කෝටරක ප්‍රදාහය භයානක රෝගයක්ද?
( නාලිකා රාජපක්ෂ ) 2017-09-12 09:51:37
Comments - 0       Views - 167

සෙම ගැලීම සහ හිසරදය ඇතිවූ අවස්ථාවල බොහෝ දෙනෙකු කතාකරන්නේ මෙය පීනස නැතහොත් සෙම් අමාරුව ඇති වී ඇති ලෙසයි. සමහරු මේ හිසරදය දරාගන්නට බැරිව ආහාර පවා ප්‍රතික්ෂේප කරමින් පසුවන අතර තවත් සමහරු විවිධ අත්බෙහෙත් සොයමින් ලතවෙයි. සැබවින්ම සෙම අමාරුව නැති නම් නාසයට ගඳ සුවඳ නොදැනෙමින් මතුවන මේ තත්ත්වය කුමක්ද? බොහෝ විට මේ සඳහා වෛද්‍යවරයෙකු හමුවුවහොත් ඔබට මේ ඇතිවී තිබෙන්නේ කෝටරක ප්‍රදාහය බව පවසන්ට ඉඩ ඇත. කෝටරක යනු කෙබඳු අවයවයක්ද? මෙය පවතින්නේ හිසේ කුමන කොටසේද? කෝටරක ප්‍රදාහය යනු කුමක්ද, අද අප සෞඛ්‍ය පිටුව තුළින් විමසන්නේ මේ දිනවල ඉතාම බහුල වශයෙන් ඇතමුන් අත් දකිමින් සිටින කෝටරක ප්‍රදාහය පිළිබඳවයි.  


1551_970

ප්‍රතිශ්‍යාව සෑදී ඇත්නම් එය  සෑදී දින කීපයකට පසු පැසවූ සෙම ගැලීම ඔබ සෑම දෙනෙකුම පාහේ අත්විඳ ඇති අත්දැකීමක් වනු නොඅනුමානය. එය මුළුමණින්ම සාමාන්‍ය තත්ත්වයක් නමුත් මෙම තත්ත්වය දිගටම පැවතියහොත් එය සාමාන්‍ය තත්ත්වයක් ලෙස පිළිගන්නට තරමක් අසීරු වෙයි. ඒ එය රෝගී තත්ත්වයක් සහ ප්‍රතිකාර අවශ්‍ය තත්ත්වයක් ලෙස පිළිගන්නා බැවිණි. මෙයට හේතුව හිස්කබල දෙපස ඇති පීනස් කෝටරක නම් වාත කුහර පැසවීමයි. ප්‍රධාන කෝටරක සිදුරු නාසයට විවෘතවන  අතර කෝටරක ආස්තරණය වී ඇත්තේ පක්ෂ්ම නම් කෙඳි සහිත සෛල වලිනි. පක්ෂ්ම චලනය වන විට සෙම සිදුරු තුළින් සෙම නාසය දෙසට ගමන් කරන අතර පසුව උගුර දෙසට යන සෙම නාලය දිගේ පහළට ගමන් කරයි මෙම සිදුරු නොයෙකුත් හේතු නිසා අවහිර විය හැකිය. එවිට කෝටරක වල සෙම එකතු වී බැක්ටීරියා ආසාදන නිසා පැසවයි.

දැන් අප කෝටරක සිදුරු පැසවීමට බලපෑ හැකි ප්‍රධාන හේතු පිළිබඳව විමසමු.  හුස්ම ගැනීමේදී නාසයට ඇතුළු වන ආගන්තුක ද්‍රව්‍ය කෙරෙහ් ඇතිවන ආසත්මිකතාවයන් හේතුවෙන් කෝටරක සහ නාසයේ ඇති ශුක්තිකා ඉදිමීම එක් හේතුවකි. එමෙන්ම පීනසද එක් හේතුවක් වන අතර එහිදී නාසයේ ස්නායු උත්තේජනය වී  ශුක්තිකා ඉදිමෙයි.  ඊළඟ කාරණය ලෙස අපට වෛරස් ආසාදන සම්බන්ධයෙන් අවධානය යොමුකළ හැකිය .සෙම්ප්‍රතිශ්‍යාව වැනි වෛරස් ආසාදන නිසා ශුක්තිකා ඉදිමී ,සෙම ගැලීමට ඉඩ තිබේ.

 එමෙන්ම නාසය අවහිර වී වියළීම නිසා පීනස් කුහරවල සෛලවල පක්ෂ්ම අක්‍රිය වී සෙම එකතුවීමද සැලකිය යුතු කාරණයකි.  නමුත් සමහරු අනුගමනය කරන වැරදි පුරුදුද මෙසේ කෝටරක අවහිර වීම කෙරෙහි බලපායි. ඒ අතරින් ප්‍රධානම එකකි, හිතුමතයේ වෛද්‍ය උපදෙසින් බැහැරව නාසය සිරවීම අඩුකරන බෙහෙත් බොහෝ කළක් භාවිතාව. මේ නිසා කෝටරක බිත්ති තවත් ඉදිමීම සිදුවෙයි.  මේ හැරෙන්නට කෝටරක සිරවීමට බලපානු ලබන තවත් එක් පැහැදිලි හේතුවකි උඩු ඇන්ඳේ නරක් වූ දත් නිසා කෝටරකවලට විෂබීජ පැතිරීම.    
 මේ නිසා ඔබේ දත්වල යම් සිදුරුවීමක් බලපානු ලබන්නේ, මුඛ සෞඛයට පමණක් නොවන බව මතක තබා ගන්න. 

දැන් අප කෝටරක ප්‍රදාහයේදී ඇතිවිය හැකි ප්‍රධාන ලක්ෂණ පිළිබඳව විමසමු. 

සාමාන්‍යයෙන් බෙහෝවිට අප කෝටරක ප්‍රදාහයේ ලක්ෂණ ලෙස හඳුනාගන්නේ, සෙම සහිත ලක්ෂණය සහ හිසරදය විය හැකිය එසේ වුවත් එයට තවත් බහුල රෝග ලක්ෂණ කීපයක් අයත් වෙයි. අනු පිළිවෙලින් ඒ ගැන සළකා බැලුවහොත් සෙම ගැලීම, හිසරදය, අවහිරතාවය, ගඳ සුවඳ නොදැනීම යන ලක්ෂණ ඊට අයත්ය.  දැන් අප කෝටරක ප්‍රදාහයට පවතින ප්‍රතිකාර මොනවාද යන්න පිළිබඳව වඩාත් සවිස්තරව විමසමු. මෙහිදී අප මුළින්ම මේ සඳහා යෙදිය යුත්තේ බරපතලම ප්‍රතිකාර නොව සරලම ප්‍රතිකාරවලින් පටන් ගෙන අනතුරුව ක්‍රම ක්‍රමයෙන් බැරෑරුම් ප්‍රතිකාරවලට ගමන් කිරීමයි.  මුලදී මේ සඳහා බොහෝවිට ප්‍රතිජීවක වේදනා නාශක  පිරිටන් වැනි  පෙති වර්ග හෝ හුමාලය ඇල්ලීම වැනි ප්‍රතිකර්ම යෙදිය හැකිය.

17737Sinusitis

නිදන් ගත තත්ත්වයට පත් වූ පසුව සෙම ඉවත් කිරීමට ශල්‍යකර්මයන් කිරීම දක්වා මෙම ප්‍රතිකාර ක්‍රම දිවෙයි. කෝටරක වල සිදුරු වැසීයාමට හේතුවන ඉහත සඳහන් කළ තත්ත්වයක් ඇතිනම් ප්‍රතිකාර දිගටම කළ යුතුයි. එවිට නැවත  නැවත ප්‍රදාහය ඇතිවීම වළක්වා ගත හැකියි. උඩු ඇන්ඳේ නරක් වූ දත් ඇති නම් දන්ත වෛද්‍යවරයෙකුට පෙන්වා ඉවත් කර ගැනීම වැදගත් බව අමතක නොකරන්න.කෝටරක ප්‍රදාහයේ සංකූලතා මොනවාද යන්නත් අප මෙහිදී අවධානය යොමුකළ යුතු ප්‍රධාන කරුණක්. 

යම් ආකාරයකින් ඇසට ආසාදනය පැතිරීම සිදුවුවහොත් ඇසේ පටක ඉදිමීමකට ලක්වෙයි. නිසි වෙලාවට ප්‍රතිකාර නොලැබුණහොත් ඇස අන්ධවිමේ අවදානමක් පවතියි.  මේ නිසා  යම් කිසි අසාමාන්‍ය තත්ත්වයක් ඔබට ඇති වූ වහාම ඒ සම්බන්ධයෙන් වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමුවෙන්නේ නම් එයින් ඉක්මන් රෝග විනිශ්චයකට එළැඹ රෝගියාට  ඇතිවිය හැකි විවිධ බලපෑම් වලින් පහසුවෙන් ගැලවිය හැකිය. 

සාමාන්‍යයෙන් කපාල කුහරය දෙසට ආසාදනය පැතිර යන්නට කල් වේලා සැපයුනහොත් එයින් වඩාත් භයානක ප්‍රතිඵල අත්විය හැකිය. එසේ කපාළ කුහරයට ආසාදනය පැතිර ගියහොත් මෙනින්ජි ප්‍රදාහය, මොළයේ ගෙඩි ඇතිවීම වැනි සංකූලතා ඇතිවිය හැකිය.  එසේ සිදුවීම ජීවිත තර්ජනයක් ඇතිකරණ කරුණකි.  කෝටරක අවට මුහුණේ අස්ථිවලට ආසාදනය පැතිර යන්නටද ඉඩ තිබේ.  නිතර නිතර පැසවූ සෙම ගලා යාම නිසා උගුරේ ආසාදන කටහඬ බැරෑඬිවීම ඇතිවිය හැකිය.

බොහෝ විට නාසයේ මස්දළු ඇතිවීම සමහර විට මෙයට නෑකම් දක්වන සමහර රෝග ලක්ෂණ ඉස්මතුකරන්නට හැකි නමුත් එහිදී එය නිවැරදිව හඳුනාගෙන ප්‍රතිකාර කළ යුතු නමුත්  එය කෝටරක පැසවීම ලෙස නොසිතිය යුතුයි.  නාසයේ එසේ මස් දලු ඇතිවෙන්නේ ඇයි දැයි සම්පූර්ණයෙන්ම වටහා ගෙන නැති අතර පීනස අසාත්මිකතා ඇති අයටද ඇදුම රෝගීන් අතරද එසේ මස් දළු ඇතිවිය හැකිය. නමුත් කුඩා දරුවන්ට සාමාන්‍යයෙන් මස් දලු ඇති නොවෙයි.

 මස් දලු ඇති වූ විට නාසය අවහිර වී සොටු ගැලීමට හැකියාව පවතී. කටහඬද මේ නිසා වෙනස් විය හැකිය. ගඳ සුවඳ නොදැනි යයි. නින්දෙන් ගෙරවිමද ඇතිවිය හැකිය. රෝගියා පරික්ෂා කළ විට විනිවිද පෙනෙන සුළු මිදිගෙඩි වැනි මස් දලු දැකිය හැකිය. නාසයේ ඇති ශුක්තිකා නම් ප්‍රසර මස් දලු වලින් වෙන්කර හඳුනා ගත යුතු අතර මේ ප්‍රසර දැක ද සමහරු මස් දලු යැයි බියට පත්වෙයි.

maxresdefault

මේ ප්‍රසර රෝස පැහැයෙන් යුතු අතර නාසයේ දෙපස බිත්තියට තදින් සම්බන්ධය.  කුඩා මස් දලු සඳහා ප්‍රතිකාර යෙදිය හැකි අතර නාසය සම්පූර්ණයෙන්ම අවහිර කරන මස්දලු සහ නාස් ආවාරයෙන් එක් පැත්තක පමණක් ඇති මස් දලු ශළ්‍යකර්මයකින්  ඉවත් කළ යුතුය.  බොහෝ විට එසේ ඉවත් කරන මස් දලු පටක වේදී පරීක්ෂාව සඳහා යොමුකළ යුතු අතර නැවත මේ මස් දලු ඇතිවිම වළක්වා ගැනිමට පීනසට සහ අසාත්මිකතාවයට ප්‍රතිකාර කළ යුතුය.කෙසේ නමුත් මේ තත්ත්වයන් දෙකම ආරයට යාමක් දැකිය හැකිය. මේ නිසා  රෝගියා මෙම තත්ත්වයන්ගෙන් ප්‍රවේශම් වීම ඉතාම වැදගත්ය. ඒ සඳහා මේ වත් පිළිවෙත් ඉතාම ප්‍රයෝජනවත් වෙනු නියතය.
උදේ කාලයේ ස්නානය කරන්න සවස් කාලයේ ඇඟ සේදීම වරදක් නොවේ. 

කිරි සහ කිරි මිශ්‍ර ආහාර ගැනීමෙන් වළකින්න. ( යෝගට් අයිස් ක්‍රීම්, බටර්, පුඩිං වර්ග, චීස්) ඇඹුල් කෙසෙල්, බිත්තර, සහ තෙල් අධික මස් වර්ග ද මේ රෝගීන්ට අගුණදායකය.
ගෙදර දොර පිරිසුදු කිරීමේදි මුහුණට මුඛවාඩම් පළඳින්න. රැකියා ස්ථානය දූවිලි අධික නම් යතුරුපැදියක ගමන් කරන්නේ නම් මුහුණු ආවරණය කරගන්න.

 සුරතල් සතුන් නිසා අසාත්මිකතාවය ඇතිවී මස් දලු ඇතිවීමට ඉඩ තිබේ. 
සෙම් ප්‍රතිශ්‍යාව සෑදුන විට නිතරම නාසය සූරා පිරිසුදුව තබාගන්නට උත්සහ දරන්න. පිරිසුදු ලේන්සුවක් ඒ සඳහා යොදාගන්නට හුරුවෙන්න.
 රාත්‍රියට සහ පාන්දරට එළිමහනට යන විට හිස ආවරණය කරගන්න. ඇඟ වෙහෙසා දහඩිය දමන ව්‍යායාමයක නිරතවන විට නාසයේ අවහිරතාවය අඩුවේ. 

 උණුවතුර වාස්ප මුහුණට ඇල්ලිම නිසා ද නාසයේ අවහිරතාවය අඩුකර ගත හැකිය. නාසයට දමන ස්ටීරොයිඩ අඩංගු බිංදු හා ඉසිනයක් මගින් නාසයේ ඉදිමීම අඩුකර ගත හැකිය . නමුත් මේවා පාවිච්චි කළ යුත්තේ වෛද්‍ය උපදෙස් මත පොඩි කාලයකට පමණක් බව අමතක නොකරන්න. 


 

කෝටරක ප්‍රදාහය භයානක රෝගයක්ද? සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :
Loading...