2017 අගෝ. නිෂ්පාදන ධාරිතාව සියයට 4.8ක් වැඩියි
( ෂමිල පෙරේරා ) 2017-10-12 16:15:17
Comments - 0       Views - 242

2016 වර්ෂයේ අගෝස්තු මස නිෂ්පාදනයට සාපේක්ෂව, 2017 අගෝස්තු මස නිෂ්පාදන කර්මාන්ත අංශයෙහි, නිෂ්පාදන ධාරිතාවයෙහි 4.8%ක වැඩිවීමක් වාර්තා වන බව 2017 අගෝස්තු මසට අදාළ කාර්මික නිෂ්පාදන දර්ශකය නිකුත් කිරීමේ නිල නිවේදනය නිකුත් කරමින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

ආර්ථිකයේ බොහෝ අංශවලට අදාළ දත්ත එක්රැස් කිරීම, සම්පාදනය කිරීම සහ ප්‍රචාරණය කිරීම ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලැබේ. මෙම දත්ත ආර්ථිකයේ ප්‍රවණතා හඳුනා ගැනීමට, ආර්ථික වර්ධනය මෙහෙය වන ප්‍රධාන අංශ හඳුනා ගැනීමට, ආර්ථික ක්‍රියාකාරීත්වය ඇගයීමට, ප්‍රතිපත්ති සම්පාදනයට හා ඇගයීමට රජය මෙන්ම කර්මාන්තායතනද භාවිත කරනු ලැබේ.

ඒ අනුව නිෂ්චිත යොමු කාලයකට සාපේක්ෂව, දෙන ලද කාලපරිච්ඡේදයක දී ආර්ථිකයේ කර්මාන්ත අංශයෙහි ස්වරූපය පිළිබඳ හඳුනා ගැනීම කාර්මික නිෂ්පාදන දර්ශකය මඟින් සිදු කෙරේ. තව ද මෙමඟින් කර්මාන්ත අංශයේ කෙටි කාලීන වෙනස්කම්ද හඳුනාගත හැකිය.

ඒ අනුව. 2016 අගෝස්තු මස මාසික නිෂ්පාදන ධාරිතාවයට සාපේක්ෂව 2017අගෝස්තු මස 'පිරි සකසන ලද ලෝහ නිෂ්පාදන' (35.5%), 'මූලික ලෝහ නිෂ්පාදන' (18.9%) සහ 'අඟුරු සහ ඛනිජ තෙල් පිරිපහදු කිරීමේ නිෂ්පාදන' (10.4%) වල කැපී පෙනෙන වර්ධනයක් වාර්තා වන බවත්, 2017 අගෝස්තු මස ආහාර නිෂ්පාදන අංශයෙහි  නිෂ්පාදනය 5.1% ක වැඩිවීමක් වාර්තා වන බවත් කියයි.

තවද, 'බීම වර්ග නිෂ්පාදන', 'ගෘහ භාණ්ඩ නිෂ්පාදන' සහ 'රසායනික ද්‍රව්‍ය සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන'වල 2016 වර්ෂයේ අගෝස්තු මස නිෂ්පාදනයට සාපේක්ෂව පිළිවෙළින් 16.4%, 6.9% සහ 2.5%ක අඩුවීමක් වාර්තා වී තිබේ.

1_orig

2017 අගෝ. නිෂ්පාදන ධාරිතාව සියයට 4.8ක් වැඩියි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :