ඩෙංගු මදුරුවන් මර්දනයට කැලණිය විශ්වවිද්‍යාලයෙන් පර්යේෂණයක්
( සරසි නෙත්මිනී ) 2017-08-09 12:16:45
Comments - 0       Views - 1216

ඩෙංගු රෝගය අද වනවිට අන් කවරදාවකටත් වඩා උග්‍ර වෙමින් පවතී. මේ වනවිට ඩෙංගු රෝගීන්ගේ ප්‍රමාණය දිනෙන් දින උත්සන්න වීමක් විනා අඩුවීමක් නැත. මේ දැවැන්ත ප්‍රශ්නයට විසඳුමක් සෙවීමට මේ වනවිට කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අනුක වෛද්‍ය ඒකකය මගින් පරීක්ෂණයක් පවත්වමින් සිටියි. ඒ ඩෙංගු මදුරුවන් මර්දනය සම්බන්ධ පර්යේෂණයකි. එහිදී ඔවුන් දැනට භාවිතයේ ඇති ක්‍රමවේදත් නව ක්‍රමවේදත් උපයෝගී කරගනිමින් මෙම පර්යේෂණය සිදු කරමින් සිටියි. එම පර්යේෂණ වාර්තාව පසුගියදා එළි දැක්වීමක් සිදු කෙරිණි. ඒ නිසා එම පර්යේෂණය පිළිබඳ ඔබව දැනුවත් කිරීමට 'අද' අපි තීරණය කළෙමු.


මේ පර්යේෂණ වාර්තාව ඉදිරිපත් කිරීමේදී පර්යේෂණය සම්බන්ධව වෛද්‍ය මේනකා හපුගොඩ මහත්මිය අදහස් දැක්වූයේ මෙසේය.
"ඩෙංගු රෝගය සම්බන්ධ මෙම පර්යේෂණය ආරම්භ කළේ 2015 වර්ෂයේදීය. මේ පර්යේෂණය 'දැනට භාවිතයේ ඇති ක්‍රමවේදත් නව ක්‍රමවේදත් උපයෝගී කරගනිමින් සහ මහජන සහභාගිත්වයෙන් ඩෙංගු මර්දනය කිරීම' පර්යේෂණ මාතෘකාව ලෙස අපි භාවිත කළා. මේ සඳහා අපට අවශ්‍ය ප්‍රතිපාදන ලබා දුන්නේ ජාතික පරීක්ෂණ සභාව සහ අන්තර්ජාතික පරමාණු බලශක්ති අධිකාරියෙන්. ප්‍රතිපාදනවලට අමතරව එම ආයතනවලින් අපට අවශ්‍ය විශේෂඥ දැනුමත්, පුහුණු කිරීමත් මේ සඳහා ලැබුණා.

මෙම ව්‍යාපෘතිය ඔස්සේ ඩෙංගු රෝගය ආශ්‍රිත පරීක්ෂණ කටයුතු විවිධ අංශ ඔස්සේ සිදු කරනු ලබනවා. එහිදී එක් පියවරක් ලෙස අප දැනට භාවිත කරන ක්‍රමවේද වැඩි දියුණු කිරීම මගින් ඩෙංගු රෝග වාහකයා මර්දනය කිරීම සිදු කරනු ලබනවා. එයට උදාහරණයක් ලෙස මදුරු කීට භක්ෂක මසුන් යොදා ගෙන කරන පරීෂණය පෙන්වා දිය හැකියි. දැනට අපි මෙම පරීක්ෂණය නුවර සහ ගම්පහ දිස්ත්‍රික්ක ආශ්‍රිත කරගෙන යනවා. 

ඒ වගේම මේ පර්යේෂණ ව්‍යාපෘතියේ වඩා වැදගත්ම කොටස ලෙස පෙන්වා දිය හැක්කේ පරිසර හිතකාමී නව කාර්යක්ෂම ක්‍රමවේද හඳුන්වා දීමයි. ඒ යටතේ අපි නව ක්‍රමවේද හඳුන්වාදෙමින් සිටිනවා. එසේම මෙහි එක් ක්‍රමවේදයක් ලෙස මදුරු කීට භක්ෂක Copepods කියන ජීවි කාණ්ඩය ඔවුන් ජීවත්වන ජලජ පරිසර වලින් එකතු කරගෙන ඔවුන්ගේ කීට භක්ෂක හැකියාව පිළිබඳ සිදු කරන පර්යේෂණය.

මෙහිදී අපට පෙනී ගිය කාරණයක් තමයි මඩකලපුව, කුරුණෑගල සහ ගම්පහ ප්‍රදේශ වලින් අල්ලා ගන්නා ලද Copepods විශේෂ තුනක් මේ කීට භක්ෂක හැකියාව දක්වන බව. ඒ ඔස්සේ ඩෙංගු මදුරුවන් මර්දනය සම්බන්ධ පර්යේෂණ කටයුතු මේ වනවිට සිදු වෙනවා.
ඒ වගේම මෙහි වැදගත්ම පර්යේෂණය ලෙස වොල්බාවියා බැක්ටීරියාව ආශ්‍රිතව සිදු කරන පර්යේෂණය දක්වන්න පුළුවන්. මෙය අපි ආරම්භ කළේ 2014 වර්ෂයේ පමණ. වොල්බාවියා යන බැක්ටීරියාව පරිසරයේ ජීවත්වන කෘමි සතුන් තුළ ජීවත් වෙනවා. එම බැක්ටීරියාව අප රාගම ප්‍රදේශයේ සිටින මදුරුවන්ගෙන්  නිස්සාරණය කරගෙන දැනට Aedes albopictus මදුරුවන් තුළට ඇතුළු කර විවිධ පර්යේෂණ කටයුතු සිද්ධ කරනවා. මේ සඳහා අවශ්‍ය විශේෂ පර්යේෂණාගාර පහසුකම් අපට කැලණිය විශ්වවිද්‍යාලය මගින් මේ වන විට ලබා දී තිබෙනවා. 

ඒ වගේම මේ නව ඩෙංගු වාහක ක්‍රම අතර තවත් ප්‍රමුඛ ස්ථානයක් ගන්නේ විකිරණ ශක්තිය යොදා ගෙන පිරිමි මදුරුවන් වන්ද්‍යාකරණය කිරීමයි. මෙහිදී දීර්ඝ කාලයක් තුළ වන්ද්‍යාකරණයට ලක් කළ මදුරුවන් පරිසරයට මුදා හැරීම තුළින් යම් කිසි ප්‍රදේශයක ඩෙංගු මදුරු ගහන ඝනත්වය අඩු කරන්න පුළුවන්. ඒ වගේම මදුරුවන්ගේ ජාන සංයුතිය වෙනස් කිරීම මගින් මදුරුවන්ගේ දේහය තුළ ඩෙංගු වෛරසය ගුණනය වීම වළක්වා ගන්න පුළුවන්. මේ ආශ්‍රිත තවත් පර්යේෂණ අපි දැනට සොයා ගෙන යනවා. 

මීට අමතරව නවීන මදුරු දැල් හා විකර්ශක නිශ්පාදනයන් මේ යටතේ සිද්ධ කරනවා. අපි දැනට නැනෝටෙක් ආධාරයෙන් මදුරු විකර්ශකයක් නිශ්පාදනය කර තිබෙනවා. එය ක්‍රියාකාරිත්වය පැය 7ක පමණ කාලයක් ඇති බව සොයා ගෙන තිබෙනවා. 
ඒ වගේම මෙම පර්යේෂණ ව්‍යාපෘතියේදී ඩෙංගු රෝගීන් කලින් හඳුනා ගැනීම සඳහා නව පාලක කට්ටලයක් නිෂ්පාදනය කිරීමක් සිද්ධ කරනවා. ඒවගේම මෙහිදී ප්‍රජාව දැනුවත් කිරීමක් සිදු කරනවා. මෙම අධ්‍යයනය සිදු කරනු ලබන්නේ කොළඹ දිස්ත්‍රිකයේ තෝරා ගත් ප්‍රදේශ 10යි. ඒ ප්‍රදේශ තුළ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ගණනාවක් දියත් කර තිබෙනවා.

මීට අමතරව එම ප්‍රදේශවල කසළ කළමනාකරණය අදාළ ආයතන සමග සිදු කරගෙන යනු ලබනවා. එහිදී එම ප්‍රදේශවල ජනතාවට කොම්පෝස්ට් භාජන ලබා දීමක් සිදු කරනවා. මෙහිදී අපට අවශ්‍ය වී තිබෙන්නේ කසළ කළමනාකරණය හා ප්‍රජාව දැනුවත් කිරීම තුළින් ඩෙංගු මර්දනය කිරීම පිළිබඳ ආකෘතියක් සෑදීමයි. 

මීට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයේ පාසල් අශ්‍රිතව සිදු කරන විශේෂ පර්යේෂණක්ද මෙම ව්‍යාපෘතියට අයත්. එහිදී තෝරා ගත් පාසල් 60ක මෙම අධ්‍යයනය සිදු කරනු ලබනවා. එහිදී දරුවන් දැනුත් කිරීමට අමතරව විවිධ වැඩසටහන් සංවිධානය කර තිබෙනවා. 
ඒ වගේම මේ පර්යේෂණයේදී තවත් වැදගත්ම අධ්‍යයනයක් ලෙස වාහක මදුරුවන් මගින් ඩෙංගු රෝගය පැතිරීම පිළිබඳ සිදු කරන අධ්‍යයනය. එහිදී ගම්පහ, කොළඹ සහ නුවර ප්‍රදේශවල දැනට මෙය සිදු කරමින් පවතිනවා. 

මෙවැනි පර්යේෂණ ඔස්සේ ඩෙංගු මදුරුවන් මර්දනය කිරීම සම්බන්ධ පර්යේෂණ අප කණ්ඩායම විසින් දිගටම කරගෙන යනවා. මේ ඔස්සේ අපට ඉදිරියේදී ඩෙංගු මදුරුවන් මර්දනයට සාර්ථක විසඳුම් ගෙන එන්න අප උත්සාහ කරනවා."

 

 

 

ඩෙංගු මදුරුවන් මර්දනයට කැලණිය විශ්වවිද්‍යාලයෙන් පර්යේෂණයක් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :