ඇසළ පෙරහර සහ සංස්කෘතික අනන්‍යතාව රැකගැනීම ගැටලුවක් වෙලා
( ලාල් ජයසුන්දර ) 2017-08-09 12:52:07
Comments - 0       Views - 295

ඇසළ පෙරහර ජාතියේ සංස්කෘතික මහා මංගල්‍යය යැයි කීවොත් නිවැරදිය. මන්ද එම පෙරහර තරම් අද්විතීය පෙරහරක් මෙරට ගතවූ වසර සිය ගණනාවක් තුළ හෝ නිර්මාණය වී නැති හෙයිනි.  ඒ නිසා පෙරහර පැවැත්වීම වෙනුවෙන් රාජ්‍ය නායකයන් විසින් විහාර දේවාල මෙන්ම අති පූජනීය දළදා මන්දිරය වෙනුවෙන් ඉඩකඩම් පරිත්‍යාග කළහ. ඒ මෙවැනි ස්ථානයන්හී වතාවත් පුදපූජා වෙනුවෙන් දැරීමට සිදුවන වියදම් සහ ආදායම්  වැනි විවිධ අවශ්‍යතා සම්පාදනය කර ගැනීම වෙනුවෙනි.


  KDP_5486 copy  

මහනුවර දුම්රිය ස්ථානය පවත්වාගෙන යන අක්කර 4ක භූමිය, ධර්මරාජ විද්‍යාලය අසල යම් දේපළ සහ මහනුවර මහ රෝහල, අධිකරණ භූමිය ආදී ස්ථාන එදා අස්ගිරි නිකායේ තම  විහාරය  සතු ඉඩම් බව නාථ විහාරයේ විහාරාධිපති අස්ගිරි පාර්ශ්වයේ කාරක සංඝ සභික පූජ්‍ය ජී ශ්‍රී ගුණරතන නායක හිමියෝ පෙන්වා දෙති. එකල දළදා මාලිගාව වෙනුවෙන් දෙහි සැපයීම, තෙල් සැපයීම ආදී රාජකාරී යම් කටයුතු සඳහා ඒ ඉඩම් ජනතාව අතර පවරා සේවා සපයා ගැනීම සිදුවූ බවද උන්වහන්සේ අවධාරණයට කරයි. පසුකාලීනව ඇතැම් තැනක එම දේපළ  භුක්තිවිඳි පාර්ශ්වයන් විසින් අත්පත් කර ගැනීම සහ වෙනත් පාර්ශ්වයන්ට පවරා දීම හේතුවෙන් ඒවා දැනට මාලිගාව සහ සතර මහා දේවාලයන්ට අහිමිව ඇතැයිද නාථ විහාරයේ අධිපති  ශ්‍රී ගුණරතන නාහිමියෝ පෙන්වා දෙයි.

DSC_0560 copy

“අද පෙරහර කරන්න සම්ප්‍රදායික නැටුම් කණ්ඩායම් කීපයයි සිටින්නේ. අනෙක් පෙරහර අවශ්‍යතා සඳහා මුදල් ගෙවා හැමදෙයම කරගත යුතුයි. මම විහාරාධිපතීත්වය දරන ගලේවෙල බම්බාව රජ මහා විහාරය ගැන කීවොත් එහිත් අගෝස්තු මාසයේ වාර්ෂික සම්ප්‍රදායික පෙරහරක් පැවැත්වෙනවා. එතෙනදිත් මේ ප්‍රශ්නය මම දකිනවා. නමුත් තවමත් පැරණි සම්ප්‍රදායික ගම්මාන නිසා එම පළාත්වල ජනතාව එම පෙරහරට හොඳ දායකත්වයක් ලබාදෙනවා. එතෙනදි ජනතාවගේ පැත්තෙන්ද  අපේ සංස්කෘතික දායාද මතු පරපුර වෙනුවෙන් රැකගත යුතුයි කියන තැන හිතලා තමන්ට හැකි පමණින් දායක වෙනවා නම් ඒක අපිට හැම අවුරුද්දේම සම්ප්‍රදායික වත්පිළිවෙත් ඉදිරියට ගෙනියන්න පුළුවන් දෙයක්. මිනිසුන් පෙරහර නරඹන්න එන්නේ පෙරහරක් තිබුණොත්නේ” 

උන්වහන්සේ පැවසීමට යන දේ සැබෑවකි. පෙරහර යනු පුද චාරිත්‍රයක් නම් එය ජනතාව තමන්ගේ කොටස ඉටුකළද ජනතාවටද කළ නොහැකි තැන් වෙනුවෙන් කාලීන වශයෙන් රජයේ සුදුසු මැදිහත්වීමක අවශ්‍යතාව බැහැර කළ නොහැකිය. රජයක් අවශ්‍ය වන්නේ පිංකැට එකතු කිරීමට නොව මෙවැනි සැබෑ හිඩැස පිරවීමට යැයි ජනතාව පවසන්නේද මෙවැනි අර්බුද හේතුවෙනි.

DSC_0565 copy

මේ සම්බන්ධයෙන් නාථ දේවාලයේ බස්නායක නිලමේ නීතිඥ ගයාන් හීන්කෙන්ද මහතා දරන්නේ මෙවැනි මතයකි. “ පුරාණ රජවරුන් අනාගතයේ‍ මෙවැනි පෙරහර සහ ආගමික වතාවත් කිරීමේදී යම් ආකාරයකින් ජනතාවට යම් අපහසුතාවයන් ඇතිවුවහොත් මෙම පිළිවෙත් අතරමග නතර විය හැකිය යන අවදානමක් ගැන සිතුවා. එසේම වතාවත් සඳහා අවශ්‍ය බරපැණ ජනතාව කැමැත්තෙන් භාරගත්තද ඒවාට රාජ්‍ය නායකයන්ගේ අනුබලය අනිවාර්යයෙන්ම ලැබිය යුතු බවටද රජවරු තීරණය කළා. ඒ අනුව ඔවුන් විහාරස්ථාන දේවාලවලට මෙසේ ඉඩම් පැවරුවා. 

දැනට අපේ නාථ දේවාලය සතුව ඉඩකඩම් කුරුණෑගල මාහෝ වැනි දුෂ්කර පළාත්වල තියෙනවා. ඒවා ඇතැමුන් අනියම් ආකාරයෙන් භුක්ති විඳිනවා. නමුත් සියල්ල ලේඛනගතව ඇති නිසා එවැනි තැන් සොයාගෙන අපි යනවා. එහෙම ගියාම අපට එහි පදිංචි ඇතැමුන්ගෙන් අවලාද චෝදනා එල්ලවනවා. 
රජයේ නිලධාරීන් සමග ගැටුම් ඇතිවූ අවස්ථා තියෙනවා. මොකද අපේ ලේඛන අනුව මේවා දේවාලයට අයිතියි. ඒත් රජය විසින් ඒවා ඒ අයගේ දේ හැටියට සලකා යම් ඉදිකිරීම් පවා කර තිබෙනවා. මෙම දේපළ හරහා අහිමි වී ඇති දේපළ අයිතිය නැවත ලබාගැනීමේ ක්‍රමවේදයකට යා යුතුයි.

DSC_0574 copy

අපි දැනට මෙවැනි තැන් හඳුනාගෙන යමින් සිටිනවා. බහුතරයක් සිය කැමැත්තෙන් ඉදිරිපත්ව තමන් අතින් සිදුව තිබෙන නොදන්නාකම නිසා ඇතිවූ ප්‍රමාදයන් නිවැරදි කිරීමට උපදෙස් ලබාගන්නවා. ඒ අනුව අපට ලැබිය යුතු බදු මුදල් ගෙවනවා. එහෙම නොවන තැන්වලදී අපි උසාවියේ නඩු පවරා තිබෙනවා. මේ නඩු සඳහාත් විශාල කාලයක් ඇදෙනවා. අධික මුදලක් වැය වෙනවා. කතා කරලා විසඳා ගැනීම පදිංචිකරුවන්ගේ වගකීමක්.අනික අද පෙරහරක් කිරීමට අපේ දේවාලයට ලක්ෂ දහයක් පමණ වියදම් දැරිය යුතුයි. අලින් නැහැ. අලින්ට ගෙවිය යුතු මුදල ඉහළයි. නැට්ටුවන් කසකාරයන් පන්දම්කරුවන් වගේ හැමදෙනාම මුදලට කුලියට ලබාගත යුතුයි” හීන්කෙන්ද මහතා අවධාරණය කරයි.

සංස්කෘතිය රැක ගැනීමත් මුදල් උපයා ගැනීමත් තම දේපළ නීතිමය තත්ත්වයන් යටතේ සුරක්ෂිත කිරීමේත් වගකීම මෙම ස්ථාන භාරකරුවන්ට පැවරී ඇති අභියෝගයක් බව පැහැදිලිය. රජය මැදිහත්විය යුත්තේ එම අර්බුද සඳහා මෙම පාර්ශ්වයන් ශක්තිමත් කිරීමටය. සංස්කෘතිය රැක ගත්තා වන්නේ එවිටය. ආගමට නිසි තැන ලැබෙන්නේ එතැනදීය.

DSC_0636 copy

සතර මහා දේවාල පත්තිනි දේවාලයේ බස්නායක නිලමේ හේමන්ත බණ්ඩාර හේරත් මහතා පවසන පරිදි පෙරහර කිරීමට එම දේවාලයටද අවශ්‍ය තරම් සම්පත් සොයා ගැනීමේ අර්බුදයක් පවතී. හැමදේම මුදලින් ලබා ගැනීමට සිදුව ඇත. “මේක යම් අර්බුදයක් තමයි. අපේ විහාර දේවාලගම් පනත අනුව අපට හිමි දේ  ලැබෙනවා නම් මේ අර්බුදය මතුවන්නේ නැහැ.පෙරහර කිරීමේදී අඩුපාඩු බාධක තියෙනවා. ඒවා නිවැරදි කරන්න අපි රජයට යෝජනා ඉදිරිපත් කර තියෙනවා. අලි ප්‍රශ්නය තියෙනවා. නැටුම් කණ්ඩායම් සඳහා මුදල් ගෙවීමේ අවශ්‍යතාව තියෙනවා. පිංකැට පඬුරුවලින් එකතුවන දෙයින් පමණක් මේවා කරන්න බැහැ. අනික ඒවාට හිතන තරම් විශාල මුදල් ලැබෙන්නේ නැහැ. විශේෂයෙන්ම ඒ ලැබෙන දෙයින් වුවද සිද්ධස්ථානයේ සංවර්ධන කටයුතු අපි පවත්වා ගෙන යා යුතුයි. පාරම්පරික නැටුම් ශිල්පීන්ගේ අඩුපාඩුව එහෙමම තියෙනවා"

ශ්‍රී විෂ්ණු දේවලයේ බස්නායක නිලමේ මහේන් රත්වත්තේ මහතා පවසන්නේද ඉහත පරිදිම  බාධක රැසකි. මේ සම්බන්ධයෙන් අස්ගිරි මහාවිහාරයේ මහාලේඛකාධිකාරී කාරක සංඝ සභික පූජ්‍ය ආචාර්ය මැදගම ධම්මානන්ද හිමියන් මාධ්‍යයට පැවසුවේ මෙවැනි අදහසකි. “එදා රජ දවස මහවැලි නදියෙන් උතුරට සහ දකුණට වශයෙන් ලංකාවේ තිබුණු විහාරස්ථාන 4400 රජතුමා විසින් අස්ගිරි මල්වතු මහා විහාරයන්ට සමසමව ලබාදුන්නා. ඒවායේ ඉඩකඩම් පසුකාලීනව එක් එක් පාර්ශ්වයන් විසින්  තමන්ගේ පෞද්ගලික අවශ්‍යතා අනුව  වෙන් කරගෙන අයිතිවාසිකම් දක්වා තිබෙනවා.

DSC_0572 copy

සුදු පාලන සමයේදී සමහර දේපළ අධ්‍යපනය නමින් පාසල්වලට පවරා ගත්තා. හැටේ පාසල් ප්‍රතිසංස්කරණයෙන් පසු හෝ වැසුණු පාසල්වල දේපළ නැවත විහාරස්ථානවලට ලබාදීමට මිෂනාරි ආයතන කටයුතු කළේ නැහැ. අදටත් ඒවායේ අයිතිය ඔවුන් සතුයි. තවත් ඉඩම් පල්ලිවලට ගත්තා. යම් කැරලි කෝලාහලවලදි විනාශ වූ තැන්වල දේපළ පසුකාලීනව බලපුළුවන් ඇත්තන් වගේම නැතිබැරි අනාථයන් කියා ගත් අය හිමිකර ගත්තා. ලේඛනවල තියෙන  තරමට අද විහාරස්ථාන සතුව  ඉඩකඩම් නැහැ.

සමහර අවස්ථාවලදී එදා අපේ එම ස්ථානවල සිටි භාරකාර හාමුදුරුවන්වත් තමන්ගේ දේපළවල සීමා මායිම් දැන හිටියේ නැහැ. එනිසා සුද්දාගේ බෙදීම්වලදී ඒවා අහිමි වී ගිය තැන්ද තියෙනවා. සමහර පූජනීය ස්ථානයන්හි හිටපු භාරකරුවන් රවටාගෙන  ඉඩම් තමන්ට ව්‍යාජ ආකාරයෙන් පවරාගෙන තියෙනවා. තවත් පැත්තකින් සමහර මායිම් සීමා වෙන් කළ සලකුණු පසුකාලීනව ගලවා තමන්ගේ අයිතිවාසිකම් දක්වා තිබෙනවා.

IMG_0054 - Copy copy

අනික පෙරහරක් කිරීමට අවශ්‍ය වියදම් වැඩියි. නැට්ටුවන් සංස්කෘතික අංශ සඳහා අවශ්‍ය සම්පත්දායකයන්ගේ හිඟය තදින්ම තියෙනවා. සංස්කෘතිය රැක ගැනීමට නම් දළදා පෙරහරට එවැනි සංස්කෘතික අංශයන් ඇතුළත් විය යුතුයි. නමුත් හැම අංශයක්ම මෙම පෙරහරට ඇතුළත් කිරීමටත් අවසර නැහැ.
  අවශ්‍ය  මොනවාදැයි දියවඩන නිලමෙතුමා සහ මහා විහාර මහ නායක හිමිවරුන් සමග ඇති කරගත යුතු එකඟතාවයක්. අද වන විට රාජකාරිය සහ ගම්වර භුක්ති විඳින පිරිස කාලීනව වෙනස් වෙලා. ඒ අය ඒ කටයුතුවලින් ඉවත් වෙලා. පසුකාලීන පරපුර මෙම වගකීම් මගහරිනවා. එතෙනදි අර දේවාල විහාර ඉඩම් භුක්ති විඳීමට ලබාදීමේ මූලික අරමුණ කඩ වෙනවා” ධම්මානන්ද හිමියෝ පවසති.

ඒ අතර විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකු පැවසූ අදහසටද සවන් දෙමු. “දැන් මේවා කෘත්‍රිම විය හැකි අවදානමක් මට පෙනෙනවා. අපේකම, අපේ සංස්කෘතිය කියන දේ දැන් ක්‍රමයෙන් දුරස් වන තැනට පත්වන්නේ පොදුවේ විහාර දේවාලවලට දැරිය නොහැකි වියදමක් ඒ වෙනුවෙන් දැරීමට සිදුවීමයි. වැඩවසම් ක්‍රමය කුල ක්‍රමය යටතේ එදා පත් කළ සංස්කෘතික කණ්ඩායම්, නැටුම් කණ්ඩායම් දැන් ඒ රාජකාරිය කරන්නේ නැහැ.

IMG_0052 - Copy copy

මට මතකයි කසකරුවන්, පන්දම්කරුවන් සඳහා ගතවූ කාලයේ පන්විල වගේ වතු ප්‍රදේශයන්හි කම්කරුවන් මුදල් ගෙවා ගෙනැවිත් පෙරහර කළා. වරක් එවැනි අයෙකුගේ බෙල්ලෙ තිබුණු වෙනත් ආගමික ලාංඡනයද ඇතැමුන් අතර සංවාදයට පත් වුණා. කසකරුවා කවුරු වුණත් පන්දම්කරුවා කවුරු වුණත් සංස්කෘතික අංග රැක ගැනීමට අවශ්‍ය අවධානය සහ කැපවීම මෙහිදී අවධානය යොමු කළ යුතුයි. හැමදෙයක්ම මුදල මත දිවෙන සමාජයක පෙරහරක අඩුපාඩු දකින අය මේවා ගැනත් සිතිය යුතුයි.

මගේ අදහස රටේ කලායතන තියෙනවා. නැටුම් කණ්ඩායම් ඉන්නවා. සංස්කෘතික දෙපාර්තමේන්තුව ඒවාට බෝඩ් ලෑල්ල පවා දෙනවා නම් එවැනි ආයතන හරහා හෝ මෙවැනි අවශ්‍යතා සම්පාදනය කර ගත හැකි වෙනත් විකල්ප ගැන හිතන්න වෙනවා.   අලි ප්‍රශ්නයේදීත් නීතියත් අවශ්‍යතාවත් යන දෙකම සිතීම සාධාරණයි. මෙවර අධිකරණයෙන් දුන් නියෝගය වරදක් නැහැ. නමුත්  අලි හිමියන් සහ විහාරාධිපතිවරුන්ද බස්නායක නිලමෙවරුන් සමග මහ නාහිමිවරුන් සහ දියවඩන නිලමෙතුමන්ද සමග සුදුසු එකඟතාවයන් ඇති කරගත යුතුයි. 

IMG_0087 copy

අනික රාජ්‍ය අනුග්‍රහය ගත්තොත් දේශපාලකයන්ට අවශ්‍ය සිද්ධස්ථානවලට  මිලියන ගණනින් මුදල් පොම්ප වෙනවා. සමහර රජ මහා විහාරවල සාමණේර හාමුදුරුවරුන්ට පිරිවෙනට ගුරුවරු නැහැ. ඒ විහාරස්ථානවල වාර්ෂික පුද පූජා කරන්නේ ප්‍රදේශයේ ජනතාවගේ මුදලින්. නමුත් කිසිම දේශපාලකයෙකුට කඩේ යන්නෙ නැති නිසා ඒවාට මොන ආණ්ඩුව ආවත් බැල්ම හෙලන්නේ නැහැ” ඔහු පවසයි. 

අදාළ මාහාචාර්යවරයා පවසන දේ සැබෑවකි. එසේ නම් සංස්කෘතිය රැක ගත හැකිද? ආණ්ඩුව ආගම රැක ගැනීමට අනුබල දීම විනා එයට බලපැම් නොකළ යුතු බව ජනතාව පසක් කරගෙන සිටිති. විහාර දේවාල පනතින් බැහැරව ගතවූ මහින්ද පාලන සමයේ රුහුණු කතරගම මහා දේවාලය වෙනුවෙන් තම ඥාතියෙකු පත්කර ගැනීමට එම පනතට පිටුපා සහ වෙනත් නව අණපනත් සකසමින් ඒවාද දේශපාලනීකරණය කිරීමට ගත් උත්සාහයන් වැනි දේ විහාර දේවාල පනත ගැන අවධානයෙන් කතාකරන භික්ෂූන් වහන්සේලාගේ අවධානයට යොමු විය යුතු කරුණකි.

IMG_0080 - Copy copy

සම්ප්‍රදායික නැටුම් කණ්ඩායමක නර්තනාචාර්යවරයෙකුගේ මැසිවිල්ලට සවන් දෙමු.“හැමදාම නැටුවත් අවශ්‍ය තැනට නැට්ටුවන් සොයා ගැනීම අමාරුයි. පෙරහරක දවස් ගණනාවක් හැමදාම රැයට නටනවා කියන එක ලේසි පහසු දෙයක් නෙවෙයි. ඉස්සර වගේ නෙවෙයි. අලුත් පරපුර නටන්න ගයන්න කැමතියි. ඒත් මේ වගේ පෙරහරක දිගටම නටන්න ඒ අය යොදවා ගන්න අමාරුයි. එකක් අධ්‍යාපන ප්‍රශ්න. අනික දෙමව්පියන්ගේ අකමැත්ත. තවත් පැත්තකින් ඉදිරිපත්වීම පිළිබඳ ළමයින්ගේ ඇති අකමැත්ත. 

අනික හැමදාමත් නටන කෙනෙකුට වුණත් සාධරණ මහන්සියක් ගෙවන්න එපායැ. නැත්නම් ඒ දවස්වලට ඒ අයට කැපවීමක් කරන්න බැහැ. අපට අවස්ථාව දෙනවා නම් වගකිව යුතු දේශපාලකයන් ඇහුම්කන් දෙනවා නම් කියන්න ගොඩක් දේ තියෙනවා. ඒවා විසඳුණොත් මේ කලාව ඉහළ නංවා ගන්න බැරිකමක් නැහැ.‍ ඉස්සර තිබුණු අපේ නැටුම් ක්‍රම වැනි දේවල් වැඩි කල් නොගොස් නැතිවෙලා යයි. වෙස් නැටුම් එක උදාහරණයක්” ඔහු අවධාරණය කරයි.

KDP_5522 copy

පෙරහර අංලකාරය. සැබවින්ම එහි විචිත්‍රත්වය නෙත් අයාගෙන බලා සිටිය යුතු මනරම් දර්ශනයකි. එහෙත් එවැනි පූජනීය සහ සෞන්දර්යාත්මක අගයක් ඇති පෙරහර විසින් වසර සිය ගණනාවක් පවත්වාගෙන ආ අපේ සංස්කෘතික උරුමය මතු පරපුර වෙනුවෙන් රැකදීම වත්මන් වැඩිහිටි පරපුරේ වගකීමක් නොවේද? එහෙත් එය දළදා මාලිගය හෝ සතරවරම් දේවාල පිට පවරා කල් මැරිය යුතුද?

DSC_0551 copyIMG_0083 copy     DSC_0583 copy      

 

ඇසළ පෙරහර සහ සංස්කෘතික අනන්‍යතාව රැකගැනීම ගැටලුවක් වෙලා සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :