එක් පාදයක් පමණක් ඉදිමෙනවා නම්.....?
( නාලිකා රාජපක්ෂ ) 2017-10-03 13:04:15
Comments - 0       Views - 252

දෙපා ඉදිමීම නොයෙක් හේතු මත ඇතිවන්නට හැකි තත්ත්වයක්. නමුත් එක් පාදයක් ඉදිමීම නම්  සමහරුන් ගණන් ගන්නේත් නැති තරම්. කොහොම නමුත් මෙසේ එක් පාදයක් ඉදිමීම ගණන් නොගෙන ඉදීම බොහෝ විට සිදුවෙන්නේ අනෙක් පාදයෙන් තමන්ගේ එදිනෙදා වැඩ කරගන්න හැකි බව සිතන නිසයි. ඒත් අප අද ඔබට මේ කියන්න යන්නේ ඔබ මෙතෙක් අසා නැති කතාවක් වෙන්න පුලුවන්. කකුලක් ඉදිමීම ගණන් නොගෙන ඉන්න එපා. අනිවාර්යෙන්ම ඔබ මේ සඳහා ප්‍රතිකාර පැතිය යුතුයි. එසේ කියන්නේ ඇයි දැයි අප මෙතැන් සිට විමසා බලමු. 


ඉදිමීමක් ඇතිවුණාම අපි කවුරුත් හිතන්නේ මෙය කිසියම් කෘමි සතෙක් එහෙමත් නැති නම් තැල්මක් වැනි දෙයක් හේතුවෙන් එය වෙන්නට ඇති බවයි. ඒත් කකුල ඉදිමෙන්න බලපාන්නේ මේ හේතූන් විතරමද යන්න අප හොඳින්ම සොයා බැලිය යුතු වෙනවා. එක කකුලක් ඉදිමීම බොහෝවිට  ඉතාම බහුලව ඇතිවන තත්ත්වයකි. මෙයට බලපාන හේතූන්ද අපට කොටස් දෙකකට බෙදා වෙන්කළ හැකිය. දෙපාවල ඉදිමීම පාදයේ තිබෙන රෝගයක් නිසා නොව මුලු ශරීරයේම පවතින රෝගයක් නිසා  මතුවන්නට හැකියාව තිබේ.  එමෙන්ම පාදයේ පවතින රෝගයක් නිසාද මෙය මතුවිය හැකිය. මේ ඉදිමීම ඇතැම් විට මතුවන්නේ රෝගයක ලක්ෂණයක් ලෙසය. මෙවැන්නක් මතුවු වහාම අප කළ යුත්තේ එයට බලපාන හේතුව කුමක්ද යන වග සෙවීමයි. ඉදිමීම යනු එක්තරා ආකාරයක උණ සෑදීම වැනි රෝග ලක්ෂණයකි.

ඉදිමීමට හේතුව සොයා බැලිය යුත්තේ  එක අතකින් එම හේතු භයානක මට්ටමේ ඒවා විය හැකි බැවිණි .හෘත් අකර්මණ්‍යතාවයන් වැනි අවස්ථාවලදීද මෙසේ දෙපා ඉදිමීම විය හැකිය.  අක්මාව අකර්මණ්‍ය වීම වකුගඩු අකර්මණ්‍යවීම වැනි අවස්ථාද මෙසේ දෙපාවල ඉදිමීමක් මගින් පෙන්නුම් කළ හැකි රෝග වෙයි. මීට අමතරව ශරීරයේ පවතින  ප්‍රෝටීන ප්‍රමාණය අඩුවීමද ඉතා සුලු වශයෙන් නමුත් ආහාරවල පවතින ප්‍රෝටීන ප්‍රමාණය අඩු වීම හේතුකොට ගෙනත් උදරයේ පවතින ප්‍රෝටීන ප්‍රමාණය අඩුවීම හේතුකොට ගෙනත් වතුර එකතුවීමක් සිදුවෙයි.  එම වතුර දෙපයේ පටක අතර එක් රැස්වීම හේතුකොට ගෙන දෙපා ඉදිමීමට හැකිය. වකුගඩු අක්මාව ආදිය හේතුකොට ගෙන ඇතිවන ඉදිමීම් මෙසේ වෙයි. සාමාන්‍යයෙන් නොයෙක් නොයෙක් හේතුමත කෙනෙක් දෙපා පහළට එන සේ  වැඩි වේලාවක් වාඩි වී සිටී නම් එවිටද ,රැකියා ආදී හේතූන් මත වැඩි වේලාවක් හිටගෙන සිටීම නිසාද යම් කෙනෙකුට වෙනත් කිසිම හේතුවක් නැතිව වුවද දෙපා ඉදිමිය හැකිය.

01

හිටගෙන සිටින විට වැඩිපුරම පීඩනයක් දැනෙන්නේ දෙපාවලටය රුධිරයේ තිබෙන දියර කොටස් රුධිරවාහිනීවලින් පිටතට ලීක් වී පටකවල එකතුවෙයි. තරමක ඉදිමීමක් ඇතිකරවන්නට එම හේතුව සමත්වෙයි. කකුලේම ඇතිවන රෝග තත්ත්වයන් නිසා ඉදිමීම  කුකුලේ තිබෙන ඕනෑම පටකයක ඇතිවෙන්නට පුලුවන. සමේ ඉඳන් අස්ථිය දක්වා ඇති ඕනෑම පටකයක මෙය ඇතිවිය හැකිය.කකුලේ ඇතිවිය හැකි ඉතාම සුලභ තත්ත්වයක් වන වැරිකෝස් වැනි තත්ත්වයකදී වුවත් කකුලේ පවතින කේෂ නාලිකාවල ක්‍රියාකාරිත්වයේ වෙනසක් ඇතිවිය හැකිය .එසේ වූ විට ඒ කේෂ නාලිකාවලින්  රුධිරයේ පවතින දියරමය කොටස් හා  ප්‍රෝටීන කොටස් එළියට ඇවිත් පටකවලට එකතුවෙයි. එමෙන්ම සුදු රුධිරානුත් කේෂ නාලිකාවලින් පිටතට පැමිණ එම පටකවල එකතුවෙයි.මෙම සුදු රුධිරානු හා දියර පටකවල එකතුවීම නිසා එහි ආසාදනයකට සමාන තත්වයක් හට ගනී. එම පටක ඉදිමෙන්නේ ඒ හේතුවෙනි. එම ඉදිමීම පමණක් නොව සම වෙනස් වී සමේ තුවාල ඇතිකිරීමේ තත්ත්වයක්ද ඇතිකරවයි.

නහර ගැටගැසීමේ රෝගය සහිත අයට දෙපා ඉදිමීමට අමතරව තුවාලද ඇතිවන්නේ මේ හේතුවෙනි. පොඩි තුවාලයක් ඇතිවුවහොත් එය සුව නොවී විශාලවීමට මෙන්ම ඉබේම පාහේ තුවාල ඇතිවීමද මෙහිදී දැකිය හැකි අතුරු තත්ත්වයකි. හමේ තත්ත්වය බාලවීම නිසා මෙය සිදුවෙයි. කකුලේ මැද ඇති  ප්‍රධාන ශිරාවලද අපට නොපෙනී වැරිකෝස් තත්ත්වය ඇතිවිය හැකිය. ඩීප් වේන් ඉන්කම්පිටන්ස් යනුවෙන් හඳුන්වන්නේ එම තත්ත්වයයි. සාමාන්‍යයෙන් ශිරාවලින් සිදුකරන්නෙ පටකවල තිබෙන රුධිරය හෘදය වස්තුව වෙත ගෙන යාමය .කුකුලේ මැද නහරවලින් කරන්නේද එයයි .එම කපාට හරි හැටි වැඩ නොකරන විට රෝගියෙකු හිටගත් විට රුධිරය තරමක් පහළට ගමන් කරයි.එම හේතුව නිසා දෙපාවල එන ඉදිමුමට අදාල සියලුම රෝග වල ලක්ෂණ මතුවෙයි. 

මේ තත්ත්වයන් දෙකේදීම දෙපා ඉදිමීමක් ඇතිවෙන්නට පුලුවන. මෙයට අමතරව  ඉතාම බරපතල තත්ත්වයක් ලෙස ඩීප් වේන් ත්‍රොම්බෝසිස් යන තත්ත්වයද මතුවිය හැකිය .දෙපාවල මැද ඇති ප්‍රධාන නහරවල රුධිරය කැටි ගැසීම මෙනමින් හඳුන්වයි. එසේ රුධිරය කැටි ගැසීමෙන් කකුලට ධමනි මගින් එන රුධිරය හෘදයවස්තුව වෙත ගෙන යාම අඩාල වෙයි. එයින්ද ඉහත කී අනෙක් රෝග තත්ත්වයන් වල දී මතුවන ලද ඉදිමුම ඇතුලු සියලුම රෝග ලක්ෂණ මතුකරයි. මීට අමතරව කකුලෙ ඇතුළතින් හැදෙන ලේ කැටියක් ගැලවී ගියහොත්  එය හෘදයවස්තුව හරහා ගොස් පෙනහලු අවහිර කර මරණය පවා ඇතිකිරීමට හේතු මතුකරවිය හැකිය. පල්මොනරි එම්බොලිසම් යනුවෙන් හඳුන්වන්නේ එම තත්ත්වයයි. මෙම තත්ත්වය අප රටේ කකුල් ඉදිමුම කෙරෙහි බලපාන සුලභම හේතුව වශයෙන් දැකිය හැකිය.  කකුලේ ඇති වසාවාහිනී  යනු රුධිරය පමණක් නොව කකුලේ ඇතිවන වතුරද ඉහළට ගෙන යන  අතර ඒවාද නොයෙක් හේතුමත අවහිර විය හැකිය. සමහර හේතු උපතින්ම ඇතිවන ඒවා අතර සමහරක් හේතු රෝග ලෙස ඇතිවන ඒවා වෙයි. උපතින්ම ඇතිවන වසාවාහිනී අවහිර වීම කාණ්ඩ තුනකට බෙදා වෙන්කළ හැකිය. වසාවාහිනී මගින් දියර ඉහළට ගෙනියන්නට නොහැකි වීම නිසා ඒවායේ පවතින සුදු රුධිරානු සහ ප්‍රෝටීනද පවතින බැවින් කකුලේ එකතුවීමෙන් කකුල ඉදිමෙන්න පටන්ගනී. මූලික අවස්ථායේදීම මෙය දැනගතහොත් පාලනය කළ හැකි අතර  කල් ගතවුවහොත් මෙය පාලනය කළ නොහැකිය. මේ හැරෙන්නට පටක තුළ තන්තුවර්ගවල වර්ධනයක් ඇතිවිය හැකි අතර හමෙත් මස්ගොබවලත් අතර ඇති පටකවල තන්තුවර්ගවල වර්ධනයක් ඇතිවී කකුල ස්ථිරවශයෙන්ම ඉදිමෙයි. ෆයිලේරියා යන තත්ත්වයේදීත් සිදුවන්නේ මෙයයි .බරවා මදුරුවා නොමැතිව වුවත් යම් කෙනෙකුට උපතින්ම මෙම තත්ත්වය බලපෑවහොත් මෙසේ ස්ථීර ඉදිමුමක් ඇතිවීම සිදුවිය හැකිය.  

පොඩිකාලේදී මෙන්ම සමහරුන්ට තරුණ වයසේදී හෝ තරමක් වයසට ගිය පසුව වුවත් මේ තත්වයන් මතුවෙන්නට පුලුවන.  වසානාල ඉදිමීම බරවා නිසාද මතුවිය හැකිය . එමෙන්ම සමහර පිළිකාද කුද්දෙටිවලට යෑම හෝ කුද්දෙටිවල හටගැනීම නිසාද කුද්දෙටි අවහිර වී කකුලේ වතුර එකතුවී ඉදිමෙන්නට පුලුවන. පිළිකාවලට කරන සමහර ප්‍රතිකාර එනම් කුද්දෙටිවලට විකිරණ ඇල්ලීමෙන් හෝ ඉවත් කිරීමෙන්ද වසා නාල අවහිර වී කකුල ඉදිමීම ඇතිවන්නට හැකිය.  පාදයේ හමට යටින් ඇති තෙල් තට්ටුවේ  කකුලේ ඇති ඕනෑම පටකයක  අස්ථිවල හා මස්ගොබවල පිළිකාකාරී ගැට මතුවන්නට පුලුවන. හමට බොහෝ යටින් ඇතිවන නිසා එම පිළිකාව වර්ධනය වන විට කකුලේ ඉදිමීම වශයෙන් පෙනෙන්නට පටන් ගනී. මුලු කකුලම හෝ දණහිසෙන් පහලද මෙසේ වන අතර වසා නාල හෝ ගැටිති අවහිර වී එයද මේ ඉදිමුම ඇතිකරලීමට දායක වෙයි. මේ හැරෙන්නට උපතින්ම කකුලේ ඇතිවන විශාලත්වයද අපේ අවධානය යොමුවිය යුතු කාරණයකි. ඇතමුන්ගේ කකුල උපතින්ම තරමක් විශාලය. සමහර වෙලාවට ආබාධයක් නොවන අතර එය ලෙඩක් වශයෙන් දැක්විය නොහැකිය . සමහරුන්ගේ උපතින්ම රුධිර වාහිනීවල වෙනත් වෙනස්කම් පවතී. ටෙස්ටියුලා තත්ත්වයක් වශයෙන් එය හඳුන්වයි. 

left-leg-swelling

උපතින්ම රුධිරය, ධමනියක ඉඳන් ශිරාවකට කෙළින්ම යාම නිසා ( රුධිර කේෂ නාලිකා හරහා නොයා එය මගහැර) රුධිර ගමනය කෙළින්ම ලැබෙන නිසා කකුල විශාලවෙන්නට හැකිය.. නහර තුවාල තත්ත්වයක් ඇතිවුවහොත් ඒ නිසාද මෙය ඇතිවිය හැකිය. අනතුර අවුරුදු දහ අටකට කළින් සිදු වුවහොත් එයට ප්‍රතිකාර නොලැබුණොත් ඇතුළට කා වදින තුවාලයක් ලෙසද මතුවිය හැකිය. සෙලයුලයිටිස් යන තත්ත්වය නිසාද මෙය විය හැකිය. එය ආසාදනයකි. එයින්ද වසා වාහිනිය අවහිර වී පසුකලෙක මෙසේ කකුලක ඉදිමීමක් ඇතිවන්නට පුලුවන.  මේ නිසා යම් අයෙකුගේ පාදයක ඉදිමීමක් ඇතිවුවහොත් වහාම ශල්‍ය වෛද්‍ය උපදෙස් ලැබීමට  යොමු විය යුතුය. විශේෂයෙන් වේදනාවක් රහිතව යම් ඉදිමීමක් ඇතිවුවහොත් එය වහා වෛද්‍ය උපදෙස් වෙත යොමු විය යුතු තත්ත්වයක් සේ සලකන්න. මේ සඳහා ඔබ යා යුත්තේ ශල්‍ය වෛද්‍ය වරයෙකු හෝ ශල්‍ය සායනයකටයි.

 

එක් පාදයක් පමණක් ඉදිමෙනවා නම්.....? සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :