ක්‍රිකට් ලොක්කෝ ඩුබායි සෆාරි අරඹති
( . . ) 2017-10-12 11:01:00
Comments - 0       Views - 2383

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් සහ සේවකයන් රැසක් ශ්‍රී ලංකා - පාකිස්තානු ක්‍රිකට් තරග නැරඹීමට සහ ඊට අදාළ වෙනත් රාජකාරි සඳහා ක්‍රිකට් ආයතනයේ මුදලින් ඩුබායි නුවර බලා යෑමට සූදානමින් සිටින බව ‘අද’ට අනාවරණය වේ.මෙහි පවතින තවත් එක් ගැටලුවක් වනුයේ
ශ්‍රී ලංකා ක්‍රිකට් ස්ථිර පැරණි සේවකයන් සහ නිලධාරීන් කපා හැර වත්මන් පරිපාලනය කොන්ත්‍රාත් පදනම මත බඳවාගත් අයට ප්‍රමුඛතාව ලබාදීමයි.  

මෙහිදී සමහර නිලධාරීන්ට නොමිලේ දිනකට ඇමෙරිකානු ඩොලර් 350ක් (රු.53,714.51) , ගුවන් ටිකට්පත් සමග නවාතැන් පහසුකම් ක්‍රිකට් ආයතනයෙන් සපයාදී ඇතැයි වාර්තාවන අතර, එක් විධායක කමිටු සාමාජිකයෙක් පමණක් දවස් 20ක් සඳහා ඩොලර් 7000ක් (රු.1,074,890) ලබාදෙන මෙන් ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක් කර ඇතත් ක්‍රිකට් ප්‍රධානියෙක් එය ප්‍රතික්ෂේප කරමින් ඔහුට දින 04ක් සඳහා දිනකට ඩොලර් 350 බැගින් ඩොලර් 1400ක (රු.214,858.05) මුදලක් අනුමත කර ඇති බවටද වාර්තා වේ.

කෙසේ වෙතත් අප මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය අංශයෙන් ලිඛිත විමසීමක් කළ අතර, ඊට පිළිතුරු ලෙස ඔවුන් සඳහන් කර සිටියේ අදාළ විධායක කමිටු සාමාජිකයාව ශ්‍රී ලංකා ක්‍රිකට් නියෝජිතයෙක් ලෙස ඩුබායි සංචාරයට එක්කර ඇති බවයි.  එමෙන්ම ඔහු ඩොලර් 7000ක මුදලක් ලබාදෙන මෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බව මාධ්‍ය අංශය අනාවරණය කළහ. මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් වෙබ් රේඩියෝව නියෝජනය කරමින් තවත් සේවකයන් තිදෙනෙකු ඩුබායි නුවරට පිටත්ව යාමට නියමිතය. ඔවුන් එහි සිට එක්දින තරගාවලිය සහ විස්සයි 20 තරගාවලිය සජීවීව විස්තර ප්‍රචාරයක් ගෙන එන බවද හෙළිවේ. 
වෙබ් රේඩියෝව නියෝජනය කරමින් මෙරට ප්‍රධාන පෙළේ රුපවාහිනී නාලිකාවක තාක්ෂණික නිලධාරියෙක්ද ඩුබායි බලා පිටත්ව යෑමට නියමිතය. මෙම පිරිසේද සියලු වියදම් ක්‍රිකට් ආයතනය මගින් දරනු ලබන බවට අනාවරණය වේ. 

මීට අමතරව අදාළ සජීව විස්තර ප්‍රචාරය සඳහා අවශ්‍ය උපකරණ සහ වෙනත් බඩු භාණ්ඩ ඇමෙරිකානු ඩොලර් 7000ක් වැනි මුදලකට ඩුබායි නුවරින් කුලියට ගැනීමට නියමිතය.  ඒ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ නිලධාරියෙකු තහවුරු කළේ ගුවන්තොටුපළ කාර්යභාර්යයන් සංකීර්ණ වීම හා බඩු භාණ්ඩ නිදහස් කරගැනීමේ අපහසුතා නිසා එවන් තීරණයක් ගත් බව පවසමිනි.

මෙම පිරිසට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය අංශය නියෝජනය කරමින්ද එහි ඉහළ තනතුරක් දරන පුද්ගලයෙකු සහ තවත් කිහිපදෙනෙක් (සියලු පහසුකම්, දීමනා සහ මුදල් ක්‍රිකට් ආයතනයෙනි) තරග නැරඹීම සඳහා ඩුබායි නුවරට යෑමට නියමිත අතර, කොන්ත්‍රාත් පදනම මත බඳවාගත් වත්මන් පරිපාලනයට හිතවත් නවකයෙකුටද මේ හරහා රට යෑමේ වාසනාව උදාවී ඇතැයි එහි සේවකයෝ පෙන්වාදෙති. එසේම ඔවුන් වත්මන් පරිපාලනයෙන් ඉල්ලා සිටිනුයේ වසර ගණනාවක් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත සේවය කළ ස්ථිර සේවකයන්ට සහ නිලධාරීන්ට අවස්ථාව ලබානොදී කොන්ත්‍රාත් සේවකයන්ට රට යෑමේ අවස්ථාව ලබාදීම ඔවුනට කරන බලවත් අසාධාරණයක් බවත්, එහෙයින් නිසි බලධාරීන් මීට මැදිහත්ව වහා ඔවුනට සාධාරණයක් ඉටු කරන ලෙසත්ය.      

362384-sri-lanka-cricket-board-log

ක්‍රිකට් ලොක්කෝ ඩුබායි සෆාරි අරඹති සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :