X
බත් කන රටේ හාල් ඇටයටත් ජාවාරම් කිරීම
( ඉන්දික හේවාවිතාරණ ) 2017-09-07 10:39:16
Comments - 0       Views - 605

කෘෂිකාර්මික රටක් වන ශ්‍රී ලංකාවේ වැසියන්ට බතේ අගය දැනෙන්නේ අධික කුසගින්නක් ඇති වූ විටය. එහෙත් බත් නොකන ජනතාවට බඩගින්නක් ඇති වූ විට බතේ අගය දැනෙන්නේ නැත.  ඒ ඔවුන්ගේ ප්‍රධාන ආහාර වේල බත් නොවන නිසාය. එහෙත් කෘෂිකර්මාන්තය මූලික කරගත් ප්‍රධාන ආහාර රටාවකට හුරු වී සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් 99.9%ක්ම බත් කන බව සංඛ්‍යා‘ලේඛන පෙන්වා දෙයි.


එහෙත් පිටි ආශ්‍රිත ආහාර රටාවකට හුරුවෙමින් සිටින නාගරික ජනතාව තුන් වේලම බත්වලින් කුසගිනි නිවාගන්නවා යැයි කිව නොහැක.

අතීතයේදී පවා තුන්වේලටම බත් කෑමට බොහෝ ජනතාව කටයුතු කර නොමැති අතර ඒ සඳහා කුරක්කන් ආශ්‍රිතව සකස් කරගන්නා ආහාර සහ ධාන්‍ය, අල, බතල, කොස් දෙල් වැනි දේවල් ද ආහාරයට ගෙන තිබේ. එහෙත් වර්තමානයේදී හේන් ගොවිතැන් කිරීමට භූමි නැතිවීම සහ ගොවිතැනින් ගොවියන් ඈත්වීම යන කාරණා නිසා අල, බතල සහ ධාන්‍ය වර්ග ආශ්‍රිත ආහාර සපයා ගැනීමට විශාල පිරිසකට නොහැකි වී තිබේ.DSC_4922  

මේ නිසා පිටි ආශ්‍රිත කෑම අප්‍රිය කරන ජනතාවට තුන්වේලටම බත් කන්නට සිදු වී ඇත. බත් කන්නට නම්, වී තිබිය යුතුය. වී වගා කිරීමට ලක්ෂ 20කට ආසන්න ගොවි පිරිසක් තවමත් රට තුළ සිටින බව සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි.
මෙම පිරිස මාස් කන්නයේදී වී වගා භූමි හෙක්ටයාර් ලක්ෂ 08කට අධික ප්‍රමාණයකුත්, යල කන්නයේදී හෙක්ටයාර් ලක්ෂ 05 – 06ත් අතර ප්‍රමාණයකුත් වගා කරමින් රටට අවශ්‍ය සහල් ටික සපයා දෙති.

මේ අනුව මාස් වගා කන්නයේදී වී මෙට්‍රික් ටොන් ලක්ෂ 30 – 35ත් අතර ප්‍රමාණයකුත්, යල වගා කන්නයේදී වී මෙට්‍රික් ටොන් ලක්ෂ 25 – 30ත් අතර ප්‍රමාණයකුත් මෙම ගොවි ජනතාව අස්වැන්න ලෙස රටට ලබාදෙති.
පොදුවේ ශ්‍රී ලාංකිකයෙකු වර්ෂයකට සහල් කිලෝ 114 – 135 අතර ප්‍රමාණයක් ආහාරයට ගන්නා බවට වාර්තා වන අතර, මේ අවශ්‍යතාව සැපිරීම සඳහා මාසයකට සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකත් දෙක හමාරත් අතර ප්‍රමාණයක් අවශ්‍ය බවටද සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි.
අතීතයේදී පෙරදිග ධාන්‍යාගාරය ලෙස හැඳින්වූ ශ්‍රී ලංකාව විදේශ රටවලට පවා සහල් සපයා තිබූ අතර, මේ නිසා මෙරටට සහල් ගෙන්වීමක් සිදු වී නොමැත.

එහෙත් මෙරටට නියං තත්ත්වයක් උදා වූ කාලයේදී විදේශ රටවලින් මෙරටට සහල් ගෙන්වා තිබෙන අතර, ගොවි ජනතාව වගා කටයුතු සිදු කොට අස්වැන්න ලැබීමෙන් පසු එම ක්‍රම‘වේද නැවතී ගොස් තිබේ. එහෙත් වර්ථමානය වනවිට රට සහලින් ස්වයංපෝෂිත වූ අවස්ථාවල පවා විදේශ රටවලින් සහල් ගෙන්වීමට කටයුතු කර ඇත. එයට හේතු වී තිබෙන්නේ රටේ පවතින හෝටල් සහ ආපන ශාලා තුළ සකස් කරන විවිධ බත් වර්ග සඳහා ලංකාවේ සහල් නොගැළපීම පදනම් කරගෙනය. කෘෂිකාර්මික රටක් ලෙස රට විරුදාවලිය ලැබුවද මේ රටේ සැලකිය යුතු පිරිසකට තමන්ට අවශ්‍ය සහල් ටික ලබාගැනීමට කුඹුරු නැත. මේ නිසා එම ජනතාව තම බඩගින්න නිවාගැනීම සඳහා සහල් මිලදී ගත යුතුය. 

මේ නිසා වර්තමානය තුළ සහල් වෙළෙඳ පොළේ හා වී මිලදීගැනීමේ ජාවාරම් ක්‍රියා රාශියක් සිදුවෙමින් තිබේ. 

මෙහි ප්‍රතිඵලයක් ලෙස රට සහලින් ස්වයංපෝෂිත වූ අවස්ථාවල පවා මෙරට වෙළෙඳ පොළට විදේශීය සහල් තොග පිටින් නිකුත් විය. 
මෙම ජාවාරම මෙරට ගොවියාගේ වී අස්වැන්න වෙළෙඳ පොළට නිකුත්වන අවස්ථාවල සිදු වූ අතර, මෙම ක්‍රියාව මෙරට මහා පරිමාණ මෝල් හිමියන් හතර පස් දෙනෙකු විසින් සිදුකරන ක්‍රියාවක් බවටද මේ වනවිට හෙළි වෙමින් තිබේ. රටින් ගෙන එන සහල් වෙළෙඳ පොළට මුදාහැර ගොවියාගේ අස්වැන්න කුණුකොල්ලයට මිලදීගන්නා මහා පරිමාණ මෝල් හිමියෝ පසුව රටේ සහල් මිල විශාල ලෙස ඉහළ දමමින් මෙරට ජනතාව අන්ත අසරණ තත්ත්වයකට පත් කරති. එහෙත් පසුගිය වසරේ සිට ඇතිවෙමින් තිබෙන වියළි කාලගුණ තත්ත්වය නිසා පසුගිය යල කන්නයේ හා මාස් කන්නයේත්,  මෙවර යල කන්නයේත් බොහෝ ගොවියන්ට වගා කටයුතු කිරීමට නොහැකි විය.

මේ නිසා මහා පරිමාණ මෝල් හිමියන්ට වී මිලදී ගැනිමේ කුමන්ත්‍රණ සිදු කිරීමට නොහැකි වූ අතර, මේ නිසා ඔවුන් විසින් සහල් ජාවාරමක් රට තුළ ක්‍රියාත්මක කරමින් තිබේ.
යම් හදිසි තත්ත්වයක් ඇති වුවහොත් එය පාලනය කරගැනීම සඳහා සෑම කන්නයකදීම රජය මැදිහත් වී අස්වැන්නෙන් 5% - 10%ත් අතර ප්‍රමාණයක් මිලදී ගනු ලබයි. 

එහෙත් පවතින වියළි කාලගුණය නිසා මෙවර යල කන්නයේ වී මිලදී ගැනීමට රජයට අවස්ථාවක් නොවීය. කෙසේ වුවද පසුගිය මාස් කන්නයේදී රජය මැදිහත්වී වී මිලදී ගැනීමක් සිදු වූ අතර, එම වී සහල් බවට පත් කර ඉහළ යන සහල් මිල පාලනය කිරීමට අවස්ථාවක් තිබියදීත් සැලකිය යුතු වී තොගයක් රජය විසින් පෞද්ගලික අංශයට විකුණා දමනු ලැබිණි. 

ආරක්ෂිත වී තොගයක් රජය රඳවාගෙන සිටින බවට ප්‍රකාශ වී තිබේ. එහෙත් මේ වනවිට ඉහළ යමින් තිබෙන සහල් මිල පාලනය කිරීමට දැන් හෝ එම වී තොගය සහල් බවට පත් කර වෙළෙඳ පොළට නිකුත් කිරීමට කටයුතු කර නැත.
රජය ලබාගත් වී තොග පවා මුදාහරිනු ලැබුවේ මහා පරිමාණ මෝල් හිමියන්ට හා ඔවුන්ගේ නියෝජිතයන්ටය. රජයේ වී තොග ලබාදීමට කටයුතු කරනවා නම් සාමාන්‍ය මිලට සහල් සැපයීමට තමන් සූදානම් බවට කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් විසින් අවස්ථා ගණනාවකදීම රජයට යෝජනා ඉදිරිපත් කෙරිණි. 

rice-crop-sindh

එහෙත් රට වෙනස් කිරීමට වුවද දේශපාලන හා මුදලේ බලය ඇති මහා පරිමාණ මෝල් හිමියන් කිහිපදෙනා කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ගේ ඉල්ලීම ඉටු කිරීමට ආණ්ඩුවට අවස්ථාව ලබාදුන්නේ නැත.
මේ නිසා දේශපාලඥයන් කිහිප දෙනෙකුගේ ඥාතීන් හා හිතවතුන් වී සිටින මහා පරිමාණ මෝල් හිමියන් කිහිප දෙනා අද වනවිට සහල් මිල අහස උසට නංවමින් තිබේ. 

මේ වසරේ මුල සිට පවතින මෙම ජාවාරම් ක්‍රියාව නිසා රට තුළින් විවිධ විරෝධතා එල්ල වූ අතර, මේ නිසා අදාළ විරෝධතාවලින් බේරීම සඳහා රජය පෙබරවාරි 17 වැනි සිකුරාදා අංක 2006/52 ගැසට් නිවේදනය නිකුත් කරමින් සහල් වර්ග 06ක් සඳහා පාලන මිලක් නියම කරනු ලැබිණි. 

මේ අනුව දේශීයව නිෂ්පාදනය කරන කීරි සම්බා සහ සූදුරු සම්බා හැර අනෙකුත් සම්බා සහල් කිලෝවක මිල රුපියල් 90ක් ලෙසත්, නාඩු සහල් කිලෝවක් රුපියල් 80ක් ලෙසත්, කැකුළු සහල් කිලෝවක මිල රුපියල් 78ක් ලෙසත් උපරිම සිල්ලර මිලක් නියම කරනු ලැබිණි.
මීට අමතරව ආනයනය කරන කීරි සම්බා හා සූදුරු සම්බා හැර සම්බා කිලෝවක මිල රුපියල් 80ක් ලෙසටත්, නාඩු සහල් කිලෝවක මිල රුපියල් 72ක් ලෙසටත්, කැකුළු සහල් කිලෝවක මිල රුපියල් 70ක් ලෙසටත් ප්‍රකාශයට පත් කළේය.
එහෙත් මෙරට තුළ ක්‍රියාත්මක වූ සහල් ජාවාරම නිසා එම මිලට සහල් මිලදී ගැනීමට ජනතාවට අවස්ථාවක් හිමි නොවීය. මේ නිසා යළිත් වතාවක් සහල් මිල මුල් කර ගනිමින් රට තුළින් විරෝධතා එල්ල වූ අතර, එම තත්ත්වය මුල් කරගනිමින් අගෝස්තු මස 04 වැනිදා අංක 2030/46 විශේෂ ගැසට් නිවේදනය මගින් නව සහල් මිලක් ප්‍රකාශයට පත් කෙරිණි.

මේ අනුව එම ගැසට් නිවේදනය මගින් කීරි හා සූදුරු සම්බා හැර අනෙකුත් දේශීය සම්බා සහල් කිලෝවක මිල රුපියල් 90ක් ලෙසත්, ආනයනික මෙම වර්ගයේ සම්බා කිලෝවක මිල රුපියල් 80ක් ලෙසටත් ප්‍රකාශයට පත් කෙරිණි. 
මීට අමතරව දේශීය නාඩු සහල් කිලෝවක මිල රුපියල් 80ක් ලෙසත්, ආයතනික නාඩු සහල් කිලෝවක මිල රුපියල් 75ක් ලෙසටත් දේශීය කැකුළු සහල් කිලෝවක මිල රුපියල් 70ක් ලෙසටත්, ආනයනික කැකුළු සහල් කිලෝවක මිල රුපියල් 65ක් ලෙසටත් උපරිම සිල්ලර මිලක් නියම කෙරිණි.

එහෙත් ආහාරයට ගත හැකි තත්ත්වයේ සහල් කිලෝවක් මෙම කිසිදු මිලකට මිලදී ගැනීමට නොමැති බව ජනතාව සඳහන් කරති. වෙළෙඳ පොළෙහි සොයාබැලීම්වලදී පවා සහල් කිලෝවක අවම මිල රුපියල් 95කට වැඩි ඉහළ මිලක් ගෙන ඇති බව පෙනෙන්නට තිබේ. 
මේ නිසා අගෝස්තු මස 04 වැනිදා නිකුත් කළ ගැසට් නිවේදනයද මේ වනවිට ගඟට කැපූ ඉනි මෙන් අපතේ ගොස් ඇත. සෑම ගැසට් නිවේදනයක් නිකුත් කිරීමේදී සේම අගෝස්තු මස  04 වැනිදා නිකුත් කළ ගැසට් නිවේදනයේද පාරිභෝගික අධිකාරියේ නීතිරීති සඳහන් කර තිබේ. මේ යටතේ අගෝස්තු 04 වැනිදා නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව 2003 අංක 09 දරණ පාරිභෝගික අධිකාරී පනතේ 20 (5) වගන්තිය යටතේ කිසිම නිෂ්පාදකයෙකු ආනයනකරුවෙකු, බෙදාහරින්නෙකු හෝ වෙළෙන්දෙකු අදාළ මිල ගණන්වලට වැඩි වශයෙන් වෙළෙඳාම් කිරීම, බෙදාහැරීම, විකිණීම සහ ප්‍රදර්ශනය කිරීම තහනම් බවට සඳහන් කර තිබේ. 

ගැසට් නිවේදනයේ වගන්තිවල මෙම නීති සඳහන් වී තිබුණද අදාළ නීතිය උල්ලංඝනය කරන්නන්ට එරෙහිව පාරිභෝගික කටයුතු අධිකාරිය නීතිය ක්‍රියාත්මක කරන්නේ නැත. පාරිභෝගික කටයුතු අධිකාරිය උපරිම මිලක් නියම කරන්නේ වෙළෙඳ පොළ පරීක්ෂාවන් සිදුකරමිනි.

එහෙත් අවාසනාවට කරුණ වී තිබෙන්නේ පාරිභෝගික ජනතාවගේ යහපත සඳහා නිකුත් කළ සහල් මිල පාලන ගැසට් නිවේදන අද වන විට අවලංගු කර දමා සහල්වලට පාලන මිලක් නොමැති තත්වයකට පත් කිරීමය. පවතින වියළි කාලගුණික තත්ත්වය තවදුරටත් තිබෙන නිසා මාස් කන්නයේ වගා කටයුතු කවදා සිදුවේද යන්න කීමට කිසිවෙකුටත් නොහැකි වී තිබේ. 

මේ නිසා මෙරට වී ගොවියාගේ අස්වැන්න වෙළෙඳ පොළට පැමිණෙන කාලයක්ද ප්‍රකාශයට පත් කිරීමට නොහැකි වී ඇත. යම් ලෙසකින් සැප්තැම්බර් 15න් පසු වැසි ඇති වී, මාස් කන්නයේ වගාව ඔක්තෝබර් මුල් සතියේ හෝ අවසාන සතියේ ආරම්භ කළහොත් අස්වැන්න ලැබෙන්නේ ලබන වසරේ ජනවාරි හෝ පෙබරවාරි මාසයේදීය. 

එම කාලයේදී අස්වැන්න ලැබුණහොත් සාමාන්‍ය මුදලකට සහල් කිලෝවක් මිලදී ගැනීමට අවස්ථාව හිමි වේ.  එහෙත් එම කාලය එන තෙක් සහල් මිල කොතරම් දුරට ඉහළ යාදැයි කිසිවෙකුටත් පැවසිය නොහැක. මන්ද යත් සහල් කිලෝවක් අලෙවි කළ යුතු මිල පිළිබඳව අද වනවිට 'ක්‍රියාත්මක නොවන' නීතියක් හෝ රට තුළ නොමැති වීම නිසාය.

රට හදනවා නම්, රට දියුණු කරනවා නම් මුලින්ම මිනිසුන්ගේ බඩගින්න නිවිය යුතුය. ඒ සඳහා රට තුළ ප්‍රමාණවත් තරම් සහල් නොමැති නම් විදේශ රටකින් සහල් රැගෙනවිත් රජය පාඩු ලබාගෙන හෝ මිනිසුන්ට  ලබාදිය යුතුය. රජයේ මුදල් යනු මේ රටේ ජනතාවගේ මුදල් වන අතර, ඒවා නැවත ජනතාව වෙනුවෙන් වියදම් කිරීමද, තාවකාලිකව රට භාරගන්නා පාලකයන්ගේ වගකීමකි. එහෙත් ගොවි පවුලකින් පැවත එන බව පවසන පාලකයෙකු රට තුළ බිහි වී සිටියදීත් එවැනි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන ආකාරයක් පෙනෙන්නට නැත.

ජනතාවගේ කුසගිනි නිවීමට සහල් ටික අඩුවට ලබාදීමට ආණ්ඩුවට නොහැකි වුවද, මැති ඇමතිවරුන්ගේ වියදම් සඳහා රුපියල් කෝටි ගණන් වියදම් කරනු ලබයි. මීට අමතරව තවමත් අමාත්‍යාංශය ස්ථාපිත කරගැනීමට නොහැකි වූ කෘෂිකර්ම අමාත්‍යාංශය වෙනුවෙන් බදු ගත් ගොඩනැගිල්ලක් වෙනුවෙන් මාසයකට රුපියල් ලක්ෂ 245කට අධික මුදලක් බදු කුලී වශයෙන් ගෙවනු ලබයි.

එහෙත් නියඟය නිසා විපතට පත් මෙරටට බත බුලත සැපයූ ගොවීන් වෙනුවෙන් නිසි ක්‍රම‘වේදයකට අනුව ආධාර ටිකක් ලබාදීමට හෝ ආණ්ඩුව මෙතෙක් නොහැකි වී ඇත. 
මේ අතින් බලන කළ මෙරට පාලකයන්ට අන් අයගේ බඩගින්න දැනෙනවාදැයි යන්න ගැනද සැකයක් පවතී. 

rice

 

බත් කන රටේ හාල් ඇටයටත් ජාවාරම් කිරීම සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :