හම්බන්තොට වරාය ගිවිසුම මහවැලිය ව්‍යාපෘතියටත් වඩා විශාල ව්‍යාපෘතියක් - මංගල
( ෂමිල පෙරේරා ) 2017-08-11 08:00:26
Comments - 0       Views - 408

හම්බන්තොට වරාය සම්බන්ධයෙන් වත්මන් රජය අත්සන් කළ ගිවිසුම, මීට ප්‍රථම පැවති මහවැලිය කඩිනම් කිරීමේ ව්‍යාපෘතියටත් වඩා විශාල ව්‍යාපෘතියක් බව සිහිපත් කළ යුතු යැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසා සිටියේය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ මාතර දිස්ත්‍රික් ජල සම්පාදන ව්‍යාපෘතිය සඳහා මුල් ගල් තැබීමෙන් පසු පැවැති උත්සව සභාව අමතමිනි. මෙම උත්සවය නූපේ ජල සම්පාදන නඩත්තු හා මෙහෙයුම් කාර්යාල භූමියේදී පසුගිය 06දා පැවැත්විණි. එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“අද මේ ආරම්භ කරන ව්‍යාපෘතිය මගින් මාතර දිස්ත්‍රික්කයට පමණක් නෙවෙයි, හිටපු ජනාධිපතිවරයාගේ ආසනයටත් අපි ජලය දෙනවා. මෙයයි සංවර්ධන වැඩපිළිවෙළවල් දෙකෙහි වෙනස. 2005න් පසුවු සිදුවූ මහා සංවර්ධන සංග්‍රාමයක් ගැන කතා කළත්, හම්බන්තොටට අමෙරිකා එක්සත් ජනපදයේවත් දක්නට නොලැබෙන මට්ටමේ පාරවල් හැදුවත්, හම්බන්තොටට නැව් නොඑන වරායවල් හැදුවත්, ගුවන් යානා නොඑන ගුවන් තොටුපොළවල් හැදුවත්, ඒ කාලයේදී ජනතාව වෙනුවෙන් සිදුකළ යුතු සංවර්ධන වැඩකටයුතු ගැන බොහෝ විට අමතක වුණා. කොමිස් කුට්ටිය වැඩි නම් ඒ සංවර්ධනය ගැන විතරයි, ඒ අය සිතුවේ. නමුත් වසර දෙකක් තිස්සේ පසුගිය රජයේ පවුවලට කරගහලා, මාතර දිස්ත්‍රික්කය පමණක් නෙවෙයි, මුළු රටම මහා සංවර්ධන ක්‍රියාවලියකට ගෙනියන්න අප සූදානමින් සිටිනවා.

2015 ජනවාරි මස 08 වැනිදා අලුත් ජනාධිපතිවරයෙක් පත් වූ ආකාරය අප දුටුවා. අලුත් ආණ්ඩුවක් පත් වුණා. අපට අවුරුදු දෙකක් තිස්සේ ප්‍රශ්න රැසකට මුහුණ දෙන්න සිදුවුණා. එක පැත්තකින් මහා ණය කන්දක් තිබුණා. ණය කන්ද කොයි තරම්ද කියතොත්, ලබන වසර දෙකේදී අප ගෙවිය යුතු ණය ප්‍රමාණය ට්‍රිලියන 3.2යි. ඒ ණය ගෙවාගෙන, අලුත් සංවර්ධන පිම්මක් ඔස්සේ ඉදිරියට යන්න අවුරුදු දෙකක් තිස්සේ අපි සූදානම් වුණා, දැන් අපි සූදානම්.

පසුගිය සෙනසුරාදා හම්බන්තොට වරාය සම්බන්ධයෙන් අප අත්සන් කළ ඒ ගිවිසුම මම හිතන්නෙ, ශ්‍රී ලංකාවේ මීට ප්‍රථම පැවති මහවැලිය කඩිනම් කිරීමේ ව්‍යාපෘතියටත් වඩා විශාල ව්‍යාපෘතියක් බව මතක් කරන්න ඕනෙ. හම්බන්තොට වරාය දියුණු වෙනවා විතරක් නොවෙයි, හම්බන්තොට, මොණරාගල, ගාල්ල වගේම මේ මාතර දිස්ත්‍රික්කයටත් චීනයෙන් වගේම, අපේ මිත්‍ර රටක් වන දකුණු කොරියාවෙන්, නවීන කර්මාන්ත ශාලා ලැබෙනවා. ජපානය, ජර්මනිය වගේම, ඉන්දියාවත් දකුණේ අපේ තරුණයන්ට වාසනාවන්ත අනාගතයක් උදාකිරීම සඳහා අද ඉදිරිපත්ව සිටිනවා.

අවුරුදු දහයක් යුද්දෙ වවාගෙන කාල සංවර්ධනය ගැන කතා කරපු අය දැන් කියනව මෙන්න මෙයාලා දැන් ඉඩම් ටික විකුණගෙන කනවලු. අපි නං කිසිම ඉඩමක් විකුණල නැහැ. නමුත් වෙනත් රටවල් සමග එකතු වෙලා මේ ඉඩම් දියුණු කරන්න, ආයෝජන ගේන්න අපට අවශ්‍යයි. ඒකයි අපේ ප්‍රතිපත්තිය. වල් පැලෑටි වැවෙන ඉඩමක් මේක අපේ අප්පච්චිගෙ බූදලේ කියල හැමදාම තියාගෙන ඉන්නවාද? නැත්නම් කාටහරි දීල හොඳ කුලියක් අරගෙන ඒ කුලියෙන් අපේ දරුවන්ගේ අනාගතය දියුණු කරනවාද කියන අභියෝගය තමයි අපට තියන්නෙ. අපි මේවාට කලබල වෙන්න ඕනෙ නැහැ. මොකද ඔය චෝදනා කරන අය මේ දේවල් මීට පෙරත් සංවර්ධන කටයුතු ඉදිරියේදී පැවසුවා. 1993 දී ප්‍රේමදාස ජනාධිපතිවරයා ඇඟලුම් කම්හල් ශාලා පිහිටුවීමේ මුල් අදහස් යෝජනා කළවිට සමහරු කියා සිටියේ, සුද්දියන්ට යට ඇඳුම් මහන්න අපේ දරුවන් යොමු කරවනවා කියලයි. කණ්ඩලම හෝටලේ හදන්න හදද්දි කියා සිටියේ, කණ්ඩලම වැව සුද්දන්ට විකුණන්න හදනවා කියලයි. එතකොට මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. නමුත් මම ඒ විරෝධතාවට ගියේ නැහැ. ඒ විරෝධතාවට ගිය මගේ මිත්‍ර මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා දැන් ඒ පැත්තෙන් යන්නෙ නැහැ, කණ්ඩලම හෝටලේට යන්නේ නැතුව" යැයිද අමාත්‍යවරයා පවසා සිටියේය.

මෙම ජලසම්පාදන ව්‍යාපෘතිය යටතේ ආවරණය වන නව ජල පාරිභෝගිකයන් සංඛ්‍යාව 285,000කි. වසර තුනකින් අවසන් කෙරෙන ව්‍යාපෘතිය සඳහා වෙන් කර ඇති මුදල රු.මිලියන 18,208ක් බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි. මෙම අවස්ථාවට, නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රාවුෆ් හකීම් සහ රාජ්‍ය ව්‍යාවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන යන මහත්වරු, රාජ්‍ය නිලධාරීහු ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

හම්බන්තොට වරාය ගිවිසුම මහවැලිය ව්‍යාපෘතියටත් වඩා විශාල ව්‍යාපෘතියක් - මංගල සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :