කියන කොට එහෙමයි, කරන කොට මෙහෙමයි
( ලාල් ජයසුන්දර ) 2017-10-12 09:57:26
Comments - 0       Views - 376

රජය ජාතික ආහාර සංග්‍රාමයක් ප්‍රකාශයට පත් කළේය. ඒ අනුව වගා නොකර අත්හැර දමන ලද ඉඩම් වෙනත් අයට පවරාදීමට හැකිවන පරිදි නීති පැනවීමට රජය කටයුතු කරන්නේ යැයි ජනාධිපතිවරයා සහ අදාළ ඇමතිවරයා ගත වූ 06 වැනිදා පැවැති ජාතික ගොවි උලෙළ අමතා අනාවරණය කළේය.

වගා නොකරන ලද ඉඩම් යම් ආර්ථික ප්‍රතිලාභයක් සඳහා වන ක්‍රමවේදයක් සඳහා යොදාගැනීම අගය කළ යුතු කරුණකි. මන්ද රටේ වර්ධනය වන ජනගහනයත් දෛනිකව ඉහළ යන පාරිභෝජන අවශ්‍යතාව සැලකීමේදී ආහාර අර්බුදය වෙනුවෙන් ප්‍රබල අවදානමක් ජනතාව තුළ පවතින හෙයිනි.

අක්කර එක්ලක්ෂ තිස්දහසක් මෙසේ වගා නොකර අත්හැර දමා ඇතැයි රජය පවසයි. එහෙත් ඒවායෙන් යම් ආදායමක් ලබාගැනීමට පියවර ගත්තේ නම් මේ වනවිට රට තුළ පවතින ඇතැම් ආහාර ද්‍රව්‍ය හිඟයට යම් පිළිසරණක් වනු නොඅනුමානය.
ගත වූ හැත්තෑව දශකයේ සිරිමා තුන් හවුල ආණ්ඩුව සමයේ විදේශයන්ගෙන් ආහාර ද්‍රව්‍ය ගෙනඒම තහනම් කළේය. සහල්, මුංඇට, පරිප්පු ආනයනය තහනම් විය. දේශීයත්වය නමින් රෙදිපිළි පවා මෙරට අත්යන්ත්‍ර පේෂ කර්මාන්තය හරහා නව දිශානතියකට යොමු විය. එහෙත් අවසානයේ තුන් හවුල ජනතාවගේ ආණ්ඩුව බඩට ගැහුවා යනුවෙන් අරගල කළ ජනතාව 77 මහ මැතිවරණයේදී සිරිමා ඇන්.ඇම්. ආණ්ඩුව අටකට බස්සවා ගෙදර යැව්වෝය.

ජනතාව අලුත් අරමුණක් කරා යොමු කරවීම අපහසුය. ආරම්භක අවස්ථාවේ එහිලා ජනතාවගේ පැත්තෙන් එල්ල වන චෝදනා බහුලය. හොඳ දේත් විවේචනය කරන, නරක දේ වැඩි වැඩියෙන් හුවා දක්වන විපක්ෂයක් හැමදාමත් මෙරට ආණ්ඩුවට එරෙහි පැත්තේ සිට රට සංවර්ධනයට නොව විනාශයට ගෙනයන තැනට උගුල් ඇටවී යැයි එවැනි සිදුවීම් පෙළ ගසන ජනතාව සිහිපත් කරති.

dabulla 02

නමුත් මේ එවැනි අර්බුදයක් නොවිය හැකිය. එහෙත් එදා දියත් කළ වගා සංග්‍රමය සහ දේශීය නිෂ්පාදන දිරිගැන්වීමේ ක්‍රමය යම් තරමකට හෝ ඉදිරියට පවත්වාගෙන ආවේ නම් පොල්ගෙඩිය, හාල් සේරුව මෙතරම්   ඉහළ නොයනු ඇත.
 තේ, පොල්, රබර් යනු මෙරටින් විදෙස් වෙත යවන ලද ආර්ථික භෝග වශයෙන් ප්‍රසිද්ධියට පත්ව තිබිණි. එහෙත් අදටත් පොල්ගෙඩිය රුපියල් සියයක් නම් තේකුඩු කිලෝව රුපියල් දහසක් නම් හාල් සේරුව රුපියල් සියය ඉක්මවා ඇත්නම් ජනතාව කතා කරන ආර්ථික භෝග අපනයනය යන්න එක් ප්‍රලාපයක් පමණකැයි පාරිභෝගිකයන් පවසන දේ බැහැර කළ නොහැකිය.

නමුත් වගා කර නොමැති ඉඩම් පවරාගනිමින් හෝ රට තුළ ආහාර සංග්‍රාමයට අවශ්‍ය වන උත්සාහය යථාර්ථයක් කරගැනීමට නම් රජය එහිලා පවතින අභියෝග වටහාගෙන තිබේද යන්න ජනතාවගේ පැත්තෙන් ප්‍රශ්නයකි.
වනසතුන් නිසා සිදුවන හානි මෙරට වගා ක්ෂේත්‍රයට එල්ල වී ඇති ප්‍රබලම තර්ජනයකි. වනඅලි හෝ රිළවුන්, ඌරන් නැතහොත් ඉත්තෑවන් මෙන්ම ගිරවුන් වැනි පක්ෂීන්ගෙන් සිදුවන හානිය ගොවියාට වළක්වාගත නොහැකි තරම් අභියෝගයකි. සතුන් මරා දැමීම ආගම අනුව පාපයකි. නීතිය අනුව වරදකි. එහෙත් සතුන්ගෙන් බේරාගැනීමට නොහැකි නම් ඒ වගාව කරනවාට වඩා අත්හැර දමන එක හොඳයි යනුවෙන් ඉඩම් හිමියන් පවසන දේ රජයට ඇසිය යුතුය. අමාත්‍ය එස්.බී. ගත වූ කැබිනට් හමුවේදී ප්‍රකාශ කර ඇත්තේ වනසතුන්ගේ උවදුර නිසා 20% ක් වගා හානි සිදුවන කතාවකි.

නීතිය පැත්තෙන් යම් පිළිසරණක් හෝ අනුබලයක් වගාකරුවන්ට ලැබිය යුතු යැයි ඔවුන් පෙන්වා දෙන්නේ මෙම හේතු නිසා නම් එය රජය බාරගතයුතු අභියෝගයකි. පරිසරවේදීන් සත්ත්ව හිංසනය ගැන කතා කළද ගොවියාගේ වගාවට සිදුවන අලාභයන් ගැන විසඳුම් නොදෙන්නේ ඇයිදැයි ගොවියා අසන පැනය අසාධාරණ නැත. සැබැවින්ම රජය වගා සංග්‍රාමයක් ප්‍රසිද්ධියට පත් කළද වනසතුන්ගෙන් වන හානිය වැළැක්වීම සම්බන්ධයෙන් වගාකරුවා දිරිගැන්වීමට එම  අර්බුදයට අදාළව ගෙන ඇති පියවර කුමක්ද? 
රසායනික ද්‍රව්‍ය භාවිතය පිළිබඳ අර්බුදය රට තුළ තවත් අභියෝගයක් බවට පත්ව ඇත. පළිබෝධකාරකයන් හේතුවෙන් වගාවට සිදුවන හානිය ජනතාව පවසන්නේ කොයි දේ හිටවූවත් බෙහෙත් ටිකක් ගහන්ට ඕනෑ  යනුවෙනි. (පළිබෝධ නාශකයන්ට බෙහෙත් හෝ  තෙල් යනුවෙන් වැඩි වටිනාකමක් ලබා දුන්නේද එම සමාගම්කරුවන් සහ නිලධාරීන් සමග එක්වූ වෙළෙන්දන් බව අමතක නොකළ යුතුය. එහෙත් හැම පළිබෝධ නාශකයක්ම විස කාරකයකි.)

කෘෂිකර්ම මහත්වරු සහ කඩේ බෙහෙත් තෙල් වෙළෙන්දන් පුරුදු කළ දේ නැතිව බැරි තත්ත්වයක් යැයි  සම්ප්‍රදායික ගොවියෝ පවසති. එසේ නම් එක පසෙකින් පළිබෝධ නාශක නැතිව කරලක්, ගෙඩියක් මලෙන් එළියට එන්නේ නැතිනම් අතින් පාඩු විඳීමට වගා කළ යුතුදැයි ගොවියන් ආණ්ඩුවෙන් ඇසීමේ වරදක් නැත. අලෙවිය සහ වෙළෙඳ පොළ හමුවේ වගාවට යොදවන මුදල ලාභයක් නැතැයි යන මැසිවිල්ල ජනතාව තුළ ඇත. විශේෂයෙන්ම කම්කරු ශ්‍රමය පොහොර සමග හාල් කිලෝවක් නිෂ්පාදනය සඳහා රුපියල් සියයකට වැඩියෙන් වැය වෙතැයි ගොවියෝ පවසති. එහෙත් වෙළෙඳ පොළෙන්ද ඒ මිලට සහල් ලබාගත හැකි නම් දුක් විඳින්නේ ඇයිද යනුවෙන් ඔවුහු විමසති. එහිලා තර්ක ගණනාවක් තිබිය හැකිය. එහෙත් එය ඉඩම් හිමියාගේ කැමැත්ත නම් එයට එරෙහි වීමට රජයට ඇති හැකියාව තවත් අතුරු පැනයකි.

Picture 348

වියදම් කොට වගා කළද බී ලූනු, ගෝවා, තක්කාලි අස්වනු නෙළන කාලයේ කුණු කොල්ලයටවත් විකුණාගත නොහැකිව ගෝනි ගණනින් කසළ ගොඩට විසි කරන අවස්ථාවක, ඒ පාපකර්මයටම අපත් සම්මාදන් වීමට වගා කළ යුතුද යන තර්කය ඇතැමෙකුට තිබේ. 
ශ්‍රමය සපයාගැනීමට ඇති අපහසුතාවද ඒ සඳහා වැය කළ යුතු අධික මුදලද නූතන යාන්ත්‍රික උපකරණ පහසුවෙන් සපයාගැනීමට ඇති නොහැකියාව සම්බන්ධයෙන් ක්‍රමවත් වැඩපිළිවෙළක අවශ්‍යතාවද ඇතැමෙක් පෙන්වා දෙති.
ජලය නොමැති නිසා වගාවෙන් ඉවත්ව ඇති ඉඩම් හිමියන් බහුලය. මෙම වසර ආරම්භයේ කෘෂිකර්ම ඇමතිවරයා විසින් ඉදිරියේ ඇති විය හැකි කාලගුණික වෙනස්කම් සලකා වී වගාව අඩුවෙන් කරන ලෙස සහ ඒ වෙනුවට වෙනත් භෝග වර්ගයන්ට යොමුවන ලෙස ඉල්ලීමක් කළේය. එනිසා ජල මූලාශ්‍ර හෝ ජලය ලබාගත හැකි ක්‍රමවේද නොමැතිව කිසිදු භෝගයක් වගා කළ නොහැකි බව ආණ්ඩුව සිතිය යුතුය. එසේ නොමැතිව ජලය නැති නිසා වගා කළ නොහැකි ඉඩම් රජයට පවරාගැනීමට නීති හැදීම තවත් හාස්‍ය දනවන කතාවක් මෙන්ම ආණ්ඩුවට එරෙහි තවත් වීදි අරගලයකට මුල පිරීමක්ද වනු ඇතැයි ජනතාව පෙන්වා දෙති.

නොසලකා අත්හැර දමා ඇති රජයේ ඉඩම්ද වගාවට යොදාගත යුතු බව ජනාධිපතිවරයා අවධානය යොමු කිරීම වැදගත්ය. එහෙත් එම වගාවට යෙදීමට සිදුවන්නේද ජල සම්පාදන මණ්ඩලයේ වතුර මීටරය යටතේ රුපියල් පනහක් එක් ලීටරයකට වැය වන පිරිසුදු කළ ජලය නම් ඇති වන තත්ත්වය කෙබඳු විය හැකිදැයි ආයතන නිලධාරිහු විමසති. ඒ බිල්පතත් පොදු ජනතාවගේ කරපිට පැටවෙන තවත් මරාලයක්දැයි ඔවුහු විමසති.

ඇතැමෙකුට වගාවට හිත ඇතත් එහිලා අවශ්‍ය මූල්‍ය අගහිඟය බාධකයකි. මූලික බිම් සැකසීම, ආරක්ෂිත වැට ඉදිකිරීම සහ එහිලා අවශ්‍ය ද්‍රව්‍ය සපයාගැනීම, බීජ පොහොර වර්ග සපයාගැනීම වැනි කරුණු සැලකීමේදී අක්කර කාලක් භාගයක් ඇතත්, එය සංවර්ධනය කරගැනීමේ අපහසුව ඔවුහු පෙන්වා දෙති. රජය පොලී රහිත ණය ක්‍රම ඇසුරෙන් වගාකරුවන් දිරිමත් කිරීමට බැංකු හෝ මූල්‍ය ආයතන සම්බන්ධ කරදෙන්නේ නම් එය අනගි පිළියමක් වනු ඇත.

රජයේ සහනාධාර වැඩසටහන් යටතේ විවිධ භෝගයන් වෙනුවෙන් දිරිගැන්වීම යහපත් මැදිහත්වීමකි. එහෙත් ඇතැමුන්ට තමන් භුක්ති විඳින දේපොළ සම්බන්ධයෙන් පවතින නෛතික අර්බුද පහසුවෙන් විසඳාගත හැකි ක්‍රමවේද කෙරෙහි එවැනි ඉඩම් හිමියෝ සහනයක් අපේක්ෂා කරති. අඩුම තරමින් වගා කිරීම සඳහා පමණක් අවසර පත්‍රයක් හෝ එවැනි ඉඩම් සඳහා තාවකාලික පදනමක් යටතේ සපයාදෙන්නේ නම් එය ඵලදායී පියවරක් වනු ඇතැයි එම ඉඩම් භුක්ති විඳින්නෝ පවසති.

කුඹුරු ඉඩම් ගොඩ කරගැනීමේ යටි අරමුණ ඇතිව කුඹුරු ඉඩම් අත්හැර දමා ඇති පිරිසක්ද මේ අතර ඇතැයි නිලධාරීහු පෙන්වා දෙති. නොහැකියාව සම්බන්ධයෙන් විවිධ කරුණු දක්වමින් වගා කළ හැකි කුඹුරුද පුරන් වීමට ඉඩ හැර ඇති අතර, ඇතැමුන් යම් රාජ්‍ය නිලධාරීන් සමග සිදු කරන දූෂිත ගනුදෙනු මගින් ඒවා ගොඩ කරගැනීමට බලපත් ලබාගෙන ඇතැයිද තවකෙක් පෙන්වා දෙති. රජය මෙහිලා සියුම් හැදෑරීමක් කළ යුතු බව දැනට කුඹුරු වගා කරන ගොවියන් පෙන්වා දෙන්නේ මේ නිසා තමන්ගේ කඹුරුවලට නිසි ජල සැපයුමක් හෝ ජලය බැසයාම පවත්වාගත නොහැකි තරමට ඉදිවන ගොඩනැගිලි බාධකයක් වී ඇති හෙයිනි. අසල්වැසියන් සමග ආරවුල් ඇති වී  උසාවි යාමට ඇති අකමැත්ත හේතුවෙන් නිහඬව සිටීම මැනවයි ඔවුහු පවසති. එහෙත්  නිලධාරීන් විසින් මේ සම්බන්ධයෙන් සොයාබැලීමේ වගකීමද ජනතාව අවධාරණය කරති.

P1020382

ආහාර අර්බුදයක් හෝ ජන ජීවිතය අවුල්වන තැනට රට තුළ යම් දේශපාලන රැල්ලක් නිර්මාණය වනවිට විවිධ වගා සංග්‍රාම, ආහාර සුරක්ෂිතභාවය, සාගිනි නිවීමේ වැඩසටහන් ආරම්භ කිරීමේ දේශපාලන උපක්‍රම ගැන කතා අද පමණක් නොව ගත වූ දශක පහක් තිස්සේම ජනතාවට හුරුපුරුදුය. එහෙත් අදටත් ගොවියාගේ නිෂ්පාදනය අලෙවි කරගැනීමට පැහැදිලි ප්‍රතිපත්තියක් හෝ ආයතනයක් නැත. ඒවා මිලදී ගැනීමට තබා මිල ගත් පසු ගබඩා කිරීමට ආයතනයක්ද නැත. වී වගාව මිනිසාගේ කුසගින්න නිවීම වෙනුවට බේබද්දන්ට බියර්, වයින් නිෂ්පාදනයට යැයි ජනතාව චෝදනා කරති. හාල් මිල මෙතරම් ඉහළ ගියේද එනිසා යැයි තවත් මැසිවිල්ලකි.

'වැඩියෙන් වගා කරනු' යැයි කෘෂිකර්ම අමාත්‍යවරයා ප්‍රකාශ කරන විට අපේ නිෂ්පාදන අලෙවි කරන්නේ කාටදැයි ඔහු පවසා නැතැයි ගොවියා තර්ක කරති. අපට ඇත්තේ අස්වනු ඉලක්කය වර්ධනය මිස වෙළෙඳ පොළ සපයා දීම නොවන බව කෘෂි නිලධාරීහු පවසති.
ඒ අතර නිෂ්පාදනය කරන ලද ආහාර, පලතුරු වර්ග කෙතරම් ප්‍රමාණයක් වාර්ෂිකව විනාශයට පත් වන්නේදැයි යන්න අමුතුවෙන් විස්තර කළ යුතු නැත. ඇතැම් ඒවා නිසි කල් පිරීමට පෙර ළපටි කාලයේදීම නෙළා වෙළෙඳ පොළට එවති. තවත් ඒවා අලෙවි කරගත නොහැකි නිසා නරක් වී කුණු ගොඩට දමති. එළවළු ප්‍රවාහනයේදී ප්ලාස්ටික් ඇසුරුම් භාවිත කරන්නැයි රජය ගෙනා නීතියද සතියකට, දෙකකට සීමා විය. ජනතා විරෝධය සහ ආණ්ඩු වෙනස්වීමත් සමග එයද යටපත් වී යැයි වගාකරුවෝ පිළිතුරු සපයති.
නව රජය යටතේද ආහාර සුරක්ෂිතභාවය වෙනුවෙන් ඇමතිවරයෙකු පත් කෙරිණි. එහෙත් ඇමති මණ්ඩල සංශෝධන යටතේ ඔහු වෙනත් ඇමති ධුරයකට පත්වීමත් සමග ආහාර සුරක්ෂිතභාවය පිළිබඳ ආණ්ඩුව සැලසුම් කළ යෝජනා සහ ගතකළ කාලයද කුණු ගොඩට විසිවුණේදැයි ජනතාව අසති.

ගත වූ කාලයේ කඳුකරය සහ වෙනත් ප්‍රදේශවලද දොවාගත් කිරි අලෙවි කරගැනීමට හෝ ගබඩා පහසුකම් නොමැති නිසා ඇළදොළ, ගංගා අපවිත්‍ර කරමින්  දියකර දැමූ අයුරු කුසගින්නට සුසුම්ලන මිනිස්සු මවිතයෙන් බලා සිටියෝය. අදටත් එවැනි අර්බුද හමුවේ රජය ගන්නා පියවර ඇසුණේ නැත. 

ආණ්ඩුව පනවන නීති හෝ කොන්දේසි සාර්ථකව ක්‍රියාත්මක වන්නේදැයි සොයා බැලීමට නොහැකි තරමට රටේ පරිපාලන යාන්ත්‍රණය පිරිහී පවතින්නේ නම් තව තවත් නීති පනවා අපිත් රටේ වගා සංග්‍රාමයක් කළා හෝ ආහාර හිඟයට පිළියම් යෙදුවා යැයි නඟන හඬ වැඩි දිනක් නොගොස් රට පුරා පුස්සක් බවට පත් විය හැකි බවට ජනතාව අනුමාන කරති.

රජය මැදිහත් වීමෙන් මෙම අර්බුදයට විසඳුමක් ලබානොදී කොතැන මොනවා වගා කළත් ඵලක් වේ දැයි ගොවියෝ විමසති. ආණ්ඩුවේ කෙතරම් හොඳ යෝජනාවක් වුවද ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට නම් එහිලා පවතින අභියෝග රජය වටහාගෙන තිබේද යනුවෙන් නැවත නැවතත් ගොවියා විමසන ප්‍රශ්නය නව වගා සංග්‍රාමය ආරම්භ කිරීමට සහ ඉඩම් පවරාගැනීමට පෙර රජය සිතිය යුතු කරුණකි.

එසේ නොවන්නේ නම් හැමදාමත්, හැමදේම සිදු වූ පරිදිම %කියන කොට එහෙමයි, කරන කොට මෙහෙමයි^ යනුවෙන් නූතනයේ තවත් එක් සුදු හකුරු හැදූ කතාවක් බවට පත් වනු ඇත. 

 

කියන කොට එහෙමයි, කරන කොට මෙහෙමයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :