චීනෙ ගියොත් මොබයිල් එකෙන් ගෙවන්න
( . . ) 2017-10-12 10:23:17
Comments - 0       Views - 892

Chaina

චීනයේ ආර්ථික දියුණුවත් සමග මුදල් නෝට්ටු සහ ක්‍රෙඩිට් කාඩ් භාවිතය ඉතා වේගයෙන් ඈත්වෙමින් තිබේ. වෙන කවරදාකවත් නොවූ තරමින් ජංගම දුරකථනය හරහා මුදල් ගෙවීමේ කටයුත්තට චීනය හුරු වී තිබෙන බව වෙළෙඳ පොළ විශේෂඥයන්ගේ මතයයි. ආපන ශාලාවකට ගියද, නිමි ඇඳුම් අලෙවි සැලකට ගියද වැඩි වශයෙන් දැකගත හැක්කේ තමන්ගේ ජංගම දුරකථනයේ 'QR' කේතයෙන් බිල් ගෙවන චීන ජාතිකයන්ය. එසේම තම වෙළෙඳ සැලේදී ජංගම දුරකථන හරහා මුදල් ගෙවිය හැකි බව දැක්වෙන කුඩා නාමපුවරු චීනයේ කුඩා නගරවලද දැකගත හැකිය. අනාගතයේදී සිඟමන් යදින්නන්ද මොබයිල් හරහා සිඟමන් ඉල්ලීමට ඉඩ ඇතැයි මේ දිනවල චීනයේ උපහාසාත්මක කතාවක් වී තිබේ. ඒ තරමට ජංගම දුරකථන හරහා මුදල් ගෙවීම් නැත්නම් 'මොබයිල් පේ' ජනප්‍රිය වී තිබේ. 

'Alipay' සහ 'WeChatpay' මේ වනවිට මොබයිල් ගෙවීම් වෙළෙඳ පොළේ ඉදිරියෙන්ම සිටියි. 'Alipay' මේ වනවිට එම වෙළෙඳ පොළෙන් සියයට 54ක් අත්පත් කරගෙන ඇති අතර, 'WeChatpay' සියයට 40ක් අත්පත් කරගෙන ඇත. 2016 දී චීනයේ සිදුවූ මොබයිල් ගනුදෙනුවල වටිනාකම ඩොලර් ට්‍රිලියන 05ක් ලෙස දැක්වෙයි. චීන ජාතිකයන් මේ වනවිට මොබයිල් ගෙවීම් සඳහා හොඳින් හුරු වී තිබීම නිසා ඔවුන් විදේශයන්හි සංචාරය කරන අවස්ථාවේදීද මොබයිල් හරහා ගෙවීම් කිරීමට උත්සාහ කරන බව වාර්තා වෙයි. මෙවර 'ගෝල්ඩන් වීක්' නිවාඩු සමයේදී විදේශගත වූ මිලියන 60ක් පමණ වන චීන ජාතිකයන් වැඩි දෙනෙකු තමන් සංචාරය කළ රටවලදී මොබයිල් ගෙවීම් සිදු කිරීමට හැකි දැයි විමසීම හරහා බොහෝ රටවල් මොබයිල් ගෙවීම් ගැන උනන්දුව වැඩි කර තිබේ. විශේෂයෙන් ජපානය සහ හොංකොං යන රටවල් තම රටවලට පැමිණි චීන සංචාරකයන්ගේ මේ උනන්දුව නිසා මොබයිල් ගෙවීම් වේගයෙන් ව්‍යාප්ත කිරීමේ අවශ්‍යතාව තේරුම් ගෙන සිටියි. මේ වනවිට ජපානයේ වෙළෙඳ සැල් 45000ක් පමණ 'Alipay' මාර්ගයෙන් ගෙවීම් කිරීමේ පහසුකම් සපයන්නට පටන්ගෙන තිබේ. 

චීනයේ සාම්ප්‍රදායික මූල්‍ය වෙළෙඳ පොළ අනෙක් දියුණු රටවල තරම් පරිගණකය සමග බද්ධ වී නැත. මේ නිසා දියුණුවේ එක් පියවරක් අත්හැර ඉදිරි පිම්මක් පැනීමට චීනයට හැකි වී තිබේ. ඒ අනුව ඉදිරි කාලයේදී එනම් 2021 වනවිට චීනයේ ඊ-ගනුදෙනු වටිනාකම යුවාන් ට්‍රිලියන 300 ඉක්ම වනු ඇතැයි හොංකොංහි සමීක්ෂණ ආයතනයක් වන 'CLSA'  ආයතනය පෙන්වා දෙයි. මේ වනවිට චීනයේ ජනප්‍රියම ටැක්සි සේවය වන ඩිඩි ටැක්සි සේවයද 'wechatpay' හරහා ගෙවීම් ලබාගනියි. අනෙක් අතින් චීනයේ බොහෝ සෙයින් ජනප්‍රිය කුලී බයිසිකල් සේවයද සම්පූර්ණයෙන්ම මොබයිල් ගෙවීම් හරහා ව්‍යාප්ත වී තිබේ. එහෙත් මොබයිල් ගෙවීම් හරහා සිදුවන එක් වැදගත් වාසියක් වන්නේ හොර නෝට්ටු සංසරණය සීමා වීමය. අනෙක් අතින් යමෙකු හරහා සංසරණය වන  මුදල් ප්‍රමාණය පහසුවෙන් දැන ගැනීමේ හැකියාවක් රජයට ලැබේ. මෙය කෙසේ පෞද්ගලිකත්වයට බලපාන්නේ දැයි යන්න ගැන යම් සංවාදයක්ද චීනයේ නිර්මාණය වී තිබේ. එහෙත් චීන ජාතිකයන් බහුතරයකට වැදගත් වන්නේ ඉක්මනින් තමන්ගේ කාර්යය කිරීමට ඇති අවස්ථාවය. 

මොබයිල් හරහා ගෙවීම් මේ වනවිට ශ්‍රී ලංකාවේද යම් ප්‍රමාණයකට ජනප්‍රිය වෙමින් තිබේ. එහෙත් එය තවමත් චීනය, ජපානය, හොංකොං වැනි රටවල ආකාරයෙන් දියත් වෙන්නේ නැත. එසේ කරන්නට හැකි නම්, එය ක්‍රෙඩිට් කාඩ් එකටත් වඩා වාසි වන්නේ වර්තමානයේ ඕනෑම අයෙකු කිසිදු අවස්ථාවක ජංගම දුරකථනය අමතක නොකරන නිසාය. එහෙත් චීනය තාක්ෂණය උපරිමයට ගෙන යමින් මේ කටයුතු සිදුකරයි. අප තාක්ෂණය යොදාගැනීම නොව භාවිතය අතින් සිටින්නේ බොහෝ පසුපසිනි. මේ නිසා අවන්හලකට ගොස් මොබයිල් ගෙවීම් සිදු කිරීම තවත් ටික කාලයක් බලා සිටින්නට සිදුවන කටයුත්තක් වීමටද පුළුවන. එහෙත් ඔබ චීනයේ සංචාරය කරන්නෙක් නම් ඉදිරියේදී මොබයිල් ගෙවීම් සඳහා සූදානම් වීමද අපතේ යන කාර්යයක් නොවනු ඇත.

චීනෙ ගියොත් මොබයිල් එකෙන් ගෙවන්න සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :