ධීවර කර්මාන්තයේ හා ධීවරයාගේ හෙට දවස කුමක් වේවිද?
( ඉන්දික හේවාවිතාරණ ) 2017-10-10 09:39:14
Comments - 0       Views - 199

වර කර්මාන්තය යනු රටේ නිෂ්පාදන ක්‍රියාවලියට පහසුවෙන්ම දායක කරගත හැකි කර්මාන්තයකි. එහෙත් මේ රට පාලනය කළ කිසිදු ආණ්ඩුවක් ධීවර කර්මාන්තය කර්මාන්තයක් ලෙස දියුණු කිරීමට කටයුතු කළේ නැත. 
මේ නිසා රට මෙන් 08 ගුණයක් විශාල මුහුදක් රට වටේ තිබියදීත් රටට අවශ්‍ය මාළු ටික, කරවල ටික, උම්බලකඩ ටික, ටින් මාළු විශාල වශයෙන් තවමත් විදේශ රටවලින් ගෙන්වීමට සිදුව තිබේ. 

DSCF8986

රට වටේ මුහුද තියාගෙන රටට අවශ්‍ය මාළු සම්පත සම්පූර්ණ කර ගැනීමට නොහැකි වුවද වර්තමාන ආණ්ඩුව සේම මෙතෙක් පත් වූ සෑම ආණ්ඩුවක්ම ධීවර ඇමතිවරයෙකු හා දෙවැනියෙකු පත් කිරීම සිදු කර තිබේ. 
මීට අමතරව පළාත් සභා ක්‍රමය ඇති වීමත් සමග පළාත් ධීවර අමාත්‍යවරුන් 09 දෙනෙක්ද රටට සිටිති. එහෙත් අදටත් රටට අවශ්‍ය මාළු ටික, කරවල ටික, උම්බලකඩ ටික, ටින් මාළු ටික සම්පූර්ණයෙන් රට තුළ නිපදවාගැනීමට නොහැකි වී ඇත. මෙවැනි තත්ත්වයක් උදා වුවද මධ්‍යම රජයේ හා පළාත් සභාවල දේශපාලඥයන් හා නිලධාරීන් රොත්තම නඩත්තු කිරීමට මේ රටේ ධීවරයා ඇතුළු සමස්ත ජනතාවටම සිදුව ඇත. 

අපට අයත් සාගර කලාපය ගතහොත් කිලෝමීටර් 1620 කි. ධීවර වරායන් ප්‍රමාණය 20 කි. නැංගුරම් පොළවල් ප්‍රමාණය 58 කි. තොටුපොළවල් ප්‍රමාණය 860 කි. මීට අමතරව විවිධ දුෂ්කරතා මත කර්මාන්තයේ නිරත වන ප්‍රමාණය ලක්ෂ දෙක හමාරකි. 
එහෙත් රටේ ජනතාවට අවශ්‍ය මාළු ඇතුළු අනෙකුත් ද්‍රව්‍ය 100% ක් නොලැබෙනවා සේම මේ රටේ ධීවරයාට හැමදාම විවිධ ගැටලුවලට මුහුණදීමටද සිදුව තිබේ. 

DSCF8987

මේ රටේ පාලකයන් සිතා සිටින්නේ ධීවරයා මුහුදට ගොස් මාළු ටික අල්ලන නිසා එය කර්මාන්තයක් ලෙස ක්‍රියාත්මක වන බවයි. එහෙත් ලෝකයාගේ දියුණුවත් සමග කර්මාන්තය දියුණු කිරීමට මෙරට ධීවරයාට නවීන තාක්ෂණික ක්‍රම සහ නවීන යාත්‍රා ඇතුළු අනෙකුත් පහසුකම් ලබාදිය යුතුය. 

අවාසනාවට කරුණ වී තිබෙන්නේ රටින් මාළු, කරවල, උම්බලකඩ, ටින් මාළු ගෙන එන්නට තිබෙන උනන්දුව රටේ ධීවර කර්මාන්තය දියුණු කිරීමට පාලකයන්ට නොමැති වීමය.
මේ නිසා සමස්ත ධීවරයාම කුමන හෝ ගැටලුවකට මුහුණදී සිටින බව ධීවර වෘත්තීය සමිති සඳහන් කරයි. 
මේ පිළිබඳ සොයා බැලීමට 'අද' ධීවර වරායන් කිහිපයක සංචාරයක නිරත විය. 

තහනම් පන්න ක්‍රම නිසා කර්මාන්තය අනතුරේ - අරුණ හේමචන්ද්‍ර  කැඳවුම්කරු -නැගෙනහිර ධීවර ජනතා හඬ සංවිධානය 

12803087_843719395737227_5968309761908212863_n (3)

'ලංකාවේ වැඩිම ධීවර පවුල් ඉන්න දිස්ත්‍රික්කය ලෙස සැලකෙන්නේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයි. මෙම දිස්ත්‍රික්කය තුළ ධීවර පවුල් 30,000කට වැඩි ප්‍රමාණයක් ඉන්නවා. ඔවුන් ලංකාපටුනේ ඉඳලා පුල්මුඩේ දක්වා මුහුදු සීමාව තුළ ධීවර කර්මාන්තය සිදු කරනවා. ඒත් මෑතක සිට මෙම මුහුදු කලාපය තුළ දේශපාලන හිතවතුන් සුළු පිරිසක් සුරුක්කු දැල් හා ලයිට් කෝස් ක්‍රම මගින් සහ ඩයිනමයිට් යොදාගෙන මාළු ඇල්ලීම සිදු කරනවා. මේ නිසා විශාල මුහුදු පරිසර හානියක් සිදු වෙනවා. මේ හරහා එම කලාපයේ සුළුපන්න ධීවර කර්මාන්තයේ නිරත අයට ආදායම නැතිවෙමින් තියෙනවා. 

මීට අමතරව තහනම් ධීවර ක්‍රම මගින් අල්ලන මාළු විශාල තොගයක් ගොඩබිමට රැගෙන ඒම නිසා සුළුපන්න ධීවර අස්වැන්නට හොඳ මිලක් ලැබෙන්නේ නැහැ. 
ඒ වගේම ත්‍රිකුණාමල නගර සීමාවේ මුහුදු වෙරළ තුළ හා පාසිකුඩා වෙරළ තීරයන් තුළ සංචාරක හෝටල් ඉදිකිරීම් නිසා ඒ ආශ්‍රිතව සිදු වූ මාදැල් කර්මාන්තය සම්පූර්ණයෙන්ම නැවතී ගොස් තිබෙනවා. ඒ වගේම කොඩ්බේ ධීවර වරාය බදු ලබාදෙන්න සැලසුම් කිරීමත් සමග ඒ ආශ්‍රිතව ධීවර කටයුතු කරන ධීවර යාත්‍රා හිමියන් 400කට ආසන්න ප්‍රමාණයකට රැකියා අහිමි වීමේ අවදානමක් පවතිනවා'

රක්ෂණ ක්‍රමයේ ප්‍රතිලාභ රක්ෂණ සමාගම්වලටමයි  - කීර්ති රත්න - නිල්වැල්ල 

DSCF8992

“ධීවරයන්ට බලහත්කාරයෙන් රක්ෂණ ක්‍රම හඳුන්වා දීලා තියෙනවා. රාජ්‍ය රක්ෂණ සමාගමක් හා පෞද්ගලික රක්ෂණ ආයතන හතරක් හරහා මෙම කටයුතු වෙනවා. හැබැයි මෙම රක්ෂණයෙන් ප්‍රතිලාභ හිමි වන්නේ රක්ෂණ සමාගම්වලට. මොකද ධීවරයෙක් වර්ෂයකට රුපියල් 1036 ක් වියදම් කරලා රක්ෂණය වෙන්න ඕන. හැබැයි ප්‍රතිලාභ ලබාගන්න ධීවරයා මරණයට පත්වෙන්න ඕන. ධීවරයා මැරුණත් රක්ෂණය හිමිවන්නේ නැහැ. එදා දවසේ මුහුදේ තිබූ කාලගුණ තත්ත්වයත් සලකා බලනවා. යම් ලෙසකින් එම දිනයේ අයහපත් කාලගුණයක් තිබුණොත් රක්ෂණයේ ප්‍රතිලාභ පවුලේ අයට ලැබෙන්නේ නැහැ. 

යාත්‍ර්‍රා රක්ෂණයත් මේ වගේ. යාත්‍රාව සම්පූර්ණයෙන්ම විනාශ වුණොත් පමණයි රක්ෂණ ප්‍රතිලාභ හිමිවන්නේ. ඒ ප්‍රතිලාභ ලබාදෙන්නත් කාලගුණ තත්ත්වය සලකා බලනවා. පොදුවේ සෑම යාත්‍රාවක්ම මුහුදට යන්නේ යහපත් කාලගුණ තත්ත්වයක් තුළයි. ඒත් මුහුදට ගියාට පස්සෙ යම් යම් අයහපත් කාලගුණ තත්ත්වයන් පෙන්නුම් කළාට ආයෙත් ගොඩබිමට එන්න බැහැ. මොකද රුපියල් ලක්ෂ ගණනක වියදමක් දරාගෙන තමයි බහුදින යාත්‍රා වැනි විශාල යාත්‍රා මුහුදට යන්නේ. 
මීට අමතරව රක්ෂණයට අය කරන මුදලත් එක් එක් රක්ෂණ ක්‍රමයට අනුව වෙනස්. රජය හඳුන්වා දී තිබෙන මෙම ආයතනවලින් හැර වෙනත් ආයතනයක රක්ෂණයක් ධීවර අමාත්‍යාංශය පිළිගන්නේ නැහැ. මේ නිසා ධීවරයන් සෑම විටම දැඩි අසරණ තත්ත්වයන්ට පත්වෙනවා*

.එම්.එස්. ටැබ් පරිගණක කර්මාන්තයට බාධාවක් - ලසන්ත වනිගබදු - කුඩාවැල්ල ධීවර වරාය

DSCF8994

“ධීවරයන් හෝ ඒ ආශ්‍රිතව ඉන්න කවුරුවත් ඉල්ලා නොසිටි යාත්‍රා සුපරීක්ෂණ පද්ධතියක් හෙවත් වී.එම්.එස්. උපකරණය හඳුන්වා දුන්නා. මේක ලබාදුන්නේ යාත්‍රාවට ආරක්ෂාවක් ලැබෙනවා කියලා. ඒත් මේ හරහා සිදුවෙලා තියෙන්නේ ධීවරයා යම් යම් සීමාවලට හිරකර දැමීමක්. ලංකාව තුළ බහුදින යාත්‍රා 4464 ක් තිබෙනවා. ඒත් වී.එම්.එස්. උපකරණ ලංකාවට ගෙනාවේ 1650 ක් පමණයි. මෙම ප්‍රමාණය තුළින් එම උපකරණ සවිකරලා තියෙන්නේ යාත්‍රා 1390කට පමණයි. මේක අමාත්‍යාංශය හරහා ගෙන්වලා සවි කළ යුතු වෙනවා. මෙහිදී වී.එම්.එස්. සවි කළ යාත්‍රාවලට ජාත්‍යන්තර මුහුදු සීමාවේ මත්ස්‍ය කර්මාන්තයේ යෙදීමට අවසර ලබාදීලා තියෙනවා. මෙම උපකරණය නැති යාත්‍රා දේශීය මුහුදු සීමාවේ ධීවර කටයුතු සිදු කළ යුතු වෙනවා. මේ අනුව වී.එම්.එස්. උපකරණය සවි කිරීමට පෙර ජාත්‍යන්තර මුහුදට ගොස් ධීවර කටයුතු කළ විශාල යාත්‍රා ප්‍රමාණයකට එම අවස්ථාව අහිමි කරලා තියෙනවා. ඒ වගේම වී.එම්.එස්. උපකරණය අලුත්වැඩියා කටයුතු කරන්න වුණොත් ඒ සඳහා සෑම වර්ෂයකදීම ධීවර අමාත්‍යාංශයට රුපියල් 20,000 ක් ලබාදීලා ලියාපදිංචි විය යුතුයි. යම් අලුත්වැඩියාවක් කළොත් අවශ්‍ය උපකරණ ලබාගැනීම වෙනුවෙන් ඩොලර්වලින් ගෙවිය යුතුයි. ඒ වගේම මුලින් කිව්වෙ මෙම උපකරණ නොමිලේ ලබාදෙනවා කියලා. ඒත් දැන් මාස තුනේ වාරිකයකට රුපියල් 7800 ක මුදලක් අය කරගනිමින් සිටිනවා*. 

වරායවල පහසුකම් නෑ  - සමන්ත එදිරිසූරිය  දෙවුන්දර ධීවර වරාය 

DSCF8998

“දෙවුන්දර ධීවර වරාය ගත්තොත් ධීවරයාට යන්න වැසිකිළියක් නැහැ. නාන්න වතුර ටිකක් නැහැ. බොන්න වතුර ගන්න තියෙන්නේ එක ටැප් එකයි. දිනකට වරාය තුළ 300 - 400 ක් ගැවසෙනවා. බහුදින යාත්‍රා 400 ක් පමණ තියෙනවා. රජයේ කිසිදු අයිස් නිෂ්පාදන ආයතනයක් මේ ස්ථානයේ නැහැ. ඒත් පසුගිය කාලයේදී පිටතින් ගේන අයිස්වලටත් බදු මුදලක් ගන්න උත්සාහ කළා. මීට අමතරව අල්ලන මාළු ටික සාධාරණ මුදලකට විකුණාගන්න බැහැ. මෙම ගැටළු සමස්ත ධීවරයාටම බලපා තියෙන කාරණයක්. 
යාත්‍රා අලුත්වැඩියාවක් කිරීමට යාත්‍රාව ගොඩගන්න තියෙන ක්‍රේන් එක නිසියාකාරව වැඩ කරන්නේ නැහැ. අලුත්වැඩියාවක් වෙනුවෙන් තත්ත්පරයකට කරන්ට් එක ගත්තත් රුපියල් 300 ක් ගෙවන්න ඕන. ධීවරයාට සාධාරණ මිලක් අස්වැන්නට නොලැබුණත්, සමහර ප්‍ර‘දේශවල ජනතාවට විශාල මුදලකට මාළු මිලදීගන්න සිදු වෙලා තියෙනවා. මෙතනදි ධීවර සංස්ථාව ධීවරයාට සාධාරණ මිලක් ලබාදීලා මාළු ගන්නේ නැහැ. සංස්ථාව මාළු ගන්නේ ව්‍යාපාරිකයන්ගෙන්. සංස්ථාව ධීවරයන්ගෙන් මාළු ගත්තොත් ඒකට සල්ලි ගෙවන්නේ මාසයක් එකහමාරක් පරක්කු වෙලා. 

වරාය තුළ නවත්වන යාත්‍රාවකට අඩි 40 සිට ඉහළට මාසිකව රුපියල් 2000 ක් ගෙවන්න ඕන. යාත්‍රාවක් අලුත්වැඩියා කළොත් දිනකට රුපියල් 150 ක් ගෙවන්න ඕන. 
කසළ අයින් කරන්න කියලා මාසයකට රුපියල් 5,000 ක් ගන්නවා. යාත්‍රාව ගොඩට ගන්න ක්‍රේන් එකෙන් මුදලක් අය කරනවා. යම් යාත්‍රාවකට ඒ මොහොතේ අනතුරක් වුණොත් කිසිදු වගකීමක් නැහැ. 
මේ නිසා දෙවුන්දර වරායේ ධීවරයා වගේම සමස්ත ධීවරයාම දැඩි අසරණ තත්ත්වයකට පත්වෙලා ඉන්නේ. මේ නිසා වරායේ නිලධාරීන් හා ධීවරයන් අතර විවිධ ගැටුම් ඇති වෙනවා. මේක හොඳ තත්ත්වයක් නොවේ* 

තොටුපොළ, වරායන් සහ නැංගුරම් පොළ බදු දෙන්න සැලසුම් කරලා - අජිත් නිශාන්ත  බහුදින යාත්‍රා හිමියන්ගේ මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක 

DSCF9016

“පාලකයන් ගන්නා වැරදි තීරණ නිසා සමස්ත ධීවරයාම අද අසරණ තත්ත්වයකට පත්වෙලා තියන්නේ. මේ රටේ ධීවරයාට පහසුකම් ලබාදීලා රටට අවශ්‍ය මාළු සම්පත ලබාගන්න කිසිදු වැඩපිළිවෙළක් නැහැ. එහෙම තියෙද්දි මෙතෙක් ධීවරයන්ට අයිතිව තිබූ ධීවර වරයාන් ටික, නැංගුරම් පොළවල්  සහ තොටුපොළවල් බදු ලබාදෙන්න සැලසුම් කරලා තියෙන්නේ. මේ යටතේ ධීවර වරායන් 10 ක භූමි වසර 30කට බදු ලබාදෙන්න තක්සේරු කරලා තියෙනවා. මෙහිදී ගොඩනැගිලි හා වාහනත් බදු ලබාදෙන්න තක්සේරු කරලා තියෙන්නේ. මෙහිදී දකුණු පළාතට අයත් වරාය භූමි 07 ක් බදු ලබාදෙන්න සැලසුම් කරලා තියෙනවා. හැබැයි ධීවර ඇමතිවරයාත්, රාජ්‍ය අමාත්‍යවරයාත් දෙන්නම දකුණේ අය. මේවා බදු ලබාදීම හරහා ධීවරයාට ගැටලු රාශියක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම බහුදින ධීවර කර්මාන්තය විනාශ කරලා දාන්න ටැබ් පරිගණක යන්ත්‍ර හා වී.එම්.එස්. උපකරණ හඳුන්වාදෙමින් ඉන්නවා. මෙහෙම කරලා අපේ ධීවරයාට ජාත්‍යන්තර මුහුද අහිමි කිරීමේ කුමන්ත්‍රණයකුත් සූක්ෂ්ම ලෙස ක්‍රියාත්මක වෙනවා* 

වියදමේ තරමට ආදායමක් නෑ - එච්.ඩබ්. මහේෂ් - උප සභාපති  මාතර දිස්ත්‍රික් එක්දින හා බහුදින ධීවර සමිතිය

DSCF9023

රටට විදේශ රටවලින් මාළු ගෙන්වනවා. මීට අමතරව බදු සහන යටතේ ලංකාවට මාලදිවයිනෙන් උම්බලකඩ වේලන්න මාළු ගේනවා. මේ නිසා එක්දින ධීවර  කර්මාන්තය සම්පූර්ණයෙන්ම දැඩි අර්බුදයකට ලක්වෙමින් තිබෙන්නේ. මොකද එක්දින ධීවර යාත්‍රාවල අස්වැන්නේ මිල තීරණය වන්නේ උම්බලකඩ වේලන්න ගන්න මාළු කිලෝවක මිල මත. වර්තමානය වනවිට රටින් ගේන මාළු කිලෝවක මිල රුපියල් 90 - 95 ක් වගේ මිලක්. මේ නිසා අපේ ධීවරයාගේ අස්වැන්නට ලැබෙන්නේ රුපියල් 95 - 120 ත් අතර මුදලක්. එක්දින යාත්‍රාවකට දිනකට ඩීසල් ලීටර් 100කට වැඩි ප්‍රමාණයක් අවශ්‍යයි. මේ අනුව තෙල් වියදම රුපියල් 9,500 ක්. අල්ලන්න පුළුවන් වෙන්නේ මාළු කිලෝ 100 - 150 ක් අතර ප්‍රමාණයක්.
ඒ අස්වැන්නෙන් ලැබෙන්නේ රුපියල් 12,000කට ආසන්න මුදලක්. යාත්‍රා‘වේ හතර දෙනෙක් යනවා. බිම් බද්ද කියලා දවසකට රුපියල් 130 - 150 අතර මුදලක් අය කරනවා. මෙහෙම බැලුවාම ධීවරයෙකුගේ දවසේ ආදායම රුපියල් දහසට අඩුයි. ඒ වගේම යාත්‍රාව 05 දෙ‍ෙනකු සමග රක්ෂණය කරන්න ඕන. මීට අමතරව ධීවර රැකියාවේ යන හතර දෙනාම වෙන වෙනම රක්ෂණය කළ යුතු වෙනවා. කර්මාන්ත ගොඩගන්න තැනට දැන් වැඩ කෙරෙන්නේ නැහැ. ඒක නිසා එන්න එන්නම කර්මාන්තය ආගාධයට යනවා.

නැංගුරම් පොළවල් හා තොටුපොළවල් ගොඩ වෙලා - සුළුපන්න ධීවර කාර්මික එල්.එච්. චමිල්  අරංවල නැංගුරම් පොළ 

01111

'නැංගුරම් පොළවල් ගත්තොත් වාරකන් කාලයට ධීවර රැකියාවේ යන්න බැරි තරමට වැලි පිරෙනවා. මේවා නිසි ලෙස නඩත්තු කරන්න බලධාරීන් කටයුතු නොකරන නිසා ධීවරයන්ට මාස 05 - 06 ක් රැකියා නැතිව ඉන්න වෙලා තියෙනවා. සමහර ධීවරයෝ වෙනත් ධීවර වරායවල රැකියාවට යනවා. එහෙම ගියත් ඔවුන්ට නිසි දෛනික ආදායමක් නැහැ. ඡන්දෙ කාලෙට කියනවා තොටුපොළවල් නැංගුරම් පොළවල් හදලා දෙනවා කියලා. ඒත් අල්ලන මාළු ටිකටත් නිසි මිලක් නැහැ. 
එහෙම තියෙද්දි දිනෙන් දිනම කර්මාන්තයට විවිධ නීතිරීති ගේනවා. යාත්‍රා දියත් කරන්න නැංගුරම් පොළවල් හා තොටුපොළවල් ටික දියුණු කරනවා නම් රටට අවශ්‍ය  මාළු අපේ රට තුළින්ම හදාගන්න පුළුවන්. ඒත් බලධාරීන් ඒ ගැන අවධානයක් යොමු කරන්නේ නැහැ. මේ නිසා සුළුපන්න ධීවරයා ධීවර කර්මාන්තයෙන් ඈත් වෙමින් ඉන්නේ. කර්මාන්තයට අලුතින් කවුරුවත් එන්නේ නැහැ.'

පෝර්ට් සිටිය නිසා ධීවරයා කබලෙන් ලිපට වැටුණා  - අරුණ රොෂාන්ත සභාපති - ‘සමස්ත ලංකා ධීවර ජනතා සම්මේලනය 

_96214176_fishermanstill-2

'ගැටලු ගණනාවකට මුහුණදීලා කර්මාන්තයේ නිරත වූ පානදුර සිට කල්පිටිය දක්වා වූ කලාපයේ ධීවරයා අද වනවිට විශාල ගැටලුවකට මුහුණ දී සිටිනවා. 
මේ ආකාරයේ ගැටලු ගණනාවකට මුහුණදීමට සිදුවෙලා තියෙන්නේ ඉදි කරමින් තිබෙන චීන වරාය නගරයට මීගමුව උස්වැටකෙයියාව ආදී ප්‍ර‘දේශවල නොගැඹුරු මුහුදෙන් වැලි ගැනීමට යාම නිසා. මුලින් සැලසුම් කරලා තිබුණේ ගැඹුරු මුහුදෙන් වැලි ගන්න. ඒත් මේ වනවිට වෙරළේ ඉඳලා කිලෝමීටර් හතරක් පහක් දුරින් වැලි ගන්නවා. 

මේ නිසා මාළු බෝවන ස්ථාන සියල්ලමත්, කොරල් පරත් සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා. ඒ වගේම මුහුදු ප්‍ර‘දේශයේ ජලය බොරවීම නිසා අවට මුහුදු ප්‍ර‘දේශවල කර්මාන්තය සිදුකරන්න බැහැ. මේ ආකාරයට අපහසුතාවට පත්වන ධීවරයන්ට වන්දි ලබා දෙනවා කිව්වත් ඒක සම්පූර්ණ බොරුවක්. දැන් කරන්නේ ධීවර සමිති හරහා ණය මුදලක් ලබාදෙන එක. වත්කමක් නැති ධීවරයාට ණය අරං ගෙවාගන්න බැහැ. මේ නිසා ධීවරයන් 50,000 ක් විතර අසරණ වෙලා ඉන්නේ. මේ පෝර්ට් සිටිය නිසා ධීවරයා කබලෙන් ලිපට වැටුණා.

ඉන්දීය ධීවරයන් නිසා උතුරේ ධීවරයා අනාථයි - රත්න ගමගේ  - ජාතික සංවිධායක  සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනය 

Rathna Gamage 1

පොදුවේ දකුණේ ධීවරයාට විවිධ නීතිරීති පනවලා කර්මාන්තයෙන් ඉවත් කරමින් සිටිනවා. උතුරු මුහුද ඉන්දීය ධීවරයන් සුද්ධ කරන නිසා උතුරේ ධීවරයාට යන එනමං නැති වෙලා තියෙන්නේ. ඉන්දීය ධීවරයන් වැඩියෙන්ම කරන්නේ බොටම් ට්‍රෝලිං ධීවර ක්‍රමය. මේකෙන් මුහුදු පතුලම විනාශ වී යනවා. මේ නිසා මෙම ක්‍රමය තහනම් කරන්න පාර්ලිමේන්තු පනතක් ගෙන ආවා. මෙම පනතින් මෙතෙක් දේශීය ධීවරයාට එම ක්‍රමයට මාළු අල්ලන්න බැහැ.  ඒත් අද දවස වනවිටත් නීතිවිරෝධී ආකාරයට පැමිණෙන ඉන්දීය ධීවරයන් මෙම ක්‍රමයට මාළු අල්ලනවා. මොකද මොවුන්ට අදාළ තහනම ක්‍රියාත්මක වෙන්නේ විදේශ ධීවර යාත්‍රා නියාමනය කිරීමේ පනතට මෙය ඇතුළත් කිරීමෙන්. හැබැයි අපේ රටේ බලධාරීන් ඒක කරන්නේ නැහැ. ඒ වගේම මාළු මිල ගත්තොත් පාරිභෝගිකයාගේ ඇඟේ මාළු නටනවා. ඒ තරම් ඉහළ මිලක්. ඒත් ධීවරයාගේ අස්වැන්නට ලැබෙන්නේ සොච්චම් මුදලක්. මේ නිසා මාළු මිලේ විකෘතිතාවක් තියෙනවා. සංස්ථාව මාළු ටික අරන් රට පුරා බෙදාහැරියා නම් මෙම විකෘතිතාව නැහැ. කර්මාන්තය දියුණු කරන බවට වර්තමාන දේශපාලනඥයන් වගේම හිටපු දේශපාලනඥයනුත් දහසක් පොරොන්දු ලබාදුන්නා. ඒත් සිදුවෙමින් තිබෙන්නේ දිනෙන් දිනම ධීවර කර්මාන්තය අගාධයට ඇද වැටීම'

DSCF9010

12803087_843719395737227_5968309761908212863_n (3)

 
ධීවර කර්මාන්තයේ හා ධීවරයාගේ හෙට දවස කුමක් වේවිද? සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :