේ වස්තුවේ විනාශය සිදුවන විටම ජීවිතයද විනාශ වීමය. එහෙයින් ලොව පවත්නා සියලුම දෑ සමස්ත ජීවිතය බවට නොව ජීවිතයේ එක් කොටසක් බවට පත්කර ගත යුතු වෙයි. එසේ පත් කර ගැනීමට නම් එම වස්තුවෙහි ආදීනවය පිළිබඳ මනා වැටහීමක් ලැබිය යුතුය. අාදීනවනිමිත්තපබ්බ නම් වන මේ සඳහා කල්‍යාණ මිත්‍ර සේවනය හා නිවැරදි අධ්‍යාපනයද අවැසි වෙයි.

පුද්ගලයාගේ මානසික අසහනය ප්‍රබල වනවිට ඊට පිළියම් කිරීමේ ප්‍රතිකාරාත්මක ක්‍රමෝපායක් ලෙස බුදුසමය ඉදිරිපත් කරන අනෙක් ක්‍රමය වනුයේ අසතිඅමනසිකාර ක්‍රමයයි. එනම් සිතේ අසහනයට හේතු වූ අරමුණ සිතින් මෙනෙහි නොකරමින් ඒ පිළිබඳ සිහිපත් නොකරමින් කටයුතු කිරීමය. මෙය පහසු කටයුත්තක් නොවන හෙයින් ඒ සඳහා අනුගමනය කළ හැකි ක්‍රියාමාර්ගයක් ලෙස ධර්ම ප්‍රබන්ධ කතාදිය උස් හඬින් සජ්ඣායනා කිරීම හෝ ශ්‍රවණය කිරීම කළ යුතුය. එනම් මානසික අසහනයට හේතු වූ දෙය අමතක කිරීම පිණිස වෙනත් ක්‍රියාවන්හි නිරත වීමය.

පුද්ගලයා විසින් සිදුකරනු ලබන ආත්මාවලෝකනය බුදුදහම දැඩිව අගයන්නකි. එම ආත්මාවලෝකනව තුළ පුද්ගලයාට සතුටු විය හැකි තැන් වේ නම්, ඒ පිළිබඳ සිතමින් නැවත නැවතත් සතුටු විය යුතුය. එහෙත් පසුතැවිල්ලට කරුණු තිබේ නම්, ඒ පිළිබඳ සිහිපත් නොකළ යුතුය. නමුත් ඉන් පාඩම් උගත යුතුය. එම සිදුරු පිරිමැසීමට උත්සාහ කළ යුතුය. 

සිතෙහි සතුට පුද්ගලයා විසින් විනාශ කරනුයේ මූලික කරුණු කිහිපයක් හේතුවෙනි. ඉන් පළමුවැන්න වනුයේ හේ වර්තමානය තුළ හිඳිමින් ගෙවුණු අතීතය තුළ ජීවත් වීමය. දෙවැන්න වර්තමානය තුළ හිඳිමින් නොඑළැඹුණු අනාගතය තුළ ජීවත් වීමය. එහෙයින් බුදුරදුන්ගේ අනුශාසනාව වනුයේ ගෙවුණු අතීතය පිළිබඳ සෝක නොකරමින්, නොඑළැඹුණු අනාගතය පිළිබඳ සිහින නොමවමින් පවත්නා වර්තමානය සිහියෙන් යුක්තව කටයුතු කළ යුතු බවය. 

අනෙක් අතට පුද්ගලයා නිරන්තරයෙන්ම බාහිර ලෝකය පිළිබඳවත්, තමන් පිළිබඳවත් ප්‍රපඤ්ච හෙවත් සංකල්ප රූප ගොඩනගා ගැනීම සිදුකරයි. ඒ සංකල්ප රාමුවලට විවිධ දෑ ගොනු කරමින් ඒ සියල්ල ඒ අනුව පැවැතිය යුතු යැයි අදහස් කරයි. නමුත් වෙනස් වන ලෝකයෙහි එවැන්නක් අපේක්‍ෂා කිරීම අතිශය මුග්ධභාවයකි. අන් අය හෝ මා සන්තක වස්තු හෝ ‘මට මෙසේ කළ යුතුමය, මට මෙසේ දිය යුතුමය’ යැයි නියමයක් නොමැත. යමෙක් එසේ සිතමින් ජීවත් වන්නේ නම්, සතුට ඒ තැනැත්තාගෙන් බොහෝ දුරස්ථය. බුදුදහම මැදහත් බව නිර්දේශ කරනුයේ මේ හේතුවෙනි. මධ්‍යස්ථ බව මානසික සහනයෙහි රහසයි.

අපි සියල්ලෝම විමුක්තිය සොයායන සාංසාරික වන්දනාවෙහි නඩකාරයෝ වෙමු. එම ගමනෙහි කවරෙකුගේ හෝ මානසික සතුටට බාධා කිරීමේ අයිතියක් අප කිසිවෙකුටත් නැත. සර්වතෝභද්‍ර කිසිවෙකු හෝ සර්වපාපකාරී කිසිවෙකු මේ මිහිතලයෙහි කවර හේතුවක් නිසාවත් පහළ නොවෙයි. සෑම පුද්ගලයෙක් සතුව ගුණයක් මෙන්ම, දෝෂයක්ද පවතී. පුද්ගලයා ඇසුරු කළ යුත්තේ, සිහි නගාගත යුත්තේ, මෙනෙහි කළ යුත්තේ එකී ගුණය මිස දෝෂය නෙවේ. දුරුකළ යුත්තේ දෝෂය මිස ගූණය නොවේ. දෝෂයට පිළියම් කිරීම ශ්‍රේෂ්ඨ මානව ධර්මතාවකි. 

සියලු බුදුවරුන්ගේ අනුශාසනාව වනුයේද සියලු පාපයන්ගෙන් බැහැර වීමත්, යහපතෙහි  යෙදීමත්, ඒ අනුව සිත පිරිසුදු කරගැනීමත්ය. 
සෑම මානව ජීවිතයකටම දැවැන්ත වටිනාකමක් පවතී. එම වටිනාකම හඳුනා නොගැනීම අවිද්‍යා මෝහයෙහි එක් පැතිකඩකි. එහෙයින් පළමුව තමන් හඳුනාගත යුතුය. තමන්ගේ ශක්‍යතාවන් හඳුනාගත යුතුය. ජීවිතය හමුවේ එන ප්‍රශ්න, ගැටලු සියලු දෙනාටම පොදු වූ ධර්මතාවකි. ඒ සඳහා සියලු දෙනාම මුහුණ දිය යුතුය. ජීවිත ප්‍රශ්න දෙස වාස්තවිකව බැලීම ප්‍රශ්න නිරාකරණයට හොඳම විසඳුමය.

ප්‍රශ්නවලට බද්ධ වීම තුළින් සිදු වනුයේ ප්‍රශ්නය වඩාත් තීව්‍ර වීමය. බුදුදහම උක්ත ක්‍රියාමාර්ගයන් නිර්දේශ කරනුයේ ප්‍රශ්න, මානසික අසහන, පීඩා තේරුම් ගෙන ඊට බද්ධ නොවී ඉන් ඉවත්ව යෑමේ සාර්ථකම උපායමාර්ග වශයෙනි. ඒ අනුව කටයුතු කිරීම තුළින් සාර්ථක ජීවිතයක් මෙන්ම උභයාර්ථ සංසිද්ධියම සලසාගත හැකි බව සුධීහු සිහිකළ යුත්තේමය.
තෙරුවන් සරණයි.!

 

ලොව පවතින සියල්ල සමස්ත ජීවිතයම කර නොගන්න සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :