සිරිලක සුරකින දෙවියන් පුදන කෑරගල දෙවොල් මඩු ශාන්තිකර්මය 23 දා සිට
( චානක චන්ද්‍රසේකර ) 2017-09-18 09:18:02
Comments - 0       Views - 383

image-0-02-06-5159a0cbb26f0d5ba817acccd60ec0acdd3c25e1b4ae3e2d3809816bafa62844-V

කෝට්ටේ රාජධානිය බලවත්ව තිබූ වකවානුවේ ක්‍රි.ව. 1415දී පමණ, කෑරගල ශ්‍රී වනරතන මාහිමියන් ආමන්ත්‍රණය කරමින් වීදාගම මෛත්‍රී මාහිමියෝ හංසයෙකු ස්වකීය දූතයා කරගනිමින් නිර්මාණය කළ කාව්‍ය සන්දේශයේ %කෑරගල^ නම් වූ අපූර්ව ගම්මානයද වර්ණනා කළහ. උන්වහන්සේට අවශ්‍යව තිබුණේ සමන්, විභීෂණ, උපුල්වන් හා කඳකුමරු යන දෙවිවරුන්ට පිරිත් දේශනා කර ආශීර්වාද කරන මෙන් වනරතන හිමියන්ගෙන් ඉල්ලා සිටීමය. එමගින් එකල රාජ්‍යය කළ 6 වැනි පරාක්‍රමබාහු රජතුමන්ට මෙන්ම රටට සෙත සලසන ලෙස ඉල්ලීමය.

වනරතන මාහිමියන් රාජ්‍යයට ශාන්තිය උදාකරවීම උදෙසා දෙවියන් වෙනුවෙන් පිරිත් දේශනා කළ අයුරින්ම උන්වහන්සේගේ වර්තමාන දායක පරපුර, වර්තමාන ප්‍රධාන කපුමහතාගේ මූලිකත්වයෙන් කෑරගල හතර පේරුවටත් අවට ගම්මානවලටත් පොදුවේ රටටත් සෙත් ශාන්තිය සලසන මෙන් රාජ්‍යය ආරක්ෂා කරන්නා වූ දේවමණ්ඩලයෙන් ඉල්ලමින් උන්වහන්සේලාට පුදපූජා පැවැත්වීමට මෙවරද කටයුතු සූදානම් කරමින් සිටියි. වාර්ෂිකව සංවිධානය කෙරෙන මේ මහා ආශීර්වාද මංගල්‍යය චාරිත්‍රානුකූලව කප් සිටුවා මේ වනවිටත් ආරම්භ කර ඇති අතර, කෑරගල දෙවොල් මඩුව මේ මස 23 වැනි සෙනසුරාදා උදෑසන සිට කෑරගල රාජමහා විහාරස්ථ භූමියේදී ආරම්භ වීමට නියමිතය.

image-0-02-06-94d78ea9ae698faf9116fc62a1671f781c35b71ed8c510daaf5c3ce2745b2479-V

ලංකාද්වීපයත්, සම්බුද්ධ ශාසනයත් ආරක්ෂා කිරීමේ වගකීම භාරගත් විෂ්ණු දෙවියන් දේශයේ හතර දිග්බාගයන්හි වගකීම තමන්ගේ අණසක යටතේ වෙනත් දෙවිවරුන්ට පවරා ඇත. බටහිර වාහල්කඩ සුරැකීමේ වගකීම භාරගත් සුදුමල් බණ්ඩාර දෙවියන් වෙනුවෙන් දේවාල ද්විත්වයක් පළමුව ඉදිකර තිබේ. කෑරගල සුදුමල් බණ්ඩාර දේවාලයත්, අමුණුගොඩ කුඩුමිරිසේ සුදුමල් බණ්ඩාර දේවාලයත් එසේ පළමුව ඉදිකර ඇති දේවාලයන්ය.

දඹදෙණිය යුගය දක්වා දිවෙන ඉතිහාසයකින් පෝෂිත කෑරගල රාජමහා විහාර භූමියේ ඇති සුදුමල් බණ්ඩාර දේවාලයට ක්‍රි.ව. 1412 දක්වා දිවයන පෞරාණික වටිනාකමක් හිමිවෙයි. කලින් කල සිදුවූ විදේශීය ආක්‍රමණ හේතුවෙන් විනාශව වල්වැදී තිබී නාවින්නේ ශ්‍රී සුමංගල නාහිමියන්ගේ වකවානුවේදී නැවතත් පිළිසකර කරන ලද කෑරගල දේවාලයයේ කෙටිකාලීන කපුමහත්වරුන් විසින් වතාවත් කරගෙන ගොස් ඇත. ඇඹරළුව ශ්‍රී ප්‍රේමරතන නාහිමියන් විහාරාධිපති ලෙස වැඩවිසූ කාලයේදී දේවාලයේ ප්‍රධානියා ලෙස වැඩ ඇරඹූ ඇක්මන් කපුමහතා කෑරගල ශ්‍රී විමලානන්ද නාහිමියන්ගේ කාලයේත් අනතුරුව විහාරාධිපති ලෙස පත්වූ වර්තමාන විහාරාධිපති හිමියන්ගේ කාලය දක්වාත් ස්වකීය සේවය දීර්ඝව කරගෙන යාමට සමත් වූ අයෙකි.

image-0-02-06-27380316928fdf9bd190cdbb0dd7c0a42880566a277cd7a33b18213276b172c3-V

කෑරගල පද්මාවතී රාජමහා විහාරාධිපති රජාවෙල ශ්‍රී නන්දරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනා පරිදි ක්‍රියාත්මක වන කෑරගල දෙවොල් මඩුවේ මෙවරත් සංවිධාන කටයුතු කෙරෙන්නේ දංගහවෙල ගුරු පරම්පරාවෙන් පැවතෙන කෑරගල සුනිල් ප්‍රේමරත්න පත්තිනි කපුමහතාගේ ප්‍රධානත්වයෙනි.

කෑරගල දෙවොල් මඩුවේදී පුදපූජා ලබන දෙවිවරු අතර විෂ්ණු, සමන්, කතරගම, පත්තිනි, දැඩිමුණ්ඩ හා දෙවොල් ආදී දෙවිවරුන් විශේෂිත වෙයි.හතර පේරුවේ මෙන්ම අවට ගම්මානවල දායකයන්ගේ මූල්‍යමය හා ශ්‍රම දායකත්වයත් සංවිධාන ශක්තියත් ඉතා ඉහළින් පෙන්නුම් කෙරෙන වර්තමාන කෑරගල දෙවොල් මඩු ශාන්තිකර්මය ශ්‍රී ලාංකේය සංස්කෘතික උරුමය සුරකින කලා මංගල්‍යයක් බවටද පත්ව තිබේ.

සිරිලක සුරකින දෙවියන් පුදන කෑරගල දෙවොල් මඩු ශාන්තිකර්මය 23 දා සිට සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :