සූවස් ඇළ නම් වූ විශිෂ්ට නිර්මාණයෙන් බ්හිවූ ආර්ථික ප්‍රතිලාභ ගැන ඔබ දන්නවාද?
( නඳුන් ශ්‍යාමාල් ) 2017-08-08 13:42:21
Comments - 0       Views - 1056

මිනිසා අතින් නිමවුණු විශිෂ්ට නිර්මාණයක් වන සූවස් ඇළ පිළිබඳ බොහෝ දෙනා අසා ඇති නමුත්, එයින් ලෝකයට සහ ලෝක ආර්ථිකයට සැලසුණු යහපත කුමක්ද කියා බොහෝ දෙනා අසා ඇතිද යන්න පිළිබඳව පවතින්නේ ගැටලුවකි. එමනිසා මේ සටහන ගෙන එන්නේ අප්‍රිකා මහද්වීපය හා සෞදි අරාබියට මැදිව ඇති රතු මුහුදත්, තුර්කිය, ග්‍රීසිය හා ඉතාලිය වටකොටගත් මධ්‍යධරණී මුහුදත් යා කරමින් සැතපුම් 101ක් දිගට ගලායන, වසර 148ක ඉතිහාසයකට උරුමකම් කියන සුප්‍රසිද්ධ සූවස් ඇළ පිළිබඳවය.


සූවස් ඇළ ඉදිකිරීම සඳහා මුල් වරට උත්සහ ගෙන ඇතැයි සැලකෙන්නේ ප්‍රංශයේ කීර්තිමත් අධිරාජ්‍යයෙකු වන නැපෝලියන් බොනපාර්ට්ය. ඊට පෙරද ක්‍රි.පූ 13 වැනි සියවසේදීද ඊජිප්තුවේ නයිල් නදිය, මධ්‍යධරණී මුහුද හා රතු මුහුද සමග සම්බන්ධ කිරීමට අදහසක් පැවතියද, ක්‍රි.පූ 08 වැනි සියවසේදී එය අත්හැර දමා තිබූ බව සඳහන් වේ.

කෙසේ වුවද නැපෝලියන් අධිරාජ්‍යයා ක්‍රි.ව. 1789 සහ 1799 යන කාලවකවානුවලදී ආක්‍රමණශීලී යුද ක්‍රියාමාර්ග මගින් යුරෝපයේ රටවල් ගණනාවක්ම යටත් කරගන්නා ලද අතර, ඔහු ඊජිප්තුවේදී යෙදුණු ගවේෂණයන් අතරතුර මුල්ම වරට සූවස් ඇළ නිර්මාණය කිරීමේ අදහස ඔහුට ඇති විය. එමගින් නැපෝලියන් බලාපොරොත්තු වූයේ සිය පාලනය යටතේ පවතින ඇළ මාර්ගය භාවිත කර බ්‍රිතාන්‍යයේ නාවික වෙළඳ කටයුතු සඳහා බලපෑමක් ඇති කිරීම සහ ඇළ මාර්ගය යොදාගනිමින් බ්‍රිතාන්‍යයන් විසින් සිදුකරන වෙළෙඳ කටයුතු සඳහා ඔවුන්ගෙන් යම් බදු මුදලක් අය කර ගැනීමයි. ඒ අනුව ක්‍රි.ව. 1804 දී ඇළ මාර්ගය ඉදිකිරීමේ කටයුතු ආරම්භ කිරිම සඳහා සූදානම් වුවද මධ්‍යධරණී මුහුද සහ රතු මුහුද අතර තිබෙන මුහුදු මට්ටම ගණනය කිරීමේ කාර්යයේදී සිදු වූ වැරදි ගණනය කිරීමක් හේතු කොටගෙන එහි ඉදිකිරීම් වහාම අත්හිටුවීමට නැපෝලියන්ට සිදු විය.

ඉන් අනතුරුව නැවතත් වර්ෂ 1858 දී ප්‍රංශ ජාතික ඉංජිනේරුවරයෙකු වූ ෆර්ඩිනන් ද ලෙසෙප් නැමැත්තා සිය රාජ්‍යතාන්ත්‍රික සබඳතා උපයෝගී කරගනිමින් සූවස් ඇළ ඉදිකිරීමට ඊජිප්තු රජයේ සහය සහ එකඟත්වය ලබාගැනීමට සමත් විය. Universal Suez Ship Canal Company 1858 වසරේදීම පිහිටුවෙන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසය. එම ආයතනයට ඇළ මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ඇරඹීමට හා වසර 99ක කාලයක් මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යාමට බලතල ලබාදෙන ලද අතර, ආරම්භයේදී එහි බහුතරයක්ම කොටස් හිමියන් ප්‍රංශයේ පෞද්ගලික ආයෝජකයෝ වූහ.

ඒ අනුව 1859 වසරේ සැප්තැම්බර් 25 වැනිදා සූවස් ඇළේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන ලදුව ඉන් වසර 10කට පසුව එනම් 1869 නොවැම්බර් 17 වැනිදා සූවස් ඇළ ඉදිකිරීම් නිමවා නිල වශයෙන් විවෘත කරන ලදී. මේ සඳහා ඩොලර් මිලියන 100ක වියදමක් දරා ඇති බව සඳහන් වේ. පසුකාලීනව 1962 වසරේදී ඊජිප්තු රජය Universal Suez Ship Canal Company වෙත සිය අවසාන ගෙවීමද සිදු කිරීමෙන් අනතුරුව සූවස් ඇළේ පරිපාලන කටයුතු අත්පත් කරගත්තේය.  

1875 වසරේදී ආර්ථිකය බංකොළොත් වීම සහ අධික ණය බර හේතු කොටගෙන ඊජිප්තු රජය විසින් සූවස් ඇළේ හිමිකාරීත්වය බ්‍රිතාන්‍ය වෙත පැවරීමට කටයුතු කරන ලදී. ජාත්‍යන්තර වශයෙන් ඇති කරගත් සම්මුතීන්වලට අනුව යමින් 1888 වසරේදී ලෝකයේ සියලු රටවලට සූවස් ඇළ භාවිත කිරීමට හැකියාව ලබාදීම ලෝක ආර්ථිකයේ සුවිශේෂීතම අවස්ථාවක් විය. වසර 148ක ඉතිහාසය තුළ සූවස් ඇළ සම්බන්ධයෙන් මතු වූ ගැටුම්කාරී අවස්ථා කිහිපයක් තිබේ.

suezconstruc

එහි මුල්ම අවස්ථාව වූයේ 1936 වසරේදී බ්‍රිතාන්‍ය විසින් සූවස් ඇළේ පරිපාලන කටයුතු සඳහා සිය හමුදාව යෙදවීම හේතුවෙන් මතු වූ ගැටුමයි. නැවතත් ඊශ්‍රායලය සම්බන්ධයෙන් හටගත් ගැටුමක් හේතුවෙන් 1948 දී සූවස් ඇළේ නාවික ගමනාගමන කටයුතු නවතාදමන ලදී. පසුව 1954 වසරේදී ඊජිප්තු රජය බ්‍රිතාන්‍යය සමග ඇති කරගත් ගිවිසුමකින් පසු සිය හමුදාව සූවස් ඇළ පාලන කටයුතුවලින් ඉවත් කරගැනීමට බ්‍රිතාන්‍ය කටයුතු කළේය. ඒ අනුව 1956 වසරේ නොවැම්බර් මාසය වනවිට සූවස් ඇළ සම්බන්ධයෙන් තිබූ අර්බුදය නිමාවූ අතර යළිත් 1957 මාර්තු මාසයේදී සූවස් ඇළ නාවික කටයුතු සඳහා විවෘත විය. නමුත් 1960 හා 1970 යන දස වසර තුළ ඊජිප්තුව ඇතුළු අරාබිකරයේ රටවල් ඊශ්‍රායලය සමග ඇතිකරගත් යුද ගැටුම් හේතුවෙන් වරින් වර සූවස් ඇළේ මෙහෙයුම් කටයුතු අත්හිටුවීමට සිදු විය.

 වර්තමානය වනවිට සූවස් ඇළේ පරිපාලන කටයුතු සිදුකෙරෙන්නේ Suez Canal Authority මගිනි. ඇළේ මුළු දිග ප්‍රමාණය සැතපුම් 101ක් (කි.මී. 163) පමණ වේ. පළල අඩි 984ක් හෙවත් මීටර් 300කි. මෙහි බටහිර ඉවුර හරහා ඇළට සමාන්තරව දිවයන  දුම්රිය මාර්ගයක්ද පිහිටා ඇත. උසින් මීටර් 19ක් හා බරින් ටොන් 210,000ක් වන සීමාවේ පවතින නෞකාවන්ට සූවස් ඇළ භාවිත කිරීම සඳහා අවසර ලබාදෙන අතර, ඇළේ පළල සම්බන්ධයෙන් තිබෙන සීමා සහිත බව හේතුවෙන් එකවිට නැව් දෙකකට මාරු වීමට දුෂ්කරතාවක් පවතියි. ඊට පිළියමක් වශයෙන් එක් ධාවන තීරුවක් සහ නැවතුම් ස්ථාන කිහිපයක් ඉදිකර තිබේ.

89934-050-F200F3B2     

නැව් ගමනාගමනයේදී ඇතිවන තරංග නිසා ඇළ දෙපස ඇති ඉවුරුවලට සිදුවන හානිය වැළැක්වීමට අඩු වේගයකින් යාත්‍රා කිරීමට නාවිකයන්ට උපදෙස් ලබාදෙනු ලබයි. නැවේ වර්ගය, ධාරිතාව අනුව අය කෙරෙන ගාස්තුව තීරණය වේ. සූවස් ඇළේ වාර්ෂික ආදායම මේ වනවිට ඩොලර් මිලියන 5000 ද ඉක්මවයි.

සූවස් ඇළේ වැදගත්කම පිළිබඳ කතා කිරීමේදී ආසියාතික රටවල් හා යුරෝපා රටවල් සහ එක්සත් ජනපදය ආදී රටවල් අතර සිදුවන ආනයන අපනයන කටයුතු සඳහා යොදාගැනෙන නාවුක ප්‍රවාහනයේදී කිලෝමීටර් 8900ක දුරක් සහ දින දහයක කාලයක් ඉතිරි කරදීමට සමත්ව තිබෙන අතර අප්‍රිකාවේ සුබ පැතුමේ තුඩුව (Cape of Good Hope) වටා නාවික සැතපුම් 11300ක(කි.මී.20900ක) අධික දුරක් ගෙවමින් දින 24ක් වැනි කාලයකින් යුරෝපය වෙත ළඟා වීමට තිබූ අන්තරාදායක සහ නාවිකයන් වෙත අතිශය වෙහෙසකර මුහුදු ගමන, නාවික සැතපුම් 6400ක් හා දින 14කින් අඩු කරමින් වඩා ආරක්ෂාකාරී මෙන්ම ඵලදායී කිරීමට සමත්ව තිබේ. සූවස් ඇළ හරහා යුරෝපීය රටවලට භාණ්ඩ ප්‍රවාහනය කිරීමේදී ඇති මුළු දුර ප්‍රමාණයෙන් 43%ක දුරක් ඉතිරි කරගත හැකි අතර  ලෝකයේ සමස්ත නාවික ප්‍රවාහනයෙන් 10%ක දුර ප්‍රමාණයක් ආවරණය කරයි.

මධ්‍යධරණී මුහුද සහ රතු මුහුද එකම ජල මට්ටමක පැවතීම නිසා පැනමා ඇළ මෙන් මෙහි ජල අඟුල් (Water Locks) නොමැති අතර සාමාන්‍යයෙන් පැය 11-16 අතර කාලයක් තුළදී සුවස් ඇළ තරණය කිරීමට නැව්වලට හැකියාව තිබේ. සූවස් ඇළ හරහා සාමාන්‍යයෙන් දෛනිකව නැව් 50-60 අතර ප්‍රමාණයක් පමණ ගමන් කරන අතර එමගින් රැගෙන යන භාණ්ඩ ප්‍රමාණය සාමාන්‍යයෙන් දිනකට ටොන් මිලියන 03ක් පමණ වේ.

නාවික ප්‍රවාහන දත්ත අනුව 2016 වසරේදී නෞකා 16,833ක් ඒ හරහා ගමන්කර ඇති අතර, එමගින් ප්‍රවාහනය කර ඇති මුළු භාණ්ඩ ප්‍රමාණය ටොන් මිලියන 819ක් පමණ වෙයි. සූවස් ඇළ නිසා නාවුක ප්‍රවාහනයේදී භාණ්ඩ සැපයුම වේගවත් වීම, කාලය ඉතිරි වීම,ඉන්ධන වියදම් අඩුවීම, නාවිකයන් සඳහා වන වියදම් අඩුවීම සහ සාගරයේදී ඇතිවිය හැකි ස්වාභාවික විපත් අවම වීම, කාලය ඉතිරි වීම වැනි වාසි බොහෝමයක් අත්ව ඇති අතර, අද වනවිට ලෝක ආර්ථිකයට සහ ජාත්‍යන්තර වෙළෙඳාමට විශාල මෙහෙවරක් ඉටු කිරීමටද සූවස් ඇළට හැකියාව ලැබී තිබේ.

150728115612-egypt-new-suez-canal-01-super-169egypt-will-spend-4-billion-to-build-a-new-suez-canal - Copy

(Suez Canal Authority හි දත්ත වාර්තා ඇසුරිනි) විශේෂ ස්තුතිය - රොහාන් ඩයස් මහතා

සූවස් ඇළ නම් වූ විශිෂ්ට නිර්මාණයෙන් බ්හිවූ ආර්ථික ප්‍රතිලාභ ගැන ඔබ දන්නවාද? සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :