X
භික්ෂුත්වය ඔපවත් කළ බොරවැවේ රතනපාල නා හිමියෝ
( . . ) 2017-09-11 10:15:41
Comments - 0       Views - 406

අපවත් වී වදාළ පූජ්‍ය බොරවැවේ රතනපාල නාහිමි ගුණ සමරු පිංකම් මාලාවක් ලබන 15, 16, හා 30 වැනි දිනවල කුරුණෑගලදී හා අනුරාධපුරයේ දී පැවැත්වේ. මෙම ලිපිය ඒ වෙනුවෙනි. මිනිස් වාසයෙන් තොර ගිරි දුර්ගයක්, වන පෙතක්, රමණීය, කමනීය, පුදබිමක් කර සමාජයට දායාද කළ ආදර්ශමත් සංඝ පීතෘවරයන් වහන්සේ නමක් වූ කුරුණෑගල කොටකන්ද රුවන්බෝධි පිරිවෙන් විහාරාධිපති වෑඋඩවිල්ලි හත්පත්තුවේ හා හිරියාල හත්පත්තුවේ අධිකරණ සංඝනායක, අතිපූජ්‍ය ශ්‍රී සද්ධර්ම වාගීෂ්වර බොරවැවේ ශ්‍රී රතනපාලාභිධාන නායක ස්වාමිපාදයන් වහන්සේ අදින් වසර 11 ට පෙර අපවත් වී වදාළේ සම්බුද්ධ ශාසනයට හා රට දැයට සියදිවිය කැප කළ මහා සංඝ පීතෘවරයෙක් වශයෙනි. 


වැව්බැඳි රජරට වලස්වැව නම් ග්‍රාමයේ විසූ ඩබ්.ඩී.එම්. ඩිංගිරි අප්පු, එච්.එම්. රන්මැණිකා යන දෙපළ උන්වහන්සේගේ මවුපියෝ වූහ. ළදරු අවධියේ සිටම වාසනා පුණ්‍ය ගුණයෙන් පිරිපුන්ව සිටි මේ කුමරුවා වයස අවුරුදු 9 දී නියදවනේ රාජමහා විහාරාධිපතිව වැඩ විසූ අති පූජ්‍ය පලිපාන ශ්‍රී සුමංගල නාහිමියන්ගේ ශිෂ්‍යයෙකු ලෙස බොරවැවේ රතනපාල නමින් පැවිදි බිමට පත්වූයේ 1944 වසරේ ජූනි මස 6 වැනිදාය. උන්වහන්සේ කෝට්ටේ සිරි පැරකුම්බා පිරිවෙනෙන් මූලික අධ්‍යාපනය ලබා අනතුරුව කුරුණෑගල මලියදේව මහපිරිවෙනෙන් උසස් අධ්‍යාපනය ලබමින් රාජකීය පණ්ඩිත උපාධිය හිමි කරගත්හ.

එතැන් පටන් උන්වහන්සේ තම දීර්ඝ වූ ආගමික, සංස්කෘතික හා සමාජීය සේවාව ආරම්භ කරමින් කලක් මහනුවර හේනේගම ශ්‍රී සංඝානන්ද පිරිවෙනෙහි ධර්මාචාර්යවරයෙකු ලෙසද සේවය කළහ. ඉන්පසු හාතිගමුව ගුරුගොඩ විහාරයේ විහාරාධිපති ලෙස කටයුතු කරමින් කුරුණෑගල අංගංගල ශ්‍රී සිද්ධාර්ථ පිරිවෙනෙහි ගුරුවරයෙකු ලෙසද පුළුල් සේවාවක් කළහ. දැඩි අධිෂ්ඨානයෙන් හා නොපසුබස්නා උත්සාහයෙන් යුතු බොරවැවේ ශ්‍රී රතනපාල හිමියෝ මේ කාලය තුළ කුරුණෑගල කොටකන්ද භූමියෙහි නව පුදබිමක් නිර්මාණය කළහ.

ගල්තලාවක් මත පොල්අතු කුටියකින් ආරම්භ කළ මෙම විහාරය කෙටි කලක් තුළ සියලු විහාර අංගවලින් සමන්විත ප්‍රසිද්ධ බෞද්ධ මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට උන්වහන්සේ සමත්වූහ. වර්ෂ 1968දී ආරම්භ කොට නොයෙක් දුෂ්කරතා මධ්‍ය‘යේ දියුණුවට පත්කළ මේ විහාරස්ථානයේ 1986 පිරිවෙනක්ද විවිධ සමිති සමාගම්ද ආරම්භ කෙරිණි. මෙමගින් ප්‍ර‘දේශයේ ජාතික, ආගමික හා අධ්‍යාපනික වශයෙන් විශාල සේවයක් සිදුකිරීමට කටයුතු කළහ. 

කුඩා කල සිටම නිර්මාණශීලී කුසලතාවයෙන් හෙබි උන්වහන්සේ සුසිරිත මග, පාන්කිරිති සන්දේශය ආදී පොත්පත් කිහිපයක් ලියා පළ කළහ. නක්ෂත්‍රය මෙන්ම අක්ෂි චිකිත්සාවද ප්‍රගුණ කර සිටි උන්වහන්සේ, එමගින් බොහෝ දෙනාට පිහිට වූහ. අනුන්ගේ දුකේදී උණුවෙන සිතක් තිබූ නා හිමියෝ බෝධිසත්ත්ව ගුණ ප්‍රගුණ කරමින් රට දැය සමය වෙනුවෙන් ඵලදායී සේවාවක් සිදුකළහ. 1990දී තායිලන්තය, ඉන්දුනීසියාව, මැලේසියාව ආදී රටවල ධර්මදූත සේවයෙහි නිරතවූ නාහිමියෝ විචිත්‍ර ධර්මදේශිතයෙක්ද වූහ. අප නාහිමියන්ගේ ශාසනික සේවාවන් අතර ඉතා වැදගත්ම මෙහෙවර වන්නේ දැන උගත් ගිහි පැවිදි ශිෂ්‍ය පිරිසක් බිහි කිරීමයි.

මෙබදු මහඟු මෙහෙවරක් සිදු කළ බොරවැවේ ශ්‍රී රතනපාල නාහිමි වර්ෂ 2006 සැප්තැම්බර් මස 14 වන දින අපවත් වූහ. උන්වහන්සේට නිවන් සුව පතා මේ වසරේද සැප්තැම්බර් 15, 16 හා 30 දිනවල පිංකම් මාලාවක් පැවැත්වේ.  

5E5D3B27

භික්ෂුත්වය ඔපවත් කළ බොරවැවේ රතනපාල නා හිමියෝ සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :