කථා නොකළත් මිනිසුන් වන දුක සතුට දැනෙන ජීවීන් පිරි ගමක්
( නඳුන් ශ්‍යාමාල් ) 2017-09-08 11:30:04
Comments - 0       Views - 1009

නාගරික ජනාකීර්ණ ප්‍රදේශයක අක්කර 23ක භූමි භාගයක් පුරා විහිදුණු මෙම සත්වෝද්‍යානය පිළිබඳ කතා කරද්දී ඒ ගැන හොඳින්ම දන්නා අයෙකු සමග කතා කිරීමට අවශ්‍ය බැවින් අප මුලින්ම කතාබහ කළේ, දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා අනෝමා ප්‍රියදර්ශනී මහත්මිය සමගයි.

"දෙහිවල සත්ත්වෝද්‍යානය අවුරුදු 80කටත් වඩා වැඩි ඉතිහාසයකට උරුමකම් කියනවා. 1920 දශකයේ පමණ ජර්මන් ජාතික ජෝන් හාගන්බර්න් කියන මහත්මයා තමයි මෙහි මුල්ම අයිතිකරුවා වුණේ. එවකට මෙය පවත්වාගෙන ගිහින් තියෙන්නේ සතුන් රඳවාගෙන පිටරටවල සර්කස් සන්දර්ශන සඳහා විකුණන ස්ථානයක් විදියට. ඒ කාලයේදී සතුන් බලන්න මේ අවට ජනතාවත් ඇවිත් තියෙනවා. පසුකාලීනව 1936 ජූලි මාසේ 03 වැනිදා එවකට පැවැති ලංකා රජය මෙය තමන් වෙත පවරා ගත්තා.

ඉස්සර හැම සතෙක්ම රඳවා තබා තියෙන්නේ කුඩා කූඩුවල. සැලකිය යුතු පහසුකමක් සතුන්ට ලැබී තිබුණේ නැහැ. ඒත් අද වෙනකොට ඒ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තිබෙනවා. අද අපට හැකිවෙලා තිබෙනවා නාගරික පරිසරයක හිටියත් මේ සෑම සතෙකුටම වගේ ඔවුන්ගේ ස්වාභාවික පරිසරය තුළ තිබෙන තත්ත්වයන් හදලා දෙන්න.

අපි මේ සංවර්ධන කටයුතු මහා සැලැස්මක් අනුව 2018 වර්ෂය වෙනකොට අවසන් කරලා ඉතාමත් දියුණු මට්ටමේ සත්වෝද්‍යානයක් ඇති කරන්න කටයුතු කරමින් යනවා. මේ වෙද්දී සත්ත්ව සුභසාධනය වෙනුවෙන් විශාල වැඩකොටසක් කරන ගමන් සතුන්ට අවශ්‍ය හොඳ මානසික පරිසරයක් ඇති කරන්න හැකියාව ලැබිලා තිබෙනවා. 

සාමාන්‍යයෙන් සත්ත්වෝද්‍යානයකදී ප්‍රධාන වශයෙන් කරුණු 04ක් සලකා බලන්න අවශ්‍යයි. ඒ තමයි සතුන්, අවට පරිසරය, නරඹන්නන් සහ කාර්යමණ්ඩලය. මේ පාර්ශව හතර ගැනම සලකා බලා තමයි දෙහිවල සත්ත්වෝද්‍යානයේ දියුණු කිරීම් සිදුවෙන්නෙ. මේ සත්වෝද්‍යානයේ දැනට සිටින සතුන් ප්‍රමාණය ගත්තොත් මත්ස්‍යයන් සහ පක්ෂීන් ඇතුළුව වර්ග 273ක, ආසන්න වශයෙන් සතුන් 3000ක් පමණ ඉන්නවා. ලෝකයේ වෙනත් සත්ත්වෝද්‍යාන ගත්තොත් ඒවා 'පරිසර සංවර්ධන මධ්‍යස්ථාන' තත්ත්වයට දියුණු වෙලා තිබෙන නිසා.

IMG_5541

දෙහිවල සත්වෝද්‍යානය එවැනි තත්ත්වයකට ගෙන ඒමට අපහසු වෙලා තිබෙන්නේ තිබෙන ඉඩ ප්‍රමාණය ප්‍රමාණවත් නොවන නිසා. නමුත් අපට හැකිවෙලා තිබෙනවා මේ ඉඩ ප්‍රමාණයේ හෝ සතුන්ට වගේම නරඹන්නන්ටත් හිතකර වටපිටාවක් ඇති කරන්න. ඒ එක්කම සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව මේ වෙනකොට හම්බන්තොට රිදීයගම ප්‍රදේශයේ සෆාරි උද්‍යානයක් නිර්මාණය කරලා තිබෙනවා. එතැන අක්කර 500ක පමණ ඉඩ ප්‍රමාණයක් තිබෙනවා ඒ තුළ බොහෝ සතුන්ට මීටත් වඩා හොඳ නිදහස් වටපිටාවක් තිබෙනවා.
ඒ වගේමයි සත්ත්ව සංරක්‍ෂණය කියන කාරණයේදී අපට හැකිවෙලා තිබෙනවා ජයග්‍රහණ කිහිපයක්ම ලබාගන්න. සමහර සතුන් වර්ග ඉන්නවා මේ වෙද්දී ඔවුන්ගේ ස්වාභාවික පරිසරයෙන් වඳවී ගොස් තිබෙන.

ඒ විශේෂ සත්ත්වෝද්‍යාන තුළ සිටිනවා නම්, ඔවුන් පිළිබඳ අපි විශේෂ අවධානයක්  යොමු කරනවා. ඒ අනුව මේ වෙනකොට අප්‍රිකානු මහද්වීපයේ වනාන්තරවලින් සම්පූර්ණයෙන්ම වඳවී ගිහින් තිබෙන 'ඇරබියන්  ඔරික්ස්' කියන සත්ත්ව විශේෂය අපේ සත්වෝද්‍යානය තුළ සාර්ථකව අභිජනනය වෙනවා. මීට මාසයකට පෙර ඇරබියන්  ඔරික්ස් වර්ගයේ පැටවෙක් මෙහි ඉපදුණා. මේ වගේ වඳවී යෑමේ තර්ජනයට ලක්ව සිටින අපේ සත්ත්වෝද්‍යානයේ සාර්ථකව අභිජනනය වන තවත් සතුන් විශේෂ කිහිපයක් තමයි අග්නිදිග ආසියානු 'ඔරංඔටං, කැළෑ අශ්වයා, කුරු හිපපොටේමස්, කළු රයිනෝසිරස්' කියන්නේ. ළඟකදී අපේ සත්ත්වෝද්‍යානයට අලුත් සාමාජිකයො විදියට ඔරංඔටං පැටියෙක් සහ ලංකාවේ වලස් පැටියෙක් ඉපදුණා. වසර 10කටත් වඩා වැඩි කාලයකට පසුවයි එවැන්නක් සිදුවුණේ.

