පාලකයන්ට නොතේරෙන ජනතාවගේ කුසගින්නේ තරම
( ඉන්දික හේවාවිතාරණ ) 2017-10-11 09:50:48
Comments - 0       Views - 353

කිසිවක් කරකියාගත නොහැකි ජනතාව තම පණකෙන්ද රැකගැනීම සඳහා ලුණුයි බතුයි හෝ පොලුයි බතුයි කන බව ජනවහරේ සඳහන් වේ. අතීතයේදී මෙවැනි කතාවක් නිර්මාණයවී තිබෙන්නේ ජනතාවගේ කුස පුරවා ගැනීමට අඩු මුදලකට ලබාගත හැකි භාණ්ඩ අතර සහල් පොල් සහ ලුණු යන ද්‍රව්‍ය තිබීම නිසාය. එහෙත් වර්තමානය වනවිට ලුණු, පොල් හා සහල්වල මිල සුපිරි භාණ්ඩයක මිල හා සමාන වෙමින් තිබේ.


DSC_6870

අද දවස වනවිට සහල් කිලෝවක මිල රුපියල් 100 ඉක්මවා ගොස් ඇත. පොල් ගෙඩියක මිල රුපියල් 90 ඉක්මවා ගොස් ඇත. ලුණු කිලෝවක මිලත් රුපියල් 100 ඉක්මවා ගොස්  තිබේ.
දුරු තුනපහ, එළවළු, කරවල, උම්බලකඩ, අර්තාපල්, මිරිස්, ලොකු ලූනු, රතු ලූනු, ටින් මාළු, පරිප්පු, කඩල, පාන්පිටි, සීනි, පොල්තෙල් වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ හා සාමාන්‍යයෙන් ජනතාව භාවිත කරන සබන්, පවුඩර්, ෂැම්පු, ටොෆි, චොකලට්, කිරි, බිත්තර ආදී ද්‍රව්‍යවල මිල පවා ඉතා විශාල ලෙස ඉහළ ගොස් ඇත.

මේ නිසා අද දවස වනවිට තුන්වේල කා ඇඳ පැලඳ සිටින්නේ සීමිතවූ ජන කොට්ඨාසයක් පමණි.
බහුතරයක් ලෙස ගත් කල බොහෝ ජනතාව උදෑසන අවදිවූ පසු උදේ ආහාර ගැනීමෙන් පසු දහවල් ආහාරය සකස් කරගන්නේ කෙසේද යන්න දහ අතේ කල්පනා කරති. දහවල් කුමක් හෝ ආහාරයක් ගත් පසු රාත්‍රි‘යේ බඩ පුරවා ගන්නේ කෙසේද යන්නත්, රාත්‍රි‘යේ කුමන හෝ ද්‍රව්‍යයකින් බඩකට පුරවාගත් පසු උදේ ආහාරය ගන්නේ කෙසේද යන්නත් ජනතාව කල්පනා කරති.
කෑම බීමවලට අමතරව නිවාසයක් සකස් කර ගැනීම, තමන්ට කියා වාහනයක් ගැනීම, දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීම දරුවන්ගේ සතුට වෙනුවෙන් චිත්‍රපටයක්, නාට්‍යයක් පෙන්වීම, විනෝද ගමනකට දරුවන් කැටුව යාම සෑම දෙමවුපියන්ගේම විශාල බලාපොරොත්තූන්ය.

එහෙත් පවතින ආර්ථික ක්‍රමය තුළ කුමන හෝ ද්‍රව්‍යයකින් දරුවන්ගේ කුසගිනි නිවනා අති බහුතරයක් වූ දෙමවුපියන්ට මෙම බලාපොරොත්තු සිහින බවට පත්වෙමින් තිබේ.
බඩට කන්න නැතත් දරුවන්ට ඉගැන්විය යුතුයි යන මතයේ සිටින මේ රටේ දෙමවුපියන්ගෙන් අති බහුතර ප්‍රමාණයකට එම සිහිනය සැබෑකර ගැනීම සඳහා විශාල ගැටලු ප්‍රමාණයකට මුහුණ දීමටත් සිදුව ඇත.
ඒ පෙරපාසලේ සිට විශ්වවිද්‍යාලය දක්වා දරුවෙකුට අධ්‍යාපනය ලබාදීම සඳහා අතිවිශාල මුදල් ප්‍රමාණයක් දෙමවුපියන්ට වියදම් කිරීමට සිදුවීම නිසාය.

කොළඹ හා තදාසන්න ප්‍ර‘දේශයක පාසලකට දරුවෙකු ඇතුළත් කළ පසු පාසල් අධ්‍යාපනය හමාර කරන තෙක් වාර්ෂිකව රුපියල් 6000 සිට රුපියල් 15,000, 20,000 වැනි මුදලක් පාසල් නඩත්තුවට ගෙවීමට සිදුව තිබේ.
මීට අමතරව පොත්පත්, පෑන්, පැන්සල් පාසලේ විවිධ උත්සව උපකාරක පන්ති ගාස්තු ඇතුළු වියදම් ගණනාවක් සිදුකිරීමටත් දෙමවුපියන්ට සිදුවේ.

නිදහස් අධ්‍යාපනය පවත්වාගෙන යෑම සඳහා ජනතාව මිලදී ගන්නා ටොෆියේ සිට මිනීපෙට්ටිය දක්වාවූ සෑම භාණ්ඩයකටම රජයකටම විශාල මුදලක් ගෙවීමටත් ජනතාවට සිදුව ඇත. මේ සියලුම වියදම් ගෙදර ආර්ථිකයට බලපාන කාරණාය.
තවද සෞඛ්‍ය වියදම්, ජල විදුලි වියදම්, දුරකථන වියදම් ඇතුළු භාණ්ඩ හා සේවා සඳහාත් දෛනිකව විශාල මුදලක් වියදම් කිරීමට ජනතාවට සිදුව ඇත. එහෙත් පොදුවේ මේ රටේ ජනතාවගෙන් 40෴කගේම දෛනික ආදායම ඩොලර් 02 ක් බවට රජයේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි. එය රුපියල් බවට පත් කළහොත් රුපියල් 310 කි. (ඩොලරයක ගැනුම් මිල රුපියල් 155 සේ සලකා)

රජයේ සංඛ්‍යාලේඛනවලට අනුව හතර දෙනෙකුගෙන් යුත් පවුලක ජීවිත් වීම සඳහා අවශ්‍ය භාණ්ඩවල වියදම රුපියල් 60,364ක් බවට පෙන්වාදී ඇත. 2014 වසරේ දෙසැම්බර් 31වන දින වනවිට එම මුදල රුපියල් 52,135කි.
රජයේ සංඛ්‍යාලේඛනවලට අනුව මේ වසරේ ගෙවී ගිය මාස 08ක කාලයක් තුළදී සහල් මිල 36% කින්, රතු ලූනු මිල 14% කින්, හාල්මැස්සන් මිල 17% කින්,  සබන් මිල 21% කින්, පරිප්පු මිල 32 කින්, ටින් මාළු මිල 17 කින් ඉහළ ගොස් ඇත.
එහෙත් භාණ්ඩ මිල ඉහළ යෑමට සාපේක්ෂව ජනතාවගේ ආදායම ඉහළ යාමක් සිදුව නැත. රටේ ජනතාවගෙන් ලක්ෂ 15 ක් රාජ්‍ය සේවකයන් වන අතර, එම ප්‍රමාණයෙන් අතිබහුතරයකගේ මාසික වැටුප රුපියල් 40,000කට අඩු බව වාර්තා වේ.
පෞද්ගලික අංශය තුළ සේවය කරන ප්‍රමාණය ලක්ෂ 30 ඉක්මවා තිබෙන අතර, ඔවුන්ගෙන් අතිබහුතරයක මාසික ආදායම රුපියල් 30,000 ට වඩා අඩුය.
සෙසු පිරිස් අතර ගොවීන්, ධීවරයන් හා සුළු ස්වයං රැකියාවල නිරත වන පිරිස් නියෝජනය කරන අතර, මෙම ක්ෂේත්‍ර‘වල කිසිවෙකුටත් ස්ථිර මාසික ආදායමක් නැත.
ගොවීන් ගතහොත් මාස 18ක් තිස්සේ ගොවි බිම් සහිත ප්‍ර‘දේශවලට පවතින අධික වියළි කාලගුණ තත්ත්වය නිසා 

IMG_2504

වී වගාව අතහැර දැමීමට සිදුව තිබේ. කුමන හෝ ක්‍රමයකින් සුළු ගොවි කණ්ඩායමක් එළවළු, ලූනු, අර්තාපල් වැනි භාණ්ඩ ප්‍රමාණයක් නිෂ්පාදනය කරන නමුත් වියදමේ තරමට ආදායමක් නොලැබීම නිසා එම කණ්ඩායම්ද දැඩි දුෂ්කරතාවන්ට පත්ව ඇත.
වගා භූමි පාළු වීමට අමතරව තේ අස්වැන්න අඩු වීම නිසා ඒ ආශ්‍රිතව කුලී වැඩවල නිරතවූ පිරිස්වලටත් ආදායම අහිමිවී තිබේ.

එමෙන්ම රබර්, තේ වැනි වාණිජ භෝග සඳහා සාධාරණ මිලක් නොලැබෙන අතර, ධීවර වරායන්, තොටුපළවල්, නැංගුරම්පොළවල් තුළ මාළු අලෙවි කිරීමේදී සුළු මිල ගණන් නියම වීම නිසා ධීවරයාටද ආදායමක් නොලැබෙන තත්ත්වයකට පත්ව ඇත.
කිරි ගොවීන් හා බිත්තර, මස් පිණිස සතුන් ඇති කරන පිරිස්ද දැඩි දුෂ්කරතාවන්ට පත්ව තිබෙන අතර, පොදුවේ සැලකීමේදී මේ රට තුළ කිසිදු ප්‍රශ්නයකට මුහුණදී නොමැත්තේ දේශපාලඥයන්, දේශපාලන හිතවතුන් හා නීතිවිරෝධී කටයුතුවලින් ආදායම් ලබාගන්නා පිරිස් පමණි.

ධනවතුන් ගැන කතා කිරීමේදී මෙතෙක් කලක් මහා පරිමාණ ව්‍යාපාරිකයන් පිළිබඳව සඳහන් කළත්, ජනතාවගේ මිලදී ගැනීමේ ශක්තිය අඩු වීම හා රජයේ අවිධිමත් බදු ප්‍රතිපත්තිය, අධික විදුලි හා ජල බිලක් දැරීමට සිදුවීම නිසා මේ වනවිට මහා පරිමාණ ව්‍යාපාරිකයන්ද දැඩි දුෂ්කරතාවන්ට මුහුණදී සිටියි.

එහෙත් ජනතාවගේ බඩකට පුරවා සාක්කු පිරෙන ආර්ථිකයක් සකස් කිරීමට පැමිණි දේශපාලඥයන් ජනතාවට ලබාදුන් සියලුම පොරොන්දු කණපිට හරවමින් තමන්ගේ සාක්කු පුරවා ගනිමින්, තමන්ගේම බඩකට පුරවා ගැනීමේ ගමනක නිරතවී සිටිති.
වර්තමාන ආණ්ඩුව බලයට පත්වන්නේ තමා සතුව රට දියුණු කිරීමට හොඳ ආර්ථික වැඩපිළිවෙළක් තිබෙන බවට ජනතාවට පොරොන්දු පිට පොරොන්දු ලබා දෙමිනි.

ආර්ථික ඔස්තාර්ලාද තමන් සතුව සිටින බැවින් වසරක් දෙකක් ගතවන විට මේ රටේ ජනතාවගේ සාක්කු පිරී ඉතිරී ගොස් රට තුළ මහා සංවර්ධනයක් සිදුවන බවටත් පොරොන්දු ලබාදුන්නේය. එහෙත් අඩුම වශයෙන් දිනෙන් දිනම ඉහළ යන ඩොලරයට ගෙවිය යුතු රුපියල් ප්‍රමාණය පාලනය කර ගැනීමටවත් මේ ආණ්ඩුවට නොහැකිවී ඇත.

රටේ ආර්ථිකය බිඳවැටීම හා භාණ්ඩ මිල ඉහළ යෑමට ඩොලරටයට ගෙවිය යුතු රුපියල් ප්‍රමාණය ඉහළ යාම විශාල ලෙස බලපා තිබේ.
මන්දයත් මේ රටට අවශ්‍ය ඉඳිකට්ටේ සිට සහල්, මාළු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ බහුතරයක් විදේශ රටවලින් ගෙන්වීමට සිදුව තිබීම නිසාය.
ආර්ථික ඔස්තාර්ලා සිටින බවට සඳහන් කළ ආර්ථිකයේ කළමනාකරණය කොතරම්ද යත් වර්තමාන ආණ්ඩුව බලයට පත්වී ගෙවී ගිය කාලය තුළදී කොළඹ පාරිභෝගික මිල  දර්ශකයට හා ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව පවුලකට අවශ්‍ය අතවශ්‍ය භාණ්ඩවල මිල සෑම මාසයකදීම රුපියල් 229 ශත 40කින් ඉහළ ගොස් ඇත.

එය මාස 34කට ගණනය කළහොත් බඩුමල්ලේ වටිනාකම වැඩි වීම රු.7799 ශත 60කි. 
මෙවන් තත්ත්වයක් තුළ ජනතාව එක් වේලක් හෝ බඩකට පුරවා ගැනීම ගැන සතුටු විය යුතුය.
අවාසනාවකට කරුණ වී තිබෙන්නේ මේ රටේ ජනතාවගෙන් අතිබහුතරයක් මෙවැනි ව්‍යසනයකට ලක්ව තිබියදීත් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පාලනය කිරීමට රට තුළ වැඩපිළිවෙළක් සකස් නොකිරීමය.
අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යෑමේදී ආණ්ඩුව කරන එකම විකල්පය භාණ්ඩවලට පාලන මිලක් නියම කිරීමය.

රට තුළ අලෙවි කරන හා රට තුළට ගෙන්වන භාණ්ඩවලට අධික බදු මුදලක් පනවා තිබියදී භාණ්ඩවලට සහතික මිලක් නියම කිරීමත් සමග භාණ්ඩ ගෙන්වන බොහෝ පුද්ගලයන් භාණ්ඩ ගෙන්වීමෙන් ඉවත්වී යයි.
මින් ප්‍ර‘යෝජන ගන්නා ජාවාරම්කරුවන් කුමන හෝ කුණු ගොඩක් රටින් ගෙන්වා අධික ලාභ සහිතව අලෙවි කිරීම සිදුකරනු ලබයි. මේ ජාවාරම් ක්‍රියා ආණ්ඩුව දකින්නේ තමන්ගේ හැකියාව නිසා ජනතාවට අඩු මිලට භාණ්ඩ සැපයීමට හැකිවූ බවටය.
ඖෂධ වර්ග 48 ක් සහන මිලට ලබාදීමේ වැඩපිළිවෙළ යටතේදී පවා සිදුවූයේ මේ ආකාරයේ ක්‍රියාවකි. මන්දයත් පාලන මිලට වඩා වැඩි මිලකට අලෙවි වූ ප්‍රමිතියෙන් ඉහළ සියලුම ඖෂධ අලෙවියෙන් ඉවත්වී තිබෙන අතර, ඉතාමත් අඩු මිලට අලෙවිවූ ඖෂධ පාලන මිල දක්වා ඉහළ දමා අලෙවි කිරීම සිදුවන බව සෞඛ්‍ය වෘත්තීය සමිති පෙන්වා දෙයි.

කෙසේ නමුත් කිසිදු ප්‍රශ්නයකට ස්ථිර විසඳුම් ලබාදීමට පාලකයන් අසමත්වී සිටින බව පැහැදිලි වන කාරණයකි.
සහල් මිල පාලනය කිරීම සඳහා ලංකා සතොස හරහා සහල් වර්ග 08ක් අඩු මිලකට බෙදාහැරීමට රජය පසුගියදා පියවර ගනු ලැබිණි. එහෙත් බොහෝ සතොස අලෙවි සැල් තුළ ප්‍රමාණවත් ලෙස මිලදී ගැනීමට සහල් නොමැති බවට ජනතාව පෙන්වා දෙති. 
මීට අමතරව පොල් මිල පාලනය කිරීම සඳහා පොල් ගෙඩියක් රුපියල් 65ට ලබාදෙන බවට ප්‍රසිද්ධියට පත් කළේය. එහෙත් රට තුළ එවැනි වැඩපිළිවෙළක් සුළුවෙන් හෝ ක්‍රියාත්මක වූයේ එක් දවසක් පමණක් බවද පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය සඳහන් කරයි.
භාණ්ඩ මිල ඉහළ යෑමත් සමග ජනතාවගේ මිලදී ගැනීමේ ශක්තිය දිනෙන් දිනම අඩුවී යමින් තිබෙන අතර, මේ නිසා භාණ්ඩ නිෂ්පාදන සමාගම්වල භාණ්ඩ නිෂ්පාදනයද අඩුවී යන බවට තහවුරුවී ඇත. භාණ්ඩ නිෂ්පාදනය අඩු වීම හරහා එම සමාගම්වල සේවය කරන සේවකයන්ගේ ආර්ථිකයටද බලපෑමක් එල්ලවී ඇත.

එදා සහල් කිලෝ 5ක් 10ක් එකවර මිලදී ගත් ජනතාව අද වනවිට සහල් ග්‍රෑම් 500 මිලදී ගන්නා තත්ත්වයට ඇද වැටී ඇත.
පොල් ගෙඩි දෙක තුනක් මිලදී ගත් ජනතාව ගා ගත් පොල් ස්වල්පයක් මිලදී ගන්නා තත්ත්වයටත්, පොල් තෙල් බෝතලය, භාගය මිලදී ගත් ජනතාව පොල් තෙල් අරික්කාලක් මිලදී ගන්නා තත්ත්වයට ඇද දමා ඇත.
පරිප්පු, හාල්මැස්සන්, සීනි, ලුණු, ලූනු, කරවල ග්‍රෑම් 500 කිලෝව වශයෙන් මිලදී ගත් ජනතාව ග්‍රෑම්  100 හෝ 50 වශයෙන් මිලදී ගන්නා අසරණ තත්ත්වයට පත්ව තිබේ.
කුඩා ෂැම්පු බෝතලයක්, සුවඳ විලවුන් බෝතලයක්, නිය තොල් ආලේපන කුඩා බෝතලයක් වශයෙන් මිලදී ගත් තරුණ තරුණියන් එම භාණ්ඩ ආදේශ පැකට්ටුවක් මිලදී ගන්නා තත්ත්වයට පත්කර ඇත.
එහෙත් මහා ලොකු ආර්ථියක් ගැන කතා කරන මේ රටේ දේශපාලඥයන්ට ජනතාවට ලබාදුන් පොරොන්දු ගැන, ජනතාවගේ දුක ගැන තේරෙන්නේ නැත.

ඔවුන්ට වැඩියෙන්ම තේරෙන්නේ පාර්ලිමේන්තුව නියෝජනය කරන ජනතාවගේ මුදලින් සුපිරි ධනවතුන් බවට පත්ව තිබෙනා දේශපාලඥයන්ට කාර්යාලයක් නොමැති වීම හා නවීන පන්නයේ කාර් රථයක්, සුඛෝපභෝගී අමාත්‍යාංශ ගොඩනැගිල්ලක් නැති වීම පමණි. රටේ ජනතාව මෙවැනි ආර්ථික අපහසුතාවන්ට පත්ව සිටියදී ලබන වසරට අදාළ ජනාධිපතිවරයාගේ වියදම රුපියල් මිලියන 3527කින් හා අගමැතිවරයාගේ වියදම රුපියල් මිලියන 518කින් ඉහළ දමාගෙන තිබේ. ඉදිරිපත් කළ අයවැය විසර්ජන පනතට අනුව 2018 වසරේදී ජනාධිපතිවරයාගේ වියදම රුපියල් මිලියන 9983කි. මේ වසරේ වියදම රුපියල් මිලියන 6456කි.
අගමැතිවරයාගේ වියදම රුපියල් මිලියන 1772 කි. මේ වසරේ අගමැතිවරයාගේ වියදම රුපියල් මිලියන 1254 කි.

පාලකයන්ට නොතේරෙන ජනතාවගේ කුසගින්නේ තරම සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :