X
විශ්වවිද්‍යාල ගුරුවරුන් සඳහා නව ඉගැන්වීමේ ව්‍යාපෘති කිහිපයක් හඳුන්වා දෙයි
( මාලන් විදානපතිරණ ) 2017-09-11 10:06:01
Comments - 0       Views - 707

නෙස්කෝ සංවිධානය මගින් උසස් අධ්‍යාපනය නංවනු වස් නව උගැන්වීමේ නවතා ව්‍යාපෘතියක් (Project of Building staff capacity for ICT-Driven Innovation in Cambodia and Srilanka) ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල ගුරුවරුන් සඳහා හඳුන්වා දී ඇති අතර, ඒ පිළිබඳව සහ වත්මන් අධ්‍යාපන ක්‍රමය පිළිබඳ කතාබහක යෙදීමට කොළඹ විශ්වවිද්‍යාලයීය උපකුලපති මහාචාර්ය ලක්ෂ්මන් දිසානායක මහතා අප සමග එක්වූයේය.


Q මෙවැනි නව්‍ය උගැන්වීමේ ව්‍යාපෘතියක් ශ්‍රී ලංකාවට වැදගත් වෙන්නේ ඇයි?

අපි අද ජීවත් වෙන්නේ ස්මාට් සංස්කෘතියක. ජාත්‍යන්තරව බැලූ විට තියෙන්නෙත් ස්මාට් දේශන ශාලා සංස්කෘතියක්. එහෙම නැතුව කළුලෑලි සංස්කෘතියක් නෙමෙයි. අපි ඊට අනුගත විය යුතුයි. ඒ අනුව එවැනි වටපිටාවක් නිර්මාණය කිරීමයි අපේ අරමුණ. ඊට විද්‍යාර්ථයන්ටත් උද්වේගයක් පැවතිය යුතුයි. ප්‍රායෝගිකත්වය තිබිය යුතුමයි. ඒ නිසා අපි කළ යුත්තේ දක්ෂයා ආරක්ෂා කිරීම සහ අදක්ෂයා දක්ෂයකු කිරීමයි. එයයි ගුරුවරයාගේ දක්ෂතාව. අනික ගුරුවරයා කියන්නේ යාවත්කාලීන වන කෙනෙක්. එයයි වැදගත් වෙන්නේ.

Q විශ්වවිද්‍යාලවල පවතින ගුරුකුල සංස්කෘතිය ගැන මොකද හිතන්නේ? 

දේශකයා අභියෝගයට ලක් කිරීමට විද්‍යාර්ථයාටත් නිදහස තිබිය යුතුයි. විද්‍යාර්ථයාගේ මතයට ගරු කිරීමේ හැකියාව දේශකයාට තිබිය යුතුමයි. ඒ නිසා විභාග මට්ටමේදී පෞද්ගලික පළිගැනීම් සිදුනොවිය යුතුමයි. එතකොටයි විශ්වවිද්‍යාලයෙන් අපේක්ෂා කරන විද්‍යාර්ථයා බිහිවෙන්නේ.

Q දියුණු රටවල දැන් පවතින්නේ දැනුම පදනම් කරගත් ආර්ථිකයක් නෙමෙයි නේද?

ඔව්. දැන් පවතින්නේ නිර්මාණාත්මක ආර්ථිකයක්. ඒ නිසා නව පර්යේෂණ, නව නිපැයුම් සමගින් තමයි අපි ඒ පිම්ම ජයගත යුතු වන්නේ. ඒ නිසා අපි ගෝලීය ආර්ථිකයක් සමගයි ඉදිරියට යා යුත්තේ.

Q ඒත් සෙසු පීඨයන්ට සාපේක්ෂව විශ්වවිද්‍යාලවල ශාස්ත්‍ර පීඨවල අද පවතින්නේ බංකොලොත් බවක්?

කිසිම විෂයයකට කිසිම විෂයයක් දෙවෙනි නැහැ. එහෙම අපට සංසන්දනය කරන්නත් බැහැ. ශාස්ත්‍ර පීඨවලින් තමයි ලෝකයා බලාපොරොත්තු වන නව සංකල්ප බිහි වෙන්නේ. ඒ නිසා එවැනි සංකල්ප බිහිවිය යුතුයි. මොකද ඒ සඳහා අවශ්‍ය න්‍යායාත්මක දැනුම අපට ලැබෙනවා. එයින් අපට සෙසු පීඨ සඳහාත් දැඩි බලපෑමක් ඇති කළ හැකියි. එයයි විශ්වවිද්‍යාල ශාස්ත්‍ර පීඨ සිසුවාගෙන් ලෝකයාට ලැබිය යුත්තේ. උදාහරණයක් විදිහට මම පශ්චාත් උපාධි ආයතනයේ පීඨාධිපතිව සිටිනා අවධියේදී පශ්චාත් උපාධි සිසුන්ට තොරතුරු තාක්ෂණය හරහා තමන්ගේ අධ්‍යාපන කටයුතු ආවරණය කරගන්නා ආකාරය හඳුන්වා දුන්නා. ඒ අනුවයි මොබයිල් සංස්කෘතියකට අනුව ඉගෙනීම (Mobile Learning) විශ්වවිද්‍යාලයට එකතු වෙන්නේ. දැනටත් එහි අයිතිය පවතින්නේ මට.

Q වෘත්තීමය ජීවිතය සාර්ථක කර ගැනීමත් විද්‍යාර්ථයාගේ ප්‍රධානතම අභියෝගයක්?

අපි ඒ වෙනුවෙන් රැකියා සල්පිලක් පවත්වනවා. මම තමයි එය විශ්වවිද්‍යාලයේ ආරම්භ කළෙත්. ඒ අනුව මෙවර සල්පිලේදී ස්ථිර රැකියා පත්වීම් සියයකට අධික ප්‍රමාණයක් එවෙලේම විද්‍යාර්ථයන්ට ලැබුණා. තවත් සියයට අධික ප්‍රමාණයකට තාවකාලික පත්වීම් ලැබුණා. අනික එම පෞද්ගලික ආයතනම තමයි මීට අනුග්‍රාහකත්වය දක්වන්නේත්. මොකද ඔවුන් දන්නවා විශ්වවිද්‍යාලවල විද්‍යාර්ථයාගේ බුද්ධි මට්ටම ගැන. 

Q නමුත් වෘත්තීය අධ්‍යාපනය සහ දැනුම කේන්ද්‍රීය අධ්‍යාපනය යා යුත්තේ පීලි දෙකක නේද?

නැහැ. පීලි දෙකක යා යුතු නැහැ. දැනුම කේන්ද්‍රීය අධ්‍යාපනය ඔස්සේ තමයි වෘත්තීය අධ්‍යාපනයට අවශ්‍ය පදනම ගොඩනැගෙන්නේ. විශේෂයෙන්ම ශාස්ත්‍ර පීඨයේ සිසුන් මුහුණදෙන රැකියා අර්බුදය ගැන අපි පැහැදිලි අවධානයක් යොමු කරලා තියෙනවා. ඒ අනුව තමයි වෘත්තීය මාර්ගෝපදේශක මධ්‍යස්ථානය අපි දියුණු කළේ. නමුත් අපට බැහැ විද්‍යාර්ථයන්ගේ සම්පූර්ණ පෞරුෂත්වය දියුණු කරන්න. ඒක විද්‍යාර්ථයාගේ කටයුත්තක්. අනික ඉතිහාසය වැනි නව විෂයයන් පවා මෙවැනි නව අධ්‍යාපන ක්‍රම ඔස්සේ අලුත් වෙනවා. එයයි මෙවැනි නව ඉගැන්වීමේ ක්‍රමවේදවල අරමුණ.

Q කෙසේ නමුත් මානව දයාවෙන් යුතු සෞන්දර්යාත්මක විශ්වවිද්‍යාල සිසුවෙක් බිහිකරන යාන්ත්‍රණයක් මීට පෙර විශ්වවිද්‍යාල පද්ධතියේ පැවතුණා?

ඒක කාලයක් තිස්සේ සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියේම පවතින ගැටලුවක්. අපි සීමාවලට කොටු වෙලා. න්‍යායාත්මක බවට ප්‍රමුඛතාව ලබා දීලා. එයයි අර්බුදය. මම එම පරතරය අපේ විශ්වවිද්‍යාල ඇතුළේ අඩු කරන්න උත්සාහ කරනවා. එවැනි උපක්‍රම අනුගමනය කරලා තියෙනවා. මොකද මට එවැනි වටපිටාවක් අලුතින් නිර්මාණය කරන තාක්ෂණ පීඨය ඇතුළේ ගොඩනගන්න හැකියාව ලැබුණා. ඒ අනුව අපි ඒ හරහා සියලුම පීඨ එකතුකර ගත්තා. එයයි විය යුත්තේ. මොකද මෙය විදෙස් විශ්වවිද්‍යාලවල සිදුවෙන සාමාන්‍ය දෙයක්. 

Q විද්‍යාර්ථයා කළ යුත්තේ දේශකයාට අවශ්‍ය දේද?

දේශකයෙක් කියලා කියන්නේ පාසල් ගුරුවරයෙක් නෙමෙයි. වනපොත් කරන කෙනෙක් නෙමෙයි. එය ඊට වඩා වෙනස් භූමිකාවක්. එය දිනපතා වෙනස් වෙන සුලුයි. ඒ නිසා දේශන ශාලාව කියන්නේ පාසල් පන්ති කාමරය නොවන බවත් දේශකයා දැන ගත යුතුයි. දේශකයා කියන්නේ දැනුම සංවිධානය කරගත් පුද්ගලයෙක්. ඒ නිසා තමයි පළමු වසරේදී මහාචාර්යවරයෙක් විද්‍යාර්ථයන් සඳහා උගැන්විය යුත්තේ. එතකොටයි විද්‍යාර්ථයන් විශ්වවිද්‍යාලයට අනුගත වෙන්නේ. අනික දේශකයා සහ විද්‍යාර්ථයන් අතර දේශන ශාලාවේදී සිදුවෙන්නේ දැනුම බෙදා ගැනීමක්. විද්‍යාර්ථයන් තුළින් දේශකයා හුඟක් දේ ඉගෙන ගන්නවා. යාවත්කාලීන වෙනවා. විශේෂයෙන් විද්‍යාර්ථයාගේ දැක්මත් දේශකයා හැදෑරිය යුතුයි. මොකද එකම කාරණාව වුණත් ඒ පිළිබඳ පවතින දෘෂ්ටිකෝණ පරම්පරාවෙන් පරම්පරාවට වෙනස් වෙනවා. ඒ නිසා ළමයින්ගේ විසිරුණු දැනුම සංවිධානගත කිරීම තමයි දේශකයාගේ දක්ෂතාව විය යුත්තේ. එතකොටයි ඉගැන්වීම විනෝදයක් බවට පත්වන්නේ.

Q සෙසු පීඨවල විද්‍යාර්ථයන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් කටයුතු කරද්දී ශාස්ත්‍ර පීඨයේ විද්‍යාර්ථයන්ට පමණක් ඇයි කුඩම්මාගේ සැලකිලි?

අපි ඇතැම් පාඨමාලා ඉංග්‍රීසියෙන් පවත්වාගෙන යනවා. හැබැයි ඇතැම් විද්‍යාර්ථයන් ඉංග්‍රීසියෙන් ඉගෙන ගන්න කැමති නැහැ. ඇතැම් විශ්වවිද්‍යාල කථිකාචාර්යවරු පවා කැමති නැහැ. ඉංග්‍රීසි කියන්නේ මාධ්‍යයක් පමණක් කියලයි ඔවුන් කියන්නේ. ඒත් බොහෝ අමතර පොතපත අපට හමුවෙන්නේ ඉංග්‍රීසියෙන්. ඒ නිසා තමයි අපි හැකි සෑමවිටම භාෂා ද්විත්වයෙන්ම කටයුතු කරන්න උත්සාහ කරන්නේ. උදාහරණයකට ඈත පිටිසර පාසලකින් එන ජීව විද්‍යා සිසුවෙක් ඉංග්‍රීසි මාධ්‍යයෙන් අමාරුවෙන් ඉගෙනීම් කටයුතු කළත්, එම පාසලින්ම පැමිණෙන ශාස්ත්‍ර පීඨ සිසුවා ඉගෙන ගන්නේ සිංහල මාධ්‍යයෙන්. ඒ නිසා මම ඉංග්‍රීසි මාධ්‍යයෙන් කටයුතු කිරීම සඳහා සෑහෙන වෙහෙසක් දරන කෙනෙක්. දැනටත් ඇතැම් දෙපාර්තමේන්තු එයාකාරයෙන් කටයුතු කරමින් සිටිනවා.

Q සෙසු පීඨවලට ශාස්ත්‍ර පීඨවලින් පිටවන ජාත්‍යන්තර විද්වතුන්ගේ සහ පර්යේෂණවල රික්තයක් පවතිනවා නේද?

එදා ඉඳලම හුඟක් න්‍යායයන් හැදුවේ සුද්දන්. ලංකාවටත් ආපු ඔවුන් තමයි පර්යේෂණ කරලා පොත් රචනා කළේ. ඒත් ඒ න්‍යායයන් ඇතුළේ ජීවත් වූ අපට මේවා සාමාන්‍ය දේවල්. හැබැයි සුද්දන් මේවා දැක්කේ න්‍යායාත්මකව, සංකල්පමය රාමුවකින්. ඒ නිසා අපි සොයා ගන්නා බොහෝ පර්යේෂණයන් සාමාන්‍ය ජනතාව අතරට යන්නේ නැහැ. මාධ්‍ය හරහා ජනතාව අතරට යන්නේ නැහැ. ඒත් ජර්නල හරහා ජාත්‍යන්තර මට්ටමට ගිහින් තියෙනවා.

Q ඒත් හොඳ මට්ටමේ ශාස්ත්‍ර පීඨ පර්යේෂණවලට ලැබෙන අනුග්‍රහය සෙසු පීඨවලට ලැබෙන අනුග්‍රහයන්ට සාපේක්ෂව අඩුයි ?

මුදල් යන්න සෑම තැනකම පවතින දෙයක්. හොඳ මට්ටමේ පර්යේෂණයකට අනුග්‍රාහකත්වයක් සොයා ගැනීම අපහසු නැහැ. පර්යේෂකයාගේ දක්ෂතාව තමයි හොඳ පර්යේෂණ යෝජනාවලියක් සකස් කිරීම. එවිට ප්‍රතිපාදන අනිවාර්යයෙන් ලැබෙනවා. ඒ නිසා අපි අපේ අනන්‍යතාව ගොඩනගා ගැනීම තුළින් තමයි මෙවැනි වටපිටාවක් ගොඩනගාගත හැකි වෙන්නේ.

 

 

විශ්වවිද්‍යාල ගුරුවරුන් සඳහා නව ඉගැන්වීමේ ව්‍යාපෘති කිහිපයක් හඳුන්වා දෙයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :