ලංකාවේ හදා පේටන්ට් ගන්න යන ස්පිරුලිනා
( නඳුන් ශ්‍යාමාල් ) 2017-10-09 09:41:26
Comments - 1       Views - 989

යුද හමුදා කෘෂිකර්ම සහ පශු සම්පත් මණ්ඩලය මගින් හඳුන්වා දුන් කෙසෙල් පත්‍ර ආශ්‍රයෙන් නිෂ්පාදනය කරන ජීව ආහාර දවටනය පිළිබඳව පසුගියදා අප ඔබ වෙත තොරතුරු ගෙන ආවෙමු. අද මෙම සටහන මගින් ගෙන එන්නේ ඔවුන්ගේ තවත් නව ආහාරමය නිෂ්පාදනයක් පිළිබඳව තොරතුරුයි. සුපුරුදු පරිදි ඒ වෙනුවෙන් අප හා එක්වූයේ යුද හමුදා කෘෂිකර්ම සහ පශු සම්පත් මණ්ඩලයේ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් බුවනෙක ගුණරත්න මහතායි.


'අපේ නවතම නිෂ්පාදනයක් තමයි ස්පිරුලිනා ඇල්ගී විශේෂය භාවිතයෙන් නිෂ්පාදනය කරන බිස්කට් සහ ස්පිරුලිනා වියළි කුඩු. ස්පිරුලිනා කියන්නේ නීල හරිත, ඒක සෛලික ජලජ ඇල්ගී විශේෂයක්. මෙය ලෝකය පුරා බොහොම ප්‍රචලිත සහ ඉතාමත් මිල අධික ශාකයක්. ඒකට හේතුව තමයි මෙම ඇල්ගී විශේෂය තුළ තිබෙන සුවිශේෂී ගුණයන් කිහිපය. යුද හමුදා කෘෂිකර්ම අධ්‍යක්ෂ මණ්ඩලයට මෙය ලැබුණේ ශ්‍රී ලංකා විද්‍යා පදනම මාර්ගයෙන්. අපි අධ්‍යයනයන් සහ පර්යේෂණ රැසක් සිදුකරලා මෙය වැඩිදියුණු කරන්න කටයුතු කළා. ඒ අනුව 2015 වසරේ ඉඳලා අපි මේ ඇල්ගී විශේෂය කන්දකාඩුව යුද හමුදා ගොවිපළේ වගා කරන්න පියවර ගත්තා. 

Slide3

ස්පිරුලිනා ශාකයේ විශේෂත්වයන් ගැන කතා කරද්දි මේ ඇල්ගී විශේෂයට හැකියාව තිබෙනවා බැර ලෝහ අවශෝෂණය කරගන්න. ඒ නිසා ස්පිරුලිනා වගා කිරීමේදී යොදාගන්නා වගා මාධ්‍යයත් බැරලෝහවලින් තොර වීම අත්‍යවශ්‍ය වෙනවා. ඒ වගේම මෙය වගා කරන්න සුවිශේෂී ක්‍රමවේද භාවිත කරන්න සිදුවෙනවා. මේ වෙනකොට අපි සාර්ථක ලෙස ඒ වගා කටයුතු සිද්ධ කරලා ස්පිරුලිනා මගින් බිස්කට් සහ ආහාර අතිරේකයක් ලෙස යොදාගන්න පුළුවන් විදියට ස්පිරුලිනා වියළි කුඩු නිෂ්පාදනය කරන්න සමත්වෙලා තිබෙනවා. ඒ නිෂ්පාදන මේ වෙද්දි හමුදාව තුළ භාවිත වෙනවා. ඉදිරියේදී ගරු යුද හමුදාපතිතුමාගේ උපදෙස් සහ මගපෙන්වීම මත ජනතාව අතර ප්‍රචලිත කරන්නත් සූදානම් වෙලා ඉන්නවා. 

Slide51

ස්පිරුලිනාවල ඖෂධීය වටිනාකම් රාශියක් දකින්නට ලැබෙනවා. අද ශ්‍රී ලංකාවේ දකින්න ලැබෙන ප්‍රධානතම කාලීන වකුගඩු රෝගයටත් විසඳුමක් මෙමගින් ලැබෙනවා. අපිට පුළුවන් ස්පිරුලිනා බිස්කට් හෝ වියළි කුඩු වකුගඩු රෝගය පැතිරී ඇති ප්‍රදේශවල සහ ඒ අවදානම සහිත ප්‍රදේශවල ජනතාව අතර ප්‍රචලිත කරන්න. ස්පිරුලිනාවලට හැකියාව තිබෙනවා අපි ගන්නා ආහාරවල සහ පානය කරන ජලයේ පවතින බැරලෝහ අවශෝෂණය කරගෙන ඒවා අපේ ශරීරයට කිසිදු හානියක් නොවන ආකාරයෙන් අපද්‍රව්‍ය සමග පිට කරන්න. ස්පිරුලිනාවල බිලිප්‍රෝටීන, කැරොටිනොයිඩ්, ෆෝලික් අම්ලය, ස්වාභාවික යකඩ සහ ශරීරයට අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල 22 න් 18ක්ම අඩංගු ‍වෙනවා වගේම සින්ක්, සෙලිනියම්, විටමින් A,B සහ C වැනි ප්‍රතිඔක්සිකාරක වර්ගත් මෙහි ඇතුළත් වෙනවා. ඒ වගේම විටමින්  B12 අඩංගු එකම ශාක ප්‍රභවය තමයි ස්පිරුලිනා කියන්නේ. 

මෙම ඖෂධීය වටිනාකම් නිසා සෞඛ්‍යමය වශයෙන් ප්‍රතිලාභ රැසක් අපිට ලබාගන්න පුළුවන්. බිලිප්‍රෝටීන සහ කැරොටිනොයිඩ් මගින් ශරීරයේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය කාර්යක්ෂම කිරීම නිසා රෝගාබාධයන්ට ලක්වෙලා සුවපත් වෙමින් සිටින්නන්ට ඉතාමත් යෝග්‍ය ආහාරයක් කියලා නිර්දේශ කරන්න පුළුවන්. විටමින් B12 මගින් ආතතිය, විඩාව සහ විශාදය වැනි මානසික පීඩන තත්ත්ව අවම කරන්න හැකියාව පවතිනවා. ස්පිරුලිනාවල ස්වාභාවික යකඩ සහ ෆෝලික් අම්ලය අඩංගු වීම නිසා රුධිරගත හිමොග්ලොබින් ප්‍රමාණය වැඩි කරනවා ඒ නිසා මෙය කුඩා දරුවන්ට ආහාර අතිරේකයක් ලෙස ලබාදෙන්න පුළුවන්. එමගින් ඔවුන්ගේ ශරීර ශක්තිය, දරාගැනීමේ හැකියාව, මතක ශක්තිය වර්ධනය වෙනවා වගේම මන්දපෝෂණ තත්ත්වයන් අවම කරන්න උපකාරී වෙනවා. මම පෙර සඳහන් කළා වගේ ශරීරයට අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල 22න් 18ක්ම ස්පිරුලිනාවල අඩංගු වන නිසා අධික ලෙස කය වෙහෙසන ක්‍රීඩකයන්ට සහ ශ්‍රමිකයන්ට අතුරු ආබාධ රහිත ස්වාභාවික ආහාර අතිරේකයක් ලෙස භාවිත කරන්න පුළුවන්.

Slide50

ඒ වගේම ස්පිරුලිනාවල අඩංගු වන ප්‍රතිඔක්සිකාරක මගින් පිළිකා සහ දියවැඩියාව වැනි ජනතාවට අතිශයින් පීඩා ඇතිකරන බෝ නොවන රෝගාබාධයන්ට විසඳුමක් සපයනවා. එච්.අයි.වී සහ හර්පිස් වැනි ලිංගාශ්‍රිත රෝගවලටද එරෙහිව ක්‍රියා කිරීමේ හැකියාව මේ තුළ තිබෙන බවත් හඳුනාගෙන තිබෙනවා. එමෙන්ම මෙහි අඩංගු වන ගැමා ලිනොලෙනික් අම්ලය මගින් ශරීරයේ තිබෙන අහිතකර මේදය දියකර හරින නිසා හෘද රෝගවලටත් විසඳුමක් ලබාදෙන්න ස්පිරුලිනාවලට හැකියාව තිබෙනවා. ඒ වගේම ස්වාභාවික බීටා කැරොටීන් ස්පිරුලිනාවල අඩංගු වීම නිසා පෙනීමේ ශක්තිය වර්ධනය කරන්නත් එය උපකාරී වෙනවා. 

ජාත්‍යන්තර වශයෙන් ස්පිරුලිනාවලට තිබෙන පිළිගැනීමත් ඉතාමත් විශාලයි. නාසා ආයතනය තමන්ගේ අභ්‍යවකාශගාමීන්ගේ පෝෂණ අවශ්‍යතා සම්පූර්ණ කරන්න ස්පිරුලිනා භාවිත කරමින් සිටිනවා වගේම නාසා ආයතනය පෙන්වා දෙනවා එළවළු කිලෝග්‍රෑම් 1000කින් ලැබෙන පෝෂණය ස්පිරුලිනා කිලෝග්‍රෑම් 1 කින් සපුරාගැනීමට හැකි බව. ඒ එක්කම ලෝක සෞඛ්‍ය සංවිධානය වාර්තාවක් මගින් ලෝකයේ විශිෂ්ටතම ආහාරයක් ලෙස ස්පිරුලිනා නම් කරලා තිබෙනවා වගේම ලෝකයෙන් මන්දපෝෂණය තුරන් කරන්න ස්පිරුලිනා යොදා ගැනීමේ වැදගත්කමත් අවධාරණය කරලා තියෙනවා.

Slide49

අපි මෙහිදී සඳහන් කරපු සෑම ඖෂධීය සහ පෝෂණීය වැදගත්කමක්ම විද්‍යාත්මක පරීක්ෂණවලින් සනාථ කර තිබෙනවා. ශ්‍රී ලංකා කාර්මික තාක්ෂණ ආයතනයේ පරීක්ෂණාගාරවල කරපු පරික්ෂණ මගින් අපේ නිෂ්පාදන වල පෝෂණීය වටිනාකම සහ නිෂ්පාදනවල හෝ වගා මාධ්‍යවල කිසිම ආකාරයකින් බැර ලෝහ අඩංගු නොවන බව තහවුරු කරලා තියෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ප්‍රමිති තත්ත්ව සහතිකය මේ නිෂ්පාදනවලට ලැබුණා. ස්පිරුලිනා භාවිත කරලා අපි කරපු නිෂ්පාදනවල පේටන්ට් බලපත්‍රයත් නුදුරේදීම ලැබීමට නියමිතයි'     

Slide41 Slide39 Slide13 Slide12 Slide11 Slide10 Slide9 Slide8 Slide6 Slide4

ලංකාවේ හදා පේටන්ට් ගන්න යන ස්පිරුලිනා සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (1)
Posted by R.R.M.S.RANASURIYA on (2017-10-09 08:23:03)

CONGADULATION SRI LANKA ... DONT MISS ....TRY TO GET YOUR PATENT .PERMIT AND DEVELOP THIS PRODUCT WITHOUT ANY POLITICIANS. GOODLUCK

Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :