X
බලධාරීන්ගේ වරදින් රටටම ප්‍රශ්නයක් වූ වකුගඩු රෝගය
( ඉන්දික හේවාවිතාරණ ) 2017-09-12 09:14:07
Comments - 1       Views - 618

මීට දශකයකට දෙකකට පෙර නුවර කලාවිය ප්‍රදේශවල ජනතාවට ප්‍රශ්නයක් වී තිබූ වකුගඩු රෝගය අද රටේම ප්‍රශ්නයක් බවට පත් වී හමාරය. කෘෂි රසායන භාවිතය නිසා ඇතිවන මෙම වකුගඩු රෝගය පිළිබඳව ලංකාවේ මුල්ම වරට අවධානය යොමු වී තිබෙන්නේ 1993 වසරේදීය. පදවිය ප්‍රදේශය ගොවියෙකු හඳුනානොගත් වකුගඩු රෝගයකින් මිය යාමත් සමග ඒ පිළිබඳව දේශීය පරීක්ෂණ කණ්ඩායම්වල අවධානය යොමු වී ඇත. 


එහෙත් මෑතක් වනතුරුත් රෝගය ඇතිවන්නේ කුමන කාරණයකටද යන්න තහවුරු කර ගැනීමට නොහැකි විය. 
මේ නිසා රෝගය පැතිර යාම වළක්වා ගැනීමට සෞඛ්‍ය බලධාරීන්ට කිසිවක් කළ නොහැකි වූ අතර, සිදුකළ හැකි වූයේ රෝගී වූ පසු රෝග පාලනයකට ප්‍රතිකාර කිරීම පමණි. 

එහෙත් පරීක්ෂණ කණ්ඩායම දිගින් දිගටම සිදුකළ පරීක්ෂණවලට අනුව හඳුනානොගත් වකුගඩු රෝගය ලෙස හැඳින්වූ වකුගඩු රෝග ඇතිවීමට කෘෂි රසායනික හා පොහොර බලපාන බවට තහවුරු කර ගැනීමට හැකි වී තිබේ. 
ශරීරයට විෂ ද්‍රව්‍ය ඇතැම් කෘෂි රසායනවල අධිකව අඩංගු බවට තහවුරු වී තිබූ බැවින් 1980 අංක 33 දරන පළිබෝධනාශක පාලනය කිරීමේ පනතට අනුව 2014 දෙසැම්බර් 22 වැනි දින කෘෂි රසායන ද්‍රව්‍ය 05 ක් මෙරට තුළ භාවිත කිරීමද සීමා කරනු ලැබිණි. 
මේ අනුව අනුරාධපුර, පොළොන්නරුව,  කුරුණෑගල, මොනරාගල දිස්ත්‍රික්කවලත්, බදුල්ල දිස්ත්‍රික්කයේ මහියංගණය, රිදීමාලියද්ද, කන්දකැටිය ප්‍රදේශවලත් මෙම කෘෂි රසායන ද්‍රව්‍ය 05 භාවිත කිරීම, අලෙවි කිරීම, ප්‍රදර්ශනය කිරීම තහනම් කරනු ලැබිණි. 
මෙලෙස තහනම් කරනු ලැබුවේ ග්ලයිෆොසේට්, ප්‍රොපනිල්, කාබරිල්, ක්ලෝයිරිපොස්, කාබෝෆියුරාන් යන කෘෂි රසායනික ද්‍රව්‍යයන්ය. 

Natural-Insecticide copy  

ග්ලයිෆොසෙට් භාවිතය හරහා ජනතාවගේ ජීවිත අනතුරට ලක්වන බවට විවිධ පාර්ශ්ව දිගින් දිගටම පෙන්වා දීමෙන් පසු 2015 ජුනි මස 11 වැනි දින නිකුත් කළ අංක 1918/22 දරන ගැසට් නිවේදනය මගින් ග්ලයිෆොසෙට් ගෙන්වීම, බෙදාහැරීම, අලෙවි කිරීම, ප්‍රදර්ශනය කිරීම සපුරා තහනම් කරනු ලැබිණි. 

එහෙත් ජාවාරම්කරුවන් විසින් විවිධ උපක්‍රම භාවිත කරමින් ග්ලයිෆොසෙට් ගෙන්වීමට කටයුතු කළ අතර, මෑත කාලයේදී ග්ලයිෆොසෙට් කුඩු වශයෙන් අලෙවි කිරීම සිදුකළ බවටත් වාර්තා විය. 
ග්ලයිෆොසෙට් ජාවාරම සම්පූර්ණයෙන් නවතා ගැනීමට නොහැකි වීම හා උග්‍ර විෂ සහිත අනෙකුත් කෘෂි රසායන ද්‍රව්‍ය හතර දිස්ත්‍රික්ක කිහිපයක භාවිත කිරීම තහනම් කිරීමත් යන කාරණය මත අද දවස වන විට දිස්ත්‍රික්ක 12 ක ජනතාව වකුගඩු රෝගයට ගොදුරු වී සිටී. 
ආරම්භක අවස්ථාවේදී දිස්ත්‍රික්කයක් තුළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙක තුනක පැතිර ගොස් තිබූ වකුගඩු රෝගය අද වන විට දිස්ත්‍රික්කයක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතරක් පහක් දක්වා ව්‍යාප්තව ගොස් ඇත. 

නවතම පරීක්ෂණවලට අනුව මෙතෙක් රෝගය පැතිර නොතිබූ ප්‍රදේශ 12කටත් රෝගය පැතිර ගොස් තිබෙන බවට වෛද්‍ය පර්යේෂණ කණ්ඩායම් තහවුරු කරගෙන තිබේ. 
මීට අමතරව මන්නාරම දූපතෙත් රෝගීන් සිටිය හැකි බවට මත පළවී තිබෙන බැවින් එම ප්‍රදේශයේ ජනතාව පිළිබඳවත් පරීක්ෂණයක් සිදුකිරීමට දේශීය පර්යේෂණ කණ්ඩායම් සැලසුම් කර ඇත. 

ඒ අනුව පසුගිය කාලයේ සිදුකළ පරීක්ෂණවලට අනුව කෘෂි රසායන ද්‍රව්‍ය නිසා රෝගය වැලඳුණු රෝගීන් විශාල ලෙස තිරප්පනේ තලාව, දඹුල්ල, දේවහූව, එප්පාවල, මරදන්කඩවල, ගලේවෙල, හෙට්ටිපොල, කුලියාපිටිය, පොල්පිතිගම, රාජාංගණය, තඹුත්තේගම යන ප්‍රදේශවලින් වාර්තා වන බවද එම පරීක්ෂණ කණ්ඩායම් තහවුරු කර තිබේ. 

Paddy Field 7

දිස්ත්‍රික්ක වශයෙන් ගතහොත් අනුරාධපුර, පොළොන්නරුව, මාතලේ, කුරුණෑගල, මුලතිව්, ත්‍රිකුණාමලය, මහනුවර, බදුල්ල, අම්පාර, වව්නියාව, මොනරාගල යන දිස්ත්‍රික්කවලින් රෝගීන් වාර්තා වී ඇත. 
එහෙත් රටේ අනෙකුත් දිස්ත්‍රික්කයන්හී කෘෂි රසායන ද්‍රව්‍ය හේතුවෙන් වකුගඩු රෝගීන් නොමැති යැයි කිසිවෙකුටත් සහතිකයක් ලබාදිය නොහැක. මන්දයත් එවැනි රෝගීන් සිටීදැයි සොයා බැලීමට කිසිදා රට තුළ පරීක්ෂණයක් සිදු වී නොමැති බැවිනි.  
එමෙන්ම රෝගය පැතිර යමින් තිබෙන දිස්ත්‍රික්කවල පවා කොතරම් රෝගීන් සිටිනවාද යන්න තහවුරු කරගෙන නොමැත. යම් හෝ සංඛ්‍යාලේඛනයක් තිබේ නම් ඒ රජයේ රෝහල්වලට ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන රෝගීන්ගේ සංඛ්‍යාවක් පමණි. 
වකුගඩු රෝගය ඇත්දැයි අදාළ පුද්ගලයාට කුමන හෝ අයුරකින් දැනගැනීමට හැකිවන්නේ වකුගඩුවලට 30%කට වඩා හානි සිදුවූ පසුව බවට වෛද්‍යවරුන් සඳහන් කරන කාරණයකි. මේ නිසා තමන්ගේ වකුගඩුවලට හානි සිදු වී තිබියදීත් ඒ පිළිබඳව නොදන්නා අතිවිශාල පිරිසක් අප රට තුළ සිටිය හැකිය. 

අදාළ රෝගය මුල් අවස්ථාවේදී හඳුනාගතහොත් රෝගය සම්පූර්ණයෙන්ම සුව කිරීමට හැකි බවට වෛද්‍යවරුන් පෙන්වා දෙයි. ඒ සඳහා සිදුකළ යුතු වන්නේ මුත්‍රා සාම්පල් පරීක්ෂාවක් පමණක් බවත්, ඒ සඳහා වියදම් වන්නේ සුළු මුදලක් බවත් වෛද්‍යවරු පෙන්වා දෙති. 
එහෙත් දරිද්‍රතාවෙන් පෙළෙන ගොවි ජනතාව අදාළ පරීක්ෂණය සිදුකර ගැනීමට නගරයේ තිබෙනා පරීක්ෂණාගාරයක් තුළට පැමිණේවිදැයි සැක සහිතය. එබැවින් රජයක් ලෙස සිදුකළ යුතු වන්නේ රෝගය පැතිර යන බවට තහවුරු වී තිබෙන දිස්ත්‍රික්ක 12 හි සමස්ත ජනතාවගේම මුත්‍රා සාම්පල් පරීක්ෂාවකට ලක්කිරීමය. ජාතික වැඩපිළිවෙළක් ලෙස මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළහොත් බොහෝ ආයතන මේ සඳහා අනුග්‍රහය පවා දැක්වීමට ඉඩ තිබේ. 

එහෙත් රජයක් ලෙස එවන් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ආකාරයක් පෙනෙන්නට නැත. රටේ වෛද්‍යවරුන් කිහිපදෙනෙකු හා විශ්වවිද්‍යාල දෙක තුනක් මෙම රෝගය පිළිබඳව පරීක්ෂා නොකරන්නට මෙම දිස්ත්‍රික්කවලින් බොහෝ ප්‍රමාණයක රෝගීන් සිටිනවාද යන්නවත් සොයා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැත. 

රාජ්‍ය අනුග්‍රහය නොමැති තත්ත්වයක් තුළ පවා රජරට වෛද්‍ය විද්‍යාලය ඇතුළු විශ්වවිද්‍යාල කිහිපයකම පර්යේෂණ කණ්ඩායම් රෝගය ව්‍යාප්ත වී ඇතැයි සැක ඇතිවන ප්‍ර‘දේශවල විශේෂ පරීක්ෂා කිරීම් සිදුකරනු ලබයි. 
බරපතළම කාරණය වී තිබෙන්නේ මෙය ජාතික ව්‍යසන තත්ත්වයක් බවට පත්ව තිබියදීත් ඒ සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකස් නොකිරීමය.

පොදුවේ වකුගඩු රෝගීන් වූ පුද්ගලයන්ට රුපියල් තුන් හාරදහසක්, එසේ නොමැති නම් රුපියල් පන්දහසක් වැනි මාසික දීමනාවක් ලබාදුන්නද රෝගී ජනතාවට අවශ්‍ය වෛද්‍ය පහසුකම් පුළුල් කිරීමක් හෝ අවදානම් තත්ත්වයේ සිටිනා පිරිස් සොයා ප්‍රතිකාර ලබාදීමට රට තුළ වැඩපිළිවෙළක් නොමැත. 

රෝගය රටින් තුරන් කිරීමට නම් රෝගයට ප්‍රතිකාර කිරීම, රෝග නිවාරණයට අවශ්‍ය කටයුතු කිරීම හා රෝගය වැළඳීම නිසා අසරණ වූ පවුල් ඒකක නඟාසිටුවීම සිදුකළ යුතු ප්‍රධානතම කර්තව්‍යයන්ය. 
තවද රෝගය වැලඳුණු පිරිස් සඳහා සිදුකළ යුතු රුධිරය පිරිසුදු කර ගැනීමේ කටයුත්ත නිසිලෙස සිදුකිරීමට ලංකාවේ කිසිදු රෝහලක පහසුකම් නොමැති බවට වෛද්‍යවරු පෙන්වා දෙති. 

සමහර රෝගීන්ට දින හතරකට වරක් නිශ්චිත පැය ගණනක් රුධිර කාන්දු පෙරීම සිදුකළ යුතුය. රජයේ රෝහල්වල නියමිත පහසුකම් නොමැති වීම නිසා අදාළ කටයුත්ත නිසි ලෙස සිදුකිරීමට නොහැකි වී තිබේ. මෙම කටයුත්ත පෞද්ගලික අංශයෙන්ද සිදුකරන නමුත් ඒ සඳහා එක්වරකට ආසන්න වශයෙන් රුපියල් 4000 සිට රුපියල් 8000 දක්වා මුදලක් ගෙවීමට සිදුවනු ඇත. 

කනකර උකස් කර හෝ බැංකු ණයක් ලබාගෙන ගොවිතැන් කටයුතු කරන දුප්පත් ගොවීන්ට රුපියල් 4000 ක් යනු විශාල මුදලකි. මේ නිසා ආණ්ඩුව සිදුකරන අනවශ්‍ය වියදම් නතර කර දමා රෝගී ජනතාව සුවපත් කිරීමට අවශ්‍ය තරම් මුදල් වෙන් කිරීම ජනතාවට වග කියන ආණ්ඩුවේ වගකීමකි. 

url

රෝගය මුල් කාලයේදීම හඳුනාගැනීම සඳහා ග්‍රාමීය මට්ටමින් විශේෂ වැඩපිළිවෙළක් සකස් කළ යුතුය. ආණ්ඩුවට වුවමනාවක් තිබේ නම් එය එතරම් අපහසු ක්‍රියාවක් නොවනු ඇත. මන්දයත් සෑම ග්‍රාම නිලධාරී වසමකටම ආසන්න වශයෙන් රාජ්‍ය නිලධාරීන් 06 දෙනෙක්වත් රාජකාරී කරනු ඇත. මෙම පිරිස අතරට පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ද ඇතුළත්ව සිටී. එමෙන්ම හෙද විදුහල්වල 8000කට ආසන්න ප්‍රමාණයකුත්, වෛද්‍ය විද්‍යාල තුළ 8000කට ආසන්න ප්‍රමාණයකුත්, පවුල් සෞඛ්‍ය සේවා පුහුණු පාසල් තුළ තුන්දහසකට ආසන්න ප්‍රමාණයකුත් ඉගෙනුම ලබති. 

මෙම පිරිසට අමතරව අතුරු වෛද්‍ය සේවා හා පරිපූරක වෛද්‍ය සේවා පුහුණු පාසල් තුළත් සැලකිය යුතු පිරිසක් අධ්‍යාපනය හදාරති. මෙම සියලුදෙනාගේම සහායත්, රජයේ රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන්ගේ සහායත් මත රෝගය පැතිර යමින් තිබෙනා දිස්ත්‍රික්කවල රෝගය වැලඳීමේ අවදානමේ සිටින පිරිස් හඳුනාගැනීමේ පරීක්ෂණ පැවැත්විය හැකිය. 

අවශ්‍ය වන්නේ ඒ සඳහා ජාතික මට්ටමින් වැඩපිළිවෙළක් නිර්මාණය කිරීම පමණි. අවාසනාවට කරුණ වී තිබෙන්නේ බංග්ලාදේශයට, නේපාලයට කරදරයක් වූ විට ආධාර උපකාර කිරීමට මේ නිසා හිත උණු වූ හිටපු පාලකයන්ට හා වර්තමාන පාලකයන්ට තම රටේ ජනතාවගේ විපත නොදැනීමය. 

අඩුම තරමින් රට තුළ කොතරම් රෝගීන් සිටිනවාද යන්න හෝ කොතරම් පිරිසක් මරණයට පත් වී තිබේද යන්න පිළිබඳව දැනගැනීමටවත් රජයට සංඛ්‍යාලේඛන නොමැත. 
මියගිය ප්‍රමාණය ආසන්න වශයෙන් 25,000කට අධික බව හා රෝගීන්ගේ ප්‍රමාණය 79,000කට ආසන්න බවට ප්‍රකාශ නිකුත් කළත් ඒවා නිවැරදි සංඛ්‍යාලේඛන ලෙස තහවුරු කිරීමට කිසිවෙකුත් ඉදිරිපත් වන්නේ නැත. 

මීට අමතරව රෝගය ඇතිවීමට බලපාන බවට තහවුරු වීම නිසා ප්‍ර‘දේශ ගණනාවක භාවිතය තහනම් වූ ප්‍රොපනිල්, කාබරිල්, ක්ලෝෆයිරිපොස්, කාබොෆියුරාන් කෘෂි රසායන ද්‍රව්‍ය තවමත් එම ප්‍ර‘දේශවල භාවිත වනවාද යන්න සොයා බැලීමක්වත් සිදුවනවාද යන්න සැක සහිතය. මෙම කෘෂිරසායන ද්‍රව්‍ය භාවිත කරන ප්‍ර‘දේශවල වකුගඩු රෝගය පැතිර යාමක් හෝ රෝග ලක්ෂණ තිබේද යන්නවත් සොයා බලන්නේ නැත. 

මැතිවරණයක් ප්‍රකාශයට පත් වී තිබූ අවස්ථාවක මෙම තහනම නිකුත් වීම නිසා ප්‍ර‘දේශ කිහිපයක හෝ මෙම කෘෂි රසායන ද්‍රව්‍ය භාවිත කිරීම තහනම් කර තිබෙන බවට බොහෝ පිරිස් දන්නවාද යන්නත් ප්‍රශ්නයක්ව තිබේ. එහෙත් කාගේ හෝ වුවමනාවකට ග්ලයිෆොසෙට් තහනමට පමණක් විශාල ප්‍රසිද්ධියක් ලබාදුන් අතර, අනෙක් කෘෂි රසායන තහනම පිළිබඳව සමාජ කතිකාවෙන් ඉවත්ව ගොස් තිබේ. 

තහනම් කළ කෘෂි රසායන ද්‍රව්‍ය පිළිබඳව හා කෘෂි රසායන නිසා ඇතිවන ලෙඩ රෝග පිළිබඳව දැනුවත් කිරීමේ ප්‍රධාන වගකීම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සතුය. 
මේ ආකාරයට රටට එළවළු ටික, සහල් ටික, ධාන්‍ය වර්ග හා පලතුරු ටික ලබාදුන් ගොවීන් ආකාලයේ මිය යෑම පිළිබඳවත් කෘෂිකර්ම අමාත්‍යාංශය වගකිව යුතුය.
අනාදිමත් කාලයක සිට මෙරට තුළ තිබුණේ ධාර්මික ගොවිතැනකි. එය පැහැදිලිවම කියනවා නම් සොබාදහමට අනුගත වෙමින් සිදුකළ ගොවිතැනකි. පාරම්පරිකව පැවතගෙන ආ මෙම ගොවිතැන් ක්‍රමය වෙනස් කරන්නේ 1960 දශකයේ සිටය. 1942 වසරේදී ඇමරිකානු ජාතික විද්‍යාඥයෙකු වන නෝමන් බෝලෝග් විසින් ලොවට හඳුන්වාදුන් හරිත විප්ලවය රටට හඳුන්වා දීම තුළිනි. 

70 දශකය ආසන්න වන විට ශ්‍රී ලංකාවේ ශිෂ්‍යයන්ට ඇමරිකාවේ විශ්වවිද්‍යාලවල කෘෂිකර්ම උපාධිය ලබාගැනීමට අවස්ථාව හිමි වූ අතර, එලෙස උපාධිය ලබාගෙන පැමිණි පිරිස් පාරම්පරික ගොවිතැන වෙනුවට යන්ත්‍රසූත්‍ර භාවිත කරමින්, කෘෂි රසායන භාවිත කරමින් සිදුකරන ගොවිතැන හඳුන්වාදීමට කටයුතු කළේය. 

අල්ලක් වපුරා මල්ලක් පුරවන්නට අස්වැන්න ලබාගත හැකිය යන සංකල්පය යටතේ හඳුන්වාදුන් හරිත විප්ලවය අද වන විට ශ්‍රී ලංකාව විසාලා මහනුවරක් බවට පත්කරන තැනට පත්කරමින් තිබේ. 

බලධාරීන්ගේ වරදින් රටටම ප්‍රශ්නයක් වූ වකුගඩු රෝගය සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (1)
Posted by Sashika on (2017-09-14 11:17:41)

Whatever we want to minimize Chronic Kidney Disease. Therefore we want to change our behavioral patterns. And want to do work together to reduce this dangerous disease.

Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :