කඩුවෙලින් ආරම්භ වන සැහැල්ලු දුම්රිය සේවයක්
( . . ) 2017-09-12 09:17:45
Comments - 1       Views - 1497

Champika

 

රාජ්‍ය ආයතන සියල්ල බත්තරමුල්ලට ගෙන එන අතර, කඩුවෙලට විධිමත් නාගරික සංවර්ධනයක් අවැසි බවත්, ·මහවැලි ව්‍යාපාරය මෙන් කැලණි ගඟ ව්‍යාපාරයත් වත්මනට අත්‍යවශ්‍ය බවත් මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පසුගියදා කියා සිටියේය.

'සුඛිත පුරවර' සංවර්ධන ව්‍යාපෘතියේ රුපියල් ලක්‍ෂ 1,450 ක ප්‍රතිපාදන, පූර්ණ අධීක්‍ෂණය හා සැලසුම් දායකත්වය යටතේ ඉදිකළ කඩුවෙල සතිපොළ හා අතිරේක බස් නැවතුම්පොළ ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට සහභාගි වෙමින් ඔහු මේ බව කියා සිටියේය. 
මෙම අවස්ථාවට කඩුවෙල ප්‍රාදේශීය සම්බන්ධීකරණ සමසභාපති විද්‍යා, තාක්‍ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය යන මහත්වරුන් ඇතුළු පළාත් සභා මැති ඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කියා සිටියේය.

“බස්නාහිර පළාත ශීඝ්‍රයෙන් නාගරීකරණය වීමත් සමග කොළඹ නගරයේ මිනිසුන්ට පදිංචි වීමට හැකි ඉඩම් පහසුකම් නොමැති වීම හේතුව නිසාත්, එහි වාණිජ වටිනාකම ඉතාම ශීඝ්‍රයෙන් ඉහළ යාම නිසාත් ජනතාව පදිංචි වීම සඳහා පැමිණෙන ප්‍රදේශ ලෙස මෙම කඩුවෙල, හෝමාගම ආදී ප්‍රදේශ හැඳින්විය හැකියි. එහිදී විධිමත් නාගරීකරණයක් මෙම ප්‍රදේශවලට අවශ්‍ය වන නිසා විධිමත් වැඩපිළිවෙළක් කඩුවෙලට සකස් කර ආණ්ඩුව වෙත ඉදිරිපත් කර තිබෙනවා. එහි ප්‍රධාන අංගයක් කඩුවෙල නගර සංවර්ධනය කිරීම, චන්ද්‍රිකා කුමාරතුංග මාවත සංවර්ධනය කිරීම. ඒ වගේම මෙයට සමගාමීව කොළොන්නාව ආසනයේ මුල්ලේරියාව වැව අවට ප්‍රදේශය සංවර්ධනය කිරීම, අතුරුගිරිය ප්‍රදේශයේ නව නගරයක් මෙන්ම විනෝදාස්වාද ප්‍රදේශයක් ඉදිරිකිරීමටද අප කටයුතු කරනවා.

මාලබේ නව නගර නිර්මාණයත්, කඩුවෙල පාර්ලිමේන්තු ප්‍රධාන මාර්ගයේ පවතින දැඩි මාර්ග තදබදයට විසඳුම් ලෙස රජය විසින් ජපන් රජය සමග සාකච්ඡා කර සැහැල්ලු දුම්රිය සේවයක් පිටකොටුව දක්වා සැලසුම් කර තිබෙනවා. මේ වනවිට එහි ශක්‍යතා අධ්‍යයනය සිදුකරමින් තිබෙන අතර, ඉඩම් අත්පත් කරගැනීමත් සිදුවෙමින් පවතිනවා. ලබන වසර අගභාගයේදී එහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.

බත්තරමුල්ල සෙත්සිරිපාය අසල ප්‍රදේශයේ අතිරේක මාර්ගයක් නාගරික සංවර්ධන අධිකාරිය, මාර්ග සංවර්ධන අධිකාරිය සමග එක්ව ඉදිකරමින් පවතිනවා. එහි පළමු කොටස පසුගියදා විවෘත කරනු ලැබුවා. බත්තරමුල්ල ප්‍රධාන ප්‍රවාහන මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා ටෙන්ඩර් පත් මේ වසරේදී කැඳවනවා. එසේම බත්තරමුල්ල ප්‍රදේශයට රාජ්‍ය ආයතන ගෙන ඒම සඳහා මහා පරිමාණ ගොඩනැගිලි 03 ක් ඉදිකිරීමේ කටයුතුද ආරම්භ කිරීමට නියමිතයි. පාර්ලිමේන්තුව අවට ප්‍රදේශය ස්වාධීන කොමිෂන් සභා, අග්‍රාමාත්‍ය කාර්යාලය ඇතුළු කාර්යාල ඉදිකිරීම සඳහා සැලසුමක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව ඊළඟ දශකයේදී කඩුවෙල - බත්තරමුල්ල ප්‍රදේශය සැබෑ මහා නගරයක් හැටියට වෘත්තීයවේදී නගරයක් ලෙස දියුණු වීමට නියමිතයි.

මාලබේ සිට හෝමාගම දක්වා ප්‍රදේශය තාක්ෂණ විශ්වවිද්‍යාල, තාක්ෂණ ආයතනය, විද්වතුන්ගේ පුරවරයක් බවට පරිවර්තනය කරන්න බලාපොරොත්තු වන අතර, ඒ සඳහා දැනට ආයතන 16 ක් පැමිණ තිබෙනවා. ඉදිරියේදී තවත් ආයතන ඒ සඳහා යොමුවීමට ඉඩ තිබෙන අතර, නව යුගයක් මේ කලාපයට ඇති වන බව සඳහන් කළ යුතුයි.

තරගකාරී ලෝක ආර්ථිකය යටතේ තවදුරටත් තේ, පොල්, රබර් මත ආර්ථිකය ගෙනයන්න බැහැ. අපට තවදුරටත් ඇඟලුම් කර්මාන්තය මත ආර්ථිකය ගෙන යා නොහැකියි. තාක්ෂණයත්, නවෝත්පාදනයත් හරහා නව ගමනකට අපි අවතීර්ණ යුතුයි. ඒ තුළින් ආර්ථිකය සවිබල ගැන්විය යුතුයි. ඒ සඳහා රජය විසින් තෝරාගෙන තිබෙන්නේ මාලබේ සිට හෝමාගම දක්වා ප්‍රදේශය. එබැවින් මෙම නගරය අනාගතයේදී වියත් නගරයක් බවට, තාක්ෂණික පුරවරයක් බවට පරිවර්තනය වන බව බොහෝම ආඩම්බරයෙන් ප්‍රකාශ කරනවා.

මහවැලි ව්‍යාපාරය, වළවේ ව්‍යාපාරය මෙන්ම මෙරටට අත්‍යවශ්‍යම ව්‍යාපාරය තමයි කැලණි ගඟ ව්‍යාපාරය. කැලණි ගඟ නිසි ලෙස සංවර්ධනය කර කඩුවෙල සිට කොළඹ දක්වා විකල්ප මාර්ගයක් ගං ඉවුර භාවිත කරමින් ඉදිකිරීමටත්, කැලණි ගඟේ ජල මට්ටම පාලනය කර කොළඹ වරායේ කුඩා නැව් කඩුවෙල දක්වා ගෙනැවිත්, අධිවේගී මාර්ගයත් සමග ගාල්ල වරාය සහ හම්බන්තොට වරාය දක්වා සම්බන්ධ කිරීමට හැකි වන ලෙස මෙම කැලණි ගඟ ව්‍යාපාරය ගොඩනැගිය යුතුයි. ඒ නිසා මෙම ව්‍යාපෘතිය රජය වෙත ඉදිරිපත් කළා. ඒ සඳහා ගරු ජනාධිපතිතුමාගෙත්, අග්‍රාමාත්‍යතුමාගේත් ශක්තිය මේ සඳහා ලැබෙයි කියා බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම විද්වතුන්ට, වෘත්තීයවේදීන්ට නිවාස 50,000 ක් ඉදිකිරීම් කටයුතු සිදු කරගෙන යන අතර, පැල්පත්වාසීන්ටද නිවාස 50,000 ක් ඉදිකරමින් පවතිනවා. එහි නිවාස 20,000 ක් මේ වනවිට ඉදිකර අවසන් කර තිබෙනවා. එමගින් රට තුළ පැල්පත්වාසී යුගය අවසන් කිරීමට කටයුතු කරන අතර, මධ්‍යම පන්තිය සඳහා විධිමත් අනාගතයක් ඇති කිරීමටත් කටයුතු කරනවා. එවැනි අනාගතයක් සඳහා රට ගෙනයාමට නම් කුමන පක්ෂයකින් හෝ උගත්, බුද්ධිමත් වෘත්තීයවේදීන් පිරිසක් අතට කඩුවෙල නගර සභාව පත් කරන ලෙස ඉල්ලා සිටිනවා.*

 

කඩුවෙලින් ආරම්භ වන සැහැල්ලු දුම්රිය සේවයක් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (1)
Posted by Raawana on (2017-09-12 11:00:02)

Mokada kekiri kolambata witharak? Issara Opanayaka indala colobo walata dumriya thibuna. narakad e maargaya wedi diyunu kaloth? ethakota gamatath kekiri lebenawane.

Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :
Loading...