ඒ වගේම අපට නිරන්තරයෙන් නරඹන්නන්ගෙන් තිබෙන පැමිණිල්ලක් තමයි සත්ත්වෝද්‍යානයට ඇතුළු වෙන දොරටුව අසල රැ‘ඳී සිටින අවිධිමත් වෙළෙඳුන්ගෙන් තිබෙන බාධාවන්. අපි නිරන්තරයෙන් ඔවුන්ව දැනුවත් කරනවා නරඹන්නන්ට අපහසුතාවක් ඇතිවන ආකාරයට කටයුතු නොකරන ලෙස. නමුත් කොතෙක් දැනුවත් කළත් සැලකිල්ලට ගන්නේ නැහැ. ඉදිරියට අපි නරඹන්නන්ගේ පහසුව වෙනුවෙන් ඉදිකරමින් යන පිවිසුම් මැදිරියේ කටයුතු අවසන් වුණාම ඔවුන්ට ඊට ඇතුළු වෙන්න ඉඩ ලබාදෙන්නේ නැහැ. පිවිසුම් මැදිරියේ ඉදිකිරීම් එක්ක ඒ වෙළෙඳුන්ට විධිමත් වෙළෙඳ කුටි සකස් කර දෙන්න සැලසුමක් තිබෙනවා. ඉන් පසුවත් ඔවුන් ඒ ආකාරයට හැසිරෙනවා නම්, දැඩි ක්‍රියාමාර්ග ගන්න පසුබට වෙන්නේ නැහැ."

DSC_2506

සත්ත්වෝද්‍යානයේ මුළුතැන්ගෙය

මීළඟට අප ඔබට ගෙන ඒමට සූදානම් වන අංගය සත්ත්වෝද්‍යානයට නරඹන්නෙකු විදියට පැමිණෙන ඔබට පහසුවෙන් දැකගැනීමට හෝ දැනගැනීමට නොලැබෙන දෙයක් බව සහතිකය. ඒ සත්ත්වෝද්‍යානයේ මුළුතැන්ගෙයයි. මෙහිදී ආහාර සකස් කෙරෙන්නේ සතුන්ට බැවින් එතරම් ගුණාත්මකව ඒවා සකස් නොකෙරෙන බව ඇතැම් විට ඔබට සිතෙන්නට පුළුවන. නමුත් මෙතැනදී මිනිස්සුන්ට සකස් කරනවාටත් වඩා ගුණාත්මක ආකාරයෙන් මෙම කටයුතු සිදුවන බව අපට දැකගත හැකිවිය. සතුන්ගේ ආහාර සඳහා අවශ්‍ය පලතුරු, එළවළු, මස් මාංශ, පක්ෂි ආහාර, මත්ස්‍ය ආහාර ආදී අනෙකුත් සියලු සත්ත්ව ආහාර සපයාගන්නේ ටෙන්ඩර් ක්‍රමයෙන් තෝරාගන්නා සැපයුම්කරුවන් මගිනි. මෙම සැපයුම්කරුවන් කොන්දේසි සහ නිර්ණායක රාශියකට යටත්ව මෙම ආහාර සැපයිය යුතුයි. ඒ සතුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ විශේෂයෙන් සත්වෝද්‍යාන බලධාරීන් තම අවධානය යොමුකර තිබෙනව බැවිනි. මෙම ආහාර සඳහා මාසිකව ලක්‍ෂ 76ක් වැනි මුදලක් වැය වන බව සත්ත්වෝද්‍යානය පවසයි.

DSC_2371

මෙහිදී ගෙන එනු ලබන සියලුම ආහාර දිනපතාම පෝෂණ අංශයේ සහ සත්ත්වෝද්‍යානයේ පශු වෛද්‍යවරුන්ගේ පරික්ෂාවට ලක්කෙරේ. බොහෝ ප්‍රසිද්ධ දේවාල අසල පවතින ඇතැම් පූජා භාණ්ඩ වෙළෙඳ සැල්වලින් දෙවියන් වෙනුවෙන් සකස් කරන පූජා වට්ටියටද, නරක්වූ, තැළුණු පලතුරු දැම්මද මෙතැනදී එවැනි පලතුරු හෝ එළවළු අසුවුවහොත් ඒ සියල්ල ඉවත් කෙරෙනු ඇත. මාංශ භක්‍ෂක සතුන් වෙනුවෙන් සැපයෙන මාංශ, සැපයීමට පැය 05කට පෙර ඝාතනය කළ සතුන්ගේ වීම අනිවාර්යය වේ. එමෙන්ම එම මාංශ අතර තිබෙන අධික මේදය සහිත කොටස් ඉවත් කරන අතර, ශාක භක්‍ෂක සතුන්ට සපයන තෘණ වර්ග පිළිබඳවද විශේෂයෙන් පරීක්ෂා කර බැලේ. සතුන්ට ලබාදෙන කෙසෙල් ගෙඩියේ සහ කැරට් අලයේ නියමිත වට ප්‍රමාණය පවා තිබේද යන්න පරීක්ෂා කරන බව සත්ත්වෝද්‍යානයේ පෝෂණ අංශයෙන් අපට දැනගන්නට ලැබිණි. 

සත්තුන්ටත් ඉස්පිරිතාලයක්

අපට අසනීපයක් සෑදුණු විට යෑමට රෝහල් පවතිනවා සේම දෙහිවල සත්වෝද්‍යානයේද රෝහලක් ස්ථාපිතව ඇත. ඒ පිළිබඳ අපි සත්ත්වෝද්‍යාන රෝහලේ පශු වෛද්‍ය නිලධාරිනී මධූෂා පෙරේරා මහත්මියගෙන්ම විමසා බැලුවෙමු.

"දෙහිවල සත්ත්වෝද්‍යානයේ රෝහලටත් අවුරුදු 80ක පමණ ඉතිහාසයක් තිබෙනවා. ලෝකයේ දියුණුම තත්ත්වයේ තිබෙන සත්ත්වෝද්‍යාන රෝහල්වල තත්ත්වයට දියුණු නොවුණත් දැනට තිබෙන ප්‍රමාණවත් පහසුකම් යටතේ අපේ උපරිමය සතුන් වෙනුවෙන් ලබාදෙනවා. මේ වෙද්දී නවීන සහ සියලු පහසුකම් සහිත සත්ත්ව රෝහල් සංකීර්ණයකට අපට අනුමැතිය ලැබී තිබෙනවා. එහි කටයුතු බොහෝ විට මේ වසර අවසානයේදී ආරම්භ වෙයි කියලා බලාපොරොත්තු වෙනවා.

පැය 24 පුරාම අපේ වෛද්‍යවරුන් හතර දෙනෙක් සේවයේ යෙදිලා ඉන්නවා. සතුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කරන්න වෛද්‍යවරුන් හතරදෙනාම හැමදාම සත්ත්වෝද්‍යානයේ ක්‍ෂේත්‍ර චාරිකාවක නියැළෙනවා. මොකද මේ අයට තමන්ගේ වේදනාව ප්‍රකාශ කරන්න බැහැ. ඒ නිසා සෑම සතෙක්ම සියුම්ව නිරීක්‍ෂණය කිරීම ඉතාම වැදගත්. අපට තිබෙනවා පැටවුන් රැකබලා ගන්නා මධ්‍යස්ථානයක්. වෛද්‍යවරුන්ගේ විශේෂ අධීක්‍ෂණය යටතේයි එය ක්‍රියාත්මක වෙන්නේ.

සත්ත්ව භාරකරුගෙන් පටන් ගත්තාම ඉහළම නිලධාරියා දක්වාම සතුන් වෙත හොඳ අවධානයක් ලබාදෙනවා. මොවුන්ගේ සෞඛයට මොවුන් සිටින පොළොවේ පටන් සියලු පරිසර තත්ත්වයන් සහ පෝෂණය තදින් බලපානවා. විශේෂ පෝෂණ අවශ්‍යතා තිබෙන සතුන්ට විදේශයෙන් ආනයනය කරපු මිල අධික පෝෂණ අතිරේක ලබාදෙනවා. සාමාන්‍යයෙන් වෙනත් රටකින් සතෙක් මේ සත්ත්වෝද්‍යානයට ගෙන්වද්දී ඔවුන්ට එහිදී ලබාදුන් ආහාර පැටවාගේ වගේම දෙමාපියන්ගේ සෞඛ්‍ය තත්ත්වයන් කොහොමද කියන කරුණු අපි විශේෂයෙන් සලකා බලනවා. ඒ වගේම අලුතෙන් ගෙන්වන කිසිම සත්ත්වයෙක් එක්වරම සත්වෝද්‍යානයට මුදාහරින්නේ නැහැ. කාලයක්ම නිරෝධායනය සඳහා යොමුකරලයි මුදාහරින්නේ. ඊට විශේෂ හේතු කිහිපයක් තිබෙනවා.

DSC_2394

දේශීය වශයෙන් හෝ විදේශීය වශයෙන් අලුතින් ගෙන්වන මේ සතුන්ගේ සමහර අවස්ථාවලදී විෂබීජයක් හෝ රෝගී තත්ත්වයක් තිබෙන්න පුළුවන්. නිසි ආකාරයෙන් නිරෝධායන කටයුතු සිදුනොවුණොත් ඒ විෂබීජ හෝ රෝග අනෙක් සතුන්ටත් වැළඳෙන්න පුළුවන්. එය සත්ත්වෝද්‍යානයේ කාර්යමණ්ඩලයට විතරක් නෙවෙයි නරඹන්නන්ගේ සෞඛ්‍ය තත්ත්වයටත් හානිදායක වෙන්න පුළුවන්. ඒ නිසා නිරෝධායන පහසුකම් ඉතා දියුණු මට්ටමේ තිබෙන්නට අවශ්‍යයි. දැනට අපට නිරෝධායන කටයුතු සඳහා පවතින ඉඩ පහසුකම් ප්‍රමාණවත් නැහැ. ඒ වගේම ශල්‍යාගාර පහසුකම්වලත් විවිධ අඩුපාඩු තිබෙනවා. නමුත් අපේ සත්ත්වෝද්‍යානය වෙහෙසෙනවා පවතින පහසුකම් යටතේ මේ කටයුතු සිදුකර ගෙන යන්න.

සතුන්ගේ සෞඛ්‍යට විශාලතම තර්ජනයේ එල්ල කරන්නේ මෙහි එන සමහර නරඹන්නන්. කොයි තරම් දැනුවත් කළත්, කිව්වත් %සතුන්ට ආහාර දෙන්න එපා^ කියලා ඔවුන් ඒවා සැලකිල්ලට ගන්නේ නැහැ. අපි මේ සතුන්ට ලබාදෙන සෑම ආහාරයක්ම විශේෂයෙන් පරීක්ෂාවට ලක්කරනවා. සමහර අවස්ථාවල පැණිරස අධික ආහාර සතුන්ට ලබාදීමෙන් සතුන්ට මරණීය රෝග තත්ත්ව ළඟා කරන්න පුළුවන්. ඒ නිසා නරඹන්නන් මේ ගැන දැනුවත් වීම වැදගත්. තවත් සමහරු කූඩුවලට අතදාලා සතුන් අල්ලන්න සහ අවස්ථාවල පහරදෙන්න උත්සාහ කරනවා.

අනෙක් ගැටලුව තමයි සමහර සතුන් අතර සමාභිජනනය නිසා ඇති වන රෝග තත්ත්වයන්. එකම දෙමව්පියන්ගේ පැටවුන් අතර සිදුවන අභිජනනය නිසා ජානමය රෝගී තත්ත්වයන් මතුවීම තමයි මෙතැනදී සිදුවෙන්නේ. බොහෝ අවස්ථාවට බෙංගාලි ව්‍යාඝ්‍රයන් අතර මේ තත්ත්වය දැකගන්න පුළුවන්. මෑතකදීත් මව විසින් ප්‍රතික්ෂේප කළ ව්‍යාඝ්‍ර පැටවෙක් දැන් අපි පැටවුන් රැකබලා ගන්නා මධ්‍යස්ථානයේ ඇති කරනවා. "

සත්ත්වෝද්‍යානය දැනුම් ගබඩාවක්

ඔබ සත්ත්වෝද්‍යානය නරඹන්න යන්නේ නම්, එය විනෝද චාරිකාවක් පමණක් කර නොගත යුතුය. එතැනදී ඔබට අරගෙන යෑමට හැකි වනුයේ, හුදෙක් පුහු විනෝදයක් පමණි. සත්ත්වෝද්‍යානයේදී ඔබට දැනුම ලබාගන්න අවස්ථා කිහිපයක්ම ඇත. ඉන් එක් ස්ථානයක් ලෙස සත්ත්වෝද්‍යානයේ අධ්‍යාපන අංශය පෙන්වා දිය හැකිය. ඔවුහු ඕනෑම අවස්ථාවක සතුන්, සත්ත්ව සංරක්‍ෂණය ආදී බොහෝ කරුණු රාශියක් පිළිබඳ ඔබට දේශන සහ වැඩමුළු මගින් දැනුම සහ අත්දැකීම් ලබාදීමට සූදානමින් සිටිති.

නමුත් ඒ සඳහා ඔබ සත්ත්වෝද්‍යානයේ සංචාරය කරන දවසට පෙර දුරකථන ඇමතුමකින් සත්වෝද්‍යානය දැනුවත් කළ යුතුය. සත්වෝද්‍යානයේ තිබෙන කෞතුකාගාරය සහ පුස්තකාලය භාවිත කර ඔබේ දැනුම වර්ධනය කරගැනීමට අවස්ථාව තිබේ. ඒ සෑම සේවාවක්ම ඔබ වෙනුවෙන් සත්ත්වෝද්‍යානය නොමිලේ සපයයි. එමෙන්ම සත්ත්වවේදියෙකු විදියට කටයුතු කරන්න කැමැත්තක් ඔබට හෝ ඔබේ දරුවාට තිබෙන්නේ නම්, දෙහිවල සත්ත්වෝද්‍යාන සත්ත්වවේදීන්ගේ සංගමය සමග එක්වීමට ඔබට අවස්ථාව පවතී.

මේ දේවල් නම් සත්තුවත්තට ඇවිත් කරන්න එපා

සතුන්ට ආහාර ලබානොදෙන ලෙස දන්වා තිබියදී සතුන්ට ආහාර ලබාදීම නරඹන්නන්ට තිබෙන ප්‍රධානතම චෝදනාවකි. ඔබ සතුන් වත්තට එන්නේ සතුන් සමග වෛරයක් තබාගෙන නොවිය යුතුය. එම ජීවිත පිළිබඳ හැඟීමක් තිබෙන්නේ නම්, ඒ දේවල්වලින් වැළකිය යුතුය. අනෙක් කාරණය ලෙස සත්ත්ව කූඩුවලට අත දැමීම, සතුන්ට හිංසා කරමින් සතුන් ලෙස නොහැසිරිය යුතුය.

DSC_2409

සත්ත්වෝද්‍යානය තුළට පොලිතීන් රැගෙන යෑම නොකළ යුත්තක් වන අතර, සත්ත්වෝද්‍යානයේ අලංකාරයට රෝපණය කර ඇති මල්පැළ ගැලවීම හෝ හානි කිරීම නොකිරීමට විශේෂයෙන් කාන්තා පාර්ශ්වය අවබෝධ කර ගත යුතුය.

විශේෂ ස්තුතිය -දෙහිවල සත්ත්වෝද්‍යානයේ අධ්‍යක්‍ෂ ජනරාල් ධම්මිකා මල්සිංහ මහත්මියට
නියෝජ්‍ය අධක්ෂිකා අනෝමා ප්‍රියදර්ශනී මහත්මියට  

ඡායාරූප - ශමීර රාජපක්‍ෂ

   DSC_2482  DSC_2537 DSC_2613 DSC_2652

  

 

කථා නොකළත් මිනිසුන් වන දුක සතුට දැනෙන ජීවීන් පිරි ගමක් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :
Loading...