මහනුවර සහල්වල බැරලෝහ ආරක්‍ෂිත සීමාවන් තුළ තිබෙනවා
( ලාල් ජයසුන්දර ) 2017-10-12 10:21:20
Comments - 0       Views - 746

මේ විශ්ලේෂණය පිළිබඳ කෙටියෙන් පැහැදිලි කළොත්?

අප කන්නේ වසවිස යැයි මැසිවිල්ලක් හැමදාමත් ඇහෙනවා. එසේනම් අප කන සහල්වල එවැනි බැරලෝහ තත්ත්වයන් තිබේද යන්න පිළිබඳ පළමුව මහනුවර දිස්ත්‍රික්කය ඇසුරෙන් සෙවීමට ගතවූ මාස හයකට වැඩි කාලයක් තුළ කරන ලද උත්සාහයක අවසාන ප්‍රතිඵලයයි මේ.
 
Q එහිලා ඔබේ යාන්ත්‍රණය විස්තර කළොත්?
 
අප කළේ මහත් විවාදයට තුඩුදී ඇති බැරලෝහ සම්බන්ධයෙන් ඒ කියන්නෙ ආසනික්, කැඩ්මියම්, ඊයම්, මර්කරි සහ සෙලෙනියම් යන බැරලෝහ කෙතරම් ප්‍රමාණයක් අන්තර්ගතව තිබේ දැයි සහ ඒවා මෙරට වෙළෙඳ පොළ අලෙවි වන සහල් වර්ග අනුව පාවිච්චියට සුදුසු ප්‍රමාණයන්ගෙන් පවතින්නේද යන ප්‍රශ්නය වෙනුවෙන් විශ්ලේෂණය කිරීමයි.

Q බැරලෝහ සම්බන්ධයෙන් උපරිම සීමාවන් මේ වනවිට සම්මතයක් ලෙස පිළිගැනීමට ලක්වෙනවාද?

 01
මනුෂ්‍යයාට බලපාන විෂතාව පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ආහාර සංවිධානය මගින් උපරිම බැරලෝහ සීමා වාර්තා කර තිබෙනවා.

Q අඩංගු විය හැකි බැරලෝහ උපරිම ප්‍රමාණයන් විස්තර කළොත්?

 
ඒ අනුව අඩංගු විය හැකි උපරිම බැරලෝහ ප්‍රමාණය (PPM) මම විස්තර කරන්නම්.
ආසනික්                0.2 
කැඩ්මියම්              0.2 
ඊයම්                      0.2 
මර්කරි                   0.1 
සෙලෙනියම්           0.3
වශයෙන් විය යුතු යැයි ලෝකයේ පිළිගත් විද්වත් කමිටුවලින් තීරණය කර තිබෙනවා. එයින් උපරිම ප්‍රමාණයන් සහතික කර තිබෙනවා. නමුත් මෙතැනදී තවත් දෙයක් කිව යුතුයි. මේ බැරලෝහ වර්ග තමන්ගේ ශරීරය කෙරෙහි බලපෑම් කරන්නේ එකිනෙකාට අනුව වෙනස් ආකාරයෙන්. ඒ කියන්නේ තමන් ගන්නා ආහාර ප්‍රමාණය සහ වර්ග අනුව කියලා සරලව කියන්න පුළුවන්. එයට පරිබාහිර කරුණු තියෙන්නත් පුළුවන්. නමුත් මම කියන්නේ ආහාරය කියන සාධකය තුළයි.
ඒ නිසා මේ වනවිට මෙම මැනුම් අනුව යම් පුද්ගලයෙකුට සතියකට හෝ මාසයකට මෙපමණයි යන මිනුම් දණ්ඩෙන් ගණනය කෙරෙනවා. සාමාන්‍යයෙන් ලංකාවේ පුද්ගලයෙකු දිනකට හාල් ග්‍රෑම් 300ක් පමණ අනුභව කරනවා. එතැනදී එයට එකතු වන වෙනත් ආහාරපානවල අඩංගු වන බැරලෝහ ප්‍රමාණයන්ද සැලකිල්ලට ගත යුතුයි. ඒ අනුව ඒවායේ එකතුවද සමස්තයක් ලෙස ගත් විට එය විස පළඟනාවක් බවට පත් වන්නේ අඩංගු වන සහ තෝරාගන්නා ආහාරවේලේ අන්තර්ගතය අනුවයි.

Q ඒ කියන්නේ හාල් විතරක් නොවෙයි. එළවළු, පලා වර්ග, පලතුරුවල බැරලෝහ තියෙන්න පුළුවන් කියන අදහසක්ද ඔබ අවධාරණය කරන්නේ?

ඔව්. අපි ආහාර ද්‍රව්‍ය 247ක් ඇසුරෙන් කරන ලද පරීක්‍ෂණවලදී ජනතාව අතර භාවිත වන ගොටුකොළ, මුකුණුවැන්න, කංකුන් වැනි පලා වර්ගවල යම් ප්‍රමාණයකින් බැරලෝහ අඩංගු වන බව පෙනී ගියා. මේ තත්ත්වය සමහර විට අපේ අස්වැන්න පිටරට යැවීමේදී යුරෝපය වැනි රටවල ඉල්ලුම අහිමි වීමට බලපාන සාධකයක්. මොකද ඒ අය තමන්ගේ රටවලට ගෙන්වන ආහාරවල මේ බැරලෝහ ප්‍රමාණය පිළිබඳ දැඩි සැලකිල්ලක් දක්වනවා.

මෙහෙම වැඩි වෙන්නේ ඇයි?

 
සාමාන්‍යයෙන් අලෙවිය සඳහා මෙවැනි පලා වර්ග සිටුවන විට ඒවාට ඇති වන පළිබෝධ හානි වළක්වා ගැනීමට පළිබෝධ නාශක වර්ග භාවිත කිරීම සාමාන්‍ය දෙයක්. එතැනදී ඒ භාවිත කරන නාශක ද්‍රව්‍ය අනුව එය වගාවට යොදා අස්වැන්න නෙළා ගැනීමට දින හතරක්, සතියක්, දින දාහතරක් වශයෙන් කාලයක් ලබාදිය යුතුයි. එතෙක් ඒවා පාරිභෝජනයට ගැනීම සුදුසු නැහැ. නමුත් ව්‍යාපාරික මට්ටමේදී අද පළිබෝධ නාශක යොදා දවසකින් දෙකකින් ඒවා නෙළා ගන්නවා. එතැනයි මේ අර්බුදය මතු වන්නේ.

Q එතකොට එළවළු වර්ගවල?

 
ඒවායේ සාමාන්‍ය මට්ටමේ පවතිනවා. හානියක් නැහැ.
 

මේ මට්ටම නිරීක්‍ෂණය සඳහා භාවිත කරන ජාත්‍යන්තර සම්මත මිනුම් කුමක්ද? නිර්ණායක මොනවාද?

එතැනදී විවිධ ආකාරයේ මැනුම් ක්‍රම, නිර්ණායක තියෙනවා. ලෝකයේ බලවත් රටවල් ඒ ඇසුරෙන් ඒ රටවලට අවශ්‍ය ක්‍රම සහ ප්‍රතිශතයන් සකස්කර ගෙන තියනවා. අපි දැනට භාවිත කරන්නේ ජාත්‍යන්තර වශයෙන් ඉහළ මට්ටමක පවතින කොඩෙක්ස් (CODEX) කියන ක්‍රමයයි.

Q එතකොට පලතුරු භාවිතයේදී මේ තත්ත්වය කෙබෙඳුද?

දැනට හානිකර තත්ත්වයක් නැහැ. ඒවායේ බැරලෝහ අන්තර්ගත නැහැ.
 

එහෙම නම් කාබයිඩ් සහ වෙනත් දියර විසිරුම් ක්‍රම (ස්ප්‍රේ කිරීම) ගැන ජනතාව අතර බියක් තියෙන්නේ ඇයි?

 
මෙහෙමයි. මම කාටත් තේරෙන්න සරලව පැහැදිලි කරන්නම්. කාබයිඩ් ගත්තොත් එය පොළොවෙන් ලබාගන්නා දෙයක්. එය ජලය සමග මුසුවීමේදී යම් වාෂ්පයක් නිකුත් වෙනවා. එතැනින් නිකුත් වන එතලීන් වායුව නිසා පලතුරු ඉඳෙනවා. නමුත් එහි ඉතිරි වන යම් අවශේෂ කුඩු වර්ගයක් තිබෙනවා. එහි 'මර්කරි' සහ 'ලෙඩ්' ඒ කියන්නෙ රසදිය සහ ඊයම් තිබෙනවා. එතැනදීයි හානිකර වෙන්නේ. ඒවා පලතුරු ලෙල්ල මත දැවටෙන්න හොඳ නැහැ.

ඒ තත්ත්වය වළක්වාගත නොහැකිද?

පුළුවන්. කාබයිඩ් දියකර කෙළින්ම පලතුරුවලට ඉසීම වැරදියි. ඒවා පලතුරු සමග ගැටෙන පරිදි නිරාවරණය කර තැබීම වැරදියි. වැඩි ප්‍රමාණයක් තිබුණොත් හානි කරයි. ඇතැම් අවස්ථාවල පලතුරු පෙට්ටි පුපුරනවා කියන්නේ මේ කාබයිඩ් ප්‍රමාණය වැඩිවූ නිසයි. කළ යුතු දේ පත්තර කැබැල්ලක කාබයිඩ් ස්වල්පයක් ඔතා එය පලතුරු ගොඩේ පසෙක තැබීමයි. කිසිම දෙ‍යක් ස්ප්‍රේ නොකර පසෙක තැබිය යුතුයි.
 
මේ  තාක්‍ෂණයේ වරද හෝ යොදා ගන්නා දේ පිළිබඳ වරද නෙවෙයි. භාවිත කරන ක්‍රමවල වැරදි පිළිවෙත් නිසයි මේ අවදානම ඇතිවන්නේ. එතැනදී ව්‍යාපාරිකයා තමන්ට මුදල් උපයා දෙන ජනතාවගේ යහපත වෙනුවෙන් පවතින ආරක්‍ෂිත ක්‍රම භාවිතය පිළිබඳ උනන්දු වීම සදාචාර සම්පන් වීම වැදගත්. ඒත් මම කියන්නෙ නැහැ, මේ දේ භාවිත කරන්න කියලා. ස්වාභාවික ක්‍රම පිළිබඳ අවධානය දැඩි ලෙස යොමු කිරීම තමන්ගේ නිෂ්පාදනවලට හොඳ මිලක්, අලෙවියක්, ඉල්ලුමක් ලබාගැනීමට අනුබලයක්. මම ඔබේ ප්‍රශ්නය පැහැදිලි කළා පමණයි.

Q වෙළෙඳ පොළ අලෙවි වන මස්මාළු, පලතුරු පිළිබඳ තවදුරටත් අධ්‍යයනයක යෙදෙනවාද?

ඔව්. අපි ඉදිරි කාලය තුළ මේ විශ්ලේෂණයන් ජනතාවගේ දෛනික පාරිභෝජන ආහාර ද්‍රව්‍ය සහ සුවිශේෂී වෙනත් කාරක සම්බන්ධයෙන් සොයා බලනවා.
 

එතකොට පෙළොව සහ ජලය සමග පළිබෝධ නාශකයන් අතර පවතින ගැටුම ගැන ගන්නා පියවර කුමක්ද?

කඳුරටින් රජරටට ගලාගෙන යන ජලයේ බැරලෝහ අඩංගු වී අතරමගදී ඒවා තවතවත් වර්ධනය වී වකුගඩු රෝගයට අනුබලයක් වන පසුබිමක් ගැන කතා කරනවානෙ. දැන් අපි මේ දිනවල උත්සාහ කරන්නේ කඳුකරයේ ජලමූලාශ්‍ර ආරම්භ කරන තැන සිට තැනින් තැන තෝරාගත් ස්ථාන ජලාශ, ඇළදොළ, අමුණු හරහා ජල සාම්පල්, පස් සාම්පල් ආදී හැම දෙයක්ම ලබාගෙන රජරට දක්වා මේ ගමන යන්න. වියදම අධිකයි. නමුත් එය පමා කළ නොහැකියි.
 

අනතුරුව මහනුවර ප්‍රදේශයට අදාළ සහල් සාම්පල් විශ්ලේෂණය බාරව කටයුතු කළ පර්යේෂණ නිලධාරිනී චම්පා මාගමගේ මහත්මිය සිය ක්‍රමවේදය මෙලෙස විස්තර කළාය.

අපේ විශ්ලේෂණය සඳහා වැඩි ජනගහනයක් ජීවත් වන මහනුවර ගඟ අවට කෝරළය, යටිනුවර, උඩුනුවර, උඩපළාත සහ පාතදුම්බර යන නගර ආශ්‍රිත ප්‍රදේශවල සහල් සාම්පල් ලබාගැනීමට වැඩි අවධානයක් යොමුකළා. සුපිරි වෙළෙඳ සැල සිට විවිධ වෙළෙඳ ආයතන මගින් මෙම සාම්පල රැස්කර ගත්තා. එයින් පසු ඒවා ප්‍රධාන අංශ හතරකට වෙන්කළා.
පළමු වැන්න වෙළෙඳ නාමය අනුවත්, දෙවැන්න අපනයනය කරන ලද සහල් වර්ග අතරින්ද, තෙවැනුව දේශීය වගා කරන සහල් වර්ග සහ සිවුවැනුව මහනුවර ප්‍රදේශයේ වගා කරන සහල් යනුවෙන් ඒවා අප වර්ග කළා. 
දේශීය වර්ගයේ සහල් නිෂ්පාදනයන් රැස්කර ගත්තේ මිනිපේ, උඩදුම්බර, මැදදුම්බර, පාතදුම්බර, උඩුනුවර සහ පාතහේවාහැට ප්‍රදේශවලින්. විශේෂයෙන්ම 'බීජී-403' යන 
වී වර්ගය වැඩි වශයෙන් වගා කර ඇති බව මෙම ප්‍රදේශවලදී අප දුටුවා.  හීනටි, කුරුළුතුඩු, සුවදැල් වැනි වර්ගවල දේශීය වර්ගයේ සහල් අපගේ විශ්ලේෂණයට යොදා ගත්තා.

Q මේ සහල් සාම්පල විශ්ලේෂණය කළේ කොහේදීද?

එය අපේ පළිබෝධ නාශක රෙජිස්ට්‍රාර් කාර්යාලයේ රසයනාගාරයේදී සිදුකළා.

එය සිදුකළ ආකරය පැහැදිලි කළොත්?

එය අපේ රසායනාගාරයේදී බැරලෝහ විශ්ලේෂණය කළා. එය ගත වූ කාලයේ මෙරටට ආනයනය කරන ලද නවීන තාක්‍ෂණයෙන් යුතු යන්ත්‍රයක්. අපේ මෙම රසායනාගාරය බැරලෝහ විශ්ලේෂණය සඳහා %ISO/IEC 17025^ ප්‍රමිතිකරණය ලබාගෙන තිබෙනවා. මෙම යන්ත්‍රයේ වටිනාකම රුපියල් ලක්‍ෂ තුන්සියපනහකට වැඩියි.
 
එහිදී පළමුව සහල් සාම්පල අයන ඉවත් කරන ලද වතුර (de-onized water) යොදා වියළා, කුඩුකර ගන්නවා. ග්‍රෑම් 0.2ක ප්‍රමාණයක නයිට්‍රජන් හයිඩ්‍රකොලෝරික් ඇසිඩ් හා හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් යොදා %Micro wave digestive^ ආධාරයෙන් ජීරණය (digest)  කළා. මෙසේ පිළියෙල කළ සාම්පල 'CP-MS' (inductive Coupled Plasma Mass Spectrometer) මගින් විශ්ලේශණය කළා.

Q මෙයින් ලැබුණු ප්‍රතිඵල පැහැදිලි කළොත්?

පුද්ගලයෙකුගේ ශරීර බරෙන් කිලෝග්‍රෑම් එකක් සඳහා දැරිය හැකි බැරලෝහ ප්‍රමාණය සැලකීමේදී මෙම අගය ඉක්ම නොයන, එනම් ශරීරයට අහිතකර නොවන ප්‍රමාණය අනුව ප්‍රතිඵලය පහත පරිදි දැක්විය හැකියි.
ඒවා මෙරට වෙළෙඳ පොළ දේශීය සහ ආනයනික සහල් වශයෙන් තවදුරටත් මතු පරිදි දැක්විය හැකියි.
දේශීය සහල්වල - ඊයම් Pb          46%
ආනයනික සහල්වල                             43%
දේශීය සහල්වල  -  කැඩ්මියම්  Cd          30%
ආනයනික සහල්වල                             26%
දේශීය සහල්වල -මර්කරි Hg               .05%
ආනයනික සහල්වල                             20%
දේශීය සහල්වල- සෙලෙනියම් Se        .05%
ආනයනික සහල්වල                             47% 
 
යනුවෙන් ලද ප්‍රතිඵලය දක්වන්න පුළුවන්. මේ නිසා වෙළෙඳ පොළ පවතින සහල්වල බැරලෝහ සම්මත ප්‍රමාණයන් අනුව හානි කර මට්ටමකින් නොමැති බව පැහැදිලියි. සමස්තයක් ලෙස අහිතකර නොවන සහල් සාම්පල ප්‍රතිශතය පහත පරිදි සියලුම සහල් සාම්පල් අතරින් දක්වන්න පුළුවන්.
 
බැරලෝහ                       අහිතකර නොවන සහල් සාම්පල ප්‍රතිශතය
ආසනික් As                                 98.53%
කැඩ්මියම්  Cd                              98.53%
සෙලෙනියම් Se                            98.5%
මර්කරි Hg                                   98.53%
ඊයම් Pb                                       82.36%
තවදුරටත් සහල් සාම්පලවල අඩංගු බැරලෝහවල සාමාන්‍ය අගය සැලකීමේදී ආනයනික සහල් සාම්පලවල නිර්ණය කරන ලද %Sc^ ප්‍රමාණය (සාමාන්‍ය) හා දේශීය සහල්වල නිර්ණය කරන ලද  ඊයම් %Pb^ ප්‍රමාණය හැර අනෙකුත් සියලුම සහල් වර්ගවල අඩංගු බැරලෝහ ප්‍රමාණයන් ආරක්‍ෂිත සීමාවන් තුළ තිබෙනවා.
 

තවදුරටත් කරුණු පැහැදිලි කළ පළිබෝධ නාශක රෙජිස්ට්‍රාර් ආචාර්ය සුමිත් ජයකොඩි මහතා,

 “මෙතැනදී අවධාරණය කළ යුතුයි අපේ රසායනාගාර පරීක්‍ෂණ වාර්තා සහ ඒවායේ භාවිත වන යෙදුම්, මැනුම් අනුව මේ වාර්තාවන් තුළ දත්ත විස්තර දැක්වීමේදී සහ විස්තර කිරීමේදී පවතින ප්‍රායෝගික අපහසුතාවන් අනුව ජනතාවට මාධ්‍ය හරහා මූලික අවබෝධයක් ලබාදීම වෙනුවෙන් වැදගත් විය හැකි යැයි සිතෙන මෙවැනි දත්ත සහ තොරතුරු පමණක් සඳහන් කළා. වැඩිමනත් හැදෑරීමට කැමැති අයට මෙය මූලික අවධානයට යොමු කරවීමක් වෙනවා.
ඒ නිසා අවසාන වශයෙන් අප නිගමනය කළේ මහනුවර දිස්ත්‍රික්කයෙන් ලබාගන්නා ලද සහල් සාම්පලවල බැරලෝහ ආරක්‍ෂිත සීමාවන් තුළ පවතින බවයි* යැයි සඳහන් කළේය.
මහනුවර සහල්වල බැරලෝහ ආරක්‍ෂිත සීමාවන් තුළ තිබෙනවා සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :