ෆින්ලන්ත ආයෝජන ගෙනඒමට කැමැත්තක්
( ෂමිල පෙරේරා ) 2017-10-10 23:25:42
Comments - 0       Views - 371

ෆින්ලන්තය සහ ආශ්‍රිත රටවල් කේන්ද්‍ර කොටගෙන ප්‍රමුඛ පෙළේ ව්‍යවසායන් ක්‍රියාත්මක කරන ෆින්ලන්ත කර්මාන්ත ෆෙඩරේෂනය ශ්‍රී ලංකාවේ ආයෝජන සහ ව්‍යාපාරික අවස්ථාවන් සඳහා වැඩි වැඩියෙන් සම්බන්ධ වීමට කැමැත්තෙන් සිටින බව එහි නියෝජිතයන් පවසා තිබේ.

දැනටමත් ශ්‍රී ලංකාවේ ව්‍යවසාය ක්‍රියාත්මක කරන ෆෙඩරේෂන සාමාජිකයන් කියා සිටියේ ආයෝජන සහ ව්‍යාපාර හිතකාමී පරිසරයක් දැන් ශ්‍රී ලංකාව තුළ නිර්මාණය වෙමින් පවතින බවය.

ෆින්ලන්ත කර්මාන්ත ෆෙඩරේෂන සාමාජිකයන් මේ අදහස් පළ කර තිබුණේ ඊයේ (10දා) උදෑසන ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන දූත පිරිස සමග උදෑසන භෝජන සංග්‍රහ සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

හෙල්සින්කි නුවර ෆින්ලන්ත කර්මාන්ත ෆෙඩරේෂන මූලස්ථානයේ දී පැවති මෙම සාකච්ඡාව ආරම්භයේ වික්‍රමසිංහ මහතා පැවසූයේ නව ලෝක ආර්ථික ප්‍රවණතාවන්ට ගැලපෙන අයුරින් ආර්ථික සංකල්ප වෙනස් කළ යුගය එළැඹි ඇති බවය. කලාපීය වෙළෙඳ පොළ සංකල්පය කල්පැන ගොස් ගෝලීය වෙළෙඳ සංකල්පය ඉදිරියට පැමිණ ඇති බැවින්, ඒ යථාර්ථය පදනම් කර ගනිමින් කර්මාන්ත හා ව්‍යවසාය පවත්වාගෙන යෑමේ අවශ්‍යතාව වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

සාකච්ඡාවේ සභාපතිත්වය දැරූ වර්සිලා සමාගමේ නියෝජ්‍ය විධායක සභාපති කරි හියටනෙන් මහතා පැවසූයේ ඉන්දීය සාගරයේ ආර්ථික කේන්ද්‍රස්ථානය ලෙස සංවර්ධනය වීමේ ශ්‍රී ලංකාවේ ඉලක්කය අතිශය වැදගත් බවයි. කුඩා රාජ්‍යයන් දෙකක් ලෙස ෆින්ලන්තය හා ශ්‍රී ලංකාව සමාන්තර ආර්ථික හා සමාජයීය ඉලක්කයන් වෙනුවෙන් පෙනී සිටින බැවින්, දෙරට අතර ආර්ථික හා සමාජයීය සම්බන්ධතා ශක්තිමත් කිරීමේ පොදු පදනමක් සැකසී ඇතැයි ද ඒ මහතා පෙන්වා දුන්නේය.

මේ හමුවට පැමිණ සිටි ෆෝටම් (Fortum), කාර්ගොටෙක් (Cargotec), කොනෙක්‍රේන්ස් (Konecranes), නොකියා (Nokia), ඔටොටෙක් (Outotec), වයිසලා (Visala), ව්‍රට්සලා (Wartsala) සහ අයිසෙයි (ICEYE) සමාගම්වල නියෝජිතයෝ මෙහිදී සිය අදහස් පළ කර තිබේ.

වරාය සහ නාවුක අමාත්‍ය මහින්ද සමරසිංහ, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, මුදල් අමාත්‍යංශ ලේකම් ආචාර්ය එච්.එස්.ආර්. සමරසිංහ, ෆින්ලන්තයේ ශ්‍රී ලංකා තානාපති ජයන්ත පලිපාන, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි,  අග්‍රාමාත්‍ය විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා, ශ්‍රී ලංකාවේ ෆින්ලන්ත කොන්සල් ජෙනරල් ඒමස් සිරිල් ඩේවිඩ් ජුලෙන්බර්ගල්, ශ්‍රී ලංකාවේ ෆින්ලන්ත කොන්සල් ජෙනරල් අශ්රොෆ් ඔමාර්, ශ්‍රී ලංකාවේ ෆින්ලන්ත කොන්සල් ජනරාල්ගේ වාණිජ නියෝජිත යස්මි බාරි, ශ්‍රී ලංකා - ෆින්ලන්ත ව්‍යාපාරික කවුන්සලයේ සභාපති ජයන්ත සමරකෝන්, ඇරෝ ජාත්‍යන්තර සමාගමේ අධ්‍යක්‍ෂ සුරේෂ් සුබ්‍රමානියම් යන මහත්ම මහත්මීහු ද මේ අවස්ථාවට එක්ව තිබුණි.

RDS_4081RDS_4107

ෆින්ලන්ත ආයෝජන ගෙනඒමට කැමැත්තක් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :